Print this Article


ශ්‍රද්ධාව ධනයකි බලයකි

ශ්‍රද්ධාව ධනයකි බලයකි

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

කාරුණික පින්වතුනි,

දස්සනකාමො සීලවතං
සද්ධම්මං සොතුමිච්ඡති
විනෙය්‍ය මච්ඡෙර මලං
සවේ සද්ධො ති වුච්චති

සිල්වතුන් දක්නට කැමැති වේද සද්ධර්මය අසන්නට කැමැති වේ ද, මසුරු මල හැර දන් පින් කෙරේ ද ඔහු ශ්‍රද්ධාවන්තයා යැයි කියනු ලැබේ.

බුද්ධධර්මය භක්තිගෝචර ආගමක් නොව බුද්ධිගෝචර ජීවන ප්‍රතිපදාවකි. බුදු දහමෙහි රහස් නැත. ශ්‍රී සද්ධර්මයේ අන්තර්ගතය විමසන්නට, ප්‍රශ්න කරන්නට, සාකච්ඡා කරන්නට පූර්ණ නිදහස හිමිව ඇත. එසේ කරන්නහුට සම්බාධක පමුණුවන්නේ ද නැත. ප්‍රශ්න කිරීම හා සාකච්ඡා කිරීම අපායගාමි වරදක්ද නොවේ. ආගම් ඉතිහාසයෙහි බුදුරජාණන් වහන්සේ තරම් චින්තන නිදහස අගැයීමට ලක් කළ වෙනත් ශාස්තෘවරයෙකු නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම විවෘත වූ තරමට ම බබළන්නේය, වැසුණු තරමට එහි බැබළීමක් නොවන්නේ ය යනු බුªද්ධදේශනාවයි. නිදහස් චින්තනයෙන් විමසීමෙන් හා පරීක්ෂා කිරීමෙන් තොරව හුදෙක් ගෞරවය, භක්තිය හා බිය පදනම් කරගෙන විශ්වාසයන්හි බැස ගැනීම හා ඇදැහීම භක්තියයි. ලොව පවත්නා සෙසු සියලු ආගම්වලට පදනම් වී ඇත්තේ භක්තිය යි. බුදුදහමේ ඇත්තේ භක්තිය නොව ශ්‍රද්ධාවයි.

අන්ධ විශ්වාසය ඇති තැන ප්‍රශ්න කිරීමක් නැත. විමසීමක් ද නැත. සියලු බල ශක්තීන් ඇතුළත් නිවැරැදි එකම සත්‍යය මෙය බවත් මෙයින් බැහැර අන් මඟක් නැති බවත් විමසා බැලීමකින් තොරවම පිළිගනී. බියවීම හෙවත් තැති ගැනීම නිසා එයින් අත්මිදීමට බොහෝ දෙනා නොයෙක් ආකාරයෙන් අන්ධ විශ්වාසයන්හි එල්බ ගනිති. එසේම අවිචාරවත්ව නොයෙක් දේ පිළිගනිති. විමසීමෙන්, පරික්ෂාවෙන් තොරව හුදු ගෞරවයෙන් පමණක්ම කටයුතු කරන තාක් කල් භක්තිය වැඩේ.

බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් පිළිබඳ සිතේ ඇතිවන ප්‍රසාදය, ගෞරවය, බුද්ධිගෝචර පිළිගැනීම හා කම්මවිපාක පිළිබඳ ඇතිවන අවබෝධාත්මක විශ්වාසය හෙවත් පිළිගැනීම ශ්‍රද්ධාවයි. සිල්වත්, ගුණවත්, නැණවත් පුද්ගලයකු තුළ තෙරුවන් කෙරෙහි සැබෑවට ශ්‍රද්ධාව පිහිටියා වන්නේ සියලු සසර දුක් දුරු කොට නිවන පසක් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ එකම අසහාය ශාස්තෘන් වහන්සේ හැටියට පළමුවැනුව ඇතිකර ගන්නා අවබෝධාත්මක විශ්වාසය නිසාවෙනි. (නත්ථී මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං) උතුම් වූ සද්ධර්මය සංසාර විමුක්තිය සදහා පානය කිරීමට අවැසි දහම ඔසුව ලෙස පිළිගැනීමෙනි. (නත්ථී මේ සරණං අඤ්ඤං ධම්මෝ මෙ සරණං වරං) එසේම දහම් මඟ අනුගමනය කර සසර දුක් කෙළවර කොට නිවන් පසක් කළ ආර්ය සංඝරත්නය ආදර්ශ දායකයන් ලෙසද සසර දුකින් මිදීම පිණිස එතුමන් පිහිටාධාර වන්නේයැයිද සතුටු සිතින් පිළිගැනීමෙනි. (නත්ථීමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං) කරනු ලබන යහපත් (කල්‍යාණ) හෝ කරනු ලබන අයහපත් (පාප) ක්‍රියාවන්ට හොඳ හෝ නොහොඳ එනම්, යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ලැබෙනවා යන විශ්වාසය ඇතිකර ගැනීමෙනි. (යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමී ති) එනම් කර්ම හා කර්මඵල විශ්වාස කිරීමෙනි. මේ කරුණු කෙරෙහි නියමාකාරයෙන් විමසා දැන ගෙන සිතෙහි ඇතිකර ගන්නා වූ බලවත් විශ්වාසය ශ්‍රද්ධාව නම් වේ. බෞද්ධයකු වන්නේ කර්මය සහ පුනර්භවය පිළිගැනීම නිසයි. මේ ආත්මභවයෙන් අනතුරුව සියල්ල අවසන්වේ යැයි යමකු සිතන්නේ නම් ඔහු බෞද්ධයකු නොවේ. අප සියලු දේ සිදු කරන්නේ නැවත ඉපදීමක් ද කරන, කියන, සිතන යහපත් වූ හෝ අයහපත් වූ ක්‍රියාවනට ඊට අනුරූප වන ආකාරයෙන් විපාක ද ඇතිය යන පිළිගැනීම සහිතවය.

