Print this Article


විමාන වත්ථු කථා පුවත් 08

විමාන වත්ථු කථා පුවත් 08

තෘතිය නාවුකා විමාන වත්ථුව

ජීවිත පරිත්‍යාගයෙන් බුදුරජාණන් වහන්සේට පැන් පූජා කර දිව්‍ය සම්පත් ලත් දෙවඟන

දඹදිව කොසොල් ජනපදයෙහි ‘ථූණා’ නම් ගමක් වෙයි. එක් සමයක දී අප බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝයා පිරිවරා ගෙන ඒ ගමට වැඩම කිරීම සඳහා මඟට පිළිපන්හ.

ථූණා නම් ගමෙහි ගම් දෙටු බ්‍රාහ්මණයා මිථ්‍යා දෘෂ්ටි ගත්තෙකි. ඔහු තෙරුවන් ගුණ නොසලකයි. ඊට ගර්හා කරයි. තෙරුවන් පුදන්නවුන්ට පවා බාධා පමුණුවයි. බුදුරදුන් තම ගමට පැමිණෙන බව ඇසූ බමුණා බෙහෙවින් කලබලයට පත්විය. ‘බුදුරදුන් මේ ගමට පැමිණ දින කීපයක් නතර වුවහොත් ගම්වැසියන් උන්වහන්සේ කෙරහි පැහැද රත්නත්‍රය සරණ යනු ඇත. එසේ වුවහොත් බ්‍රාහ්මණ ධර්මය පරිහානියට පත් වේ. ලාභ ප්‍රයෝජන ද අහිමි වී යයි. එම නිසා බුදුරදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ගමෙහි රැඳී සිටීම අපහසු වන අන්දමින් නොපමාව ම කටයුතු සම්පාදනය කළ යුතු ය. ‘එසේ සිතූ බමුණා ආගන්තුකයන්ට ගමෙහි රැඳී සිටිය නොහැකි වන පරිද්දෙන් කටයුතු සම්පාදනය කිරීමට යුහුසුළු විය.

පානීය ජලය ලබා ගත හැකි සියලු මාර්ග ඇහිරුණි. මාර්ගවල යා නො හැකි අන්දමින් බාධක ඉදිවිණි. ජලාශවලින් එතෙර වීමට ඉදිකර තිබුණු පාලම් ආදිය කඩා බිඳ දැමිණි. ජල යාත්‍රා බැහැර කෙරිණි. පිටතින් පැමිණෙන පිරිසකට එහි පැමිණීමට හෝ පැමිණ නතර වීමට නො හැකි වනසේ කටයුතු සම්පාදනය විණි. එබඳු බාධක යෙදීමෙන් ද සෑහීමට පත් නොවූ ගම් දෙටුවා, පිටතින් පැමිණෙන කිසිවකුටත් ආහාර – පානාදිය හෝ නවාතැන් හෝ නො දිය යුතු බවටත්, එසේ දෙන්නවුන්ට මරණීය දඬුවම් පමුණුවන බවටත් අනතුරු ඇඟවූයේ ය.

ගම් දෙටුවාගේ නියෝගය පරිදි ගම් වැස්සෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා පිළිගැනීමෙන් හෝ ඇප උපස්ථාන කිරීමෙන් හෝ වැළකී සිටියහ. මේ සියල්ල දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ථූණා ගමෙහි වැසියනට අනුකම්පාවෙන් අහසින් වැඩම කොට මාර්ගය ආසන්නයේ වූ ගසක් මුල වැඩ හුන්හ. උන්වහන්සේ එසේ වැඩ සිටිය ද ගම් දෙටුවාට ඇති බිය නිසා ම ගැමියෝ නිහඬව ම සිටියහ. එ ගම් වැසි බමුණකුගේ නිවසෙහි විසූ එක්තරා දාසියක්,කළය ද රැගෙන දිය පිණිස යන්නී බුදු පාමොක් මහ සඟ පිරිස දැක ප්‍රසන්න වූ සිතින් උන්වහන්සේලා වෙත සමීප ව පිපාසිත ව සිටින නියා ව දැක මෙසේ සිතුවා ය.

