Print this Article


මනාව හික්මවන ලද ඉඳුරන්ගෙන් අග්‍ර වූ නන්ද රහතන් වහන්සේ

මනාව හික්මවන ලද ඉඳුරන්ගෙන් අග්‍ර වූ නන්ද රහතන් වහන්සේ

නන්ද තෙරුන් වහන්සේ රහත් වූ බව නොදත් අනෙකුත් භික්‍ෂූහු ඔබ වහන්සේ දෙවඟනක් ලබා ගන්නේ කවදාදැයි විමසූහ. එහිදී තමාට දෙවඟනන් අවශ්‍ය නැතැ’යි නන්ද තෙරුන් වදාළද, එය නොපිළිගත් අනෙකුත් භික්‍ෂූහු මෙම තෙරුන් මුසා බස් පවසන වා යැ’යි බුදුරදුන්ට දැන්වූහ. එහෙත් එය මුසාවක් නොවන බවත් නන්ද තෙරුන් සියලු විදසුන් වඩා රහත් වූවා යැ’ යි බුදු හිමියෝ වදාළහ

ශාක්‍යවංශිකයන්ට උදාර මෙහෙවරක් ඉෂ්ඨ සිද්ධ කිරීමේ අධිෂ්ඨානය පෙරදැරි කරගත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හැට දිනකින් තම උපන් බිම වූ කිඹුල්වත්පුරට වැඩම කළේ අද වැනි මැදින් පුර පසළොස්වක පොහොය දිනක දී ය. මේ උදාර මෙහෙවරට ආශිර්වාද කරන්නාක් මෙන් මඟ දෙපස වෘක්‍ෂයන්ගේ ලාදළු පත් මෙන්ම සුපිෂ්පිත පුෂ්පයෝද රක්ත වර්ණයෙන් බැබළෙමින් මඟ දෙපස අසිරිමත් දසුනක් මැවී ය.

මෙසේ බුදුරදුන් කිඹුල්වත්පුරට වැඩම කළ තෙවන දින නන්ද කුමරුගේ මාලිගාවටද වැඩම කළහ. එදින නන්ද කුමරුගේ මාලිගාව ගෘහ ප්‍රවේශ, සරණ බන්ධන සහ මෞලි මංගල්‍යයන්ගෙන් උත්සවශ්‍රීයෙන් බැබළුණි. මේ සුවිශේෂී මොහෙතේදී මාලිගාවෙන් දන් වැළඳූ බුදු හිමියෝ තම පාත්‍රය නන්ද කුමරුට දී විහාරයට වැඩම කළහ.

මේ පුවත ජාතක කතා පොතෙහි දැක්වෙන සංග්‍රාමාවචර ජාතකයෙහි ද දැක්වෙයි. බුදුරදුන් පසු පස පාත්‍රය රැගත් නන්ද කුමරු විහාරයට පැමිණ බුද්ධ ගෞරවයට ඇති කැමැත්ත නිසා පැවිදි වුයේය.

එහෙත් තම සදාදරණීය පතිනිය වීමට පෙරුම්පුරා සිටි ජනපදකල්‍යාණිය අමතක කරලීමට නන්ද කුමරුට නොහැකි විය. ආර්ය පුත්‍රය,ගිය සැනින් වහා එන්න යැයි ඇය පැවසූ වදන සිහිගැන්වුණු නන්ද තෙරණුවෝ සසුනෙහි වාසය කළේ දෙගිඩියාවෙනි.

මේ ගැන දැනගත් බුදුපියාණෝ තම එර්දි බලයෙන් නන්ද තෙරුන් සමඟ සුන්දර වූ හිමාලය වෙත වැඩම කළහ. ඒ යන අතරමඟදී හේනක කණුවක් මත ඇති දැවී වියළී ගිය වඳුරු කුණක් නන්ද තෙරුන්ට පෙන්වූ බුදුරදුන් හිමාලයට පිවිස එහි පිහිටි අසිරිමත් අනෝතප්තවිලත් සුවිසල් වූ සිව්මහා විල්ද පංච මහා ගංගාවන් ඇතුළු පර්වත දහස් ගණනක්ද පෙන්වූහ. පසුව බුදුරදුන් සමඟ නන්ද තෙරණුවන් දෙව්ලොවට පිවිසෙද්දී දෙවඟනන් පිරිවරා ගත් සක් දෙවිඳු පඬුපුල් ආසනයේ වැඩ සිටියහ.’

මෙහිදී බුදු හිමියෝ නන්ද වඩා ලස්සන ජනපදකල්‍යාණියද දෙව්ලොව දෙවඟනන් දැයි විමසූහ. ස්වාමීනි. ජනපද කල්‍යාණිය මා අතර මඟදී දුටු දැවී වියළී ගිය වැඳිරි කුණ හා සමාන බවත් ඇය කෙරෙහි ඇති ඇල්ම මා සිතින් දුරුවී ගියා යැයිද එහෙත් දෙවඟනක් ලබා ගැනීමට කැමැත්තෙන් සිටින්නේ යැයි’ ද නන්ද තෙරණුවෝ පැවසූහ.

