Print this Article


දුකසේ විඳින කර්ම විපාක - 39, 40

සෙට්ඨි පුත්‍ර පේ‍්‍රත වස්තුව

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි කෝසල රජතුමා අලංකාර රාජාභරණයෙන් සැරසී ඇතා පිට නැගී මහත් වූ රජසිරින් මහත් වූ රාජානුභාවයෙන් නගර සංචාරයේ යෙදෙද් දී එක්තරා කාන්තාවක් නිවසෙහි උඩුමහල් තලයෙහි කවුළු පියන් හැරගෙන රජසිරි බලන්නට වුණා.

දෙව්දුවක් වන් රූපශ්‍රීයෙන් යුත් ඒ ස්ත්‍රිය දැක රජතුමාගේ සිත ක්ලේශයන්ගෙන් බර වුණා. ආචාර ධර්ම ආදී ගුණ නැතිව ගියා. විකෘති මනසින් යුතුව ඇය කෙරෙහි සිත් ඇඳබැඳගෙන පසු අසුනෙහි සිටි පුරුෂයාට මේ ස්ත්‍රිය පිළිබඳව මතකයේ තබා ගැන්නැයි අණ කර නැවත රාජ වාසලට පැමිණියා.

රජතුමා ඇය ලබා ගැනීමට උපක්‍රමයක් යෙදීමට සිතා ඇයගේ ස්වාමියා කැඳවා ඔබ අසවල් තැන ඇති පොකුණේ අරුනුවන් මැටි සහ රතු උපුල් මල් හිරු බසින්නට පෙර රැගෙන ආ යුතුයි පවසා පිටත් කර යවා දොරටු පාලකයාට කියා සිටියේ හිරු බසින්නට පෙර දොරටුව වසා දමන ලෙසයි. ඒ වගේම ඒ පුරුෂයා හිරු බැසී ගිය පසු ආ විට ඔහුගේ හිස ගසා දමන්නටද නියම කළා.

නමුත් අර පුරුෂයා හිරු බසින්නට පෙර මැටි සහ මල් ගෙන රාජ මාලිගාවට පැමිණිය ද දොරටුව වසා තිබූ නිසා දොර කවුළුවේ එය එල්වා ජේතවනාරාමයට නිදා ගැනීමට ගියා.

රජතුමා එදා රෑ ඉතා සතුටින් නිදා ගැනීමට සිරි යහනට ගියා. මැදියම් රැයේ ඔහුට ස, න, ද, සො යන අකුරු හතර යටි උගුරෙන් මරහඬින් කවුදෝ කියනු ඇසුණා.

ඈත අතීතයේ සැවැත්නුවර සිටි සම්පත් මදයෙන් මත් වූ සිටු පුත්‍රයන් සිව් දෙනෙකු විසින් තරුණ කාලයේ දී පරදාර සේවනය ලෙස බොහෝ අකුසල් කොට මියගිය පසු ලෝකුඹු නරකයේ ඉපිද එක එක ගාථා කියනු කැමැතිව ඒ ගාථාවන්හි මුල් අකුරු පමණක් කියන විට නැවත ඉතාමත් වේදනාවෙන් ලොකුඹු නිරයේ ගිලුනා.

රජු ඒ ශබ්දය අසා බියට පත්ව රාත්‍රියේ නිදි නො ලබාම රැය පහන් වූ වහාම පුරෝහිත ගෙන්වා ඒ සිහිනය ගැන කියා සිටියා. රජු බිය වූ බව දැනගත් පුරෝහිතයා එයින් ප්‍රයෝජනය ගන්නට සිතා මහරජතුමනි, ඒකාන්තයෙන්ම මහත් උපද්‍රවයක පෙර නිමිත්තක්. මෙයට චතුෂ්ක යාගය කළ යුතුයි කියා සිටියා. රජතුමා එම යාගය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඇමැතිවරුන්ට දන්වා සිටියා.

මල්ලිකා දේවිය මෙය අසා රජතුමනි, මේ බමුණකුගේ වචන අසා ඔබ චතුෂ්ක යාගය ලෙස සතුන්ට හිංසා කරන්නේ ඇයි? සියලු තන්හි නො පැකිලෙන නුවණින් යුක්ත භාග්‍යවතුන් වහන්සේ ගෙන් අප මෙය අසා ගනිමුයි යෝජනා කළා. රජතුමා ඒ වචන අසා ශාස්තෘන් වහන්සේ වෙත ගොස් මෙය කියා සිටියා. උන්වහන්සේ වදාළා. රජතුමනි, මේ සිහිනෙන් ඔබට කිසිදු උපද්‍රවයක් සිදු නොවේ. අතීතයේ පටන් ලොකුඹු නිරයේ උපන් සත්ත්වයන්ගේ කථා පුවත රජතුමාට වදාළා. ඒ අකුරු වලින් ඇසුනු ගාථා මේවායි කියා මෙසේ වදාළා.

