Print this Article


ශ්‍රී ලාංකේය 260 කට තායිලන්තයේ දී පැවිදිවීමට අවස්ථාවක්

ශ්‍රී ලාංකේය 260 කට තායිලන්තයේ දී පැවිදිවීමට අවස්ථාවක්

මිහිඳු මාහිමියන් විසින් අප රටට ගෙන එනු ලැබූ සම්බුදු දහම චිරාත් කාලයක් අප රටේ යෙහෙන් වැජඹුණත් වරින් වර අප රටේ බුදු දහමට විදේශීය තර්ජන එල්ල වුණා.

එවන් අවස්ථාවලදී අපේ මිත්‍රරටවලින් උපසම්පදාව ලබා ගැනීමට මෙන්ම දූත පිරිස් හුවමාරු කර ගැනීමද සිදුවුණා. මේ ඇසුරෙන් උපසම්පදාව යළි ලබා දීමෙන් අපට සුවිශාල දායකත්වයක් ලබා දුන් රටක් ලෙස අද තායිලන්තය නමින් අප හඳුන්වන එදා සියමය හඳුන්වන්න පුළුවන්.

ඒ 1753 අවුරුද්දෙ එදා අපේ රටේ නැති වී ගිය උපසම්පදා විනය කර්මය යළි නඟාසිටුවන්නට වැලිවිට සරණංකර සංඝරාජ නාහිමියන් කටයුතු කළා. ඒ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සහායෙන්.

පට්ටිපොළ මොහොට්ටාලගේ නායකත්වයෙන් උපසම්පදාව ගෙන ඒමට යැවූ දූත පිරිස තායි ධාර්මික රජතුමා විසින් ගෞරවයෙන් පිළිගෙන උපාලි මහා තෙරුන් ප්‍රමුඛ තායි භික්‍ෂූන් වහන්සේ 20 නමක් ද ඇමැතිවරුන් පස් දෙනෙකු ද රනින් කළ පිළිමයක් ද ලංකාවට එව්වා. ඒ 1753 වසරේදීය. එදා අපේ රටට වැඩම කළ උපාලි හිමියන් ප්‍රමුඛ තායි භික්‍ෂූන් වහන්සේ පිරිස වැලිවිට සරණංකර හිමියන් ප්‍රමුඛ ලාංකීය සාමණේර පිරිසක් උපසම්පදා කළා. අද දක්වා පවතින ශ්‍යාමෝපාලි මහා නිකාය ආරම්භ වුණේ ඒ අනුවයි.

සියමයෙන් ගෙන ආ නිසා ශ්‍යාම නාමයද උපාලි තෙරණුවන් විසින් උපසම්පදාව මෙහෙය වූ නිසා ‘උපාලි’ යන්නද එක් වී ‘ශ්‍යාමෝපාලි’ නමින් නිකාය නම් කළා. ඒ අදට අවුරුදු 260 කට පෙරයි. ශ්‍යාමෝපාලි හෙවත් සියම් නිකායික උපසම්පදාව ආරම්භ කර වසර 260 කි. ලංකාවත්, තායිලන්තයත් අතර බෞද්ධ සබඳතා ඇරැඹුණේ අවුරුදු 700 කට පමණ කලින්.

මෙරට සියම් නිකාය පිහිටුවා වසර 260 ක් සපිරීම නිමිත්තෙන් ලාංකිකයන් 260 ක් තායිලන්තයේ දී දෙසතියක තාවකාලික පැවිද්දට යොමු කිරීමේ වැඩපිළිවෙළක් සූදානම් කර තිබෙනවා. ඒ එරට උප සංඝරාජයාණන් වහන්සේගේ සහායෙන් මාබිම හෙයියන්තුඩුව තායි - ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති රාස්සගලි සීවලී හිමියන්ගේ මූලිකත්වයෙනි.

