Print this Article


බාහිර පෙනුම සලකා තීරණ ගැනීම නොමැනවි

බාහිර පෙනුම සලකා තීරණ ගැනීම නොමැනවි

එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන අය ගැන ක්ෂණික තීරණ නොගත යුතුය. කෙනකු වටපිට නොබලා බිම බලාගන කථා කළ පමණින්, සංවර වූ ඉරියව් තිබූ පමණින් ඉක්මන් තීරණ ගැනීම නොවටී. කෙනකු අඳින ඇඳුමෙන්, මතුපිට ස්වභාවයෙන් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතුය. අසංවරව අඳින පළඳින කෙනකු තුළ සංවරව අඳින පළඳින අයකුට වඩා සිල්වත්, ගුණවත් බවක් තිබිය හැකිය. ගැහැනු ළමයකු දිහා කෙළින් නොබලන, සිගරැට්ටුවක් කටේ නොතබන, ගෙදරින් පිටතට තනියෙන් නොයන කෙනකු ගැන වුවත් ඉක්මන් තීරණ නොගත යුතුයි. කෙනකුගේ බුද්ධිමත්කම, සුසිල්වත්කම මැනිය හැක්කේ දුෂ්කර අවස්ථාවන්හිදී, ඒ තැනැත්තා හෝ තැනැත්තිය මුහුණ දෙන ආකාරයට අනුව ය.

හදිසියේ මුණ ගැසෙන කෙනකු දැක ඔහුගේ කථා විලාසයට, හැසිරීමට පැහැදී, රැවැටීමට ලක්ව විපතට පත්වන විශාල පිරිසක් අප සමාජයේ සිටිති. ඔවුහු එබඳු ආපදාවන්ට ගොදුරුවී මුළු ජීවිතයම අඳුරු කර ගනිති. මෙය අදට පමණක් පොදු කාරණයක් ද නොවේ.

ශීඝ්‍රයෙන් ඉහළ යන ආර්ථික අපහසුතා සහ මිනිසුන්ගේ අධ්‍යාත්මික පිරිහීම නිසා වංචනික පුද්ගලයන්ට ගොදුරුවන පිරිස් අප සමාජයේ දිනෙන් දින සංඛ්‍යාත්මකව වර්ධනය වන බවක් දක්නට ලැබේ. මතුපිටින් සිල්වත් ගුණවත් බවක් පෙනෙන, අභ්‍යන්තරයේ එබඳු කිසිවක් නැති දුෂ්ට වංචාකාරී පුද්ගලයන්ගෙන් ආරක්‍ෂා වීමටත් කල්‍යාණ මිත්‍ර ඇසුරක් ළඟා කර ගැනීමටත් මහෝපකාරීවන බුදුවදනක් සංයුත්ත නිකායේ සත්ත ජටිල සූත්‍රයෙන් විවරණය වේ.

රත්රන් ආලේප කළ ලෝහ කැබැලි රන් පවුම් ලෙස, රන් කාසි ලෙස හෝ ස්වර්ණාභරණ ලෙස අලෙවි කරන පුද්ගලයන් අප සමාජයේ දක්නට ඇත. එසේම දේශනාවෙන්, හැසිරීමෙන් සිල්වත්බව පෙන්වමින් ඇතුළත හිස්, ඇතුළතින් දුසිල්වත්, එසේම බොහෝ පිරිස් පිරිවරාගෙන ද සිටින ඇතැමකු සමාජයේ වැජඹෙන අවස්ථා එමට ඇත. ඒ ගැන පහත දැක්වෙන ගාථාවෙන් පැහැදිලි කෙරෙයි.

පතිරූපකො මත්තික කුණ්ඩලොව
ලොහඩ්ඩ මාසොව සුවණ්ණ ඡන්නො
චරන්ති එතෙ පරිවාර ජන්නො
අන්තො අසුද්ධා බහි සොභමානන්ති

මෙම ගාථාවෙන් පැහැදිලි කරන්නේ රත්රන් ආලේප කළ ලෝහ කැබැලි රත්රන් කියා තීරණය නොකළ යුත්තාසේ ඇතුළතින් අපිරිසුදු පිටතින් සද්ජනයන් ලෙස පෙනී සිටින අයට එක්වර පැහැදී තීරණය නොගතයුතු බවයි.

මෙම ගාථාව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පසේනදී කෝසල රජතුමාටය. දිනක් කොසොල් රජු බුදුරදුන් හමුවීමට පූර්වාරාමයට පැමිණ සිටියේය. එම අවස්ථාවේ දී විහාරස්ථානය අසල මාර්ගයෙහි සත් දෙනා බැගින් වූ ජටිල ශ්‍රමණ පිරිසක් සන්සුන් ගමනින් ගමන් කරනු දුටු රජතුමා හුනස්නෙන් නැගිට එම පිරිස කරා ගොස් ඔවුන්ට වැඳ නමස්කාර කළේය. නැවත බුදු රදුන් හමුවට පැමිණ උන්වහන්සේට ගරුසරු දක්වමින් බුදුරදුන් අබියස එකත් පසෙක සිටිමින් තම අදහස් මෙසේ දන්වා සිටියේය.

