Print this Article


උතුම් නිවන සදා සැනසුමයි

උතුම් නිවන සදා සැනසුමයි

ශ්‍රී සද්ධර්මය නමැති සූර්යයා ලොව පහළ වී ඇති මේ යුගයේ මඩ ගොහොරුවේ නොඑරී මඩ ගොඩෙන් මතුවී ධර්මයට තමන්ගේ අවධානය යොමුකොට ඒ තුළින් තමන්ගේ යහපත සලසා ගන්නටත් පරම ශාන්ත වූ උතුම් නිවන් සුව අවබෝධ කරගන්නටත් අපි සැම අදිටන් කරගත යුතු වෙමු

මෙම ලිපියේ දෙවන කොටස ‘උපන් කිසිවකුට අමරණීය විය නොහැකිය’ යනුවෙන් මැදින් අව අටවක පත්‍රයේ පළ විය. අද පළවෙන්නේ එහි අවසන් කොටසයි.

අප චතුරාර්ය සත්‍යය අවබෝධ කළ යුතු යයි ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම අප අවබෝධ කරගත යුත්තේ දුක්ඛ සත්‍යයයි. වැඩිය යුත්තේ සීල, සමාධි, ප්‍රඥා යන මාර්ගයයි. ප්‍රහාණය කළ යුතු වන්නේ තෘෂ්ණාවයි. සාක්ෂාත් කළ යුත්තේ චතුරාර්ය සත්‍යයේ අවසන් කොටස හෙවත් නිර්වාණයයි.

නිර්වාණය ලෙස අර්ථකථන දෙකකි. සමහරු නිර්වාණය නිර්වචනය කළ නොහැකි යයි කියති. මේ පිළිබඳ අලංකාර උපමාවක් වල්පොල රාහුල හිමියන් ‘බුදුන් වදාළ ධර්මය’ පොතේ මෙසේ දැක්වේ.

එක් විලක හිතවත් මාළුවෙක් හා ඉබ්බෙක් විසූහ. දිනක් ඉබ්බා ගොඩබිම සංචාරයේ ගොස් ආපසු විලට පැමිණි කල මෙවන් දෙබසක් ඔවුන් අතර ඇතිවිය.

මාළුවා :- කොහේද යාළුවේ ගියේ?

ඉබ්බා :- මම ගොඩබිමට ගියා

මාළුවා :- කොහොමද ගොඩබිම තොරතුරු?

ඉබ්බා :- ගොඩබිම මහ රළු පෘෂ්ඨයක් සහිත ගස්කොළන් බහුල ඉර එළිය වැටෙන බිමකි

මාළුවා :- යාළුවේ ඔබ පීනමින්ද ඔපමණ දුර ගියේ?

එම කෙටි දෙබසට අනුව පැහැදිලි වන්නේ යහළුවන් දෙදෙනාගෙන් ඉබ්බා තනිව ගොඩබිම ඇවිද තොරතුරු දැනගත් බවය. ඒ ගමන මාළුවා සමඟ යාමට කිසිදු හැකියාවක් නොමැත. එමෙන් නිවන පිළිබඳ අවබෝධය තම තමන් විසින් ස්වාධීනව ළඟා කරගත යුත්තකි. ඒ අත්දැකීම අන්‍යයාට පැහැදිලි කළ නොහැක්කකි.

“පච්චත්තං වෙදිතබෙබා විඤ්ඤූහීති” යනුවෙන් ප්‍රකාශ කෙරෙනෙුයේ එම කාරණය පිළිබඳවය. නිවන දෙයාකාරයෙන් දැක්වේ.

1. සෝපාදිසෙස නිබ්බාණ
2. අනුපාදිසෙස නිබ්බාණ යනුවෙනි.

එදා බෝධිමූලයෙහි 35 වන වියේදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව ළඟා කර ගත් සෝපාදිසෙස්ස නිබ්බාණයයි වසර 45 ක් පුරා ලෝක සත්ත්වයාට ධර්මය දේශනා කොට 80 වනවියේදී අනුපාදිසේස ධාතුවෙන් පිරිනිවන් පෑ සේක.ඒ උන්වහන්සේ අනුපාදිසෙස නිබ්බාණය ලබාගැනීමයි.

බුදුන් වහන්සේලාට භවය,ජීවිතය පිළිබඳ දුකක් නොමැත. අපට දැනෙන බොහෝ දේ උන්වහන්සේලාට නොදැනේ.අපට දැනෙනා බඩගින්න උන්වහන්සේලාගේ අවශ්‍යතාවයක් පමණි. එමෙන්ම රහතන් වහන්සේලාද ලෝක ව්‍යවහාරයට එකඟව වන්දනා කරති. මල් පුදති. එහෙත් උන්වහන්සේලා මෙවන් ගුණයන්ගෙන් යුතුවේ.

කතකිච්චා - එනම් කළ යුතුදේ කොට අවසන් උත්තමයෝ වෙති

ඔහිතභාරො - සසර බර බිමින් තැබු උත්තමයෝ වෙති.

නාපරං ඉත්ථත්තායා - යළි නිවන පිණිස කළ යුතු කාර්ය භාරයක් නොමැති උත්තමයෝ වෙති.

බුදුන් වහන්සේලා නැවත සසරට නොඑති. රහතන් වහන්සේලා ආපසු නොපිරිහෙති.

