Print this Article


බුදු හිමියන් දෙවැනිවර ලක්දිව වැඩි බක් පොහොය

බුදු හිමියන් දෙවැනිවර ලක්දිව වැඩි බක් පොහොය

රණ ගී හඬින් මුළු සටන් භූමියම ගිඟුම් දෙමින් පැවැති උද්වේගකර මොහොතෙහි සේනාවන් මධ්‍යයට අප තථාගත මහා කාරුණිකයාණන් වහන්සේ වැඩම කළ සේක. උන්වහන්සේ අහසෙහි වැඩ සිට මහා ඝන අඳුරක් මවා ලූ සේක. නාගයන් ඉන් බියපත්ව අවි බිම දමා සිටි කල්හි ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දකින්නට සැලැස් වූහ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන්, අසූවක් අනුබ්‍යඤ්ජන ලක්‍ෂණයෙන් සමන්විත අසිරිමත් බුදුසිරුරත්, උන්වහන්සේගේ අපරිමිත කරුණාබර දෙනෙතත්, මෙත් මුදිතා ගුණ සපිරි මුව කමලත් දුටු ඔවුහු මහත් පැහැදීමට පත් වූහ.

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට ලංකාදීපයට වැඩම කළේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ බක් පුර පසළොස්වක පොහොය දිනකයි. එනිසා බක් මාසය ලංකාවාසී බෞද්ධ ජනතාවට අතිශය වැදගත් මාසයකි. එසේම බක් පොහොය භාග්‍යවත් පොහොයක් වශයෙන් ද සැලකිය හැකිය. සිංහල ගොවියා අස්වනු කපා, අටු කොටු පුරවා සතුටින් සොම්නසින් අලුත් අවුරුද්ද සැමරීමටත්, අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමටත් ලහි ලහියේ සූදානම් වන්නේ බක් මාසයේ ය. ගස් වැල් මල් පලවලින් බරව පරිසරයම සුවඳවත් වන අතර කෝකිලයන්ගේ සුමිහිරි ගීත නදින් සවන් පිනා යන්නේ ද බක් මාසයේ ය. එබැවින් බක් පොහොය ආගමික වශයෙන් මෙන්ම, සංස්කෘතිකමය වශයෙන් ද වැදගත් පොහොයක් ලෙස සැලකීමෙහි වරදක් නැත.

බුදුරජාණන් වහන්සේ දෙවන වර ලක්දිවට වැඩම කළේ ලක්දිව උතුරුකරයේ පිහිටි නාගදීපය වෙතය. එකල මෙම ප්‍රදේශයේ වාසය කළේ ‘නාග‘ ගෝත්‍රිකයන් බව ඉතිහාසයෙහි සඳහන් වේ. බුදු හිමියන් ප්‍රථම වරට ලක්දිවට වඩින විටත් යක්ෂ, නාග ගෝත්‍රිකයන් සිටි බවට ඓතිහාසික සාධක ඇත. යක්‍ෂ, නාග ගෝත්‍රිකයන් සමඟ බුදුරජාණන් වහන්සේ සබඳතා පැවැත් වූ බවට ද සාධක දැක්විය හැකි ය. උන්වහන්සේ දෙවැනි වතාවට ලංකාවට වඩින විට ලක්දිව යක්ෂ, නාග, දේව යන ගෝත්‍ර තුනට අයත් ජනතාව වාසය කළහ. එයින් යක්‍ෂ ගෝත්‍රිකයෝ මහියංගන ප්‍රදේශයේත්, දේව ගෝත්‍රිකයෝ මධ්‍යම කඳුකරයේත්, නාග ගෝත්‍රිකයෝ උතුරු, දකුණු සහ වයඹ ප්‍රදේශවලත් බලය තහවුරු කරගෙන විසූහ. උතුරෙහි විසූ නාගයෝ සැදැහැවත් බෞද්ධ පිරිසක් වූහ. ‘බෝධිවංසය’ වැනි වංස කතාවන්හි සඳහන් පරිදි සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී ලංකාවට ශ්‍රී මහා බෝධිය රැගෙන නැව් මඟින් පැමිණෙන අතර නාගයින්ගේ ඇවිටිලි මත නා ලොවට රැගෙන ගොස් සතියක් තිස්සේ පුද පූජා පැවැත් වූ බව ප්‍රසිද්ධ කරුණකි.

