Print this Article


මෙත් සිත පතුරවා ගත සිත සුවපත් කර ගත හැකි යි

මෙත් සිත පතුරවා ගත සිත සුවපත් කර ගත හැකි යි

මෛත්‍රී භාවනාව හරිහැටි කළොත් ලෙඩ රෝග සනීප කර ගන්න පුළුවන්. පළමුව තමා විසින් තමාට ම මෛත්‍රී කළ යුතුයි. හිසේ සිට පිළිවෙළින් පාදාන්තය දක්වා සුවපත් වේවා! යනුවෙන් නැවත නැවත මෙත් සිත වර්ධනය කර ගත යුතුය. මෙසේ මෛත්‍රී වැඩීමෙන් චිත්ත ශක්තිය ශරීරයට බලපානවා. අනුන්ට පෙර පළමුව තමන්ට මෛත්‍රී කිරීමට පටන් ගන්නා විට තමන්ගේ රෝග පමණක් නොව අනුන්ගේ රෝග පවා සුවපත් කරවන්න පුළුවන්

2013 අප්‍රේල් 03 වනදා පත්‍රය හා සම්බන්ධයි

ප්‍රශ්නය – අවමංගල අවස්ථාවක “පාංශුකූ®ලය” නමින් භාවිතා කැරෙන්නේ මතක වස්ත්‍ර පූජාව ද?

පිළිතුර – ජීවත්ව සිටින කාලයේදී කැමැති නම් අටපිරිකර ආදිය පූජා කර ජීව දානාදි පින්කම් සිදු කළ හැකියි. එසේ කිරීමෙන් වරදක් නෑ. එක් එක් අය හදාගත් විවිධ චාරිත්‍ර ක්‍රම තිබෙනවා. ඒ ඒ තැනැත්තන්ගේ කැමැත්ත අනුව එසේ සිදු කළ හැකිය.අවමඟුලක් සිදුවීමෙන් පසුව තැන්පත් කිරීමට පෙර අද සිදු කැරෙනුයේ පාංශුකූ®ලය නොවේ.

අවමඟුලක් සිදුවීමෙන් පසු මරණයට පත් තැනැත්තා වෙනුවෙන් ජීවත්ව සිටින ඥාතීන් හිතවතුන් විසින් සඟරුවන වැඩමවා එසේ කැරෙන්නේ මතක වස්ත්‍ර පූජාවයි.

“පාංශුකූලය” යනුවෙන් සඳහන් කළ යුත්තේ අතීතයේ මළමිනි රෙදි කැබලි ඔතා අමුසොහොන්වල තැන්පත් කිරීමේ සිරිතක් තිබුණා.

එසේ තැන්පත් කැරෙන අයිතිකාරයකු නැති ඉවත දමාපු රෙදි කැබලි එකතු කර සිවුරු සකස් කර ගෙන තිබෙනවා. එසේ සකස්කර ගත් සිවුරු භික්‍ෂූන් වහන්සේගේ පරිහරණයට ගෙන තිබෙනවා.

ප්‍රශ්නය – මහනායක හාමුදුරුවනේ අදහසක් අරමුණක් නැති පින්කමක් සිදු කළ හැකි ද?

පිළිතුර - කිසිම අදහසක් අරමුණක් හෝ බලාපොරොත්තුවක් නැතිව යමක් කළ හැකි ද? විශේෂයෙන් අරමුණක් නැතිව කරන දේ පින්කමක් වෙන්නෙ කොහොමද? අදහසක, තේරුමක් නැතිව කරන යමක් කරනවා නම් පින්කමක් ද? ඒ නිසා පින්කමක් කිරීමට අරමුණක් තියෙන්න ඕනෑ.තේරුමක් ඇතිව යමක් කළ යුතුයි. පින්කමක් කිරීමට මුලින්ම ඉදිරිපත් වන්නේ අදහස හෝ අරමුණයි. අදහස ඉදිරිපත් වී එය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය උපකරණ සොයා ගත යුතුයි. ඒවාද තමන් දැහැමිව උපයා ගත් දේ විය යුතුයි. ඊළඟට පින්කමක් සිදු කර සතුටු විය යුතුයි. එවිට පින්කම සම්පූර්ණයි.මෙසේ මුල, මැද, අග යන අවස්ථා තුනේදී ඇති කර ගන්නා සිතිවිලි හෙවත් තුන්සිත ප්‍රසාදයට පත් කර ගෙන සිදු කරන දේ පින්කමයි.