“අසංඛතං සිවං අමතං සුදුද්දසං සරණං පරායණං අනීතිකං” ආදි වශයෙන් නිවන පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

“අසංඛත-මෙලොව පවතින සියල්ල හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේ වන හෙයින් සංඛත වේ. අසංඛත යනු හටගැනීමක් හෝ හටගැනීම සඳහා හේතුපත්‍ර්‍යයන් නොමැති බවය. යළි ඉපදීමත්, වෙනස්වී යාමක් නොමැත.

සංඛත ධර්ම – ඉහතින් සඳහන් කළ සංඛත ධර්මයන්හි ලක්ෂණ මෙසේ පෙන්වා ඇත.

තීණීමානි භික්ඛවෙ සඞ්ඛතස්ස සංඛතලක්‍ඛණානි
කතමාණි තීණී උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති,
ඨීතස්ස අඤ්ඤතත්තං පඤ්ඤයති

හටගැන්මක් ඇති, වෙනස්වී යන පැවැත්මක් ඇති මුළුමනින්ම වෙනස්වී යන දේ සංඛත ධර්ම ලෙස සැලකේ.

සිවං සිවං යනු මුළුමනින්ම මනෝඥ වු යන අරුත් දෙයි.වෙනත් උසස් යැයි කිසිවකින් යටපත් කළ නොහැකි යන අරුත දේ. බුදුන්වහන්සේලා ඒ තරමටම උසස් උත්තමයෝ වෙති.

අමත – මත යනුවෙන් මරණය හැඳින්වේ. අමත යනු මරණය නැති තැනයි. උපත අපේක්ෂා කරන්නෝ මරණය ද අපේක්ෂා කළ යුතු අතර මරණය උපත සමගම පැමිණෙන්නකි.

උප්පත්තියා සහෙවදං මරණං ආගතං සදා

පිළිසිඳ ගැනීමක්, චුතවීමක් මරණයක් නොමැත්තේ නිවනට පමණි.

පරායණ, සරණ – යනුවෙන් අරුත් දෙන්නේ මේ තත්ත්වයට වඩා වෙනත් උතුම් දෙයක් නොමැති බැවිනි.

“සංසාරොඝා මහබ්භයා – සංසාරය ඕඝයකි. සැඩ පහරක් වන් සසර බියකරු බවත් එවන් සසරක සැරිසරන අපි ලොව්තුරා බුදුන් වහන්සේගේ ශාසනය පවතින කාලයක මිනිසුන් වී, සම්‍යක්දෘෂ්ටිකව සිටිමු. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රිය සහිතව ධර්මය ශ්‍රවණය කිරීමෙන් විමුක්තිය ලබාගැනීමට අවශ්‍ය කරන ඥානශක්තිය ඇතිව ඉපදී සිටිමු. එසේ අප මේ ලැබූ මනුෂ්‍යත්වය ප්‍රයෝජනයට නොගතහොත් එය මහා අභාග්‍යයකි.

ඒ හෙයින් මේ උතුම් ශ්‍රී සද්ධර්මය තම දිවියට අවංක ප්‍රතිපදාවක් ලෙස අනුගතකර ගනිමින්, එය යහපතක් සේ සලකා ඒ තුළ හැසිරෙමින් උතුම්නිවන් සුව සලසා ගැනීමට අදිටන් කරගනිමු. චතුරාර්ය සත්‍යය තුළින් හෙළිකරනුයේ ඒ මාර්ගයයි.

සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමි දම් පුරමින් ලෝක සත්ත්වයා වෙනුවෙන් සිදුකරන ලද උතුම් මෙහෙයට අපි ණය ගැති වෙමු. එදා දීපංකර බුදුරදුන් සමයේ සුමේධ තාපසයා ලෙස කටයුතු කළ ගෞතම බුදුපියාණන් වහන්සේට සසරින් එතෙර වීමට අවස්ථාව තිබුණි.අර්හත් භාවයට පත්වීමට ඉඩකඩ තිබුණි. එහෙත් උන්වහන්සේ අප වෙනුවෙන් දුක් වින්දසේක.එදා උන්වහන්සේගේ අදිටන වූයේ.

කිං මෙ එකෙන තිණෙණන
පුරිසෙන ථාමදස්සිනා
සබ්බඤඤුතං පාපුණිත්වා
සංතාරෙස්සං සදෙවකො

තනිව මා සසරින් එතෙරව කුමට ද? ශක්තිමත් පුරුෂයෙක් ලෙස, සර්වඥ ඥානය ලැබ, දෙවියන් සහිත ලෝකයා සසරින් එතෙර කරවමි යන්නයි.

තිණෙනාහං තාරෙයිස්සාමි
මුතෙතාහං මොචයෙ පරෙ

“මමත් සසර තරණය කොට සෙස්සනුත් සසරින් එතෙර කරවමි” යන්න උන්වහන්සේගේ තිර අදිටන විය. එම බෝධිචිත්තය බුද්ධත්වය සඳහා අවැසි අභිනීහාරය උන්වහන්සේ ඇතිකරගත්තේ එවන් ශ්‍රේෂ්ඨ පරාර්ථකාමී අරමුණක් මතය.

එහෙයින් බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය නමැති සූර්යයා ලොව පහළ වී ඇති මේ යුගයේ මඩ ගොහොරුවේ නොඑරී මඩ ගොඩෙන් මතුවී ධර්මයට තමන්ගේ අවධානය යොමුකොට ඒ තුළින් තමන්ගේ යහපත සලසා ගන්නටත් පරම ශාන්ත වූ උතුම් නිවන් සුව අවබෝධ කරගන්නටත් අපි සැම අදිටන් කරගත යුතු වෙමු.


උපන් කිසිවකුට අමරණීය විය නොහැකිය