Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය – අප කෙතරම් උත්සාහ දැරුවද ජීවිතය මඟ හරින්නට අපට බැරිය. නගරයක වුවද, වනාන්තරයක, ගුහාවක වුවද, ජීවත්වන තුරු ජීවිතයට මුහුණ පෑ යුතුම ය. සැබෑ ජීවිතය නම් දැන් පවත්නා මේ මොහොත මිස මියගිය අතීතයේ මතක හෝ නූපන් අනාගතය පිළිබඳ සිහින හෝ නොවේ. මේ මොහොතේ ජීවත්වන්නා සැබවින් ම ජීවත් වෙයි. ඔහුට වැඩි පී‍්‍රතිමතෙක් මිනිසුන් අතර නැත. “බුදුන් වදාළ ධර්මය” මෙම උද්ධෘත පාඨයෙන් කියැවෙන අදහස් බෞද්ධ භාවනා ක්‍රමයක් හා එකඟ විය නොහැකි ද? ඒ කුමන භාවනාවක් සමඟ ද? යන්න පැහැදිලි කරන්න.

පිළිතුර – භාවනාවලින් එකක් වන ‘ආනාපානසති’ භාවනාව ඉතා සරල පහසු එකක් වන අතර, උසස් ධ්‍යානවලට හේතුවන චිත්ත ඒකාග්‍රතාව දියුණු කිරීම අරමුණු කර ඇත්තේ ය. නිර්වාණාවබෝධය ඇතුළු කෙබඳු ගැඹුරු අවබෝධයකට වුවත් මේ ඒකාග්‍රතාව අවශ්‍ය ය.මේ හැර ආනාපාන සතියෙන් වහාම ලැබිය හැකි ප්‍රතිඵල ද වෙයි. එය අපේ සෞඛ්‍යයට ද, විශ්‍රාමයට ද, හොඳ නින්දට ද, දවසේ වැඩ හොඳින් කිරීමට ද ඉවහල් වෙයි. එයින් සිතට සහනයත් සැනසිල්ලත් ලැබේ. සිත කැළඹී තිබෙන විටෙක මිනිත්තු දෙක තුනක් හෝ මෙය වැඩුවොත් එය වහාම සංසිඳෙන බව අත් දකින්නට පුළුවන් වේ. එවිට හොඳ විවේකයකින් නැගී සිටියාක් මෙන් දැනේ.

පුද්ගලික ජීවිතයේ දී හෝ සාමාජික ජීවිතයේ දී වෘත්තීය ජීවිතයේ දී හෝ දවසේ වැඩවලදී කයින් වචනයෙන් අප කරන කියන දේ සිහියෙන් කිරීම අවශ්‍යය.

“තිට්ඨං චරං නිසින්නෝවා සයානොවා යාවතස්ස විගත මිද්ධො එතං සතිං අධිට්ඨෙය්‍ය” ඇවිදීම, සිටීම, හිඳීම, අඟපසඟ හැකිලීම, දිගු කිරීම, ඔබ මොබ බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම, නිහඬවීම, ආහාර පාන ගැනීම, ගේ දොර උපකරණ ප්‍රයෝජනයට ගැනීම අනිකක් තබා මළ මුත්‍ර පහ කිරීම යනාදී හැම වැඩක් කරන හැම මොහොතේම ඒ කරන කටයුත්ත ගැන සම්පූර්ණයෙන් ම සිත යෙදිය යුතු ය.

තමා කරන කටයුත්තෙහි ජීවත් විය යුතු ය. අප බොහෝ විට ජීවත් වන්නේ අප කරන වැඩවල හෙවත් දැන් පවත්නා මේ මොහොතේ නොවේ. අපි අනාගතයේ හෝ ජීවත් වෙමු. අප වැඩක යෙදෙන බවක් පෙනෙන නමුත් අපේ සිතිවිලි අපේ අතීතය පිළිබඳ හැඟීම්වලට හෝ අනාගතය පිළිබඳව කල්පනාවලට හා ප්‍රාර්ථනාවලට අයත් ය.