එක්තරා අවස්ථාවක ආලවක යක්ෂයා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නය වූයේ මිනිසාට ඇති ඉහළම වස්තුව කුමක්ද යන්නයි. (කිංසූධ විත්තං පුරිසස්සසෙට්ඨං) බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වුූයේ මිනිසාට ඇති ඉහළම වස්තුව නම් ශ්‍රද්ධාව බව යි (සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං) එපමණක් නොව ශ්‍රද්ධාව සියලුම කුසල් දහම් වැඩීමට මුල්වේ. (සද්ධා මූලිකා සබ්බේපි කුසලාධම්මා) ශ්‍රද්ධාවෙන් ලෝකෝත්තර සුව පමණක් නොව ලෞකික සුවය ද ගෙන දේ. (ලෝකියලෝකුත්තර විපාක සුඛං ආවහති) සැදැහැ ගුණයෙන් යුත් තැනැත්තා ජාති ජරාදි දුක් නැති කරයි. (සද්ධා ධුරෙන පටිපන්නානංජාති ජරාදී දුක්ඛං පටිබාහති) ගුණයෙන් දිළිඳුකම නැතිකොට ගුණයෙන් පොහොසත් කිරීමට ශ්‍රද්ධාව මුල්වේ. (ගුණදාළිද්දියං වූපසමේති) එපමණක් නොව තුන්තරා බෝධිය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අත්‍යවශ්‍ය වු සතිසම්බෝධ්‍යාංගාදි බෝධිපාක්ෂික ගුණ රත්නයන් ලැබීමට හේතු වන්නේද ශ්‍රද්ධාවයි.

බුදුරජාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයන් තුළ ආර්ය ධන සතක් තිබිය යුතුබව වදාළ සේක. ඒ අතර ශ්‍රද්ධාව හා ප්‍රඥාව ගුණ යුවළකි. සාර්ථක ජීවිතයක පදනම නම් ශ්‍රද්ධාව හා ප්‍රඥාව දෙක සමසේ පිහිටා තිබීම යි. ශ්‍රද්ධාව අඩුව ප්‍රඥාව බලවත්වූ විට ඒ පුද්ගලයා කෛරාටික පුද්ගලයෙකු වේ. (බලවපඤ්ඤෝ මන්දසද්ධෝ කේරාටික පක්ඛං භජති) ප්‍රඥාව අඩුව ශ්‍රද්ධාව බලවත් වූ විට ඒ තැනැත්තා නුවණ මඳ පුද්ගලයකු වේ. බුදුසසුනෙහි ඇතිගුණ රුවන් උපදවා ගැනීමට නම් ශ්‍රද්ධා ප්‍රඥා දෙක සමව තිබිය යුතු ය. බියකරු සසර සයුරෙන් එතෙරවීමට කාම, භව, දිට්ඨී හා අවිජ්ජාදී චතුර්විධ ඕඝයන් (සැඩ දිය පහර) ජය ගැනීමට ශ්‍රද්ධාව මුල්වේ. (සද්ධාය තරති ඕඝං) දුක් සහිත සසර ගමනේදී පිහිට පිණිස පවතින මාර්ගෝපකරණ වශයෙන් ගත්කල ශ්‍රද්ධාවට වැදගත් තැනක් හිමිවේ. (සද්ධා බන්ධන පාථෙය්‍යං)

වරක් බුදුරජාණන් වහන්සේ ම දක්වා ඇති පරිදි තමන් වහන්සේට අගෞරව කරන පුද්ගලයන් දෙදෙනෙකි. එනම්, ද්වේෂ සහගතව බොරුවෙන් බුදුරජාණන් වහන්සේට නිගා කරන්නා හා වැරැදි අවබෝධයෙන් යුත් මෝඩ ශ්‍රද්ධාවන්තයා යන දෙදෙනාය. සියලු බුදුවරයන්ගේ අනුශාසනාව නම් සියලු පාපයන්ගෙන් වැළැකී කුසල් දහම් සිදු කොට සිත පිරිසිදු කරගත යුතුය යන්නයි. සියලු යහපතට ශ්‍රද්ධාව මුල්වන බැවින් ශ්‍රද්ධාවෙන් තොරව බුදුසසුනෙන් ලබාගත හැකිදෙයක් නොවන්නේය. එබැවින් සැබෑ බෞද්ධයාට ශ්‍රද්ධාව ධනයකි; බලයකි. එසේම සැපයකි. එමෙන්ම ශ්‍රද්ධාව බීජයකි. අලියාගේ අවයව අතර හොඬවැල ඌට අතිශයින්ම උපකාර වන අංගයකි. එය නැතිව කිසිත් කළ නොහැකිය. ශ්‍රද්ධාවත්, අලියාගේ හොඬවැලට උපමාකර ඇත්තේ සියලු කුසල් දහම් රැස් කිරීමට ශ්‍රද්ධාව මුල්වන බැවිනි.

මේ අනුව බලනවිට, ප්‍රඥාව පාදකකොටගෙන ශ්‍රද්ධාව ගොඩනඟා ගත යුතු අතර ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් යන දෙඅංශයම සමාන්තරව වර්ධනය කර ගත යුතුව ඇත.