බුදුන් වහන්සේ දෙවැනි වතාවට ලක්දිවට වඩින විට උතුරෙහි නාගදීපයෙහි විසු නාග ගෝත්‍රිකයන්ගේ රජු වූයේ චූලෝදර නම් නරපතියාය. ඔහු සහ මහෝදර නම් නා රජු අතර මැණික් පුටුවක අයිතිය අරභයා සටනක් හටගැනීමේ සූදානමක් විය. මොවුන් දෙදෙනා පිටස්තරයන් නොවුණි. චූලෝදර, මහෝදරගේ සොයුරියගේ පුතා විය. එබැවින් මොවුන් නෑකමින් මාමා සහ බෑණා වශයෙන් සැලකිය හැකිය. දෙදෙනාම ඉතා බලවත් වූහ. සටනෙහි දක්‍ෂයෝ වූහ. මොවුන් දෙදෙනාම මැණික් පුටුව තම තමනට අයත්යැයි වහසි බස් කියවමින් සටනට සූදානම් වූහ. දුනු හී තෝමර ඇතුළු අවි අමෝරා ගෙන දෙදෙනාගේම සේනාවෝ යුද වැදීමට නොඉවසිල්ලෙන් බලා සිටිති. මෙම සටන ඇවිළීමට නියමිතව තිබුණේ ‘බක්’ අව පසළොස්වක දිනයේ ය.

මෙදින අලුයම කරුණා නෙතින් ලොව බැලූ බුදු හිමියන්ට ලක්දිව නාගයන්ගේ මෙම සංග්‍රාම සූදානම පෙනුණි. ඇවිලෙන සටන නිසා වැගිරෙන මහා රුධිර ගංගාව වැළැක්වීම අවශ්‍යයෙන්ම කළයුතු බව තීරණය කළ මහා කාරුණිකයන් වහන්සේ, සෘද්ධි බලයෙන් අහස් කුසින් නාගදීපයට වැඩම කළ සේක. බුදුන් වහන්සේ මේ ගමනට සමිද්ධි සුමන නම් දිව්‍ය රාජයා ද කැඳ වූ සේක. දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි මේ දිව්‍යරාජයා තමාගේ වාස භවනය වූ වෘක්‍ෂය, උදුරාගෙන තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්වාගෙන නාගදීපයට පැමිණියේ ය. බුද්ධ ඓශ්චර්යයෙන් දෙවැනි වතාවටත් මෙම පුණ්‍යභූමිය පවිත්‍ර වූ සුවිශේෂ ප්‍රවෘත්තිය මහාවංසය, දීපවංසය, පූජාවලිය, සද්ධර්මාලංකාරය, රසවාහිනිය සහ ධාතුවංසය වැනි සාහිත්‍ය සහ ඉතිහාස ග්‍රන්ථවල විස්තර කර ඇත. දෙපස සේනාවෝ අවි අමෝරාගෙන සිටිති. ඒ අතර ඔවුනොවුන් වහසි බස් දොඩති. දිළිසෙන මුවහත් අවි ලෙළවති. රණ ගී මෙන්ම ඔල්වරසන් හඬින් මුළු සටන් භූමියම ගිඟුම් දෙමින් පැවැති උද්වේගකර මොහොතෙහි සේනාවන් මධ්‍යයට අප තථාගත මහා කාරුණිකයාණන් වහන්සේ වැඩම කළ සේක. උන්වහන්සේ අහසෙහි වැඩ සිට මහාඝන අඳුරක් මවා ලූ සේක. නාගයන් ඉන් බියපත්ව අවි බිම දමා සිටි කල්හි ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දකින්නට සැලැස් වූහ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන්, අසූවක් අනුබ්‍යඤ්ජන ලක්‍ෂණයෙන් සමන්විත අසිරිමත් බුදුසිරුරත්, උන්වහන්සේගේ අපරිමිත කරුණාබර දෙනෙතත්, මෙත් මුදිතා ගුණ සපිරි මුව කමලත් දුටු ඔවුහු මහත් පැහැදීමට පත් වූහ.

