Print this Article


තණ්හාව සිඳලන ඥාන ප්‍රභාව

සීලය ආරක්‍ෂා කරන්නාට අවිප්පටිසාර හෙවත් විපිළිසර නොවීමාදි අපමණ උතුම් ගුණාංග ඇති වේ. එසේම මතු සමාධියට අනිවාර්යයෙන් උපකාරී වන බැවින් ද භාවාන්තරයේදී සුගතිගාමී වන බැවින් ද සීලය ආදි කල්‍යාණ නම් වන්නේය. මෙසේ යම් ගිහි පින්වතකුගේ සීලය නිර්මල නම් ඔහුගේ ජන්මලාභය සඵල වන්නේය. යම් භික්‍ෂුවකගේ සතර සංවර සීලය නිර්මල වන්නේ නම් පැවිද්ද සඵල වන්නේය.
 

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො
චිත්තං පඤ්ඤාංච භාවයං
ආතාපී නිපකො භික්ඛු
සො ඉමං විජටයෙ ජටං

සුපින්වත්නි ,

සකල ජන මන පියුම් විකසිත කරන මහා දිවාකරයාණන් වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රියක පැමිණ බුදුරදුන්ගෙන් මෙසේ ඇසුවේය.

“ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඇතුළත් අවුල්ය, පිටත් අවුල්ය. මුළු සත්ව වර්ගයාම අවුලෙන් අවුලට වැටී සිටියි. එසේ නම් මෙම අවුල ලිහන්නේ කවුදැ’යි ඔබ වහන්සේගෙන් විචාරමි.”

අප බුදුරජාණන් වහන්සේ එම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් උඩ දැක්වූ ගාථාධර්මය දේශනා කළ සේක . එහි අර්ථය වන්නේ, ‘ප්‍රඥාවන්තයා සීලයෙහි පිහිටා සමාධියද, විදර්ශනාවද වඩන්නේ කෙලෙස් තවන වීර්ය හා ප්‍රඥා ඇත්තේ මෙම තණ්හා අවුල සිඳලන්නේය” යන්නයි.

සුපින්වත්නි, අවිද්‍යා තණ්හා ජාලයේ වෙලී පැටලී සිටින සත්වයා අපමණ දිගුකලක් ජාති, ජරා, මරණාදි අනේක විධ දුක් වේදනා සන්තාප විඳිමින් සසර සැරිසරන්නේය. මේ වග සර්වඥතාඥානයෙන් දැන වදාළ බුදුරජාණන් වහන්සේ එයින් මිදීමේ මාර්ගය දක්වා වදාළ සේක.

‘සො ඉමං විජටයෙ ජටං’ යනුවෙන් දක්වා ඇති පරිදි සීල, සමාධි, ප්‍රඥා හා වීර්ය යන ධර්මයන්ගෙන් යුක්ත වූ භික්‍ෂුව, ශක්ති සම්පන්න වීර පුරුෂයකු පොළොවෙහි සිටගෙන තියුණු ආයුධයකින් උණ පඳුරක් කපා හෙළන්නා සේ ශීලයෙහි පිහිටා සමාධිය නමැති නිකපාෂාණයෙහි මුවහත් තබා ප්‍රඥා ආයුධයෙන් වීර්ය බල ශක්තිය නිසා රුකුල් දෙන ලද පාරිහාරිය ප්‍රඥා නමැති අතින් ඔසවා සකල තණ්හා ජාලාව කපා හෙළන්නේය.

මෙසේ හෙයින් සර්වඥයන් වහන්සේ ‘සීලේ පතිට්ඨාය නරො සපඤ්ඤෝ’ ආදි නයින් පුහුදුන් චිත්ත සන්තානයේ පටන් අර්හත්ඵලය දක්වා ඉතා සංක්ෂේපයෙන් දක්වා වදාළ සේක.

