Print this Article


පුදන එක මලත් මල් වට්ටියත් එකම ආනිශංස ද?

පින පහළවන්නේ සිතේ ශ්‍රද්ධාවේ හැටියටයි. සිතේ ශ්‍රද්ධාවෙන් එක මලක් පූජාකරනවා. සමහර විට ශ්‍රද්ධාව නැතිව මල් වට්ටියක් පූජා කරනවා. ඵල විපාක ආනිශංස ලැබෙන්නෙ පූජා කරන වෙලාවට සිතේ ඇතිවූ ශ්‍රද්ධාව අනුවයි. ඒ අනුව ඵල විපාක ලැබෙනවා

2013 මාර්තු 19 වනදා පත්‍රය හා සම්බන්ධයි

පසුවදා මේ කරුණ රජතුමා බුදුහාමුදුරුවන්ට දැනුම් දුන්නා. බුදුහාමුදුරුවෝ ඒ වෙලාවෙදී රජතුමාට දේශනා කළේ ඒ ඇත්තන්ට පින්දීම ඊයේ ඔබ කළේ නෑ. ඒ අය පින් ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියල.

රජතුමා බුදුහාමුදුරුවෝ ප්‍රධාන හාමුදුරුවන්ට නැවතත් දන් දී ඔවුන්ට පින් දුන්නා. එදා රෑ ඔවුන් බොහොම ලස්සනට පෙනී සිටියා. නමුත් නිර්වස්ත්‍රයි. ඒ බව රජතුමා බුදුහාමුදුරුවන්ට මතක් කළා. එතැනදී වදාළ, නුදුන් දෙයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා වස්ත්‍ර පූජාවක් කරල ඔවුන්ට පින්දෙන්න කියල.

එදා සිවුරු පිරිකර සමග බුද්ධ ප්‍රමුඛ සංඝයාට වස්ත්‍ර සහිතව දානයක් දී මළගිය ඥාතීන්ට පින් දුන්නා. එදා රෑ නැවතත් ඔවුන් පෙනී සිටියේ බොහොම ලස්සනට, දිව්‍යවස්ත්‍ර ඇඳගෙන පෙනී සිටියේ. ඉතින් මේවායින් පෙනෙන්නෙ රජ ගෙදරදීමයි. ඒ දානය දුන්නෙත් රජගෙදරින් පිටතදී නෙමෙයි. මිය ගිය ඥාතීන් ගැන නිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙත් එම අටුවාවෙත් තිබෙනවා.

ප්‍රශ්නය - සමහරුන්ගේ මතයක් තිබෙනවා පන්සිල් රකිනවා නම් පන්සල් යන්න බුදුන් වඳින්න අවශ්‍ය නෑ කියල.

පිළිතුර - පන්සිල් රකිනවා නම් බොහාම හොඳයි. ඒක තමයි බුදු දහමත් සමඟ ජීවත් වෙනවා කියන්නෙ. එය බුදුදහම පිළිපැදීම යි.හොඳට පන්සිල් රකින එක හොඳයි. ප්‍රතිඵලත් තියෙනවා.

නමුත් තමුන්ට ගෙදරට වඩා පන්සලේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳව සිතීමේ ශක්තිය වැඩි වෙනවා. වෙනත් වගකීම් වලින් ඈත් වෙලා සිතේ ඇතිවන සන්සුන්කම නිසා.

