Print this Article


ශීලය යනු කුමක් ද ?

ශීලය යනු කුමක් ද ?

මනා නුවණැත්තා ශීලයෙහි පිහිටයි. ශීලයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩයි. ශීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන ශීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. මල් සුවඳ උඩු සුළඟට නො හමයි. සත් ගුණවතුන් ගේ සිල් සුවඳ උඩු සුළඟේ පවා හමයි. ශීලය තුළ ප්‍රධාන වශයෙන්ම පාපයට හා ලජ්ජාවට බිය පවතියි. ශීල ධනං, ශීලය ධනයකි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේ ද එය ශීල ධනයයි. සිල් සුවඳ සැම සුවඳකටම වඩා උතුම්. සඳුන් සුවඳ, මල් සුවඳ ආදී දෑ අතුරෙන් සිල් සුවඳ ඉතා අගනේය.

ශික්‍ෂා පද සමාදන්වීමේ දී උපදින චිත්ත චෛතසික ධර්මයන් තැන්පත් සන්සුන් ස්වභාවයෙන් යුක්ත වන හෙයිනුත්, සමාධි ප්‍රඥා යන කුසල ධර්මයන්ගේ පිහිටීමට ආධාර වන ස්වභාවයෙන් යුක්ත වන හෙයිනුත්, සමාධි ප්‍රඥා යන කුසල ධර්මයන්ගේ පිහිටීමට ආධාර වන ස්වභාවයෙන් යුක්ත වන හෙයිනුත්, ශීල නම් වෙයි.

බුදුරජාණන් වහන්සේ ශීලය යනු කුමක්දැ යි ඉතා පැහැදිලිව දේශනා කළහ. එම කරුණු කිහිපයක් කෙටියෙන් මෙසේ දැක්විය හැක.

ශීලය යනු හික්මීමයි. සංවරයට පත් කිරීමයි.
ශීලයේ පිහිටීම ප්‍රශ්න නිරාකරණයට මාර්ගය යි.
සීලේ පතිට්ඨා ය නරෝ සපඤ්ඤෝ

මනා නුවණැත්තා ශීලයෙහි පිහිටයි. ශීලයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩයි. ශීලය ඇති තැන ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇති තැන ශීලය ඇත. සිල්වතාට නුවණ ඇත. නුවණැත්තාට සිල් ඇත. මල් සුවඳ උඩු සුළඟට නො හමයි. සත් ගුණවතුන් ගේ සිල් සුවඳ උඩු සුළඟේ පවා හමයි. ශීලය තුළ ප්‍රධාන වශයෙන්ම පාපයට හා ලජ්ජාවට බිය පවතියි. ශීල ධනං, ශීලය ධනයකි. සතුන් මැරීමෙන්, සොරකමින්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, මුසාවාදයෙන්, රහමෙර පානයෙන් වෙන්වූයේ වේ ද එය ශීල ධනයයි. සිල් සුවඳ සැම සුවඳකටම වඩා උතුම්. සඳුන් සුවඳ, මල් සුවඳ ආදී දෑ අතුරෙන් සිල් සුවඳ ඉතා අගනේය. සිල් සුවඳ දෙව්ලොව පවා පැතිරෙයි. ( ධම්ම පදය පුප්ඵ වග්ගය, 12, 13 ගාථා බලන්න ) සිල් රැකීමට කාලයක්, දිනයක්, වයස් භේදයක් නැත. ගිහියා ගේ නිත්‍ය ශීලය පංච ශීලයයි. තමන් සිල්වත් යැයි ලොවට හැඟවීම කුහක පිළිවෙතකි.

කාය වාචානං සමෝධානං ශීලං

කය වචන දෙකෙහි සංවර බව ශීලයයි. සිල්වත්කම සිතෙහි ඇතිවන කෙලෙස් දැවිලි සංසිඳුවා සීතල කරන හෙයින් ශීලය යැයි කියනු ලැබේ.

ශීලය දෙවදෑරුම්ය.

1. චාරිත්‍ර ශීලය
2. වාරිත්‍ර ශීලය

චාරිත්‍ර ශීලය
චාරිත්‍ර යනු හැසිරීමයි. ගුරුවරුන්ට, දෙමාපියන්ට මෙන්ම දාගැබ්, බෝධි ආදියට සැලකීම සහ වත් සම්පන්න වීම චාරිත්‍ර නම් වෙයි.

