Print this Article


දියුණුවට නොවරදින මාවත

දියුණුවට නොවරදින මාවත අරි අටඟි මඟ

ලොව ජීවත්වීමේ දී අනුගමනය කළ යුතු සම්‍යක් ක්‍රියා පිළිවෙළ බුදුදහමේ මැනැවින් විග්‍රහ කර ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. බුදුරදුන් ලොව පහළවන වකවානුවේ පුද්ගලයන් ජීවිතය පවත්වා ගැනීමේ දී මෙන්ම ලෝකය ජය ගැනීම උදෙසා ද අනුගමනය කළ ක්‍රියා පිළිවෙළ දෙකක් විය. ඒවා නම් කාමසුඛල්ලිකානු යෝගය (ශරීරයට අධික ලෙස සැප ලබා දීම) සහ අත්තකිලමථානු යෝගය (ශරීරයට අධික ලෙස දුක් දීම) යි.

මේ පිළිවෙළ දෙකම අන්තගාමී ප්‍රතිපදාවන්ය. මේවා අනුගමනය කිරීම සිය පෞරුෂය අවතක්සේරු කර ගැනීමකි; අනර්ථය කැඳවීමකි. ඒ අනර්ථයෙන් මිදීම සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව බුද්ධදේශනාවේ සඳහන් වේ. එනම් ඉහත අන්ත දෙකම බැහැර කළ (ඉවත් වූ) මධ්‍යම ප්‍රතිපදාවයි. මේ සම්බන්ධ මූලික ඉගැන්වීම ධම්මචක්ක පවත්තන සූත්‍රයේ සඳහන් වේ.

බුදුදහමේ මූලික ඉගැන්වීම් අතර ප්‍රමුඛ වූ මධ්‍යම ප්‍රතිපදා මාර්ගය විග්‍රහ කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පාදක කර ගනිමිනි. ධම්මචක්ක පවත්තන සූත්‍රයේ ඉදිරිපත් කෙරෙන චතුරාර්ය සත්‍ය ඉගැන්වීම් හි එක් කොටසක් හැටියට මෙය හඳුන්වා දිය හැකි ය. දුක, ලොව පවතින පරම සත්‍යයකි. එය නොයෙක් ආකාරයට නිර්වචනය කළ හැකි ය. එමෙන් ම දුක හටගැනීමේ හේතුව, එනම් දුක්ඛ සමුදය තණ්හාවයි. තණ්හාව කොටස් රාශියකින් යුක්ත වේ. ඒ ගැන මෙහි දි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු නොවේ. දුක ඇත. එයට හේතුවක් ඇත. එම හේතුව නැති කිරීමෙන් දුක කෙළවර කළ හැකි ය. දුක නැතිකරනු සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් ඇත. චතුරාර්ය සත්‍යයේ හතරවැන්න හැටියට එය දැක්වෙයි.

දුක්ඛාර්ය සත්‍යය (දුක), දුක්ඛ සමුදයාර්ය සත්‍යය (දුක හටගැනීමේ හේතුව), දුක්ඛ නිරෝධාර්ය සත්‍යය (දුක නැති කිරීම) සහ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය (දුක නැති කිරීමේ මඟ) වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයේ දී චතුරාර්ය සත්‍ය විග්‍රහ කෙරේ. මෙහි දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය නිවන් අවබෝධය පිණිස අනුදත් මාර්ගය වේ. පෙර සඳහන් කළ පරිදි අත්තකිලමථානු යෝගයෙන් හා කාමසුඛල්ලිකානු යෝගයෙන් බැහැරව ක්‍රියා කළ යුත්තේ මෙහිදී ය.

