Print this Article


විමාන වත්ථු කථා පුවත් 05 ප්‍රාර්ථනා බලයෙන් හස්ති විමානයක් ලැබූ දෙවඟන කුඤ්ජර විමාන වත්ථුව

විමාන වත්ථු කථා පුවත් 05

ප්‍රාර්ථනා බලයෙන් හස්ති විමානයක් ලැබූ දෙවඟන

කුඤ්ජර විමාන වත්ථුව

අප බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපයෙහි වැඩ වෙසෙන අවදියකි. චාරිත්‍රයක් වශයෙන් වාර්ෂික ව නැකැත් කෙළි පැවැත්වීම දඹදිව වැසියන්ගේ පුරුද්දකි. වසරක් තුළ එබඳු නැකැත් කෙළි කීපයක් ම පැවැත්වේ. නැකැත් කෙළි සමය නගරයේත්, නගරවැසියන්ගේත් ප්‍රබෝධමත් කාල පරිච්ඡේදයක් බවට පත් වේ.

බුදුරදුන් රජගහ නුවර වැඩ වෙසෙන අවස්ථාවකදී එබඳු විසිතුරු, නැකැත් කෙළියක් යෙදී තිබිණි. මුළු නගරය ම දෙව් විමනක සිරියෙන් සැරසෙයි. වීදි පුරා සුදු වැලි අතුරා මඟ දෙපස කෙසෙල් කඳන් සිටුවා එහි ගොප් කොළයෙන් සාදන ලද පුන් කලස් තැන්පත් කර පහන් වැටක් සකස් විය. දොරක් දොරක් පාසා කැන් සහිත කෙසෙල් ගස් ය. තැන තැන අලංකාර තොරණ ය. වෛවර්ණයෙන් බබළන ධජ පතාකයෙන් මුළු නගරයම උත්සවශ්‍රීයක් පළ කරයි. නුවර ඉතා විසිතුරු ඇඳුම් ආයිත්තම්වලින් හා අලංකාර රන්, රිදී, මුතු, මැණික් ආභරණවලින් සැරැසී කෙළි දෙළෙන් පසු වෙති. බැලූ බැල්මට, රජගහ නුවර මිහිබට දෙව් විමනක් වැන්න.

නැකැත් කෙළියෙහි කූට ප්‍රාප්තිය වන්නේ චතුරංගනී සේනාව පිරිවරාගෙන සිවු සැට බරණින් සැරැසුණු මහරජතුමා මහේශාඛ්‍ය ලීලාවෙන් නගර සංචාරයෙහි යෙදීමයි. මේ වූ කලි රාජ තේජස, රාජ ඓශ්චර්යය ජනතාවට ප්‍රදර්ශනය කිරීමක් වැන්න. එය සැබවින් ම චිත්තාකර්ෂණීය අවස්ථාවකි.

අසීමිත තේජසින් හා රාජ ඓශ්චර්යයෙන් හාත්පස ඒකාලෝක කරවමින් මංගල හස්තියා මත ගමන් කරන රජතුමාගේ ශ්‍රී විභූතිය දැකීමෙන් ආකර්ෂණයට පත් එක්තරා කුල කාන්තාවක් ඒ පිළිබඳ ව දිගින් දිගට ම කල්පනා කරන්නට වූවා ය. ලෝකයේ වාසනාවන්ත ම පුද්ගලයා රජතුමා බව ඇය සිතුවා ය. කර්ම කර්මඵල විශ්වාසය ඇති ඈ අනතුරුව කල්පනා කළේ මේ සා විශාල සම්පත්තියක් ලබන්නට ඔහු සසර පුරා කෙතරම් පින් කරන්නට ඇද්ද යනුවෙනි. එබඳු පින්කම් තමන්ටත් කළ හැකි නම් මතු භවයන් හිදී තමන්ටත් මෙබඳු යස ඉසුරු ලැබිය හැකි නොවේ ද යන සිතිවිල්ල ඈ තුළ පහළ විය. එහෙත් ඇයට ගැටලුවක් වූයේ ඒ සඳහා කෙබඳු පින්කම් කළ යුතු ද යන්න පිළිබඳවය. මේ පිළිබඳ ව උපදෙස් ලබා ගැනීම සඳහා ඇය උගතුන් හමුවීමට ගියා ය. තම ගැටලුව ඉදිරිපත් කර විසඳුම් ඉල්ලා සිටියා ය. උගතුන් හැම දෙනා ම පාහේ ඇයට දුන්නේ මෙබඳු උපදෙසකි.