බුදුන් වහන්සේ වදාළ පරිදි අපේ වැඩ කටයුතු පිළිබඳ සිහිය පැවතිය යුත්තේ ය. කරන කටයුත්තෙහි හෙවත් මේ මොහොතෙහි ජීවත් විය යුතු ය.

ප්‍රශ්නය – බරණැස සිදු වූ ශ්‍රේෂ්ඨ සිද්ධිය නම් බුදු දහම ලෝවැසි ජනතාව ගේ හිත සුව පිණිස පතුරුවාලීම සඳහා චාරිකා කිරීමට ශ්‍රාවක සංඝයා මෙහෙයවීමයි. මහා වග්ග පාලියෙහි ‘උද්ධරණය කොට ඇති මේ ඓතිහාසික සිද්ධිය තවදුරටත් සංයුත්ත නිකායෙහි මෙසේ දක්නට ඇත. එහි එන සිංහල අනුවාදය මෙසේ ය. මහෙණිනි! මම දිව්‍යමය වූත්, මානුෂික වූත්, සියලු බන්ධනවලින් මිදුණාහු ය. මහණෙනි! බහුජන භිත පිණිස සැප පිණිස ලෝකානුකම්පාව පිණිස දෙව්මිනිසුන්ට අර්ථය පිණිස සිත සැප පිණිස චාරිකාවේ හැසිරෙව්.

දෙනමක් එක මඟකින් නොයව්, මුල යහපත්, මැද යහපත්, අග යහපත් අර්ථවත් ව්‍යඤ්ජන සහිත සර්වප්‍රකාරයෙන් ම පරිපූර්ණ පිරිසුදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරව්. අල්ප වූ කෙලෙස් රජස් ඇති සත්ත්වයෝ සිටිති.

ධර්මය නොඇසීමෙන් ඔවුහු පිරිහෙති. ධර්මය අවබෝධ කරන්නෝ සිටිති. මම ද මහණෙනි! දහම් දෙසීමට උරුවේලාවෙහි සේනානී ගමට යන්නෙමි. (සංනි/මාර/ආයු වග්ග දුතියපාස සූත්‍ර) මේ පුවත බෞද්ධ ධර්ම දූත සේවාවෙහි පුළුල් පරමාර්ථය හා ධර්මදූතයන් ගේ සුදුසුකම් ද හෙළි කරන්නකි.

එමෙන්ම මෙහෙවරෙහි අවසානය කුමක් විය යුතු ද යන්න ද පැහැදිලි කරන්නකි. සියවස් විසිපහකට පසුව මෙම සද්ව්‍යාපාරය වර්තමානය සඳහා යොදා ගැනීමෙන් බහුජන හිතසුව පිණිස උපයුක්ත වන්නේ ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර – ප්‍රථම වරට ලෝක ඉතිහාසයේ ධර්ම ප්‍රචාරය සඳහා දූත පිරිසක් මෙසේ මෙහෙයවා ඇත්තේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ය.

මෙම ධර්මදූත මෙහෙයෙහි පරමාර්ථය පරාර්ථයයි. බහුජන හිත සැප පිණිස දෙව්, මිනිසුන්ට අර්ථය පිණිස හිත සැප පිණිස කරන ලද්දක් බැවිනි. එයට මුල්ව ඇත්තේ ලෝකානුකම්පාවයි. නානා තරාතිරමේ මිනිසුන් ලොව වෙසෙති. ඔවුන් අතර කෙලෙස් අඩු අයද වෙතිය.

එබඳු අයට ධර්මය අසන්නට නොලැබීමෙන් සිදුවන්නේ අලාභයකි. පිරිහීමකි. එබැවින් ඔවුන්ට අනුකම්පාවෙන් දයා කරුණාවෙන් ධර්ම ප්‍රචාරය සඳහා චාරිකා කිරීමට ශ්‍රාවකයන් මෙහෙය වූහ. ජනතාව ගේ රක්‍ෂාවරණ සැලැසීම තථාගතයන් වහන්සේගේ කාර්යයක් බව පෙළ දහමෙහි මෙසේ සඳහන් ව ඇත.

