Print this Article


මිතුරා හඳුනා ගනිමු

මිතුරා හඳුනා ගනිමු

යම්කිසි කෙනෙකු තමන්ගේ ඇසුරට (දීර්ඝ කාලීනව) මිත්‍රයකු තෝරා ගනු ලබන්නේ නම් එම මිතුරා වන්නේ දැනුම් තේරුම් සමාජ අවබෝධයට වඩා වැඩි කෙනකු විය යුතුය. එබඳු කෙනකු නොවන්නේ නම් අවම වශයෙන් තමා හා සමාන කෙනකුවත් විය යුතුය. එබඳු අයකු නොමැති නම් තනියෙන් ජීවත්වීම වඩාත්ම සුදුසුය. බාලයන් අනුවණයන් මිත්‍රත්වයට ගැනීම විපතකට මුලය

බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි උන්වහන්සේට ඉතා සමීපව කටයුතු කළ මහ රහතන් වහන්සේ නමකි මහා කස්සප මහ රහතන් වහන්සේ. උන්වහන්සේ කලක් රජගහ නුවර “ පුලිල ලෙන” මහ වෙහෙරෙහි වැඩ වාසය කළහ. මහා කස්සප මහ රහතන් වහන්සේම විහාරයේ වැඩ වාසය කරන නිසාම පන්සල මහත් ප්‍රසිද්ධියට පත් විය. එසේම වෙහෙර බිම නැරඹීමට පවා බොහෝ දෙනා පැමිණුනහ.

මහා කස්සප මහරහතන් වහන්සේට එම කාලයේ දී එම පන්සලෙහි වැඩ වාසය කළ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ දෙනමක් වූහ. ඒ දෙනම දෙආකාරය. සිතිවිලි ද දෙආකාරය. කතාව ද එබඳුය. ක්‍රියා කලාපයන් ද එපරිදි ය. එක් භික්‍ෂු නමක් මනා ලෙස වත්පිළිවෙත් සිදුකරති. අනෙක් භික්‍ෂුව එසේ නැතිව හැසිරෙති. නමුත් ඒ භික්‍ෂුව තමන්ගේ මෙම ගති ස්වභාවය ගුරුතුමාගෙන් සඟවා තබා ගැනිමට කල්පනා කළේය. ඒ අනුව අනෙක් භික්‍ෂුව කරන කියන සෑම යහපත් ක්‍රියාවක්ම තමන් කළ ඒවා ලෙස ගුරුතුමාට ඇඟවීමට පටන් ගත්තේය. නමුත් මහා කස්සප රහතන් වහ්නසේ මේ දෙදෙනාගේ හැසිරීම් මැනවින් දැන සිටියත්, ඔහු තමාගේ ස්වභාවය මහා කාශ්‍යප හිමියන් දන්නා බව නො දත්තේය.

එක් දිනක් මහා කාශ්‍යප හිමියන් දෙදෙනාටම අවවාද දෙමින් අනුන් කළ වත් පිළිවෙත් තමන් කරන ඒවා ලෙස ඇඟවීම, එසේ කිරීමට උත්සාහ දැරීම බරපතළ වරදක් බව පැහැදිලි කරනු ලැබූහ. සාමාන්‍යයෙන් යහපත් සිතිවිලි සහිත පුද්ගලයා යම්කිසි කෙනෙක් අවවාදයක් දුන් පසු එය හොඳින් පිළිගනී. රාහුල හාමුදුරුවන් පවා කටයුතු කරනු ලැබුවේ, ඒ අයුරෙනි. නමුත් අනුවණයා එසේ නොවේ. අවවාදයක් දුන් පසු එය අවවාදයක් ලෙස පිළිගත්තේ නැත. ඔහු දකින්නේ තමාගේ වරදක් කිව්වා ලෙසය. එය එසේ නොකළ යුතු බව ඔහු සිතයි. නොකළ යුත්තක් කළා යැයි සිතා තමාට දුන් අවවාදය පිළිපදින්නේත් නැතිව එබඳු අවවාදයක් දුන් නිසා කිපෙයි. එසේ කළ පුද්ගලයා පිළිබඳව වෛර බඳියි. මහා කස්සප හිමියන් සිය අතවැසි දෙනමට දුන් අවවාදයට සිදුවූයේ එපරිදිමය. කෙනෙක් පිළිගත්හ. අනෙක් භික්‍ෂුව කෝප ගත්හ. එසේ වූ ඔහු ඉන් අකීකරු බවට පැමිණියේය. දවසක් මහා කස්සප හිමියන්ට වඩාත් සමීපව දන් පහන් දෙන දායක නිවසකට ගොස් මහ තෙරුන්ට අසනීප බව දන්වා දානය ඉල්ලාගෙන ගොස් වළඳා නිසොල්මනේ සිටියේය.

