Print this Article


කිරම විමලජෝති හිමි

“බණ පොත් මුද්‍රණය කිරීම සඳහා ආයතනයක් අප රටේ නැත.” මෙම අදහස කිරම විමලජෝති හිමියන්ගේ පොත් කීපයකම ප්‍රස්තාවනාවල දැක්වේ. නවසිය හැට ගණන්වල ලක්දිව පැවති තත්ත්වය එයයි. මේ තත්ත්වයට විසඳුම සැපයුවේ කිරම විමලජෝති හිමියන්ය. ඒ දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගිනි. එදා බණ පොතක් මුද්‍රණය කරවන්ට තැනක් නොතිබුණු රටේ, අද වන විට සම්පූර්ණ තෙවළා බුදු දහම පෙළ අටුවා ටීකා - සියල්ල සිංහලෙන් කියවීමට පුළුවන. එයට මඟ පෑදුවේ කිරම හාමුදුරුවන්ය. ඉඳුරාම පවසතොත් ලංකාවේ පොත් ප්‍රකාශනයන්ට බෞද්ධ පොත් මුද්‍රණය කිරීමට මඟ පෙන්නුවේ උන්වහන්සේ ය.

විමලජෝති හිමියන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ඇති කරන අවධියේ සිංහල ජාතක පොත්වත් සොයාගන්නට නොතිබුණි. ජාතක පොතෙන් පටන්ගෙන අද වන විට අටුවා ටීකා හා වෙනත් බෞද්ධ පොත් දහස් ගණනක් බෞද්ධ ජනයාට හිමි කර දී තිබේ.

දෙහිවල නගරයට නුදුරුව නොළංව සිය ධර්ම ප්‍රචාරක මධ්‍යස්ථානය පිහිටුවීය. කිරම හාමුදුරුවන් දන් දෙති. විවිධ කරුණු ඉස්මතු කර දන් දෙති. තමන් හමුවට එන කිසිවකු හිස් අතින් නොයවන උන්වහන්සේ අවම වශයෙන් ගෙදර ගිහින් කියවීමට පොතක් හෝ පරිත්‍යාග කරති.

සුනාමි උවදුරෙන් කඩා වැටුණු තංගල්ලේ රෝහලට තුන් මහල් ප්‍රාසාදයක් ලබා දී එය රජයට භාර දුන්නේ ය. සුනාමියෙන් ගෙවල් කැඩී ගිය කීප දෙනෙකුටම ගෙවල් තනා ගැනීමට ආධාර කළහ. තමන් කුඩා කාලයේ අකුරු උගත් පාසලට දෙමහල් ශ්‍රවණාගාරයක් හා පුස්තකාලයක් පරිත්‍යාග කළේ ය. සිය දෙමාපියන් නමින් ද තම ජන්ම දිනය වෙනුවෙන් ද අවුරුදු පතා දානමය පින්කම් පවත්වති.

2600 සම්බුද්ධත්ව ජයන්තියේ නොමැකෙන ස්මාරකයක් වන්නේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයයි. එය බෞද්ධ සංස්කෘතියේ සංකේතය පමණක් නොව, 2012 හොඳම නිර්මාණාත්මක ගොඩනැඟිල්ල වශයෙන් ධ්ඛ්ඊඒච් ජාතික සම්මානයෙන් අභිෂේකය ද ලබා ඇත.එය උන්වහන්සේගේ කාර්යයකි.

අද බොහෝ මාධ්‍යවලින් විවේචනයට පාත්‍රවන බොදුබල සේනා සංවිධානයේ සභාපති විමලජෝති ස්වාමීන් වහන්සේ ය. බුදු සසුනේ චිරස්ථිතිය ඇති කිරීම බෞද්ධයාගේ යුතුකම හා වගකීම බව බෞද්ධ සම්ප්‍රදායේ අභ්‍යන්තරයේ පවත්නා අදහසයි. මෙම බොදු බල සේනා ඇති වූයේත්, පවතින්නේත් පවත්නා ආගමික සාමාජික ගැටලු හා ප්‍රශ්න ගැන නිසි පිළියම් නොකළ නිසා ය.

කිරම හාමුදුරුවන් කවදත් ප්‍රගතිශීලී අදහස් ඇති හිමිනමකි. භික්‍ෂූණී ශාසනය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව සමහර ප්‍රතිගාමී නායකයන් දරන අදහස්වලට එරෙහිව, භික්‍ෂුණී ශාසනය පුනරුත්ථාපනය කළයුතුය යන ප්‍රගතිශීලි අරමුණේ උන්වහන්සේ සිටිති. උන්වහන්සේ කිසිදිනක මූලධර්මවාදී නොවන බව සහතිකය. මූලධර්මවාදය යනු පැරණි ශුද්ධ ලියකියවිලිවල ඇති පදනම මත ආපසු යාමයි. බුදු දහම අනුව විග්‍රහ කරන්නේ නම් බෞද්ධ භික්‍ෂූන් හා ගිහියන් නව සීවථික හා ඇටසැකිලි සමඟ වෙසෙමින් සතිපට්ඨානයම වඩමින් මේ අත්බවේ දීම නිවන් අවබෝධ කළ යුතුය යන ස්ථාවරයට යාමයි. (මෙය උදාහරණයකි) එවැනි අදහසක් විමලජෝති හිමියන් තුළ නැත.