පන්සිල් ආරක්‍ෂා කරන හැම කෙනෙක්ම දවසකට වරක්වත් විහාරයකට ගිහින් ටිකක් විවේකව බුදුගුණ කල්පනා කරන එක හොඳයි. සෑම නිවසකම විහාරයක් නෑ නේ.පන්සලට යාමෙන් සිතට බුදුගුණ සිහියට නැඟෙනවා. බුදුගුණ ආදර්ශයට ගැනීම වටිනවා. හොඳයි, ඒ මගින් ධර්ම මාර්ගයටත් එකතුවෙන්න පුළුවන්. සැරියුත්, මුගලන් ආදී මහරහතුන් ගුණ සිහියට නැගීමෙන් සඟ ගුණ මෙනෙහි කිරීමෙන් එය ආදර්ශයට ගැනීමත් සිදුවෙනවා. තමන්ගේ නිවසට වඩා බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ සිහි කිරීම පන්සලේදී විහාරයේදී පහසුයි. එමගින් ඇතිවන්නෙ සිතේ තැන්පත්කමයි. පන්සිල් රකිනවාට වඩා ඔහු තුළ විශේෂත්වයක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදී පන්සිල් ආරක්‍ෂා කළ ගිහි ඇත්තන්ගේ තත්ත්වය දන්නවානේ. ඒ ඇත්තො උපාසකවරු පන්සිල් ආරක්‍ෂා කරන අය හිටියා. නමුත් ඒ අය හැමදාම බුදුහාමුදුරුවො මුණගැහෙන්න, ශ්‍රාවක හාමුදුරුවරු මුණ ගැහෙන්න විහාරයට ගිහින් බණ දහම් අහල තිබෙනවා. ඒ තත්ත්වය පිළිබඳව අපේ පැරැණි බණපොත් වලත් සඳහන් වෙනවා. පන්සිල් රැකි පමණින් සෑහීමකට පත් නොවී පන්සල් විහාර ඇසුර ලබන එක හොඳයි.

තවත් වචනයක් මතක් කළ යුතුයි. මේ කාලයෙහි සමහර පන්සල්වල තත්වය සමහර කෙනෙකුට විහාරයක ආදර්ශයක් වන්නෙ නෑ. තමාට ආදර්ශයට ගත හැකි යහපත් භික්‍ෂූන් වහන්සේ ආදර්ශයට ගත හැකියි. පන්සල ආශ්‍රය කියන්නෙ එබඳු යහපත් භික්‍ෂූ ආශ්‍රයයි. ගුණ නුවණ ඇති භික්‍ෂූන් වහන්සේගේ ඇසුර ලබන්න ඕනෑ. එවිට ජීවිතය යහපත් වෙනවා.

මා අත්දැකීමෙන් යමක් කියන්නම්

අපේ පළාතේ එක්තරා කෙනෙක් මහන්සි වී හරි හම්බකරල පොහොසත් වුණා.ඒ ඇත්තා හැමදාම විහාරයට ගිහින් බුදුන් වැඳල හාමුදුරුවෝ සමඟ කතා බහ කරල ඇසුර ලබමින් හිටියෙ. නමුත් දරුවන්ට ඒ ක්‍රමය පුරුදු කළේ නෑ. තමන්ගෙ දරුවා ඉරිදා පාසලකටවත් යවන්න පුරුදු කළේ නෑ.

තමන් හැදුනෙ අර විධියට වුවත් වැඩි තැකීමක් කළේ නෑ. එයාගෙ ළමයි පලන්සලට ගියත් ඉඳහිටයි ගියේ. අර කියාපු පෝසතා මළාට පසු ඒ ළමයින්ට උපදෙස් දෙන්න කෙනෙක් නෑ. ඇසුරට ගියේ නොයෙක් අඩුපාඩුකම් තිබූ අයයි.අන්තිමට දරුවා බේබදුකමට වැටිල මුළු ධනයම නැතිවෙලා ගියා. ඊළඟ පරම්පරාව ධන හීන පිරිසක් වුණා.

එහෙම වුණේ පියාට වගේ යහපත් අනුශාසනා කරන්න අය නැතිව ගිය නිසා. ඒ අනුශාසනා අර දරුවන්ට හුරු නැති වුණා. ඒකෙන් ඒ පවුල විනාශ වුණා. ඔහොම වෙච්ච ඒව බොහොම තියෙනවා.