නිරයේ පැහෙන්න අරගෙන දැන් මුළු මණින්ම අවුරුදු හැට දාහක් සම්පූර්ණ වුණා. කවදානම් මේ දුක අවසන් වේවිද?

නිදුකාණෙනි, මේ දුකේ ඉවරයක් නෑනේ. අවසානයක් කොහෙන්ද ලැබෙන්නේ? පේන තෙක් මානයේ මේ දුකේ අවසානයක් නැහැ. මාත් ඔබත් ඔය විදිහටමයි පව් රැස්කරගෙන තිබෙන්නේ. භෝග සම්පත් තිබෙද්දී අප දුන්නේ නැහැ. අප ගත කළේ පිරිහී ගිය ජීවිතයක්. දානමානවලට ඕනෑ තරම් වස්තුව තිබෙද්දීත් තමන්ට පිහිට පිණිස පින්කර ගත්තේ නැහැ.

ඒ මම මේ පෙරේත ලෝකෙන් චුත වෙලා ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සේ සම්මාදමේ ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කර ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ විස්තර ඇතිව එය වදාළා. අවසානයේ රතු උපුල් මල් ගෙන ආ පුරුෂයා සෝවාන් වූවා. රජතුමා ඉතා සංවේගයට පත්ව පරදාර සේවනය අදහසින් වෙන්වී සාමකාමීව රට පාලනය කළා.


සෙට්ඨීකූට පේ‍්‍රත වස්තුව

තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ එක් පේ‍්‍රතයකු අරභයා මෙම දේශනාව වදාළා.

පෙර දවසක බරණැස් නුවර ගල් විදීමේ දක්ෂ හා අකුරු ගැසීමේ දක්ෂ එක්තරා කොරෙක් නුවර දොරටුව නුගරුක මුල හිඳගෙන ගල්කැට විදිමින් ඇත්, අස්, රිය, මිනිස්, ගෙවල්, කොඩි, පුන්කලස් ආදී වූ රූප කොලවල සිතුවම් කරමින් සිටියා. නගරයේ දරුවන් මේ කොරාට කහවනු දී ඔහු ලවා විවිධ රූප නිමවා ගත්තා.

එක් දිනක් බරණැස් රජු නුවරින් පිටත්ව ඒ නුග රුක මුල අසලින් යනවිට නුග පත්වල ඇත්, අස් ආදී රූප දැක මෙසේ විවිධ රූප කවුරුන් විසින් කරන ලද්දැක් දැයි අසා සිටියා. එවිට මිනිසුන් ස්වාමිනි, මොහු විසින් යැයි කොරා පෙන්වූවා. රජු ඔහු කැඳවා පුරුෂයා මා පෙන්වන පුද්ගලයා කතා කරමින් සිටින විට ඔහුගේ කුස එළු බෙටි වලින් පිරවිය හැකිදැයි අසා සිටියා. ඔහු එහෙමයි රජතුමනි, පිළිතුªරු දුන්පසු රාජ භවයට ඔහු කැඳවා ගෙන ගොස් බොහෝ කථා කරන රජුට කරදරයක් වූ ‘පරෙයි’ නම් බමුණා පෙන්වා ඔහුව තිරයකින් වටකොට අර පිළවා ගෙන්වා එළුබෙටි භාජනයක් දී අර පරෙවි බමුණා කථා කරන විට ඔහුගේ උගුර තෙක් එළුබෙටි විදින්නයි අණ කළා. එළුබෙටි වමාරා දැමිය නො හැකි පුරෝහිතයා ඒවා ගිල්ලා. ඉන්පසු රජතුමා පුරෝහිතය, ඔබ තොරතෝංචියක් නැතිව කථා කිරීමේ විපාකය දැන් වින්දා. ඔබගේ බඩ එළුබෙටි වලින් පිරී තිබෙනවා. ඔබ දැන් ගොස් ඖෂධ වලින් සකස් කළ කැඳක් බී එළුබෙටි වමාරන්නැයි කියා සිටියා. පිළා කෙරෙහි පැහැදුණු රජු ඔහුට ගම්මර තුදුසක් දුන්නා.