බොදුබල සේනා අද ගෙන යන්නේ බුදු සසුනට ස්ව ආගමිකයන්ගෙන්ද, වෙනත් ජාතීන් හා ආගමිකයන්ගෙන් ද, එල්ලවන විවිධ අන්දමේ බලපෑම්වලින් බුදු සසුන රැකගැනීමේ අරගලයයි. බේරා ගැනීමේ අරගලයයි. බුදුසසුන තමන්ගේ ආත්මය වශයෙන් ඔවූහු සළකති. උන්වහන්සේගේ 66 වැනි ජන්ම දිනයේ දී, උන්වහන්සේට බක්කුල හිමියන් මෙන් නිරෝගී බවද දීඝායු බවද ලැබේවායි තිසරණ සරණ පතමු.


කණුමුල්දෙනියේ අරියමිත්ත නා හිමි

කණුමුල්දෙනියේ අරියමිත්ත මාහිමියන්, “සිරි පඤ්ඤාධාර රේවත වංසාවතංස කීර්ති ශ්‍රී” ගෞරව නාම සහිතව උතුරු නැගෙනහිර තමණ්කඩු තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ. සේනාගම තිස්සාරාම මහා විහාරය, කණුමුල්දෙණිය ශ්‍රී බෝධිපාදපාරාමය, ත්‍රිකුණාමලය, 5 කණුව, ශ්‍රී බෝධිපාදපාරාමය, මඩකලපුව කෙවිළියාමඩුව ශ්‍රී සුනේත්‍රාරාමය, දෙහිඅත්තකණ්ඩිය, බිහිරි සොරෙව්ව ශ්‍රී බෝධිමළු විහාරයන විහාරයන්හි අධිපතීත්වය උසුලන නා හිමියෝ සිදු කරන මෙහෙය අමිලය.

1977 වර්ෂයේ අම්පාර තිස්සාරාමයට වැඩමවීමේ පටන්, පුරා වසර 55 කට ආසන්න වූ ශාසනික ජීවිතය තුළ දී තමන් වහන්සේ විසින් දැයට දායාද කළ සිසු පරපුර පිළිබඳ සොම්නස් වෙති. ප්‍රදේශයේ ජනතාවගේ ආගමික ජාතික කටයුතු වලදී අවශ්‍ය දායකත්වය ලබා දීම සඳහා මහා සංඝරත්නයේ අඩුව දුටු නා හිමියන්, අම්පාර සේනාගම සිරි සුබෝධි පිරිවෙන ආරම්භ කිරීම උන්වහන්සේගේ ශාසනික ජීවිතයේ කළ උත්තුංගම කාර්යය භාරයයි. පැවිදි බිමට පත්වන සාමණේර භික්‍ෂූන් වහන්සේලා වෙත අවශ්‍ය දැනුම හා ශික්‍ෂණය ලබා දෙමින් සසුන්කෙතට අවැසි සඟපරපුරක් නිර්මාණය කිරීමට සියලු කැපකිරීම් උන්වහන්සේ වෙතින් සිදුවෙයි. ඉන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා බොහොමයකි.

ත්‍රස්තවාදී උවදුරු හේතුවෙන් පීඩාවට පත්ව සිටි ජනතාව වෙත ශක්තියක් වෙමින් සැමවිටම ඔවුන්ගේ මානසික ශක්තිය දියුණු කිරීමට උත්සාහ වූවා සේම විපතට පත්වූවන් වෙත දයා කරුණාවෙන් තම ශ්‍රමය ධනය කැපකරමින් කටයුතු කළහ. කලක් වල්බිහිවී තිබූ ත්‍රස්ත උවදුරු හේතුවෙන් අතහැරදමා තිබූ මඩකලපුව කෙවිලියාමඩුව ශ්‍රී සුනේත්‍රාරාමය නැවත ආරම්භ කරන්නේ, දසක තුනක් ගතවීමෙන් පසුය. ඒ එම ප්‍රදේශයේ දරුවන්ගේ දහම් අධ්‍යාපනය නංවාලීමට අරියමිත්ත දහම්පාසල ආරම්භ කිරීමත්, එම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ සියලු ජාතික ආගමික කටයුතු වලට මඟ පෙන්වීමත් ලබා දෙමිනි.