නැගණිය, පින්කම් යනු සිතූ පැතූ සම්පත් ලබා දෙන චින්තාමාණික්‍යයක් බඳු ය. කල්ප වෘක්‍ෂයක් හා සමානය. වස්තු සම්පත්තියත්, ඛෙත්ත සම්පත්තියත්, චිත්ත සම්පත්තියත් ඇති ව කරන පින්කම්වලින් සිතූ පැතූ සම්පත් ලබා ගන්නට පිළිවන. දන් පින් කරන්නට අවශ්‍ය දැහැමි ව උපයා ගත් ධනය ඔබට ඇත. පින් වස්තු සම්පත්තිය ලැබී තිබේ. මෙවක බුදු පසේ බුදු මහරහත්හු වෙසෙති. එසේ වූ විට බෙත්ත සම්පත්තිය සම්පූර්ණය. අවශ්‍ය වන්නේ ශ්‍රද්ධාවත්, ශ්‍රද්ධා සිතින් පූජා කිරීමේ චේතනාවත් පමණි.

‘පින්වත්නිය, ආසන පූජාවෙන් කුලවත් බව ලැබේ. ආහාර පූජාවෙන් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන කරුණු ලැබේ. වස්ත්‍ර පූජාවෙන් ඡවි වර්ණය ද වාහන පූජාවෙන් සුව පහසුව ද පහන් පූජාවෙන් චක්‍ෂු සම්පත්තිය ද ආවාස සේනාසන පූජාවෙන් සියලු සැප සම්පත් ද ලැබේ. ඔබට ඇත්තේ කැමැති පරිදි දන් දී ප්‍රාර්ථනා තබා ගැනීම පමණි. දැනමුත්තන්ගේ අවවාද අනුශාසනාවන්ට කන් දුන් ඇය එවක් පටන් දෙව්ලොව සම්පත් පතා දන් දීමට නැඹුරු වූවා ය. මේ අතර එක් දිනක ඇගේ දෙමාපියන්ගෙන් අලුත් රෙදි, අලුත් පුටුවක්, නෙළුම් මල්, මිටියක්, ගිතෙල්, සකුරු, සහල්, කිරි, මී පැණි ආදී ද්‍රව්‍ය රාශියක් ද ලැබිණ. දෙමාපියන් ඒවා එවුයේ ඇගේ පරිභෝජනය සඳහා ය. ඒවා ලද ඇසිල්ලෙහි ඇගේ සිතට නැගුණේ දන් දීම පිළිබඳව දැනමුත්තන් දුන් උපදෙස් ය. ඇය වහා ම තමන්ට ලැබුණු ද්‍රව්‍ය උපයෝගී කරගෙන දානයක් දීමට සූදානම් වූවා ය.

තමන්ට ලැබුණු ආහාර ද්‍රව්‍යවලින් ජලය ඉතා අඩුවෙන් ද ගිතෙල්, උක් සකුරු, මී පැණි ආදිය වැඩියෙන් ද යොදා ප්‍රණීත කිරි බතක් පිසූ ඈ, තවත් ආහාර ද්‍රව්‍ය ද සකස් කර ගත්තා ය. සුවඳ මලින් සැරසූ ආසනයක් මත ඒවා තැන්පත් කොට ආසනය අවට පරිසරය ද මලින් හා මල් රේණුයෙන් අලංකාර කළාය. තම නිවසේ කුඩා කුටියක් මෙසේ මලසුන් ගෙයක් ලෙස සැකසූ ඇය, මහා මාර්ගයේ පිඬු සිඟා වඩින තෙරුන් වහන්සේ නමක් දන් පිණිස වඩමවා ගෙන එන ලෙස තම සේවිකාවකට අණ කළා ය. ගේ හිමි ස්ත්‍රිය ඉස් සෝදා නහා සුදු වත් හැඳ දන් පිරිනැමීමට සැරසුණාය.

මේ අවස්ථාවේ දී අග්‍ර ශ්‍රාවක සැරියුත් මහා තෙරුන් වහන්සේ පාත්‍රය අතින් ගෙන පිඬු සිඟා වඩිමින් සිටිනු දුටු සේවිකාව සැරියුත් තෙරණුවන් වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ දානයට ආරාධනා කරමින් පාත්‍රය ඉල්ලා සිටියා ය. තම ස්වාමි දුව දන් පිරිනැමීමේ ආශාවෙන් සිටින බව ද දන්වා සිටියා ය. ඒ අනුව සේවිකාවගේ අතට පාත්‍රය දුන් සැරියුත් හිමියෝ අර ගෙහිමි කාන්තාවගේ මනදොළ සපුරාලනු වස් ඇගේ නිවසට වැඩම කළහ. අනතුරුව මලින් සැරැසූ ආසනයෙහි අසුන් ගන්වා තමන් පිළියෙළ කළ රසමුසු භෝජනය පිළිගැන්වූ ගෙහිමි කාන්තාව මෙසේ ප්‍රාර්ථනා කළා ය. ‘මේ පුණ්‍ය මහිමයෙන් දිව්‍යමය හස්තීන් විසින් උසුලනු ලබන විමානයක් සහිත ආසනයක් ද දිව්‍ය සම්පත් ද මට ලැබේවා! නිරන්තරයෙන් ම නෙළුම් මල් මගේ දිව්‍යමය ජීවිතය සැරසීමට පහළ වේවා! අනෙකුත් දෙවියන් අතර කැපී පෙනෙන දිව්‍යමය ආත්ම භාවයක් හිමි වේවා!