‘බුදු කෙනකුගේ පහළ වීම දුර්ලභය, එබඳු කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලබා ඉපදීම ඊටත් වඩා දුර්ලභය. දැන් ඒ අවස්ථා දෙක ම මුදුන්පත්ව තිබේ. මෙබඳු අවස්ථාවක දී පිනක් දහමක් කර නො ගත හොත් කිසි කලෙකත් මේ දුක්ඛිත ජීවිතයෙන් මිදීමක් ලද නො හැක්කේ ය. ගම් දෙටුවාත්, ඔහුගේ බසට අවනත වූ ගම් වැසියෝත් බුදු පාමොක් මහ සඟනට ඇප උපස්ථාන නොකරති. ආර්යයන් වහන්සේලා මා කෙරෙහි අනුකම්පා කරත්වා. ගම්වැසියෝ මට තලා පෙළා වධ හිංසා කරත්වා. එසේ වුවත් මම මුන් වහන්සේලාට පැන් පූජා කරන්නෙමි.’

එසේ සිතූ ඇය අනිකුත් ස්ත්‍රීන් විසින් වළකනු ලබද්දීත්, එය නොසළකා ජීවිතාශාව ද අත්හැර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙත පැන් පූජා කරන්නට ඉටා ගත්තීය. පළමු කොට ඇය පැන් පූජා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ය. උන්වහන්සේ අසරණ ස්ත්‍රීය කෙරෙහි අනුකම්පාවෙන් පැන් පිළිගත්හ. බුදුරදුන් වෙත පැන් පිදුව ද ඇගේ කළයේ දිය බිඳක් හෝ අඩු නොවූ නිසා ම තවත් භික්‍ෂූන්ට පැන් පිදුවා ය. එසේ වුවද ජලය අඩු නො වූයෙන් එක ම දිය කළයෙන් සියලු ම භික්‍ෂූන් වහන්සේලාට අවශ්‍ය තරම් පැන් පූජා කළා ය.

අධික පී‍්‍රතියෙන් ඇය පෙරළා නිවස වෙත එන විට ගම්වාසීන්ගේ සම්මුතියට පිටු පා ඇය බුදු පාමොක් මහ සඟනට පැන් පිදූ බව ගෙහිමි බමුණාට සැළ වී තිබිණ. ඔහු ක්‍රෝධයෙන් පිපිරෙන්නට විය. ගමෙහි පිළිවෙත බිඳ දැමීම නිසා තමා අපකීර්තියට පත් විණැයි උදහස් විය. දාසිය පැමිණි වහා ම ඇය බිම පෙරළාගෙන ඉතා දරුණු අන්දමින් අතින් පයින් පහර දුන්නේ ය. පහර කෑමෙන් දුර්වල වූ දාසිය එහි ම මිය පරලෝ ගියා ය.

ඇය බුදුපාමොක් මහ සඟනට පැන් පූජා කළේ මෙබඳු ඉරණමකට මුහුණ දෙන්නට සිදුවන බව දැන දැනම ය. ඇය මේ කුරිරු වධය අපේක්‍ෂා කළා ය. ඒ නිසා ම පැන් පිදීමේ ආනිශංස වශයෙන් තව්තිසා දෙව්ලොව මහත් වූ ඓශ්චර්යයෙන් සපිරි දෙව් විමනක උපන්නා ය. ඇගේ විමානය වටා ඉඳුනිල් මැණික් පැහැයෙන් ගලා යන මනහර ගංගාවකි. පස් පියුමින් සුසැඳි එහි ස්වර්ණමය නෞකාවකි. ඉවුරු දෙපස සුදෝ සුදු වැලි තලායෙන් විචිත්‍ර විය. දිව්‍ය ඓශ්චර්යයෙන් ද රූප ශෝභාවෙන් ද අනික් දෙවඟනන් පරදවන සුළු වූයේ ය. ඇය මහත් පී‍්‍රතියෙන් තමා ලද සැපත් විඳිමින් කල් ගෙවුවා ය.