ප්‍රශ්නය – මළගිය ඥාතීන් තුන් මාසයෙන් හා අවුරුද්දක් පිරීම නිමිත්තෙන් ආදි වශයෙන් විවිධ දානමානාදි පින්කම් කර පින් දෙනවා. එසේ පින්දීමේ විශේෂත්වයක් තිබෙනවාද? ඒ ගැන මහ නාහිමියන්ගේ අදහස (මෙම ලිපි පෙළින් මීට පෙර පළ කැර ඇතත් පාඨක බොහෝ දෙනාගේ ඉල්ලීම මත නැවතත් මහනාහිමියන්ගේ අදහස මෙසේ පළ කරමු)

පිළිතුර – මළගිය ඥාතීන් සිහිපත් කර පින් දීමට කාලයක් දිනයක් වේලාවක් නියමිත නෑ. කවර දවසක පින්කම් කළත් හොඳයි.

පරම්පරාගත සිරිතක් පුරාණ චාරිත්‍රයක් ලෙස සලකා එය ජීවත්ව සිටින ඤාතීන් ඉටුකරනවා. එය ඤාතීන් ගේ යුතුකමක්.

ප්‍රශ්නය – මෙසේ මිය යන හැම තැනැත්තෙක්ම දෙන පින් අනුමෝදන් වෙනවා ද?

පිළිතුර– ‘පරදත්තුප ජීවි’ යන පේ‍්‍රත කොට්ඨාසයට අයත්ව සිටියොත් පමණක් පින් අනුමෝදන් වෙන්න පුළුවන්.

මරණයට පත්වන අය කොතනක කවර ආකාරයකට උපත ලබනවාදැයි කියන්න අපහසු නිසා මළ ගිය අය සිහිපත් කර පින් දීම හැම අතින්ම හොඳයි.

ප්‍රශ්නය – මනුෂ්‍යයා තුළ හට ගන්නා භය යනු කුමක්දැයි විස්තර කළ හැක්කේ කෙසේ ද?

පිළිතුර – බිය කියන්නේ සාමාන්‍ය මිනිසාගේ සිත්වල ඇතිවන දුර්වල ද්වේශයයි. ද්වේශය ඇති විට බිය ඇතිවේ. සසර දුකට බිය යනු සසර ගැන ඇතිවන කලකිරීමයි. ඒ ගැන ද්වේශයක් නොමැත. සසර දොස් දකින නුවණ නිසා ඉන් මිදීමට ඇතිවන කැමැත්තයි. පවට ඇති බිය ඔත්තප්පයයි.

ප්‍රශ්නය – අප කරන පින් පව්වල විපාක ලබා දෙන්නේ කුමන බලවේගයක් මගින්ද?

පිළිතුර - මිනිසා කරන සෑම කාර්යයක්ම ශක්ති බවට පත් වී අපේ චිත්ත පරම්පරාවේ ශක්තියක් ලෙස ගැබ්වෙනවා.සුදුසු අවස්ථාවේදී එය මතු වෙනවා. මීයකු සපා කෑමෙන් පසු ඊට ප්‍රතිකාර නියමිත ආකාරයට නොකළහොත් හෝ නරක කෑමක් ගැනීමෙන් නැවත එම විෂ මතුවීමට ඉඩ තිබෙනවා. සමහර විට තුවාලයක් හට ගන්නවා. ඒ වගේම පැළයක් රෝපණය කළ විට ඒ පැළයේ වර්ධනයේ ශක්තියක් තිබෙනවා. නමුත් ඒ ශක්තිය කුමක්දැයි කිව නොහැකියි. ඒ වගේම චිත්ත පරම්පරාවේ සිතිවිලි තිබෙනවා. නියමිත වේලාවට ඒවා මතුවෙනවා .එසේ මතුවන වේලාවට පලදීමට පටන් ගන්නවා.