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග අටයි. මෙම අංග අට ඔස්සේ කෙරෙන ඉගැන්වීම අධ්‍යාත්මික සංවර්ධනය පාදක කරගත් නිවන් සුවය සඳහා පමණක් නොව මෙලොව ජීවිතය ක්‍රමවත් කොට ගෙන, සාරධර්මයන්ගෙන් පිරුණු යහපත් ජීවිතයක් පවත්වා ගැනීමටද අතිශයින්ම උපයෝගී කරගත හැකිය. එබැවින් මෙම ඉගැන්වීම් අපගේ පෞද්ගලික ජීවිතය හා බද්ධ කරගත හැක්කේ කෙසේද යන්න දැන සිටීම වැදගත් වේ.

යහපත් වූ නිවැරැදි දැකීම සම්මා දිට්ඨියයි. නිවැරැදි දැකීම නම් කුමක්දැයි තමාම විමසා දැනගැනීම ප්‍රයෝජනවත් ය. විශේෂයෙන්ම මෙහිදී තමාටත්, අනුන්ටත්, තමාට හා අනුන්ටත් හානිකර හා හානිවිය හැකි අවස්ථා බුද්ධිමත්ව දැන ඉන් වැළැකී සද්ජීවිතයක් ගත කරන්නට අදිටන් කරගත යුතු ය. බුද්ධිමත්ව විමසීමේ දී තමා විසින් කරන කරවන කටයුතුවල ඇති හරවත්භාවය තේරුම්ගත හැකිවන අතර, වැළැකිය යුතු දෑ අතැර ඵලදායක යහපත් දේ පමණක් භාර ගැනීමට සම්‍යක් දෘෂ්ටිය (සම්මා දිට්ඨිය) පාදක කරගත හැකි ය. එනම් සත්‍ය කුමක් ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගැනීම වේ.

සංකප්පය යනු ඒ ඒ පුද්ගලයා සතුව ඇති සිතුවිලි, එනම් අදහස් සමුදාය වේ. එය යහපත් හෝ අයහපත් හෝ විය හැකිය. යහපත් අදහස් ඇත්තේ හෙතෙම සම්මා සංකප්පයෙන් යුක්ත වූවෙකි. මෙම සම්මා සංකල්පනාව නෙක්ඛම්ම, අව්‍යාපාද හා අවිහිංසා වශයෙන් කොටස් තුනකට බෙදා ඇත.

පංචකාම සම්පත්තියෙන් උද්දාම නොවී ඉන් ඉවත්වීමට කටයුතු කරන්නේ ඉන් නික්මීමට අවශ්‍ය පසුබිම සකස්කර ගනී. පසිඳුරන් අනවශ්‍ය පරිදි පිනවීමකින් තොරව කටයුතු කරන්නා සරල ජීවිතයකට උරුමකම් කියන්නෙකි. පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකි. එය නෙක්ඛම්ම සංකල්පනාවේ ප්‍රතිඵලයකි.

හිංසාකාරිත්වය පිළිබඳ අදහස්වලින් බැහැරව කටයුතු කිරීම අවිහිංසා සංකප්පය ලෙස දක්වා තිබේ. සියලුම සතුන් හිංසාවට බිය වේ. මරණයට බිය වේ. තම ජීවිතයට ඔවුහු පි‍්‍රය කරති. තමන් එසේ පි‍්‍රයකරන්නේ නම් අන්‍යයන් විෂයෙහි ද එසේම සිතිය යුතු ය. පිළිපැදිය යුතු ය. එසේ වූ විට බියජනක, සැකසහිත සමාජයක් ඇති නොවේ. එහි අවසන් ඵලය වන්නේ එකිනෙකා විනාශ කර ගන්නා විනාශකාරී සමාජයක් මිහිපිටින් තුරන්ව යෑමයි. අනුන්ගේ සම්පත් ඉවසනු නොහැකිව, ඒ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් කටයුතු කිරීම අද සමාජයේ ද දකින්නට නැතිවා ම නොවේ. මෙහි දී ව්‍යාපාදය එනම් අනුන් නැසේවා’යි පැතීම ඇති වේ. ඉන් බැහැරව මෛත්‍රී සහගතව ක්‍රියා කිරීම උතුම් ගුණයකි. එසේ කටයුතු කිරීම අව්‍යාපාද සංකල්පනාවයි. එමඟින් වෛර කරන්නන්ගෙන් තොර සමාජයක් බිහිකරගත හැකි වේ.