මේ සියල්ල දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ බමුණන්ගේ මිථ්‍යා දෘෂ්ටිය බිඳ හෙළිම සඳහා මේ සිදුවීම උපයෝගී වන බව දැක, තම අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන් අමතා තමන්ට ළිඳෙන් ජලය ස්වල්පයක් ගෙනැවිත් දෙන්නැයි වදාළහ. ගම් වැසියන් විසින් සියලු ළිං අපවිත්‍ර කරනු ලැබ ඇති නියාව දත් ආනන්ද තෙරුන් වහන්සේ ඒ බව බුදුරදුන්ට සැළ කර සිටිය ද දෙවැනිවරටත්, තුන්වැනිවරටත් ළිඳෙන් දිය ගෙන එන්නැයි ඉල්ලීම නිසා බුදුරදුන්ගේ පාත්‍රය ද රැගෙන ළිඳ වෙත වැඩියහ.

අරුමයෙකි. ළිඳ පිරිසුදු වී ඇත. අපද්‍රව්‍ය සියල්ල ම බැහැර වී ඇත. පිරිසුදු ජලය පිටාර ගලමින් පවතී. සියලු ළිං එසේ පිරිසුදු වී ගම පුරා ජලය ගලා යන්නට විය. අනඳ හිමියන් පාත්‍රයට දිය රැගෙන වුත් බුදුරදුන්ට පිදූ අතර මේ මහා ආශ්චර්යය දුටු ගැම්වැසියන් වැළ නොකැඩී බුදුරදුන් හමුවට පැමිණ සමාව අයැදින්නට වූහ. ජල ගැල්ම නැවතිණ. ගම්වැසියෝ බුදු පාමොක් මහ සඟනට සෙනසුන් පිළියෙල කොට පසු දින දානයට ආරාධනා කළහ. රත්නත්‍රයේ ගුණ මෙනෙහි කරමින් ප්‍රණීත ලෙස දානය සකස් කොට පසු දින මහ දන් පිරිනැමූහ. අවසානයේ දී ගම් දෙටුවා ප්‍රධාන ථූණා ගම වැසියෝ බුදු රදුන් හා සතුටු සාමිචියෙහි යෙදෙන්නට වූහ.

දෙව්ලොව පහළවන දෙවි දේවතාවන්ගේ එක්තරා සිරිතක් තිබේ. එනම් තමන්ට ලැබුණු සැප සම්පත් ආස්වාදනය කරමින් එවන් සැපතක් ලැබීමට හේතු වාසනා වූ පින්කම් කවරේදැයි ආවර්ජනය කිරීමය. ඒ අනුව පැන් පූජා කිරීමෙන් දෙව් සැපත් ලත් මේ දෙවඟන ද අතීතාවර්ජනයෙහි යෙදුණාය.

සිදු වූ සියල්ල සිහි විය. ගම් දෙටුවන්ගේ විරෝධය නොතකා බුදුපාමොක් මහ සඟනට පැන් පිදූ අයුරුත්, ඒ නිසාම වධහිංසා ලැබීමෙන් මියගොස් දෙව්ලොව උපන් අයුරුත්, තමාට එරෙහි වූවන් ම දැන් බුදු පාමොක් මහ සඟනට පුද පූජා පවත්වමින් සිටින අයුරුත් ඈ දුටුවා ය. බුදුරදුන් හමුවට ගොස් තම කුශලානිශංස පිරිස් මධ්‍යයේ පැවසීමට මේ හොඳම අවස්ථාව බව අවබෝධ කර ගත් ඇය තම පිරිවර ද ආශ්චර්යමත් දිව්‍ය විමානය ද සමඟ බුදුරදුන් වැඩහුන් ථූණා නම් ගමට පැමිණියා ය. රැස්ව හුන් ගම්වැසි පිරිස විමතියෙන් නෙත් අයා බලා සිටිය දී දෙව් විමනෙන් බැස, බුදුරදුන් හමුවට පැමිණ පසඟ පිහිටුවා වැඳ එකත් පස්ව හුන්නා ය. බුදුරජාණන් වහන්සේ ද සියලු පවත් දනිතත් පර්ෂද් හමුවේ ඇගේ මුවින් ම කරුණු ඔප්පු කර පෙන්වා දීමේ අදහසින් ඇගෙන් මෙසේ විමසූහ.