වාරිත්‍ර ශීලය
වරදින් වැළකීම වාරිත්‍ර නම් වෙයි. වාරිත්‍රයෙන් තොරවූ විට චාරිත්‍රයක් නැත. සැලකිය යුතු අය, නො සැලකිය යුතු අය, තැන නොතැන නොදැන හිතුවක්කාරි ලෙස හැසිරෙන අය තුළ චාරිත්‍රයක් නැත.

වරදින් වැළකීමට නම්, සිත කීකරු කරගත යුතුය. පළමුව හොඳ සිරිත් පුරුදු කර ගෙන ශීලාචාර විය යුතුය. එවිට ප්‍රාණඝාතාදියෙන් වැළකී චාරිත්‍ර සම්පන්න සිල්වතෙකු වීමට පුළුවන. චාරිත්‍ර වාරිත්‍රාදී වශයෙන් ශීලයෙහි නොයෙක් ප්‍රභේද ඇත. ඒ ශික්‍ෂාපද සංඛ්‍යාව වශයෙන් සහ අංග වශයෙනි.

ශීලයෙහි ප්‍රභේද

1. පංච ශීලය
2. අෂ්ඨාංග ශීලය
3. බ්‍රහ්මචරියා පංචමක ශීලය
4. ඒක භක්තික ෂට්ක ශීලය
5. ආජීවාෂ්ටමක ශීලය
6. දශ ශීලය
7. සාමණේර ශීලය
8. උපසම්පදා ශීලය යනුවෙනි.

පංච ශීලය
ඉතා අඩු ශික්‍ෂාපද සංඛ්‍යාවක් ඇත්තේ පංච ශීලයටය. පංච ශීලය උතුරුකුරු දිවයින් වැසියන්ගේ ස්වභාවයෙන්ම පවතින ශීලයයි. එබැවින් එය ප්‍රකෘති ශීලය නමින් හැඳීන්වෙයි. තෙරුවන් සරණ ගිය කෙනෙකු විසින් පිහිටිය යුතු පළමු ශීලය මෙයයි. පංච ශීලය ගිහියන් විසින් ආරක්‍ෂා කරගත යුතු උතුම් වූ ශීලයයි. එය ගිහියාට නිත්‍ය ශීලයකි. එසේම සමාජ ධර්මයකි.

අට සිල්
පංච ශීලයට අමතරව පොහොය දිනවල රැකිය යුතු අධි ශීලයකි. අටසිල් සමාදන් වූ අය එය තිස් පැයකට හෝ හැට පැයකට සීමා කර ගනිති. එම සිල් සමාදන් වූ කාලය තුළ වතාවත් වලින්, භාවනාවෙන්, ධර්ම ශ්‍රවණයෙන් සහ ධර්ම සාකච්ඡාවලින් ද යුක්තව කල් ගෙවිය යුතුය. අටසිල් මෙලෝ වශයෙන් බොහෝ ප්‍රයෝජනවත් වූ ශීලයකි. විවිධ කම්කටොලු වලින් යුත් අයට සිල් සමාදන් වූ කාලය තුළදී එක් වේලක් වළඳා විවේකීව පිරිසුදු අදහසින් චිත්තප්‍රීතියෙන් කල් ගෙවීම නිරෝගිතාවයට ද හේතු වෙයි. ශීලයෙන් සිත පිරිසුදු කර ගැනීම සසර පුරුද්දට ගොස් නිර්වාණ සම්පත්තිය ලැබීමට ද හේතු වේ.

විශේෂයෙන් බොහෝ අය උපෝසථ ශීලය නොහොත් අෂ්ටාංග ශීලය සමාදන් වන්නේ පොහොය දිනවලදී පමණි.

1. පාණාතිපාති වේරමණී සික්ඛා පදං සමාදියාමි.

2. අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

3. අබ්‍රහ්ම චරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

4. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

5. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

6. විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

7. නච්ච ගීත, වාදිත, විසූක දස්සන, මාලා ගන්ධ, විලේපන ධාරණ මණ්ඩන, විභූසනට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

8. උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

තේරුම

1. මම පර පණ නැසීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි.

2. මම නොදුන් දේ ගැනීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි.

3. මම සප්තවිධ මෛථුනයෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.

4. මම බොරු කීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි.

5. මම සුරා පානයෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.

6. මම විකාල භෝජනයෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි.

7. මම නැටුම්, ගැයුම්, වැයුම් විසුළු දැකුම් සහ මල් සුවඳ විලවුන් දැරීම, සැරසීම, අලංකාරවිම ආදියෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි.

8. මම උස් අසුන්, මහ අසුන් පරිහරණය කිරීම වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.