අතවැසියා විසින් කරනු ලැබූ මෙම නොකටයුත්ත පිළිබඳ මහ කසුප් හිමියන්ට ආරංචි විය. අතවැසියා කැඳවා ඔහු කළ වැරැදි ක්‍රියාවේ බරපතළකම පැහැදිලි කරනු ලැබුවේ භික්‍ෂූන් වහන්සේ දානය ඉල්ලාගෙන වළඳන්නේ නැති බව ඔහුට කියා දුන්නේය. එම අවවාදයෙන් පසු අතවැසි භික්‍ෂුව වඩාත් කෝප විය. කලක් කෝප වෙමින් සිටි ඔහුගේ කෝපය වෛරයක් බවට හැරුණේය. හේ පළිගන්නට සිතා ගත්තේ ය. පසුදා මහා කාශ්‍යප හිමියෝ පිණඩපාතයේ වැඩම කරවූහ. උන්වහන්සේ සමග නිතර අතවැසි හිමි නම පිණ්ඩපාතයේ වැඩම කළ අතර අනෙක් භික්‍ෂුව එම අවස්ථාව මඟහැර පන්සලේ රැඳි සිටියහ. තනිව පන්සලේ සිටින ඒ භික්‍ෂුවගේ සිතට නැගුණේ කෝපය යි. එම කෝපයට අනුව ඔහු වෙහෙර තුළ තිබූ බඩු සියල්ල කඩා සුණු විසුණු කොට වෙහෙරට ගිනි තබා පැන ගියේය. පන්සලට ගිනි තබා පන්සලෙන් පැන ගිය අතවැසියා පිළිබඳ එම සිද්ධිය ප්‍රදේශය පුරා පැතිරී ගියේය. එක් දවසක් රජගහ නුවර සිට දෙව්රම් වෙහෙරට වැඩම කළ භික්‍ෂූන් වහන්සේලා පිරිසකගෙන් ගම් පළාතේ තොරතුරු කොහොමදැ යි විමසා සිටි කල මහා කාශ්‍යප හිමියන්ගේ තොරතුරු අතවැසියා කරනු ලැබූ සහ තමාට කරගත් විපත්තිය පැහැදිලි කර සිටියහ. බුදුරජාණන් වහන්සේ එම සිද්ධිය මූලිකත්වයේ තබාගෙන එම භික්‍ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට ධර්මය පැහැදිළි කරනු ලැබූහ.

බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේ ධර්ම දේශනාවට නිමිත්ත බවට පත් කරගනු ලැබුවේ ‘ පුනිල ලෙන’ වෙහෙර තුළ සිදුවූ සිද්ධියයි. එම සිදුවීම තුළින් කරුණු කාරණා පැහැදිලි කරනු ලැබූහ. එහිදී උන්වහන්සේ කළ ධර්ම දේශනාවේ පැහැදිලි කරනු ලැබ ඇත්තේ ඇසුරට සුදුසු මිතුරකු තෝරා බේරා ගන්නේ කෙසේද ? යන්නයි. යම්කිසි කෙනෙකු තමන්ගේ ඇසුරට (දීර්ඝ කාලීනව) මිත්‍රයකු තෝරා ගනු ලබන්නේ නම් එම මිතුරා වන්නේ දැනුම් තේරුම් සමාජ අවබෝධයට වඩා වැඩි කෙනකු විය යුතුය. එබඳු කෙනකු නොවන්නේ නම් අවම වශයෙන් තමා හා සමාන කෙනකුවත් විය යුතුය. එබඳු අයකු නොමැති නම් තනියෙන් ජීවත්වීම වඩාත්ම සුදුසුය. බාලයන් අනුවණයන් මිත්‍රත්වයට ගැනීම විපතකට මුලය. මහා කස්සප හිමියන්ගේ සිද්ධිය අනුසාරයෙන් කළ මේ පැහැදිලි කිරීම සදාකාලික වශයෙන් ලෝකයේ හැම තැනකටම වලංගුය. සිද්ධියක් ලෙස බුද්ධ කාලයේ සිදුවූ එක්තරා සිදුවීමක් පමණක් වුවද , ඒ ඇසුරෙන් කරනු ලැබූ දේශනාව එසේ නොවේ. එය සර්වකාලීන වූවක් නිසාම එම දේශනාව අදටත් වලංගුය.