මෙම ගාථාවෙහි ‘සපඤ්ඤො’ යනුවෙන් දක්වන ලද ප්‍රඥාව පෙර භවයට ඉතාමත් සම්බන්ධව පවත්නා බැවින්, ප්‍රතිසන්ධියේ පටන් ප්‍රධානව විකාශය වන්නේය. යළිත් ‘ආතාපී නිපකෝ’ යනුවෙන් දක්වා ඇත්තේ චතුර්විධ වීර්යයෙන් ප්‍රාණවත්වූ , කෙලෙස් තවන බලවත් උත්සාහයයි.

සුවිශේෂ වශයෙන් ආරක්‍ෂාවට මෙන්ම තිරසර අදිටන් බලයටද සීලය අත්‍යවශ්‍ය වන අතර සමථ භාවනාවේ දක්වා ඇති පරිදි සමසතළිස් කර්මස්ථාන අතරින් චාරිත්‍රානුකූලව කර්මස්ථානයක් ගෙන සිත සමාධිගත කොට, විදර්ශනා භාවනාව වැඩිය යුතු වන්නේය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා මුඛයෙන් නිවන් මඟ දක්වා වදාළ සේක.

‘සො භගවා ධම්මං දෙසෙති ආදි කල්‍යාණං, මජඣෙකල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං, සඛ්‍යංජනං, කෙවල පරිපුණ්ණං’ ආදී වශයෙන් අප බුදුරජාණන් වහන්සේ මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත, ව්‍යංජන සහිත, සම්පූර්ණ ආරම්භයේ පටන් ප්‍රතිපත්තිය අනුව පූර්ණව ප්‍රතිඵල තමාටම ලබන්නට හැකි, අකාලික උතුම් ධර්මයක් දේශනා කළ සේක.

සීලයෙන් කාමසුඛල්ලිකානුයෝගය අත්හරින්නේය. ඇස්, කන්, නාසාදි ඉඳුරන් අසීමාන්තිකව පිනවීමත්, ජීවන පැවැත්මේදී සිදුවන සාවද්‍යභාවයත්, සීලය පිරිසුදුව ආරක්‍ෂා කරන්නා විසින් ආදීනව නුවණින් සලකා බැහැර කරනු ලබන්නේය. සීලය ශාසනයේ ආදිය වන අතර නමස්කාරයෙන් තෙරුවන් සරණ ගොස් ප්‍රථම පියවර වශයෙන් පන්සිල් සමාදන්ව, සම්බුද්ධශාසනයේ ක්‍රියාකාරීව පියවරෙන් පියවර පන්සිල්, අටසිල්, දසසිල් හා නවකෙළ දහස් අසූකෝටි පනස්ලක්‍ෂ සතිසක් මහා සිල් ආරක්‍ෂා කරගෙන තමනුත් බැබළී ශාසනයත් බබුළුවන්නට හැකි වන්නේය.

සීලය ආරක්‍ෂා කරන්නාට අවිප්පටිසාර හෙවත් විපිළිසර නොවීමාදි අපමණ උතුම් ගුණාංග ඇතිවන බැවින් ද මතු සමාධියට අනිවාර්යයෙන් උපකාරී වන බැවින් ද භාවාන්තරයේදී සුගතිගාමී වන බැවින් ද සීලය ආදි කල්‍යාණ නම් වන්නේය.

ඉධෙව කිත්තං ලභති
පෙච්ච සග්ගෙච සුම්මනො
සබ්බත්ථ සුමනොධීරො
සීලෙසු සුසමාහිතො

මෙසේ යම් ගිහි පින්වතකුගේ සීලය නිර්මල නම් ඔහුගේ ජන්මලාභය සඵලවන්නේය. යම් භික්‍ෂුවකගේ සතර සංවර සීලය නිර්මල වන්නේ නම් පැවිද්ද සඵල වන්නේය.

පබ්බජ්ජා සඵලා තස්ස
යස්ස සීලං සුනිම්මලං

යම් පැවිද්දකුගේ පැවිදිකම ආරක්‍ෂා වේ නම් එය නිර්මල සීලයේ බලය වන්නේය. අෂ්ටාංග උපෝසථශීලය ආරක්‍ෂා කිරීමේ ආනිශංස වශයෙන් සුගති සංඛ්‍යාත දේවමනුෂ්‍යාදී භව සම්පත් ලබාගැනීමේ වාසනාවද උදාවන්නේය.