‘පින්වත් දේව දියණියෙනි, ප්‍රභායෙන් හාත්පස ඒකාලෝක කරවමින්, අලංකාර දිව්‍ය විමානයකින් ද මහත් වූ රූප ශෝභාවකින් ද බබළන ඔබ සිතූ පැතූ සම්පත් ලබා අධික පී‍්‍රතියෙන් සිටින්නෙහිය. මේසා විශාල දිව්‍ය ඓශ්චර්යයක් ලැබීමට මහත් පින් කර තිබිය යුතු ය. එබැවින් මෙහි රැස්ව සිටින්නවුන්ගේ දැන ගැනීම සඳහා ඔබ මනුෂ්‍ය ලෝකයේ දී කවර නම් මුඛ්‍ය කර්මයක් කළේ ද? කවර කරුණක් නිසා මේ අවස්ථාවේ මෙහි පැමිණියේ ද?’

රැස්ව සිටි සියලු දෙනාට ඇසෙන සේ ඇය මෙසේ පිළිතුරු දුන්නාය. ‘ස්වාමිනී, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම පෙර භවයෙහි මේ ගමෙහි ම මිනිස් දුවක් වීමි. පෙර පින් මඳ බැවින් දාසියක ව බැල මෙහෙ කරමින් දුක සේ ජීවත් වූයෙමි. ඔබ වහන්සේ මෙහි වැඩම කළ අවස්ථාවේ ජීවිත ආශාව ද හැර දමා බුදු පාමොක් මහ සඟනට අප්‍රමාණ ශ්‍රද්ධා සිතින් යුක්තව පානීය ජලය පූජා කළෙමි. පිපාසයෙන් පෙළෙන භික්‍ෂූන් උදෙසා එසේ පැන් පූජා කිරීමේ ආනිශංස වශයෙන් මේ සියලු දිව්‍ය ඓශ්චර්යය ලද්දෙමි. මම දැන් කිසිවකින් අඩුවක් නැත්තේ ය. සිතූ පැතූ ඕනෑම සම්පත්තියක් එසැණින් ම මට ලැබෙන්නේ ය. දුටුවන් මන නුවන් බඳනා රූප ශ්‍රීයක් ද, දෙව්ලොව අනෙකුත් දෙවි දේවතාවුන් අතර කැපී පෙනෙනා මහත් දිව්‍ය ඓශ්චර්යයක් මට ලැබුණේ ඒ පැන් පිදීමේ ආනිශංස වශයෙනි.’

දේවතාවියගේ ප්‍රකාශය මාතෘකා කර ගනිමින් බුදුරජාණන් වහන්සේ රැස් ව සිටි පිරිසට දානානිශංස පෙන්වා දෙමින් දම් දෙසූහ. ඒ දේශනාව අන්තයෙහි දේවතා දියණිය සෝවාන් ඵලයට පත් වූ අතර මිසදිටු අදහස් දරා සිටි ගම් දෙටුවන් හා ගම්වැස්සෝ තෙරුවන් සරණගොස් කුසල් දහම් කිරීමට වඩ වඩාත් උනන්දු වීමෙන් තම ජීවිත සාර්ථක කර ගත්හ.


දුතිය නාවුකා විමාන වත්ථුව - විමාන වත්ථු කථා පුවත් 07 - රහතන් වහන්සේ නමකට පැන් පිදීමෙන් අසිරිමත් දෙව් විමනක් ලත් දෙවඟනකගේ කථා පුවත