පරිසරය
සිල් සමාදන් වීමට සුදුසුම ස්ථානය විහාරස්ථානයයි. ඒ සඳහා තම නිවසට නුදුරු ගමේ විහාරස්ථානය මේ සඳහා සුදුසුය. එසේ නොමැති නම් තම නිවසින් පිට සුදුසු තැනක් තෝරා ගැනීමට පුළුවන.

සිල් සමාදන් වීම
ස්වාමීන් වහන්සේ නමක මගින් සිල් ලබා ගැනීමට පුළුවන. සිල් පද සමාදන් වූ විට දැන් ශීලයෙහි පිහිටා ඇත.

ඊළඟට සිත සමාධි ගතකර ගැනීමට උනන්දු විය යුතුය. සමාධිය යනු සිතෙහි ඇති කරගන්නා එකඟ බවයි. ධ්‍යානලාභීන් සමාධිගත වීමෙන් සිතෙහි එකඟ භාවයක් ඇති කර ගනී. එය සිතෙහි ඇතිවන නිශ්චල තාවයයි. සිත සමාධිගත වීමෙන් ප්‍රඥාව වැඩේ.

සිල් ආරක්‍ෂා කර ගැනීම
පන්සිල්වල දී මෙන් නොව අට සිල් සඳහා ශික්‍ෂා පද අටක් ආරක්‍ෂා කර ගත යුතුය. මෙම ශීලය ආරක්‍ෂා කර ගැනීමට සිල් පදවල අදහස මෙන්ම ඒවායේ ඵල විපාක ද හඳුනා ගැනීම වැදගත් වෙයි. පංච ශීලයෙහි දැක්වෙන පළමු ශික්‍ෂාපදය අටසිල්වලට ද පළමු වැන්නයි. පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් එය දැක්වෙයි.

ප්‍රාණඝාතය
ප්‍රාණඝාතය යන්නෙන් පර පණ නැසීම පමණක් නොව තමාගේ පණ නැසීමත් යන දෙකම අදහස් කෙරේ. සතෙකුගේ ප්‍රාණය නැති කිරීමෙන් ඔහු මතු භවයක ඉපදුන විට ආයුෂ කෙටිවේ. දුගී දුප්පත් වේ. ප්‍රාණඝාත කරන අයගේ ජීවිතය සතෙකුගේ පහරදීම ආදියෙන් කෙළවර වෙයි. සත්ත්ව ඝාතනයෙන් වැළකී සිටින අයගේ සිත් තුළ කරුණාව මෛත්‍රිය වැඩේ. ඒ නිසා බොහෝ අය අතර ප්‍රිය මනාප වෙයි. සතුන්ගෙන් හිරිහැර නොපැමිණේ. මතු උපදින ආත්මවල පිරිපුන් දේහයක් ඇති වේ, නිරෝගි වේ, දීර්ඝායුෂ ලබයි.

අදින්නාදානා
අන් සතු දෙය පැහැර ගැනීම අදින්නාදානය යි. නුදුන් දෙය ගැනීමයි. සොරකමයි, සොරකම නින්දාවකි. අනෙක් අය පිළිකුල් කරති. නීතියෙන් ද දඬුවම් ලැබේ. ණයට ගෙන ණය පැහැර හැරීම, අමතක කොට සිටීම, කිරුම් මිනුම්වලින් වංචා කිරීම, රජයේ දෙය, සඟ සතු දෙය, පොදු ජන දෙය යන අදහසින් වෙනත් මුවාවකින් කරන දෙය ද සොරකමට අයිතිය. සොරකම් කරන අය සතර අපායේ උපදිති. උපන් ජාතියෙහි දුප්පත් වේ.

අබ්‍රහ්මචර්යා
සප්තවිධ මෛථුනයෙන් වැළකීම අබ්‍රහ්ම චර්යාවයි. මෙය බ්‍රහ්මයන්ගේ හැසිරීමයි. සිල් සමාදන් වූවෝ එම බ්‍රහ්මයන් රකින බ්‍රහ්ම චර්යාවෙහි යෙදිය යුතුය. එය උතුම්ම ශීලයයි.

මුසාවාදා
මුසා යනු මුලාවයි. සත්‍යය සඟවා අනුන් රවටනා බස් කීම මුසාවාදය යි. මුසාවාදය මහා සාවද්‍ය ද අල්ප සාවද්‍ය ද වේ. මුසාවාදය සමඟ ඇතිවන තව වැරදි තුනකි.