ඒ සම්බන්ධව මේ වනවිට ව්‍යාපෘතියක් අරඹා ඇති අතර තායිලන්තයේ දී තාවකාලික පැවිද්දට කැමති ශ්‍රී ලාංකියන්ගෙන් මේ දිනවල අයදුම්පත් කැඳවා තිබෙනවා. මනා චරිතයකින් හෙබි අය පමණක් මේ සඳහා තෝරා ගනු ලබන අතර ප්‍රත්‍ය පහසුකම් සියල්ල නොමිලයේ ලබා දීමට කටයුතු කර තිබෙනවා.

වරකට පනස් දෙදෙනෙකු හෝ විසි හය දෙනකු හෝ වශයෙන් මාස දහයක් පුරා අවස්ථා පහකදී හෝ දහයකදී මෙම පින්කම සිදු කරනවා. ඒ සඳහා තායිලන්තයෙන් පූර්ණ අනුග්‍රහය ලැබී තිබෙනවා. දෙරට අතර දැඩි මිත්‍රත්වයක් අතීතයේ තිබුණත් පසුකලෙක එය අඩු වී ගියා. ධම්මපදට්ඨ කතා මෙන්ම බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත පොත් අදත් තායිලන්තයේ පරිහරණය කරනවා. තායි භික්‍ෂූන් වහන්සේ පාලි ඉගෙනීමට භාවිතා කරන්නේ ලංකාවේ පාලි කෘති බවද කිව යුතු ය. මේ නිසා තායි භික්‍ෂූන් ලංකාව කෙරෙහි දැඩි ආදරයක් ඇල්මක් දක්වනවා. එසේ වුවත් පසුගිය කාලයේ මෙරට තිබූ යුද වාතාවරණය නිසා දෙරට අතර බොදු සංස්කෘතික සබඳතාවන්හි කැපී පෙනෙන මට්ටමේ දියුණුවක් තිබුණේ නැහැ.

එහෙත් දැන් ඒ තත්ත්වය වෙනස් කරන්න කාලය ඇවිත්. මීට වසර 15 කට පමණ පෙර තායිලන්තය විවෘත කළ අන්තර් ජාතික බෞද්ධ විශ්ව විද්‍යාලය නිසා මෙරට භික්‍ෂූන් වහන්සේ එහි ගොස් අධ්‍යාපනය ලබා ගැනීමට උනන්දු වුණා. මහා චූලාලංකාර නමින් හැඳින්වෙන මෙම විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ රැසක් අධ්‍යාපනය ලබනවා.

මීට දසවසරකට පෙර සියම් මහා නිකාය අරඹා වසර 250 පිරීම නිමිත්තෙන් මහනුවර දී උත්සව මාලාවක් පැවැත්වුණා. එහි මූලිකත්වය ගත්තේ ද මහා චූලාලංකාර විශ්වවිද්‍යාලයයි. එමෙන්ම එම විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යාලයක් මහනුවර පල්ලේකැලේ ඉදිකර තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ පැවැත් වූ සංඝ සම්මේලනයටද තායි භික්‍ෂූන් විශාල පිරිසක් සහභාගි වුණා. එමෙන්ම තායිලන්තයෙ ත්‍රිපිටකය රචනා කිරීමේ දී මෙරට උගත් වියතුන්ගේ සහාය ලබා ගන්නවා. එමෙන්ම මෙරට හිමිවරුන් රැසක්ම තායිලන්තයට වැඩම කොට එහි පිණ්ඩපාත චාරිකා ආදියේ නියැළුණා. මේ ආකාරයට දෙරට අතර දැඩි මිත්‍ර සබඳකමක් ඇතිව තිබෙනවා.

මෙරට විහාරස්ථාන රැසකට තායි බුදු පිළිම ලබා දීමට මේ වන විටත් කටයුතු කර තිබෙනවා. එමෙන්ම පිණ්ඩපාතයේ වැඩීමට හැකි පාත්තර 700 ක් පමණ මේ වන විට මෙරට භික්‍ෂූන්ට ලබා දී තිබෙනවා. සියම් මහා නිකායට වසර 260 ක් පිරීම නිමිත්තෙන් සෑම පොහෝ දිනකම භික්‍ෂූන් පිණ්ඩපාතයේ වැඩම කරවීමේ පින්කම් ද මේ වන විටත් අරඹා තිබෙනවා.