දෙවිවරු

ප්‍රශ්නය - දෙවිවරු යනු ශරීරය නොමැති සිත පමණක් ඇති කොටසක් ද?

පිළිතුර - දෙවිවරුන්ට අපට වගේම ශරීර තිබෙනවා. හැබැයි සියුම් ශරීර තිබෙන්නෙ.අපේ ඇහැට පේන්නෙ නෑ. ශරීරය ගනකර ගන්න පුළුවන් වුණොත් අපට පේන්න පටන් ගන්නවා.

ප්‍රශ්නය - සමහර විට යම් පුද්ගලයකු කරදරයකට ලක්වීමේදී දෙවියන් වෙත පුදපූජා පවත්වමින් දෙවියන්ගෙන් ආරක්‍ෂාව ද ඉල්ලා සිටිනවා. දෙවියන්ට එසේ ඔවුන්ට ආරක්‍ෂාව ලබා දිය හැකි ද?

පිළිතුර - දෙවිවරු පුළුවන් විදියෙන් උදව් කරනවා. නමුත් අපේ වැඩ කරන්න ඔවුන් බැඳීලා නෑ. දෙවිවරුන්ගේ නොයෙක් වැඩ තියෙනවා.අප ඉල්ලන තරමට ඇහුන්කම් දෙන්න ඒ ඇත්තන්ට වේලාවක් නෑ. පුළුවන් තරමට උදව් කරනවා. හැර වෙන වැඩක් නෑ.

ප්‍රශ්නය -
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤේන මේතේන ච හෝතු මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථා යාති විනාසභාවං
පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාසභාවං
යනුවෙන් මල් පූජා කරන ගාථාව දෙවිධියකට ප්‍රකාශ කරනවා. මෙහි වෙනස කුමක් ද? මේ දෙකම හරි ද? නැත්නම් එකක් වැරදිද?

පිළිතුර - ගාථා දෙකේම අර්ථය එකයි. ඒ පිනේ බලයෙන් මට මෝක්ෂය ලැබේවා යන්න ප්‍රාර්ථනාවයි තියෙන්නෙ. මොක්ඛ ශබ්දය පුල්ලිංගයෙන් මොක්ඛො කියන්න යෙදෙන නිසා හෝතුමොක්ඛෝ කියල යෙදුවොත් ශබ්ද කරන විට රසයක් නෑ. ඒ නිසා මොක්ඛං යනුවෙන් දුතියා විභක්තියෙන් යොදලා ලභාමි මොක්ඛං යනුවෙන් භාවිතා කරනවා.

ප්‍ර‍්‍රශ්නය – සමහර පාසල් සිසුන්ට විශේෂයෙන් විභාග අවස්ථාවලදී තමන්ගේ පොත් පත්වල ඇති කරුණු පාඩම් කරන්නට මහන්සි ගත්තත් අමතක වන ස්වභාවයක් තියෙනවා. ආගමික වශයෙන් ඊට යම් ප්‍රතිකර්මයක් සිදු කළ හැකි ද?

පිළිතුර - අමතක වන්නේ සිත එකඟකමක් නැති නිසා. සීලය ආරක්‍ෂා කරමින් හිත එක අරමුණක පිහිටුවා ගත හැකි කවර භාවනාවත් හොඳයි. විශේෂයෙන් මෛත්‍රී භාවනාව බොහොම ලෙහෙසියි.