අද ලෝකයේ බොහෝ කොට දකින්නට, අසන්නට ලැබෙන්නේ බොරුව, කේලම, ඵරුස වචනය (රළු වචන) හා හිස්බස් කීමයි. සමාජ තරාතිරම නොබලා මෙහි යෙදෙනු දැකිය හැකි ය. එය නොසරුප් වචනයි. එහෙත් සමාජ හිතකාමී පුද්ගලයා මේ වචනයේ දෝෂ සතරෙන් මිදි යහපත් වචන භාවිත කළ යුතු ය. වචනයේ දෝෂ සතර හේතු කොට සමඟිය බිඳී, සමාජය භේද බින්න වන අතර එකිනෙකා අතර විශ්වසනීයත්වය ද බිඳී එකිනෙකා අවිශ්වාස කරන සමාජයක් ඇතිවිය හැකිය. යහපත් වචනයෙන් යුක්ත වීම සීලයෙහි ද කොටසක් වන බැවින් වචනය සංවර කර ගැනීමෙන් හික්මුණු සංවර පිරිසක් බිහිවනු ඇත.

අද බහුලව දකින්නට ඇති තවත් තත්ත්වයකි, කායික දුශ්චරිතයන් හි බහුලත්වය. ප්‍රාණඝාත (පරපණ නැසුම), අදත්තාදානය (සොරකම) සහ කාමමිච්ඡාචාරය (වැරැදි ලෙස කම්සැප සෙවුම) එම දුශ්චරිත වේ. ප්‍රාණඝාතයෙන් කෙනකුගේ ජීවත්වීමේ ඇති අයිතිය විනාශවන අතර, අදත්තාදානයෙන් පෞද්ගලික ධනයට ඇති හිමිකමට හානි ඇති වේ. කාමමිච්ඡාචාරයෙන් විශ්වාසය පළුදු වී ගිය අවිනීත සමාජයක් බිහි වේ. මෙම දුසිරිත්වලින් වැළැකීම සම්මා කම්මන්තයයි. කම්මන්ත නම් යහපත් ක්‍රියාවන් වේ. යහපත් ක්‍රියාවන්ගෙන් පෝෂිත සමාජය අභය බිමකි.

ජීවත්වීමට කවුරුත් පි‍්‍රය කරති. එහෙත් වඩාත් යහපත්ව ජීවත්වීම සඳහා කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න නොදනිති. මුදල් මතම සියල්ල තීරණය කරන පිරිස කෙසේ හෝ මුදල් ඉපැයීමට උත්සුක වෙති. ඔවුන්ට සියල්ල මුදලින් තක්සේරු කළ නොහැකි බව නොවැටහේ. මේ නිසා මුදල් උපයනු සඳහා ඔවුහු වැරැදි ක්‍රියාවල පවා යෙදෙති. තමා කරනු ලබන රැකියාව මැනැවින් කිරීම, දහදිය මහන්සියෙන් උපයා ගැනීම, තමා ලබාගන්නා වැටුපට සරිලන පරිදි සේවාවක් කළේ යැයි සිතා සැනසීමට හැකිවීම ඉතා වටිනා තත්ත්වයකි. එසේ නොවන්නේ නම්, ඔහුගේ යැපීම ‘ගිනි කෑම’ හා සමාන වේ. එවැනි අසද්ක්‍රියාවන්ගෙන් බැහැරව යහපත්ව ජීවිකාව පැවැත්වීම සම්මා ආජීවයයි. පෙර සඳහන් කළ වචනයේ සතරාකාර දුශ්චරිතයෙන් වෙන් වී, ත්‍රිවිධ කාය දුශ්චරිතයෙන් බැහැර වී සතුන්, මස් මාංශ, වස විස, අවි ආයුධ, මත්වතුර සහ මත් ද්‍රව්‍ය නිෂ්පාදනය හා වෙළෙඳාම යන අනර්ථකාරී ව්‍යාපාරවලින් වැළැකී කටයුතු කිරීම නිර්භය සමාජයක පදනම වේ.

