Print this Article


ලද දෙයින් සතුටුවීම මංගල කරුණකි

ලද දෙයින් සතුටුවීම මංගල කරුණකි

මංගල සූත්‍රයෙහි සඳහන් විසිහතර වැනි මංගල කරුණ වන්නේ “ සන්තුට්ඨි” නම් වූ ලද දෙයින් සතුටුවීම මංගල කරුණක් බවයි. මෙය ධර්මයෙහි “ යථාලාභ සන්තුට්ඨි” නමින් ද විස්තර කෙරේ. එමෙන්ම “ සන්තුට්ඨිතා” ගුණය ලෙස ද දක්වයි. මෙහි ලද දෙයින් සතුටුවීම යනුවෙන් අදහස් කරන්නේ දියුණුවීම පිණිස හෝ අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නට එපා නම් වූ අදහස නොවේ. ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් නුවණින් ද, උත්සාහයෙන් ද, නොපසුබස්නා වීර්යයෙන් ද යුතුව කටයුතු කළ යුතුය. එනමුත් එමගින් ලද ප්‍රතිඵලය හෝ ලැබූ දෙය පිළිබඳව දුකට හෝ චිත්ත පිඩාවකට පත් නොවී සිටිය යුතු බව මෙමගින් අදහස් කෙරේ.

අප මෙම සාකච්ඡාව ජීවිතයේ මුල පටන්ම ආරම්භ කරමු. එනම් උපතේ පටන්ය. අප සියලු දෙනා උපතේ දී ලබන දෙයක් ඇත. “උපධි සම්පත්තිය” නම් වූ මෙය රූප සම්පත්තිය යි. අපගේ පාට, පෙනුම, සෝභාව මෙමගින් අදහස් කෙරේ. එමෙන්ම අපට හමුවූ දෙමව්පියන්, ධනය ඇති නැති බව, සොහොයුරු සොහොයුරියන්, රට ආදී වශයෙනි. අප කළ යුත්තේ උපතින් ලද පෙනුම සහ පරිසරය සිතේ සතුටින් පිළිගෙන ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය පිළිබඳව වඩාත් සතුටට පත්වීමය. ස්වාමීන් වහන්සේ අනුශාසනා කරන දේ හරිද ? වැරදිද ? යයි ඔබම නුවණින් සිතා බලන්න. යම් කෙනෙකුට අප විසින් ගුණ යහපත් වූ හෝ “සීදේවි”, “රත්තරන්” මනුෂ්‍යයෙක් යනුවෙන් පවසන්නේ කුමක් නිසාද ? මුහුණ බලා පාට අනුවද ? එසේත් නැතිනම් හැඳ පැළඳගෙන සිටින වටිනා ඇඳුම් සහ ආභරණ ගැන සිතාද ? එම අයගේ දෙමාපියන්ගේ ධනවත් හෝ තනතුරු ගැන සිතා ද ? සත්‍ය ලෙසින්ම මේ කිසිවක් නිසා නොවේ. යම් අයෙක් ගැන ඉහත සඳහන් කළ ගුණ නාමයන්ගෙන් හඳුන්වන්නේ යහපත් වූ හැදියාව නිසාය. ඉන්ද්‍රිය සංවරය සහ එමගින් ඇතිවූ ගුණ යහපත් පැවැත්ම නිසාය. ඉතාම කෙටියෙන් සඳහන් කරන්නේ නම් “ මනුස්සකම නිසාය” මේ නිසා අප සියලු