රෝගාබාධා සුව කළ හැකි මඟක්

ප්‍රශ්නය - මෙත් වැඩීමෙන් විවිධ රෝගාබාධ දුරු කර ගත හැකි ද?

පිළිතුර – මෛත්‍රී භාවනාව හරිහැටි කළොත් ලෙඩ රෝග සනීප කර ගන්න පුළුවන්. පළමුව තමා විසින් තමාට ම මෛත්‍රී කළ යුතුයි. හිසේ සිට පිළිවෙළින් පාදාන්තය දක්වා සුවපත්වේවා! යනුවෙන් නැවත නැවත මෙත් සිත වර්ධනය කර ගත යුතුය.

මෙසේ මෛත්‍රී වැඩීමෙන් චිත්ත ශක්තිය ශරීරයට බලපානවා. අනුන්ට පෙර පළමුව තමන්ට මෛත්‍රී කිරීමට පටන් ගන්නා විට තමන්ගේ රෝග පමණක් නොව අනුන්ගේ රෝග පවා සුවපත් කරවන්න පුළුවන්.

ප්‍රශ්නය – විවිධ අපල දුරු කර ගැනීම සඳහා බෝධි වෘක්‍ෂය වෙත පුද පූජා පැවැත්වීමේ සිරිතක් තිබෙනවා. එසේ පුද පූජා තබා ආශිර්වාදය ලැබිය හැකි ද?

පිළිතුර -සමහර ගස්වලින් කිරණ නික්මෙන බව විද්‍යාඥයින් පවා පිළිගෙන තිබෙනවා. බෝ සෙවණේ ඇසුර ලැබීමෙන් කරදර දුරු කර ගන්නත් පුළුවන්.

ප්‍රශ්නය - පිරිත් දේශනාව තුළින් ශ්‍රවණය කරන්නන් වෙත ආශිර්වාදය ලැබිය නොහැකිද?

පිළිතුර – පිරිත් දේශනාව සිතේ බලපවත්වන කරුණා සහගත සිතින් පැවැත්වීමෙන් අසන අය ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ඇසීමෙන් ගුණ ලබන්න පුළුවන්. රෝග පීඩා දුරු කර ගන්නත් පුළුවන්.

දේශනා කරන ඇත්තන් තුළ කරුණාව හා ඒ තුළත් අසන ඇත්තන් තුළත් ශ්‍රද්ධාව හා එකඟකම තියෙන්න ඕනෑ. එවිට බලාපොරොත්තු වන අදහස් ඉටු කරගත හැකිය..

ආගම ඕනෑ වයසට ගියාම ද?

ප්‍රශ්නය - තමන්ගෙ ශක්තිය දුර්වල වන විට විශේෂයෙන් සමහර විට මහලු වයසෙහි ඇතැම් අය ආගම දහම පැත්තට වැඩිපුර නැඹුරු වෙනවා.මෙසේ සමහර අය වයසට යෑමේදී පමණක් ආගමික පැත්තට නැඹුරු වන්නේ ඇයි?

පිළිතුර – තමන්ගේ ශක්තිය තිබීම වැදගත්. එහෙත් විපතක් කරදරයක් පැමිණෙන විට හිතේ කොයිතරම් ආඩම්බර ගති තිබුණත් පලක් නෑ.

තමන් මානසික වශයෙන් දුර්වල වන විට ආගම පැත්තට සිත නැඹුරු වෙනවා. ඒක ලෝකයේ ස්වභාවයයි. ඊට බලපාන්නේ වයස නොව හිතේ දුර්වල කමයි.ඇඟ පත දුර්වල වන විට කොහොමටත් පින්දහම් කරන්න ඕන වෙනවා.

හැම විටම පිහිටක් බලාපොරොත්තුවෙන් ආගම දහමට නැඹුරුවීම ලොව මනුෂ්‍යයන්ගෙ ස්වභාවයයි.

ඉතිරි කොටස අප්‍රේල් 18 වන දා පත්‍රයේ පළ වේ