1. පිසුණාවාචා - කේලාම් කීම යනුවෙන් ද හැඳින්වෙයි. පිළුණු වදන් යයි කීමට ද පුළුවන.

2. ඵරුසා වාචා - අනුන්ගේ සිත් රිදවන අමිහිරි වදන් කීමයි.

3. සම්පප්ප්‍රලාප – හිස් වදන් කීමය. දෙලොවටම වැඩ නැති වචන ප්‍රකාශය යි.

සිල් සමාදන් වන අය මෙම සියලු ප්‍රකාශවලින් වැළකී සිටිය යුත්තෝ වෙති.

සුරාමේරය
මත්වන, සිහි විකල්වන දියර, කුඩු, දුම් ආදිය ගැනීමෙන් වැළකීම මෙම ශික්‍ෂා පදයෙන් දැක්වෙයි. මත් දේ ගැනීමෙන් අනුන් සමඟ කෝලාහල ඇතිවීමට හේතුවේ. ධනය හානිවේ. සිල් සමාදන් වූ අය සෙසු ජනයා මෙම පාප කර්මයෙන් මුදා ගැනීමට කටයුතු කළ යුතුය.

විකාල භෝජනා
නො කල්හි ආහාර ගැනීමෙන් වැළකීමයි. පෙරවරු කාලයෙන් පසු කාලය විකාලය යි. අතීතයේ සිට තපස් සහ ශ්‍රමණ අය ඉර හැරීමෙන් පසු ආහාර ගැනීමෙන් වැළකී සිටියහ. මෙය ශරීරය සැහැල්ලුව තබා ගැනීමට උපකාර වේ. සිල් සමාදන් වූවන්ට හොඳින් භාවනා කටයුතුවල යෙදීමට පුළුවන.

නච්ච ගීත වාදිත
නැටුම්, ගැයුම්, වැයුම්, විසුළු දසුන්, සහ මල්, ගඳ විලවුන් දැරීම, සැරසීම, අලංකාරවීමෙන් වැළකීම ශ්‍රමණ පිළිවෙතය. සිල් සමාදන් වන ගිහියා දවසකට හෝ ගිහි ගෙයින් ඈත්වූ කෙනෙකු බැවින් මෙයින් වැළකී සිටිය යුතුය. මෙය ආශාවක් මැඬ පැවැත්වීමටත්, ඉන්ද්‍රිය සංවරයටත් උපකාර වේ.

උච්චා සයන මහා සයනා
උස් වූ ආසන සැප ඇති ආසන පරිහරණයෙන් වැළකී සිටීමයි. මෙය සැපවත් දෙයින් වැළකීමට සිටීමට හුරු කිරීමකි. සිල්වත් අයගේ නිහතමානී භාවයට සහ කාය සංවරයට මෙය හේතුවේ.

සීලයෙහි අනුසස්
සිල් සමාදන් වූ අය එම කාලය තුළදී මෙම ශික්‍ෂා පද අට ආරක්‍ෂා කරගෙන සිටීම උතුම් වූ පින්කමකි. ශීලයෙහි තිබෙන විශේෂ ආනිශංසය විපිළිසර නොවීමයි. එයට අමතරව අනුසස් පහක් ද ඇත. ඒවා නම්,

1. සිල්වත් අය අනවශ්‍ය වියදම් නොකරන නිසා පොහොසත් වේ. මහත් වූ සැප සම්පත් ලබයි.
2. කීර්තිමත් කෙනෙකු වෙයි.
3. රජ බමුණු ආදී පිරිස් මැද වුවද විශාරදව නොපැකිලව ගමන් කරයි. නිර්භීත කෙනෙකු වේ.
4. මුලා නොවී කලුරිය කරයි.
5. මරණින් මතු සුගතියක උපදියි.

දෝෂ
1. මහත් වූ භෝග විනාශ වෙයි
2. කීර්තිය විනාශ වෙයි.
3. නිතරම මුළු ගැන්වෙයි.
4. සිහි මුලාව මිය යයි.
5. මරණින් මතු දුකට පත් වෙයි.

ශීලයෙහි පිහිටනු යේ සමථ විපස්සනා වැඩීමට මුලින්ම කටයුතු පූර්වෝපාය වශයෙන් බව සිතාගත යුතුය. සියලු ගුණධර්මයන්ගේ හටගැනීමට ශීලය භූ®මියයි. එබැවින් ශීල භූ®මිය සම්පාදනය කොට ඉන් මත්තෙහි සමථ විපස්සනාදී ගුණධර්ම වැඩීමට අප්‍රමාද විය යුතුයි.