උන්වහන්සේ විසින් කරනු ලබන මෙම ශාසනික සේවාවට නිසි ඇගයීමක් බඳු මෙම නායක පදවිය පිළිබඳ උතුරු, නැගෙනහිර, තමණ්කඩු තෙපළාතේ මහා සංඝරත්නය මෙන්ම මහජනතාව ද අතිශය ප්‍රසාදයට පත්ව සිටිති.

ගිරුවාපත්තුව නැගෙනහිර කණුමුල්දෙණියේ ඩබ්ලිව්. එච්.එම්. විජේසිංහ හා වත්ථුහේවා මැන්දිස් විජේසිංහ දම්පතීන්ගේ පුත්‍රරත්නයක්ව 1951.10.22 දින උපන් ආරියදාස විජේසිංහ කුමරුවන් කුඩා කල පටන්ම බුදු දහම හා මහා සංඝරත්නය කෙරෙහි තිබූ ලැදියාව නිසාම කණුමුල්දෙණිය ශ්‍රී බෝධිපාදපාරාමය ආශ්‍රයෙන් තම චර්යාවන් හැඩගස්වා ගත්තේ ය. උපන් වයසින් වසර නවයක් ගතවන විට පැවිදි බව අපේක්‍ෂා කරමින් කණුමුල්දෙනිය ශ්‍රී බෝධිපාදපාරාමාධිපති කණුමුල්දෙනියේ රේවත නාහිමියන් වෙත රැඳුණි.

උන්වහන්සේගේ මඟ පෙන්වීම මත මාස්මුල්ල ශ්‍රී විමලානන්ද යෝගාශ්‍රමාධිපති ශ්‍රී පඤ්ඤාධාර මා හිමියන් ගේ හා කණුමුල්දෙණියේ රේවත නා හිමියන් ගේ ආචාර්යත්වයෙන්, කණුමුල්දෙණියේ අරියමිත්ත නමින් පැවිදි බිමට පත්විය. ඒ 1959 තම ගුරුදේවෝත්තමයන් වහන්සේලා වෙත සැපිරිය යුතු වත් පිළිවෙත් සපුරමින් උන්වහන්සේලා සෙවණෙහි රැඳෙමින් තෙවලා දහම් මැනවින් උගෙනීම සඳහා වන ශාසනික කාර්යයයෙහි නිරත විය. අධ්‍යාපනය සඳහා මාතර මන්තින්ද මහා පිරිවෙනට ඇතුළත්ව උසස් අධ්‍යාපනය වෙනුවෙන් පෑලියගොඩ ශ්‍රී විද්‍යාලංකාර පිරිවෙන වෙත යොමු වී එහිදී තම උසස් අධ්‍යාපනයෙහි නිරත වූහ.

කණුමුල්දෙනියේ අරියමිත්ත හිමියෝ, සිරි සද්ධම්මවංශපාල ගණාචරිය, පණ්ඩිත කොස්ගොඩ ධම්මවංශ මහ නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1972.06.23 වන දින බලපිටිය, මහාකප්පින වලව්ව ස්වේජින් සීමා මාලකයේ දී උපසම්පදාව ලදහ. තම ශාසනික සේවාවෙහි වඩාත් ඵලදායි මෙහෙවර සිදුවන්නේ උන්වහන්සේ අම්පාර සේනාගම තිස්සාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසුවය. එවකට විහාරාධිපති ධුරය හෙබවූ හක්මන පඤ්ඤාලෝක නාහිමියන් අපවත් වීමෙන් හිස් වූ විහාරාධිපති ධුරයෙහි කටයුතු කරන්නේ විහාරස්ථානයටත් ගමටත් අවැසි නායකත්වය ලබා දෙමිනි. කණුමුල්දෙනියේ අරියමිත්ත මාහිමිපාණන් වහන්සේ ශාසනික, සාමාජික, අධ්‍යාපනික සේවාවත් ධර්මධර, විනයධර ශීල ගුණෝපේත භාවයත් සම්භාවනීයත්වයෙන් අගය කළ අමුරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ සුධර්ම නම් කාරක සංඝ සභාව උන්වහන්සේ වෙත ‘සිරි පඤ්ඤාධාර රේවත වංසාවතංස කීර්ති ශ්‍රී’ ගෞරව නාම සහිතව උතුරු, නැගෙනහිර, තමණ්කඩු තෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පුදනු ලැබූහ.

ඒ පිළිබඳව වන අක්තපත්‍ර ප්‍රදානය හා පිළිගැනීම, අමරපුර සිරි සද්ධම්මවංශ මහානිකායේ අතිගරු මහානායක ධුරන්ධර, අහුංගල්ලේ සීලවිශුද්ධි මහානායක මහාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයේ මාර්තු 29 වන දින අම්පාර, සේනාගම තිස්සාරාමයේ දී පළාත්වාසී පැවිදි ගිහි සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.