“භාග්‍යවතුන් වහන්ස, ඒ ශ්‍රමණ පිරිස මොනතරම් සිල්වත් ද ? තම භද්‍ර යෞවනය උතුම් අරමුණක් සඳහා කැප කළ ඔවුන් රහතන් වහන්සේ බඳුයයි මට සිතේ. උන්වහන්සේ මනා සංවර වූ ඉඳුරන් ඇති පිරිසක් බව පෙනේ. එහෙම නේදැ”යි කොසොල් රජු ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේ බුදුරදුන් මෙසේ අදහස් දැක්වූ සේක. “රජතුමනි, ඔබ වැනි කෙනකුත් එක හෙළා එබඳු තීරණ ගැනීම සුදුසු නොවේ. විශේෂයෙන්ම ඔබ වැනි කෙනකුට තවත් අයකුගේ සීලය ගැන එකවර තීරණ ගැනීමට නොහැකිය. කෙනකුගේ සීලය පිළිබඳ තීරණය කළ හැක්කේ, දිගුකලක් ඇසුරු කිරීමෙනි. නිකම්ම ඇසුරු කිරීමකින් නොව බොහොම කල්පනාකාරීව ඉවසීමෙන් හා පරීක්‍ෂාකාරීව බුද්ධිමත්ව ඇසුරු කිරීමෙනි”.

එහිදී බුදුන් වහන්සේ ඉහත කී ගාථාව මඟින් එම කාරණය මනාව පැහැදිලි කළ සේක. රජතුමා අප බුදුරජාණන් වහන්සේහට නැවත වතාවක් පසඟ පිහිටුවා වැන්දේ, මෙතෙක් කලක් සැඟවූ රහසක් ද හෙළි කරමිනි. “භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිවැරැදියි. ඒ අය සැබෑ සිල්වතුන් පිරිසක් නොවේ. ඒ මගේ රාජධානියේ ඔත්තු බලන චරපුරුෂයන් පිරිසකි. ඔබ වහන්සේ සැබෑවම දකින කෙනෙකැ” යි රජතුමා බුදුරජාණන් වහන්සේට වඩාත් ප්‍රසාදයෙන් කථා කළේය.

මෙම කාරණයෙන් අප වඩාත් අවබෝධ කරගත යුත්තේ එදිනෙදා මඟ තොටේදී අපට හමුවන අය ගැන ක්ෂණික තීරණ නොගතයුතු බවයි. කෙනකු වටපිට නොබලා බිම බලාගන කථා කළ පමණින්, සංවරවූ ඉරියව් තිබූ පමණින් ඉක්මන් තීරණ නොගත යුතු බවයි. කෙනකු අඳින ඇඳුමෙන්, මතුපිට ස්වභාවයෙන් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ තීරණය කිරීමට ඉක්මන් නොවිය යුතුය. අසංවරව අඳින පළඳින කෙනකු තුළ සංවරව අඳින පළඳින අයකුට වඩා සිල්වත් ගුණවත් බවක් තිබිය හැකිය. ඒ තැනැත්තා උම්බලකඩ කෑල්ලක්වත් කටේ තියන්නේ නැති අහිංසකයකු යයි එක්වර තීරණය නොකළ යුතුය.

ගැහැනු ළමයකු දිහා කෙළින් නොබලන, සිගරැට්ටුවක් කටේ නොතබන, ගෙදරින් පිටතට තනියෙන් නොයන කෙනකු ගැන වුවත් ඉක්මන් තීරණ නොගත යුතුයි. කෙනකුගේ බුද්ධිමත්කම, සුසිල්වත්කම මැනිය හැක්කේ දුෂ්කර අවස්ථාවන්හිදී, ඒ තැනැත්තා හෝ තැනැත්තිය මුහුණ දෙන ආකාරයට අනුව බවද බුදුන් වහන්සේ කොසොල් රජතුමාට පැහැදිලි කළ සේක.

මේ පිළිබඳව තවත් පැහැදිලි කරන සූත්‍රයක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයෙහි හමුවේ. එහිදී අඹ වර්ග සතරක් පෙන්වා දෙති. ඒ මෙසේය.

* අමු පෙනුම ඇති අමු අඹ
* ඉදුණු පෙනුම ඇති අමු අඹ
* අමු පෙනුම ඇති ඉදුණු අඹ
* ඉදුණු පෙනුම ඇති ඉදුණු අඹ

ඉදුණු පෙනුම ඇති අමු අඹවලට බොහෝ දෙනා රැවටෙති. විලාට් වැනි අඹ රතු පැහැයට ඉදුණු බවක් පෙන්නුම් කරයි. එහෙත් ඒවා ඇතුළ ද නොමේරූ ඒවාය. බොහෝ අඹ වර්ග නොමේරූ එසේම නොමේරූ බවක් එකවරට හඳුනාගත හැකි ඒවාය. සමහරක් අඹ වර්ග ඇතුළතින් ඉදුණත් පිටතින් අමු බවක් පෙනෙයි. කර්ත කොලොම්බ වැනි අඹ එබඳු ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතැම් අඹ වර්ග ඇතුළත ඉඳුණු, පිටතින් ද එසේම පැහැදිලිව ඉදුණු බවක් දිස්වන ඒවාය.

මෙබඳු උපමා මඟින් පැහැදිලි කෙරෙන්නේ සමාජයේ ජීවත්වන අයගේ මතුපිට පෙනුමෙන් එක්වරට කලකිරීමට හෝ පැහැදීමට පත් නොවිය යුතු බවයි. සිහි කල්පනාවෙන් හා බුද්ධියෙන් ද ඉවසීමෙන් ද ක්‍රියා කොට සත්‍ය අවබෝධ කරගත යුතු බවයි. නිවන් අවබෝධ කරගත හැක්කේ ප්‍රඥාවන්තයන්ට පමණක් බව පැවසූයේ මේ නිසාය.