එතැන් පටන් පිළා ගම්වර ලැබ තමන් සැපවත් වෙමින් අනුන්වද පිරිවර ජනයා ද සැපවත් කරමින් පිනවමින් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට සුදුසු පරිදි දන් දෙමින් මෙලොව පරලොව සඳහා අර්ථවත් වැඩෙහි යෙදෙමින් සුවසේ ජීවත් වුණා. තමා වෙත ශිල්පය ඉගෙනීමට එන අයට බත් වැටුප ලබා දුන්නා.

එක් දිනක් එක් පුරුෂයෙක් ඔහු සමීපයට පැමිණ තමාටත් මේ ශිල්ප උගන්වන්නැයි ඉල්ලා සිටියා. ඔහු ඊට එකඟව ඔහුට ශිල්පය උගන්වා අවසානයේ දී උගත් ශිල්පය විමසනු කැමැතිව ගංතෙරට ගියා. එහි වැඩසිටි සුනෙත්ත නම් පසේ බුදුන් වහන්සේ නමකට අතින් හිසට තදින් පහර දී හිස බින්ඳා. පසේ බුදුන් වහන්සේ ගංතෙරේදීම පිරිනිවන් පෑ සේක. මිනිසුන් ඒ පුවත අසා ගල් මල් දඬු අදියෙන් ගසා ඔහු මරණයට පත්කළා. ඔහු කළුරිය කොට අවීචි මහ නිරයේ ඉපිද බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයේ පැසී එම කර්මයාගේම විපාක වශයෙන් මෙම බුද්ධ කාලයෙහි රජගහ නුවරට නුදුරුව පේ‍්‍රතයකුව උපන්නා. ඔහුගේ කර්මයට සරිලන විපාක වශයෙන් අකුසල කර්ම බලවත්ව, පෙරවරුවේ, මධ්‍යාහ්නයේ හා සවස් කාලයේ යකඩ කුළු හැට දහසක් හිස මතුපිටට වැටී සුන්බුන් වූ හිස ඇතිව ඉතා බලවත් වේදනාවට පැමිණ බිම වැටෙනවා. යකුළු පහර වැදීම අවසන් වූ විගස ප්‍රකෘති සිහි ඇතිව තිබූ පරිදි හිසින් යුතුව සිටිනවා. එක් දවසක් ආයුෂ්මත් මහ මුගලන් වහන්සේ ගිජුකුළු පව්වෙන් බසිද්දී ඒ පේ‍්‍රතයා දැක මෙසේ අසා සිටියා.

ඔබ පිස්සු හැදිලා වගේ බිරාන්ත වූ සතෙක් වගේ දුවන්නේ ඇයි? නිසැකයෙන්ම පව් කෙරිල තියෙනවා. ඔබ මහ හඬින් කෑ ගසන්නේ ‍ෙමාකද?

අනේ් ස්වාමිනි, මම පෙරේතයෙක්. දුකට පත්වෙලයි ඉන්නේ. පෙරේත ලෝකේ ඉපදිලයි ඉන්නේ. හැම පැත්තෙන්ම යකඩ කුළු ගෙඩි හැට දහසක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස මුඳුන චප්ප කරනවා.

ඔබ විසින් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොනවගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත්වුණේ?

වඩන ලද ශ්‍රද්ධාදී ඉඳුරන් තියෙන සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේ මම දැක්කා. උන්වහන්සේ කිසි බියකින් තොරව රුක් සෙවණේ භාවනා කරමින් සිටියේ. මම අත මිටි මොලවලා උන්වහන්සේ හිස මතට පහර දීල හිස පැලුවා. ඒ කර්මය විපාකය තමයි මේ දුක මම විඳින්නේ.

හැම පැත්තෙන්ම යකඩ කුළු ගෙඩි හැට දහසක් ඇවිදින් මගේ ඔළුවට වදිනවා. එතකොට ඒ යකඩ කුළු ගෙඩි මගේ හිස මුදුන චප්ප කරනවා.

හැම පැත්තෙන්ම යඩක කුළු ගෙඩි හැට දහසක් ඇවිදින් ඔබේ ඔළුවට වදිනවානම්, ඒ යකඩ කුළු ගෙඩි ඔබේ හිස චප්ප කරනවා නම් පවුකාර පුරුෂය, ඔබට මෙසේ සිදුවන්නේ තමන්ගේම ක්‍රියාවට අනුරූපව යි.

මුගලන් රහතන් වහන්සේ මෙසේ පවසා දානය අවසානයේ ශාස්තෘන් වහන්සේ වෙත එළඹ මේ පුවත දන්වා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ කථාව අර්ථෝත්පත්තියෙන් සිව්වනක් පිරිසට ධර්මය දේශනා කළා. පසේ බුදුවරුන්ගේ ගුණානුභාවයද, කර්මය ද වඳ නො වන බවද වදාළා.