තමාට විපතක් සිදුවූවා නම් එය සිදුවී ඇත්තේ තමන් ඇසුරු කළ මිත්‍ර ප්‍රතිරූපයකු නිසා නොවන්නේ්දැයි හොඳින් කල්පනා කර බලන විට වැටහේ. මිත්‍රත්ව බැඳීම හරි අමුතුම එකකි. එය අනෙක් ඇතැම් බැදීම් මෙන් නෛතික සම්බන්ධයක් ද නැත. ඥාතිත්ව බැඳීමක් ද නැත. නමුත් එබඳු කිසිම බැඳීමක් නැති වුණත් මිත්‍රයා තමන්ගේ ජීවිතයට බොහෝ බලපෑම් කරනු ලබයි. සම වයස් මිතුරන් වැඩිපුර මිත්‍රත්වයෙන් බැඳෙන නිසා ඔවුන්ගේ කීම බොහෝ විට පිළිගනී. මිතුරන් අතර පවතින බැඳීම හුදු මානසික බැඳීමක් පමණකි. නමුත් ඔවුන් තම ජීවිතයට කරනු ලබන බලපෑම හරිම ප්‍රබලය.

කෙනකු සමීප දීර්ඝ කාලීන ඇසුරකට ගැනීමේදී වඩාත්ම සැළකිය යුතු වන්නේ එම නිසාමය. මිතුරාගේ දැනුම් තේරුම් බව සහ ක්‍රියාකලාපයන් තමන්ට වඩා අඩු මට්ටමක පවතී නම් ඔහු තමා සමීප ඇසුරට නොයා යුතුª ලෙස දන්වන්නේ එම නිසයි. සමාජයේ අප කතා බහ කරන සෑම පුද්ගලයාම තමන්ගේ දීර්ඝ කාලීන සමීප මිත්‍රයෝ නොවෙති. බුදු දහමෙහි උගන්වන්නේ එම පුද්ගලයන් දුරින් දුරු කර හරින්න කියා නොවේ. ඔවුන් හා ගණුදෙනු කිරීමේදි සැළකිලිමත් විය යුතු පිළිවෙල ගැනය. ඒ අනුව අපට හමුවන සමීප පුද්ගලයන් ඇතැමෙක් අතේ දුරින් තබාගත යුතුය. ඇතැමෙක් ඒ අවස්ථාවට පමණක් සමීප කරගත යුතුය. තවත් කෙනෙක් තම ඇසුරට ගත යුත්තේ කෙසේදැයි නැවත ද නැවත ද කල්පනා කළ යුත්තකි.

මේ අනුව දක්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කළ දේශනාව පුද්ගලයා නැවත ද නැවත ද සමාජ අත්දැකීම් ලබමින් කල්පනාකාරී වෙමින් කටයුතු කිරීමට හුරු කිරීමක් බවයි. මහා කස්සප හාමුදුරුවන් සිය ගෝලයන් දෙදෙනා කෙරෙහි දැක්වූ මෛත්‍රිය දෙදෙනාගෙන්ම උන්වහන්සේට පෙරළා ලැබුණේ නැත. කෙනෙක් තමන්ගේ ජීවිතය මහා කාශ්‍යප හිමියන්ගේ උපදෙස් පරිදි සකසා ගත්තේය. අනෙක් තැනැත්තා තමන්ගේ ජීවිතයත් විනාශ කර ගනිමින් අනුන්ගේ ජීවිතය ද සමාජය ද අවුල්, අපිළිවෙල කරනු ලැබීය.

අප ඇසුරු නිසුරු කරනු ලබන මිත්‍රයෝ ද එපරිදිය. කෙනෙකුගේ ජීවිතය සැනසුමෙන් සැනසුමට වඩා අවුල්වලින් අපිළිවෙල කරනු ලබන්නේ ද තමා විසින්ම ඉතා හොඳ යැයි සිතමින් ඇසුරට ගත් මිත්‍ර ප්‍රතිරූපකයාම ය.