ඒ නිසා යහපත් ගුණ නුවණ ඇති භික්‍ෂූන් වහන්සේගේ ඇසුර ලබන්න ඕනෑ.

බුදු ගුණ දහම් ගුණ සඟ ගුණ මෙනෙහි කිරීමත් පන්සලට විහාරයට යාමත් තමන්ටත් තමන්ගෙ දරුවන්ටත් හොඳයි.

ප්‍රශ්නය - ස්ත්‍රි භාවයක උපත ලබන්නෙ කුශලාකුශල බලයෙන් යැයි සමහරුන්ගේ අදහසක් තිබෙනවා. එය පිළිගත හැකිද?

පිළිතුර – සසරෙදී ඊළඟට ස්ත්‍රියක්ව උපදින්න පුළුවන්. ඒක අකුසලයක් විය හැකිය. නමුත් එය ස්ත්‍රී වර්ගයාටම බලපාන්නක් නොවෙයි. ස්ත්‍රි ආත්ම භාවයක් ලබන්නට තමන්ගේ සිතේ තිබේ නම් ස්ත්‍රියක්ව උපදිනවා. ඒ ඒ ඇත්තන්ගේ සිතේ පවතින තත්ත්වය අනුව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වී උපත ලබනවා.

සමහර විට කාන්තාවන් උපත ලබා තමා බුද්ධ මාතාවක් විය යුතුයැයි ප්‍රාර්ථනා කළොත් ඊට ගුණ දහම් පිරුවොත් සසර කාන්තාවක්ව උපදිනවා.

කාන්තාවක් වශයෙන් ඉපදීම අකුසලයක් නොව තමන්ගෙ සිතේ පවතින කැමැත්ත ප්‍රාර්ථනාව අනුව සිදුවන දෙයක්.

කාන්තාවක් පුරුෂ ආත්මයක් ලැබීමට කැමැති නම් ස්ත්‍රිභාවය කෙරෙහි කලකිරී ගුණ දහමේ නිරත වී පින්දහම් කර ප්‍රාර්ථනා කරන්නේ නම් පුරුෂ ආත්මය ලබන්න පුළුවන්.

ප්‍රශ්නය – පන්සල ප්‍රධාන විවිධ ආගමික කටයුතුවලදී වැඩිපුර එම පුණ්‍ය කටයුතු වලට සහභාගි වෙනවා දකින්නේ කාන්තාවෝය.මේ සඳහා ඔබ වහන්සේ දකින විශේෂත්වය පැහැදිලි කරනවා නම්....

පිළිතුර - මේ රටේ මේ කාලයේදී පිරිමි විවිධ රැකියාවල නැත්නම් වෙළහෙළදාම් කටයුතුවල යෙදිල ඉන්නවා. ඒත් එය මේ ලෝකයේ හැමදාම තත්ත්වය නොවෙයි. ඒ සමහර විට ඇතැම් රටවල විවිධ ප්‍රදේශවල මිනිසුන් ආගමික ප්‍රතිපත්තිවල යෙදීම අතින් අඩුවෙන්නට පුළුවන්. ඒ සමාජයේ හා පරිසරයට අනුව සිදුවන දෙයක්.

කුඩා කාලයේ සිට කෙනෙක් යහපත් ඇසුර ලබමින් පින්දහම් කරන අවස්ථා කොතෙකුත් අහන්නට දකින්නට ලැබෙනවා.

