Print this Article


යහගුණ අස්වනු නෙළන පලබර සමය

පළුදු වී යන සමාජ සබඳතා යළි ගොඩනඟාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට සිංහල අලුත් අවුරුදු උත්සව කාලය ඉතා වැදගත් වේ. සමාජ විද්‍යාත්මකව විමසා බැලු කල, ඉතා වටිනා චාරිත්‍ර ලෙස අවුරුද්ද වෙනුවෙන් සිදු කෙරෙන නැකතට වැඩ ඇල්ලීම, ආහාර පිසීම හා සාමූහිකව ආහාර අනුභව කිරීම වැනි දේ පෙන්වා දිය හැකිය. මුළු රටම එසේ එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය මහත් ආශිර්වාදයක් වනු ඇත. එබැවින් ආගමික ශ්‍රද්ධාව මුසු වටපිටාව තුළ මහත් සොම්නසෙන් යුක්තව අවුරුදු කාලය ගත කිරීමට පසුබිම සකසා ගැනීම වටී.

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
දීඝා ජාගරතො රත්තී
දීඝං සන්තස්ස යෝජනං
දීඝො බාලානං සංසාරො
සද්ධම්මං අවිජානතං
(ධම්මපදය - බාල වග්ගය)

සැදැහැවතුනි,

අද බක් මස අමාවක පොහෝ දිනයයි. මේ බක් මහ සිංහල මාස රටාවේ පළමුවැන්නට අයත් වේ. එහෙත් වර්තමාන භාවිතය අනුව, වසරේ සිවුවැනි මාසයයි.සිංහල මාස ක්‍රමය අනුව වසර ආරම්භවනුයේ මෙම බක් මහෙන් හෙවත් අපේ‍්‍රල් මාසයෙනි.සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් බක් මහ බෙහෙවින්ම භාග්‍යවන්ත මාසයකි. තුරුලතා මල්ඵලින් බරව, විසිතුරු සියොතුන් ගේ මිහිරි නාදයෙන් සිත පිනවන සුවබර සමයක් බක් මහෙන් ඇරැඹෙයි. වගා කළ කෙත්වතුවල අස්වනු නෙළා නිම කළ ගොවීහුද බක් මහ උදාවන සමය වන විට අටුකොටු පුරවා නිවෙස් තුළ මහත් සැනසිල්ලෙන් ජීවත්වෙති.

සිංහල අලුත් අවුරුදු උත්සවය යෙදී ඇත්තේද බක් මාසයේය. පළුදු වී යන සමාජ සබඳතා යළි ගොඩනඟාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට කාලය උදාවන මෙම අවස්ථාව ද ඉතා වැදගත් කොට සැලකිය හැකිය. සිංහල අවුරුදු උත්සවය කාලාන්තරයක් තිස්සේ අනුක්‍රමයෙන් සංවර්ධනය වූ සමාජයීය ක්‍රියාකාරකමක් ලෙස හඳුන්වා දිය හැකිය. එහෙත් අද වන විට සිංහල අවුරුදු උත්සවයටද බටහිර අංග එකතු වී එහි නැවුම් ස්වරූපය කෙලෙසී ඇති බවක් පෙනෙන්නට තිබේ. එබැවින් සුරාව, සූදුව වැනි දුරාචාර ඇතැම් විට අවුරුදු උත්සවයට ද එක් වී ඇත. එම නිසාම අවුරුද්දට පන්සල් යෑම, නෑ ගමන් යෑම, මවුපියන්ට හා වැඩිහිටියන්ට බුලත් හුරුලු පිළිගන්වා බුහුමන් දැක්වීම වැනි සද්චාරිත්‍ර සමාජය තුළින් ඈත්වෙමින් පවතියි. ඒ වෙනුවට සුරාව හා සූදුව හේතුවෙන් එකිනෙකා කලකෝලාහල කරගැනීම අදවන විට බහුල වශයෙන් සිදු වෙයි.

සමාජ විද්‍යාත්මකව විමසා බැලු කල, ඉතා වටිනා චාරිත්‍ර ලෙස අවුරුද්ද වෙනුවෙන් සිදුකෙරෙන නැකතට වැඩ ඇල්ලීම, ආහාර පිසීම හා සාමූහිකව අහාර අනුභව කිරීම වැනිදේ පෙන්වා දිය හැකිය.මුළු රටම එසේ එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය රටටද මහත් ආශිර්වාදයක් වනු ඇත. එසේ කරනු වෙනුවට ඇතැම්හු නැකතට වැඩ කිරීම වැනි සංස්කෘතික හා සමාජ විද්‍යාත්මක වටිනාකමක් ඇති දේ අවතක්සේරුවෙන් බැහැර කරති. ජාතිකමය වූ හරවත් සංස්කෘතික අංග කෙරෙහි අනවබෝධයෙන් පසුවන එවැනි විපරීත අදහස් ඇත්තවුන්ගේ ක්‍රියාපිළිවෙත අපට රටක් ජාතියක් වශයෙන් ඉදිරියට යෑමට බාධාවක් වෙයි.

එබැවින් ආගමික ශ්‍රද්ධාව හා ආගමික වටපිටාව තුළ මහත්සේ සොම්නසෙන් යුක්තව අවුරුදු කාලය ගත කිරීමට සුදුසු පසුබිමක් සකසා ගත යුතුය.ලක්වැසියන් ලෙස අපි යුද්ධය නිසා සිදු වූ ලේ වැගිරීම්, දේශපාලන කලකෝලාහල, නියඟය, ගංවතුර, නායයෑම් හා සුනාමි වැනි බරපතළ විපත්වලට මුහුණ දුන්නෙමු. මේ සියල්ලකටම රටක් වශයෙන් සාමූහිකව මුහුණ දුන් අපි සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් යුත් මෙවන් බක් මහෙක ධර්මය තුළින් සිත සනසා එකමුතුව කටයුතු කිරීමට උත්සාහවත් වෙමු.

අද බක් අමාවක පොහෝදා ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ‘දීඝා ජාගරතො රත්තී’ යනාදි ධම්මපද ගාථාවෙහි අර්ථය මෙසේය. “නිදි වරන්නාට රැය දිගුය. ගමන් විඩාවට පත්වූවහුට යොදුන දිගුය. එසේම සද්ධර්මය නොදන්නා වූ අනුවණයන්ට සසර දිගුය.” මේ අනුව සසර දිගුවීමට හේතුව ධර්මය නොදැනීමත් ඒ නිසාම ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි නොයෙදීමත්ය. එබැවින් ජාති,ජරා, ව්‍යාධී මරණ ආදි දුක් වලින් මිදී සසරගමන කෙළවර කරගැනීමට නම් අපි නිරන්තරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි හැසිරිය යුත්තෝ වෙමු. ඒ සඳහා පස් පව්, දස අකුසලයෙන් වැළැකී නිති පන්සිල් පොහොය අටසිල් ආරක්‍ෂා කරමින් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් කටයුතු කිරීම වටී. එසේ දහමෙහි හැසිරෙමින් ඉතා අපහසුවෙන් අප ලද මෙම මිනිසත් බවෙන් මෙලොව පරලොව උභයාර්ථසිද්ධිය සලසා ගැනීමට අද බක් අමාවක පොහෝ දා අපි අධිෂ්ඨාන කර ගනිමු.

තෙරුවන් සරණයි!

ජායාරූපය- සමන් ශ්‍රී වෙදගේ