යුද වැදීමට සූදානම්ව සිටි නාග සේනාවන් පිරිවරා ගත් බුදුහිමියෝ ඔවුනට යුද්ධයේ ඇති නිස්සාරත්වය මොනවට පසක් කරමින් දහම් දෙසූ සේක. යුද්ධයේ ආදීනව මෙන්ම, සාමයේ වැදගත් කමත් පෙන්වා දෙමින් චන්දන ජාතකය, කාකෝලුක ජාතකය, වට්ටක ජාතකය සහ ලටුකික ජාතකය වැනි දේශනා පවත්වා වෛරයේ දෝෂ දැක්වූ සේක. සමඟියේ උතුම් බව පෙන්වා, කෝප ගින්නෙන් ඇවිළී ගත් නාග සේනාවන්ගේ හදවත් මෙත් සිසිලෙන් සිසිල් කළ සේක. මැණික් පුටුවකට වඩා මිනිස් ජීවිතයක අගය පෙන්වා දෙමින් දේශනා කරන ලද දහම් ඇසීමෙන් නිවී සැනසී ගිය චූලෝදර, මහෝදර නා රජවරුන් සටන් වැදීමට තුඩුදුන් මැණික් පුටුව බුදු හිමියන්ට පූජා කළ අතර එහි වැඩහුන් බුදු හිමියෝ දිව බොජුන් වළඳා අවසන කෝටි සංඛ්‍යාත නාග ජනතාව තිසරණයෙහි පිහිටුවාලු සේක.

මෙදින සිදුවීමට නියමිතව තිබූ සටනට උදව් පිණිස පැමිණ සිටි මහෝදර නා රජුගේ මාමණ්ඩිය වූ කැලණියේ විසූ මණි අක්ඛිත නා රජු බුදු හිමියන් දෙසූ දහම් අසා බලවත් පැහැදීමට පත්ව, තම රාජ්‍යය වන කැලණියට වඩින ලෙස උන්වහන්සේට ඇරැයුම් කළේ ය. (එම ඇරැයුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් පසු කාලයෙහි බුදුහිමියන් ලක්දිව සොළොස්මස්ථානයට වැඩමවා තෙවැනි වතාවටත් මෙම භූමිය ශ්‍රී පාද ස්පර්ශයෙන් පවිත්‍ර කළ සේක.)

මැණික් පුටුව පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් නාගයන්ට වැඳුම් පිදුම් කරනු පිණිස පවරා දී ආපසු දෙව්රම් විහාරයටම වැඩම කළ සේක. බුදුහිමියන් පරිභෝග කළ වස්තුව මහත් පූජනීයත්වයෙන් සැලකූ රජවරු එය නිධන් කර චෛත්‍යයක් ඉදි කළහ. එය ‘රාජායතන’ නම් විය. පසු කාලයේ ඉන්දියාවේ ශෛලේන්ද්‍ර රජු මෙන්ම ලංකාවේ භාතිය, අග්බෝ වැනි රජවරු ද මෙම චෛත්‍ය පරිශ්‍රයෙහි විවිධ නවකම් කරවූහ. මෙම අති පූජනීය චෛත්‍ය රාජයාණන් පිහිටි ප්‍රදේශය පුරාණ වංස කතාවල නාගදීපය වශයෙන් සැලකෙයි. මෑතකදී හමුවූ ක්‍රි.ව. දෙවැනි සියවසට අයත් වල්ලිපුරම් රන් සන්නසට අනුව ‘නකදිව‘ වශයෙන් ද ටොලමිගේ සිතියමට අනුව ‘නගදීබ’ වශයෙන් ද සද්ධම්මාලංකාරයට අනුව ‘මණිනක්දිව‘ වශයෙන් ද රසවාහිනියට අනුව ‘මණිනාග දිවයින’ වශයෙන් ද විදේශිකයන් විසින් ‘නාගපට්නම්’ වශයෙන් ද හඳුන්වන ලද නාගදීපය සම්බුදු පහසින් පරම පවිත්‍රත්වයට පත් වූයේ බක් මාසයේ දී ය.

යුද බිය දුරු කොට, ලේ වැගිරීම් නවතා, ලක්වැසි ජනතාව සදහම් ආලෝකයෙන් ආලෝකවත් කළ මෙම පින් බර බක් මාසයේ සකල ලක් වැසි බෞද්ධ, අබෞද්ධ ජනතාව ඔවුනොවුන් කෙරෙහි යම් අවිශ්වාසයක් ඇත්නම් එයද දුරු කොට මෙත් සිත පැතිරවීමට ඉටා ගත යුතු ය. වෛරය, ක්‍රෝධය, ඉවතලා, එකිනෙකා කෙරෙහි කරුණාව උපදවාගෙන ජීවිත සදහම් එළියෙන් ආලෝකවත් කර ගැනීමට කටයුතු කිරීම අවැසි වෙයි.