සියල්ල මෙලෙස සම්පූර්ණ කළ යුතු වුව ද ඒ සෑම කාර්යයක් සඳහා ම උත්සාහය අවශ්‍ය වේ. උත්සාහය අවශ්‍ය වන්නේ නිවැරැදි මාවතේ අප්‍රමාදිව ගමන් ගනු සඳහා ය. උත්සාහයෙන් තොර වූ කිසිදු අයකුට සමාජගත දියුණුවක් ලබා ගැනීම අපහසු වනු ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී කුසල්, අකුසල් පාදක කොට ගෙන සම්මා වායාමය විස්තර කර ඇතත්, ලෞකික දියුණුවේ මං පෙත් සොයන පුද්ගලයාට වැරැදි මාර්ගයෙන් ධනය ඉපැයීමට උත්සාහ නොගැනීම, වැරැදි මඟින් ධනය උපයා ඇත්නම් වහා එම ක්‍රමයෙන් මිදීම, දැහැමි ක්‍රමයෙන් ධනය ඉපැයීම, දැහැමිව උපයාගත් ධනය දැහැමිව වර්ධනය කර ගැනීම යන ආකාරයට ද උත්සාහවත් වීම ප්‍රයෝජනවත් වේ.

යහපත් සිහිය නොමැති තැන කිසිදු කටයුත්තක් විධිමත්ව කළ නොහැකිය. යහපත් සිහියක් ඇති කල්හි සිතා විමසා කටයුතු කිරීමට පෙළැඹේ. එවිට නිවැරැදි දැක්මක් ඇතිවේ. කය පවත්වා ගැනීම පිළිබඳ සිහිය පවත්වා ගත යුතු ය. දුක් පීඩා, ලෙඩ රෝග, ආපදා වළක්වා ගන්නට සිහිය උපයෝගි කරගත හැකි ය. සැප – දුක මිනිසා සමඟ නිරන්තරයෙන් බැඳී පවතී. එහි යථාර්ථය වටහා ගන්නට විඳීම (වේදනාව) පිළිබඳ අවබෝධයක් තිබිය යුතුම ය.පුද්ගලයාගේ නිරන්තර වෙනස්වීම පිළිබඳ වටහාගත හැක්කේ සිත මූලික කර ගෙන බැවින්, මනා ලෙස සිත පිහිටුවා ගෙන කටයුතු කිරීම ද කළ යුතු ය. එවිට නිවැරැදි දේ පමණක් කළ හැකි වනු ඇත. හොඳ – නරක පිළිබඳ විමසා, නරක බැහැර කොට, හොඳ වර්ධනය කිරීම සඳහා ද සිහිය යොදා ගත හැකි ය. මේ සියල්ල සම්මා සතියෙන් ප්‍රකට කෙරේ.

යහපත් සිතුවිලි, ක්‍රියාකාරකම් විෂයෙහි සිත පවත්වා ගෙන කටයුතු කළ හැකි වන්නේ සිතේ එකඟතාව පවත්වා ගැනීම මඟින් පමණකි. එය පුද්ගලයාගේ දියුණුව තහවුරු කර ගැනීමට මහෝපකාරී වේ. එය යහපත් වූ සමාධියයි. මෙහි දී අපට තහවුරු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අධ්‍යාත්මික දියුණුවට මෙන්ම භෞතික දියුණුවට ද යොදාගත හැකි ධර්ම මාර්ගයක් බව ය.