නමුත් එසේ නොකරන ඒවායේ නිරත නොවන අයට මත්ද්‍රව්‍ය ආදි විවිධ දුසිරිත්වල යෙදෙන අයගේ ඇසුර වැඩිපුර ලැබෙනවා නම් එවැනි අයට පින් දහම් කරන්න අර අයහපත් ඇසුර නිසාත් ඉඩක් නොලැබි යනවා නේ. මොකද්ද ඒ හොඳ පැත්තට හිත යනවා අඩුයි. ඒ නිසා ස්ත්‍රීන් ආගමික කටයුතුවලට වැඩිපුර නැඹුරු වෙන්න පුළුවන්. ඒක මේ කාලයේ තියෙන සමාජ පරිසරයේ හැටියටයි. බුරුමය වැනි රටවල ස්ත්‍රී පුරුෂ කියල වෙනසක් දකින්නට නෑ. ඒදෙගොල්ලම පින්දහම්වල නිරත වෙනවා දකින්න පුළුවන්. ඒ රටවල එම වටපිටාව සැකසී තිබෙනවා.

අප කුඩා කාලයේදී අපේ පළාත්වල ආගමික කටයුතුවලදි ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ම එකවගේම කටයුතු සිදු කළා.

නොයෙක් හේතු නිසා පරිසරය වෙනස් වෙනවා. පිරිමි අය වැඩිපුර ධනෝපායන කටයුතුවල යෙදෙනවා කියන එක රහසක් නොවෙයි නේ. ඉතින් ඒ විධියට තමන්ගෙ කාලය එවැනි දේට යොදවන විට ආගමික කටුතුවල නිරතවෙන්න ඒ අයට අවකාශයක් නැතුව ඇති. ඒත් මෙය හැමදාම මේ තත්ත්වය ඇතිවෙයි කියල කියන්න බැහැ.

ප්‍රශ්නය – යම් තැනැත්තකුගේ මරණාසන්න අවස්ථාවේදී ඒ පුද්ගලයාගේ පංචේන්ද්‍රියන් දුර්වල වී චිත්ත ශක්තිය පෙරට වඩා වැඩි වෙනවාද?

පිළිතුර – පුද්ගලයා මරණාසන්න මොහොතේදී ස්වකීය ඉන්ද්‍රියයන් පහ ක්‍රමයෙන් දුර්වල වන විට ඒතාක් වියදම් වූ ජීවකේන්ද්‍රිය ශක්තිය සිතට බලපානවා.පෙරට වඩා හිතේ ශක්තිය වැඩි වෙනවා. එය ඉතාම ක්‍ෂණයයි. හරියට සිහිනයක් දකිනවා වගෙයි. එසේ ඉතා සුළු මොහොතක් පවතිනවා. තමන් එතෙක් කළ කී දේ පෙනෙන්නට වෙනවා. එතැන්දී හීනෙන් වගේ දකින එක් අරමුණක හිත තදින් බැඳී එතැන සිත රැඳෙනවා. එයට අනුකූ®ලම ඊළඟ ආත්මභාවය නැතහොත් එතැනින් යායුතු තැන දිවැසින් වගේ ඇඟෙන්න වෙනවා. එතැන සිත ඇලෙනවා එවිට චුත වෙනවා.

දැල්වෙන තෙල් පහනක තෙල් ඉවර වී පහන නිවෙන්න ආසන්නයේදී එකපාරටම පහන් දැල්ල නැතිනම් ආලෝකය වැඩි වෙනවා, ඊට පසුවයි පහන නිවෙන්නෙ.

බොහොම කලක් වැඩුණු ගහක් මැරෙන්න ළං වෙන විට හොඳට දළු දානවා.කොළ හොඳට පාට වෙනවා. ප්‍රාණවත් වෙනවා. ඒ ගහ පෙරට වඩා ලස්සන වෙනව. කීප දවසකින් ඒ ගහ මැලවී ගොස් මැරෙනවා. ස්වභාවයෙන් අවසන් වන හැම දේකම ඒ තත්ත්වය ඇති වෙනවා.

ඒ වගේ අන්තිම මොහොතේ සිතේ විශේෂ ශක්තියක් ඇති වෙනවා.