දන් වළඳා අවසානයෙහි භුක්තානුමෝදනා බණ දෙසූ සැරියුත් හිමියෝ, උපාසිකාවගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද කර වෙහෙර බලා නික්ම ගියහ. අධික පී‍්‍රතියට පත් ඇය, උන්වහන්සේ වැඩහුන් ආසනය ද තම මෙහෙකරුවන් ලවා මහා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා විහාරස්ථානයට ම පිටත් කර හැරියා ය. තමන් කළ කුසල කර්මය පිළිබඳ ව නිතර මෙනෙහි කරමින් සතුටු සිත් ඇති ව දිවි ගෙවූ ඇය කාලයාගේ ඇවෑමෙන් මිය පරලොව ගොස් තවුතිසා දිව්‍ය ලෝකයෙහි පහළ වූවා ය. මිනිස් ලොව දී කරන ලද ප්‍රාර්ථනාවට අනුකූලව ම ලැබුණු මහත් දිව්‍ය ඓශ්චර්යයෙන් සතුටට පත් ව අනෙකුත් දෙවි දේවතාවන් අතර කැපී පෙනෙන රූප ශෝභාවකින් ද බබළවන්නට වූවා ය.

එක් අවස්ථාවක දී සිරිත් පරිදි දෙව්ලොව චාරිකාවෙහි යෙදුණු මුගලන් මහ රහතන් වහන්සේට ඇය මුණ ගැසිණි. රත්නත්‍රය කෙරෙහි අධික ශ්‍රද්ධාවෙන් ද මහා සංඝරත්නය කෙරෙහි මහත් භක්තියෙන් ද ඔද වැඩි සිටි ඒ දෙවඟන වහා මුගලන් තෙරුන් වෙත එළඹ, පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව හුන් විට, මේ තරම් විස්මයජනක දිව්‍ය සම්පත්තියක් ලබන්නට මිනිස් ලොව දී කවර නම් කුසල කර්මයක් කළේ දැයි විමසනු රිසි වූ මුගලන් තෙරණුවෝ මෙසේ විචාළහ.

“අනෙකුත් දෙවඟනන් අතුරින් කැපී පෙනෙන රූප ශෝභාවෙන් ද දිව්‍ය ඓශ්චර්යයෙන් ද, මහාර්ඝ වී ඇත. වාහනයකින් ද යුත් පින්වත් දේව දියණියනි. මේ සා විශාල ආනුභාව සම්පන්න දිව්‍ය සම්පත්තියක් ලබන්නට කවර නම් පින්කමක් මිනිස් ලොව දී කරන ලද්දෙහිද? රන්, රුවන්, මුතු, මැණික්වලින් ප්‍රභා සම්පන්න වූ දිව්‍ය ශ්‍රීයක් කෙසේ නම් පහළ විණි ද? මුගලන් තෙරුන් වහන්සේගේ පෙළඹවීමෙන් ප්‍රමෝදයටත්, උද්‍යෝගයටත් පත් වූ ඒ දිව්‍යාංගනා තොමෝ, තමන්ට මේ සා විශාල දිව්‍ය ඓශ්චර්යයක් ලැබීමට හේතු වූ පින්කමත්, තම ප්‍රාර්ථනයත් විස්තර වශයෙන් උන්වහන්සේට දන්වා සිටියා ය.

ඇගේ විස්තර කථාව නිමිති කර ගනිමින් එහි රැස් ව සිටි දෙව් පිරිසට දහම් දෙසූ මුගලන් මහ රහතන් වහන්සේ, මිනිස් ලොවට පෙරළා වැඩම කිරීමෙන් පසු බුදුරජාණන් වහන්සේට ද මේ ප්‍රවෘත්තිය සැළ කළහ. ඒ අවස්ථාවේ එහි රැස් ව සිටි සිවුවනක් පිරිසට ධර්ම දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ මාතෘකාව කර ගත්තේ ද මේ සිදුවීම ය. සිත පහදවා ගනිමින් සිදු කරන සුළු කුසල කර්මයකින් වුවද මහත්ඵල මහානිශංස ලැබිය හැකි බව පැහැදිලි කරමින් දෙසූ දහම් ඇසූ බොහෝ දෙනා මාර්ගඵල ලැබූහ.


විමාන වත්ථු කථා පුවත් 04 සතරවන පීඨ විමාන වත්ථුව නීල මාණික්‍යමය විමානයක් ලත් පින්බර දේවතාවිය