පොල්ගම්පොල ඉන්දානන්ද නා හිමි

බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමය, බුදුළුඔය බුද්ධංකෝට්ටේ විහාරය, හීල්ඔය ශ්‍රී සුමංගලාරාමය යන විහාරත්‍රයාධිපති, බ/ධර්ම විජය මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී හා සම්මාන පරිවෙණාධිපති, බණ්ඩාරවෙල සාසනාරක්‍ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරි, කම්මට්ඨානාචාර්ය, “ධර්ම කීර්ති ශ්‍රී සෝනුත්තර පඤ්ඤාණන්ද” පොල්ගම්පල ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක මහා ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ විංශත් වර්ගික කාරක සංඝ සභාව මඟින් “ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක” පදවිය පිරිනමා ඇත.

අගලවත්ත පොල්ගම්පොල සමරසිංහ පරම්පරාවේ ඩී.ඩබ්. සමරසිංහ හා ගමගේ දෝන මැගි නෝනා යන දම්පතීන්ට දාව 1950 පෙබරවාරි මස 26 වන දින උපත ලද කුමරුවා පසළොස් වියට පත්වෙත්ම 1965 පළමු මස 21 වන දින පැවිදි බිමට පත්විය.

එවකට බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමාධිපතිව වැඩ විසූ බණ්ඩාරවෙල පඤ්ඤනන්දාභිධාන හිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස උගතමනා බණ දහමින් හා විසි වයස් සම්පූර්ණ වූයෙන් 1969 ජූනි මස 08 වන දින මහා නායක සානුනායක විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව හමුවේ මල්වතු ඓතිහාසික උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත් වූහ.

බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාමස්ථ ධර්ම විජය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයෙන් උසස් අධ්‍යාපනය ලැබූහ. තමාගේ ප්‍රධාන විහාරස්ථානයට සම්බන්ධ ධර්ම විජය පිරිවෙනේ ගුරුවරයෙකු ලෙස එහි ගුරු සේවයට වැඩම වන්නේ 1978 වසරේ සිටය.

තත් පිරිවෙන් හි නියෝජ්‍ය පරිවෙණාධිපති ධුරයට පත් වෙමින් වසර 15 කට අධික කාලයක් දහම් ගුරු සේවයේ කටයුතු කළහ. ධර්ම විජය පිරිවෙන් ඉතිහාසයේ ස්වර්ණමය වසර දහය ලෙස 2000 – 2010 යන වර්ෂයන් සඳහන් කළ හැකි ය. එවකට මූලික පිරිවෙනක්ව තිබූ මෙය මහ පිරිවෙනක් දක්වා උසස් කිරීම, ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රාචීන විභාග පැවැත්වෙන බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් කිරීම, පළමු වතාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිහිකළ වකවානුව වීම, ආදිය එම කාලයේ සිදු කළ සුවිශේෂී ක්‍රියාවන් ලෙස සැලකිය හැකි ය.

1992 වසරේ සිට මේ දක්වාම බණ්ඩාරවෙල සාසනාරක්‍ෂක බලමණ්ඩලයේ මහා ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස කටයුතු කරති.

ඓතිහාසික බණ්ඩාරවෙල මහා පෙරහර අඛණ්ඩව පවත්වාගෙන යමින් ප්‍රදේශයේ සමගිය හා සංස්කෘතික දායාදයන් රැක ගන්නට මුන්වහන්සේ දරන උත්සාහය ඉතා ප්‍රසංසනීය බව සඳහන් කළ හැකි ය. බණ්ඩාරවෙල තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසකවරයා හා ප්‍රධාන සභාපතිවරයා වශයෙන් කරන සේවය ඉතා විශාලය. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු හා රාජ්‍ය මට්ටමෙන් කෙරෙන සියලු කටයුතු සඳහා අවවාද අනුශාසනා කරන අතර වාර්ෂිකව පවත්වන දුප්පත් දරුවන් වෙනුවෙන් ප්‍රදානය කරන ශිෂ්‍යත්ව වැඩසටහන වසර 10ක් පුරා පවත්වාගෙන යයි. මෙසේ කරනු ලබන සේවය අගය කරනු වස් කර්මාචාර්ය ධුරයෙන් හා “ධර්ම කීර්ති ශ්‍රී සෝනුත්තර පඤ්ඤානන්ද” යන ගෞරව නාමයෙන් මෙයට වසර කීපයකට පෙර පිදුම් ලැබූ අභිනව නාහිමියන් පිළිගැනීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.