දෙනාම උපතින් ලද බාහිර පෙනුම පිළිබඳ දුකක් ඇතිකර නොගත යුතුය. අප උත්සාහයෙන් දියුණු කරගත යුත්තේ මිනිස්කම මතුකරන ගුණ ධර්මයි. කොපමණ බාහිර සෝභමාන පෙනුමක් තිබුණත් නපුරු ලෙස සිතන, කතා කරන සහ හැසිරෙන අයෙක් නම්, ඔහු හෝ ඇයට ලැබෙන නාමය නම් “ මහා නපුරු මනුස්සයෙක්” යන්නය. සුදු, කළු සහ දුඹුරු පාට ඇති ලෝකයේ සියලු මිනිසුන් අතර යහපත් සහ අයහපත් මනුෂ්‍ය දෙවර්ගයම සිටිති. මේ නිසා ලෝකයේ කවර නම් අයෙකුට වුවද උතුම්ම මනුෂ්‍ය රත්නයක් බවට පත්විය හැකිය. යම්විටෙක, උපතින් රෝගී තත්ත්වයක්, ඉන්ද්‍රියන්හි අසාමාන්‍ය ස්වභාවයක් හෝ සාමාන්‍ය පුද්ගලයකුගේ ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් වේ නම් ප්‍රතිකාර කිරීම වරදක් හෝ නොකළ යුතු යයි මින් අදහස් නොකෙරේ. දුප්පත් හෝ ධනවත් වුවද අප ලද දෙමව්පියන් කෙරේ ප්‍රීතිමත් වීම අවශ්‍යය. ඉන් අදහස් කළේ අපගේ දෙමව්පියන් දුප්පත්ය, නූගත්ය ආදී ලෙසින් සමාජ භේදයන් අනුව ගළපමින් දුක් නොවිය යුතු බවය. සමහර දරුවන් විසින් දෙමව්පියන් නිසා දුකට පත්වන අවස්ථා තිබේ. එනම් දුෂ්චරිතවත් මවක් හෝ පියෙක් තමන්ට උපතින් ලැබී ඇති අවස්ථාවක ය. සුරාවට හෝ සූදුවට ද සල්ලාල ජීවිතයකට ඇබ්බැහි වූ පියෙක් ඇති ගුණවත් දරුවන් මේ තත්ත්වයට පත්වෙනු ලැබේ. එවැනි අවස්ථාවක අවවාදයෙන් ද කල්‍යාණ මිත්‍ර ස්වභාවයෙන් ද නිවැරැදි මාර්ගයට ගැනීමට උත්සාහ ගන්න. එසේ නොමැති නම් තමාගේ ජීවිතය ගුණ යහපත් කමට පත්කර ගෙන සතුටින් ජීවත් වන්න. දෙමාපියන්ගෙන් එවැනි ගුණ දායාද කිසිවක් නොලද්දේ නමුත් තමා විසින් උත්සාහයෙන් සහ නුවණින් යුතුව කටයුතු කරමින් යහපත් මනුෂ්‍යයන් ලෙස ජීවත්වන අපමණ අය ලොව පුරා සිටිති. “ කසළ ගොඩක හටගෙන පිපුනත් මල විසිතුරු නම් සුවඳ හමන්නේ” නම් සියලු දෙනාම ඒ මලට ප්‍රිය බවක් දක්වති. එමෙන්ම සත්පුරුෂ ලෝකයා ගරු කරන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ චරිත ස්වභාවයට අනුව මිස පසුබිම ගැනම සිතාම නොවේ. ලද උතුම් මනුෂ්‍ය ජීවිතය ගැන සිතා වඩාත් සතුටු වෙන්න.