මුළු ඉන්ද්‍රිය ශක්තිය හිත බලවත්වීමට අනුබල දෙනවා. එවිට මුල සිට ජිවිතයේ කළ කී දේ පෙනෙන්ට වෙනවා. තැන මාරුවුවත් පවතින්නෙ එකම චිත්ත පරම්පරාවක්.

ප්‍රශ්නය – එක මලක් හෝ බුදුහාමුදුරුවන් වෙත පූජා කිරීමෙන් ලැබෙන විශේෂ ආනිශංස තිබෙනවාද?

පිළිතුර–

ඒක පුප්ඵං චජිත්වාන
අසීතිං කප්ප කෝටියෝ
දුග්තතිං නාභීජානාමි
පුප්ප පූජායිදං ඵලං

එක මලක් පූජා කොට කල්ප කෝටි අසූවක් දුගතියකට ගියේ නෑ. මේ මල් පූජාවේ ඵලය යැයි යනු එහි අදහසයි. එක මලක් හෝ පූජා කරන තැනැත්තා බුදුහාමුදුරුවන්ට එය පූජා කිරීමේදී බුදුගුණ මෙනෙහි කරනවා. අනන්ත අප්‍රමාණ බුදුගුණ මෙනෙහි කරන විට ශ්‍රද්ධාව වැඩි වෙනවා.

එක මලක් පූජා කිරීමේ ආනිශංසය පවා වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආනිශංසයි තිබෙන්නෙ. මහත් භක්තියෙන් මලක් පූජාකළත් එය මහත්ඵල ලැබෙන්නක්. ඉන් මැරෙන මොහොතේදී පවා සිතේ ශ්‍රද්ධාව නැවත අලුත් වෙනවා. එහි පල වශයෙන් මරණින් මතු දෙව්ලොව උපදිනවා. බොහෝ කලක් දෙව්ලොව සැප විඳ මනුලොවටම ආවාම පෙර පුරුද්ද අනුව කල්‍යාණ මිත්‍රසේවනය ලබා දාන සීලාදී ගුණ දහම් පුරනවා. මරණින් මතු නැවත සැපයෙහි උපදිනවා.මේ විදියට එක මලක් බුදුගුණ මෙනෙහි කර පූජාකළත්, මල් පූජාවේ ආනිශංස ලැබෙන්නෙ ඒ නිසයි.

එබඳු පූජාවක් කරන වේලාවට බුදුගුණ මහා රාශියක් මෙනෙහි කරමින් කැරුණොත් එයින් ලැබෙන ශක්තිය වචනයෙන් විස්තර කළ නොහැකියි. එසේ වනුයේ මහත් වූ ශ්‍රද්ධාව බලවත්වීම නිසාය. එයම බුද්ධානුස්සති භාවනාවද වේ. නුග ඇට බොහොම කුඩාය. ඒ නුග ඇට රෝපණය වීමෙන් ලැබෙන්නෙ අතු පතර විහිද ගිය මහා වෘක්‍ෂයකි. යන්නන් වාලයේ විහාරයට ගොස් මල් ටිකක් බුදු පිළිමය ඉදිරියේ තැබීමෙන් පමණක් පලක් නොවේ.

ප්‍රශ්නය – එක මලක් පිදුවත් මල්වට්ටියක් පිදුවත් ලැබෙන්නෙ එකම ආනිශංසය ද?

පිළිතුර – පින පහළවන්නේ සිතේ ශ්‍රද්ධාවේ හැටියටයි. සිතේ ශ්‍රදධාවෙන් එක මලක් පූජාකරනවා. සමහර විට ශ්‍රද්ධාව නැතිව මල් වට්ටියක් පූජා කරනවා. ඵල විපාක ආනිශංස ලැබෙන්නෙ පූජා කරන වෙලාවට සිතේ ඇතිවූ ශ්‍රද්ධාව අනුවයි.ඒ අනුව ඵල විපාක ලැබෙනවා.

ඉතිරි කොටස අප්‍රේල් 3 වන දා පත්‍රයේ පළ වේ