“ධාර්මික ධර්මරාජ තථාගත අර්හත් සම්බුදුරජාණන් වහන්සේ ධර්මය නිසාම ධර්මයට බුහුමන් කොට ධර්ම, ධ්වජකොට ධර්මය හේතු කොට මෙවැනි කායකර්ම, වාග් කර්ම මනොකර්ම ඇතිවිය යුතු ය. මෙවැනි කායකර්ම වාග්කර්ම මනෝකර්ම ඇති නොවිය යුතු ය. මෙවැනි ගම් නියම්ගම් ඇසුරු කළ යුතු යැයි භික්‍ෂූන්, භික්‍ෂුණීන්, උපාසකයන්, උපාසිකාවන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණය සලසා ධර්මචක්‍රය පවත්වති. මෙම සූත්‍රයෙන් ප්‍රකාශ වන පරිදි ධර්මයෙන් ලොවට ආරක්‍ෂාව සලසාදීම ධර්ම ප්‍රචාරයෙන් බලාපොරොත්තුවන අරමුණය. වර්තමාන ලෝකයට මෙබඳු අරමුණක් සාක්‍ෂාත් කර ගැනීමට බාධක නැත. බහු ජනතාවට සුබාරංචියකි.

තථාගතයන් වහන්සේ එය දැහැමින් රට වැසියන් රකින සක්විති රජකු මෙන් සිදු කරන බව සූත්‍රයෙහි ම දැක්වෙයි. “ධම්මො භවේ රක්ඛති ධම්මචාරී” ධර්මය ආරක්‍ෂා වරණය සැලැස්වීමෙ ප්‍රමුඛත්වය ගන්නා හෙයින් තථාගතයන් වහන්සේ ධර්මරාජ වෙති. ධර්මය ආරක්‍ෂාවන අතර එය ප්‍රතිවේධ කිරීම දේශනා කිරීම පතුරුවාලීම ආරක්‍ෂාව පිණිස වෙයි. ශ්‍රාවක සංඝයා මේ කාර්භාරයෙහි කොටස්කරුවන් බවට පත්කිරීම මෙහි අරමුණයි.

ධර්ම ප්‍රචාරය සදහා චාරිකාවෙහි යෙදෙව් “මමත් ධර්ම දේශනා කිරීමට උරුවේලාවට යන්නෙමි” යන ප්‍රකාශයෙන් පෙනීයන්නේ තමන් වහන්සේත් ශ්‍රාවක භික්‍ෂු පිරිසත් එක ම අරමුණකින් එක ම කාර්යය ක නිරත බවයි. එනම් ධර්මය අසනු කැමැති ධර්මය අසන්නට නොලැබීමෙන් පිරිහෙන ලෝකවාසීන්ට ආරක්‍ෂාවරණය සැලසීමයි.

මෙයින් අනියම් වශයෙන් තවත් කාරණා කිහිපයක් ගම්‍ය වෙයි. තථාගතයන් වහන්සේ පෙන්වා දුන් ධර්මය ලොවට ආරක්‍ෂාවයි. ධර්මය ධර්මමය ආරක්‍ෂාවයි. ශ්‍රාවක සංඝයා ධර්මමය ආරක්‍ෂාවයි යන්න එක් අදහසකි. ඒ අනුව බුද්ධ, ධම්ම, සංඝ යනු ලෝකාරක්‍ෂක ගුණයෙන් යුත් රත්න තුනකි.

බුද්ධ සේවාවෙහි කොටස් කරුවන් වශයෙන් සංඝයා ගේ ශ්‍රේෂ්ඨත්වය මතු කොට දැක්වීම තවත් කරුණකි. එමගින් ශ්‍රාවකයන් මෙහෙයවා, බලා සිට, ඔවුන් ගේ නායකත්වය පමණක් දැරීමට අපේක්‍ෂා කළ නායකයෙකු නොවී එක ම කාර්යයෙහි නිරත ආදර්ශවත් නායකත්වයක් පෙන්වීම ද පැහැදිලි වෙයි.

මෙසේ බුද්ධ, ධම්ම, සංඝ යනු ලෝකයා ගේ හිත සුව පිණිස පවත්නා අර්ථවත් ආරක්‍ෂාවක් වන බැවින් තිසරණ නම් වෙයි.