මීළඟට ධනය, වස්තු, ගේ දොර, තනතුරු, හැකියාවන් හෝ බාහිර සම්පත් පිළිබඳ ධර්මානුකූලව සිතා බලමු. ඔබට උපතින්ම ධනයක් හිමි වුවද, නො වූවද උත්සාහයෙන් ද නුවණින් ද කටයුතු කළ යුතුය. එසේ නොමැතිවුවත් උපතින් ලද ධනය වුවද විනාශවී යා හැකිය. ඔබට සැපවත් හෝ කරදරයක් නොමැති පහසු ජීවිතයක් ගතකිරීමට මිල මුදල් හෝ ධනයක් අවශ්‍යයය. මේ සඳහා මහන්සිවී ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්න. සිඟාලෝවාද සූත්‍රයෙහි පෙන්වා දෙන අයුරින් අලසකමින් අත්මිදීම අවශ්‍යය.

“දැන් ශීතලයි, ඉතා උෂ්ණයි, ඉතා සවස් යයි පවසමින් රැකියා හෝ කර්මාන්ත නොකරන අය වෙතින් ධනයෝ බැහැරව යති.” මෙසේ අලසකමින් තොරව උත්සාහයෙන් රැකියා හෝ ව්‍යාපාර කටයුතු ධර්මානුකූ®ලව සිදුකොට ලබන ලද ඵලයෙන් සතුටුවිය යුතුය. තමන්ට හැකි අයුරින් සහ නඩත්තු කළ හැකි අයුරින් සාදාගත් නිවස සෑහීමට පත්විය යුතුය. සමහරුන් තමන්ට දරාගත නොහැකි අයුරින් ණයකාරයන් බවට පත්වී අනවශ්‍ය ලෙස විශාල නිවෙස් ඉදිකිරීමට සහ යානවාහන ගැනීමට උත්සාහ කරති. අවසානයේ ණය පියවා ගැනීමට නොහැකිව නිරන්තර දුක් දොම්නස්වලින් පිරුනු සිතකින් යුතුව කාලය ගත කරති. පවුල් ජීවිතයේ අඬදබර ඇතිකර ගනිති. මීළගට ආතතිය ආදී ලෙඩ දුක්වලට පත්ව ජීවිතය ද පවුල ද එකම දුක් ගොඩක් බවට පත්කර ගනිති. ණය කාරයෙක් වී කාමර හත අටක නිවසක් සාදාගෙන එක කාමරයකවත් සතුටින් නිදාගෙන සිටින්නට නොහැකි නම් එම නිවසෙහි ඇති තේරුම කුමක් ද ? හැකි අයුරින්, තමාට නඩත්තු කළ හැකි අයුරින් පවුලට සෑහෙන පරිදි කාමරයක් හෝ දෙකක් නමුත් චාම්ව සාදාගෙන සතුටින් සිටීම වඩා අගනා නොවේදැයි ඔබම සිතා බලන්න.

නිරන්තරයෙන් ආදායම සහ වියදම ගැන සැළකිලිමත් වීම අවශ්‍යය. අනවශ්‍ය ලෙස ඇඳුම් පැළඳුම්වලට සහ බඩුමුට්ටුවලට වියදම් කිරීම නිසා බොහෝ කෙනෙක් අමාරුවේ වැටී සිටිති. මෙය වර්තමාන පරිසරයේ තරගයකි. අනෙක් අයට වඩා පෙනී සිටීමට ද ගේ දොර ඉදිකර ගැනීමට ද ඇඳුම් මිලදී ගැනීමට ද බඩු රැස් කර ගැනීමට විශාල තරගයක බොහොමයක් දෙනා යෙදී සිටිති. ඔබගේ සිතට ඔබම එබී බලන්නට පුරුදුවීම අවශ්‍යය. මෙම පෘථග්ජන සිත, යහපත හා අයහපත ගැන සිතා පාලනය නොකරන්නේ නම් කිසිදා දිනෙක සතුටු කිරීමට නොහැකිවනු ඇත. මහා සාගරයට ජලය කොපමණ ගලාගෙන පැමිණියත් සෑහීමකට පත් නොවන්නා සේම ගින්දරට කොපමණ දර දැමූවත් සෑහීමක් නොවන්නාසේම අභාවිත හෝ පාලනයක් නැති සිතට කොපමණ අරමුණු ලබා දුන්නත් සෑහීමකට සතුටකට පත්වන්නේ නැත.

“නත්ථි තණ්හා නදී සමා “ ලෙස පැවසූ අයුරින් තෘෂ්ණාව තරම් ගලනා ගංගාවක් තවත් නැත. අධික බලාපොරොත්තු, අධික ආශාව, නොතිත් ආශාව, ආදි මානසික පීඩාවෝ ලද පමණින් සතුටු නොවීමේ විපාකයන් ය. මෙයම පසුතැවීම, කෝපය, ශෝකය සහ විනාශයට ද හේතුවිය හැකිය. ‘ මහිච්ඡතා’ නම් වූ කොපමණ ලැබූවත් සෑහීමක් නැති දුර්ගුණයේ අභාග්‍යසම්පන්න ප්‍රතිඵල ඔබත් අවබෝධ කරගන්න. බුදුසමිඳුන් දෙසූ දහමකින් ඔබ මනස සුවපත් කරගන්නට ආරාධනා කරමි.

අතීතං නානු සෝචෙන්ති
නප්ප ජප්පන්ති නාගතං
පච්චුප්ථන්නේන යාපෙන්ති
තේන වණ්ණේ පසීදති

“අතීතය ගැන සිතා ශෝක නොකරන්න. අනාගතය ගැන මෙනෙහි කරමින් ප්‍රාර්ථනා පොදි බැඳගෙන ශෝක නොකරන්න. වර්තමානයෙහි සතුටින් ජීවත් වන්න. ඔබ නීරෝගී වේවි, ඔබ ප්‍රසන්න අයෙක් බවට පත්වේවි.”

උතුම් තුණුරුවන් සරණයි, ධර්මාවබෝධයම වේවා