“එවං උපවුත්ථො ඛො විසාඛෙ අට්ඨංගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරෝ” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විශාඛා මහා උපාසිකාවට දේශනා කළ සේක.

සීලයෙන් කය, වචනය සංවර කර ගැනීමෙන් සීලවිශුද්ධිය සම්පූර්ණ වන අතර පංචකාම ආශාව තුනීවන්නේය. ‘චිත්තං භාවයං’ යනුවෙන් වදාළ පරිදි චිත්ත ශීර්ෂයෙන් සමාධිය වැඩිය යුතු වන්නේය.

‘චිත්ත ඒකග්ගතා සමාධි’ යනුවෙන් විග්‍රහ කළ පරිදි චිත්ත චෛතසිකයන්ගේ අවික්ෂේපභාවය හෙවත් එක් අරමුණක පිහිටුවාලීම සමාධානාර්ථයෙන් සමාධි නම් වන්නේය. මෙම සමාධිය උපචාර, අර්පණා වශයෙන් ද, ලෞකික, ලෝකෝත්තර වශයෙන් ද හීන, මධ්‍යම,ප්‍රණීත වශයෙන් ද විවිධාකාර වන්නේ සමාධිගත පුද්ගලයාගේ ස්වභාව අනුවය.

අතිදීර්ඝ වූ මෙම සංසාර ගමනේ සත්වයා භවයෙන් භවයට රැස් කරන තණ්හාදී කෙලෙස් අපමණය. එසේ හෙයින් කාමච්ඡන්ද , ව්‍යාපාද, ආදි පංච නීවරණ ධර්මයන්ගෙන් නිතර විපිළිසරවන, අසංවර වන, චිත්ත සන්තානය සමාධිගත කිරීම අති දුෂ්කර කාර්යක් වන්නේය. නිර්මල ශීලය ආරක්‍ෂා කරන, අවංකවම නිර්වාණය අපේක්‍ෂා කරන යෝගාවචරයා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක කරා පැමිණ තම චරිතයට ගැළපෙන කමටහනක් ගෙන විවේකස්ථානයක පහසුසේ හිඳ භාවනා කළ යුතු වන්නේය. සන්තානගත අරමුණු අනුව චිත්ත වීථීයක් පාසා සිත චංචල වන අතර සෑම මොහොතකම සතිපට්ඨානයෙන්, සමසතළිස් කර්මස්ථාන වලින් යෝග්‍ය පරිදි එක් කමටහනක් කෙරෙහි බොහෝ වේලාවක් ආලම්බන කළ යුතු වන්නේය.

චිත්තවිශුද්ධියෙන් චිත්ත සන්තානයේ නීවරණ ධර්මයන් සමනය වන අතර ඉතා සියුම්වූ විතක්ක විචාරාදී අංගවලින් යුත් ප්‍රථමධ්‍යානාදි උසස් ඤාණ ලබාගත හැකිවන්නේය.ලෞකික අරමුණුවලින් සිත් සතන් බැහැර කළ ප්‍රමාණයට බුද්ධි ප්‍රභාවයද වර්ධනය වන්නේය.

සමථ භාවනාවෙන් චිත්ත විශුද්ධිය සම්පූර්ණ කරගත් යෝගාවචර භික්‍ෂුව පංච අභිඥා උපදවා ක්‍රමයෙන් ආර්යඤාණයෙන් ආශ්‍රව ක්ෂයකර ඤාණයෙන් සෝවාන් ආදි මාර්ගඵල උපදවන්නේය.

අවිද්‍යා,තණ්හා දෙක මූලික හේතු ධර්මයන් වශයෙන් ක්‍රියාත්මක වන සංසාර චක්‍රයෙන් බැහැර වන්නේය. ත්‍රිවිධ ශික්‍ෂා, සප්ත විශුද්ධි, නව මහා විදර්ශනා ඤාණ උපදවා දුක්ඛාදි චතුරාර්ය සත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්‍ෂ කරගෙන අජරාමර උතුම් නිවන් පසක් කරගන්නේය.

ඔබ සැමට තෙරුවන් සරණයි!