විවිධ වූ රූප අරමුණු උපාදානය කර ගන්නා පෘථග්ජන සිතක ඇති ස්වභාවය මෙයින් අපට පැහැදිලිය. හොඳින් මහණ දම් පුරන්නේ නම් දෙවඟනක් ලබා දීමට මම ඔබට ඇප වෙමි’ යි බුදු පියාණෝ නන්ද තෙරණුවන්ට පොරොන්දු වූහ. මෙසේ නන්ද තෙරණුවෝ දිව්‍යලෝකයේ දෙවියන් ඉදිරියේ බුදුරදුන්ගෙන් ඇප ලබා ගෙන කාන්තාවන් තකා මහණ දම් පුරතියි භික්‍ෂූන් අතර ප්‍රචලිත විය.

මෙයින් මහත් ලජ්ජාවටපත් වූ නන්ද තෙරුන් වහන්සේ සියලු ස්ත්‍රින් කෙරෙහි ඇතිවන සිතිවිලි යටපත් කරමින් මහත්විර්යයෙන් විදර්ශනා උපදවාගෙන උතුම් වූ රහත් මඟ ඵල ලබාගත් සේක. එහිදී එක්තරා දේවතාවකු බුදුරදුන් හමුවට පැමිණ නන්ද තෙරණුවෝ රහත් මඟ ඵල ලැබූ බව දන්වා සිටියහ. බුදු හිමියෝද මේ ගැන දැනුවත් වී සිටියහ.

පසුදා උදෑසන නන්ද තෙරුන් වහන්සේ බුදුරදුන් හමුවට වැඩම කර ‘ස්වාමීනි ,දෙවඟනන් ලබා දීමට ඔබ වහන්සේ දුන් පොරොන්දුව අවශ්‍ය නැතැ’යි දැන්වූහ. නන්ද,ඔබ රහත් මඟ ඵල ලැබූ බවත්, මම ඇපයෙන් නිදහස් වූ බවත් දනිමි’යි එහිදී බුදුපියාණෝ වදාළහ.

මේ අනුව බුදුහිමියෝ විශේෂඥ මානව වෛද්‍යවරයෙක් මෙන් විශේෂිත යැයි අපට සිතා ගත හැකිය.

නන්ද තෙරුන් වහන්සේ රහත් වූ බව නොදත් අනෙකුත් භික්‍ෂූහු ඔබ වහන්සේ දෙවඟනක් ලබා ගන්නේ කවදාදැයි විමසූහ. එහිදී තමාට දෙවඟනන් අවශ්‍ය නැතැ’යි නන්ද තෙරුන් වදාළද, එය නොපිළිගත් අනෙකුත් භික්‍ෂූහු මෙම තෙරුන් මුසා බස් පවසන වා යැ’යි බුදුරදුන්ට දැන්වූහ. එහෙත් එය මුසාවක් නොවන බවත් නන්ද තෙරුන් සියලු විදසුන් වඩා රහත් වූවා යැයි බුදු හිමියෝ වදාළහ.

මේ අනුව අපට හැඟී යන්නේ භික්‍ෂූන් වහන්සේ නමක් විදසුන් වඩා උතුම් රහත් ඵලය ලබා ගත්ත ද, එය පෘතග්ජන මනුෂ්‍යයකුට දැන ගැනීම අපහසු බවය.

ඔවදන් පිළිගන්නා නන්ද තෙරුන් වහන්සේ පෙර භවයකත් ජය ලැබුවේ මෙසේ යැයි බුදු හිමියෝ අතීත කතාව වදාළහ. පෙර බරණැස්නුවර බඹදත් නම් රජෙකුගේ යුගයේදී බෝසතාණෝ ඒ රජුට සතුරු රජුගේ හස්ත්‍යාචාර්ය වූහ. සතුරු රජතුමා සේනාව රැගෙන බරණැසට පැමිණ නගරය වටලා මහා යුද සටනකට එළඹුනහ. යුද්ධයේ ඊතල වර්ෂාවෙන් සතුරු රජුගේ මඟුලැතු පසු බැස්සේය.

මෙහිදී බෝසතාණෝ ඇතා අමතා හස්තිරාජය ශරවර්ෂා නොමැති යුද්ධයක් නැත්තේ යැයි කියමින් ඇතු දිරි ගන්වමින් පවුරු පදනම් බිඳ ඉදිරියට පැමිණ බරණැස් රජු අල්වා අපගේ රජතුමාට දෙන්නැයි කීවේය. මේ ඔවදන පිළිගත් හස්ති රාජයා පවුරු පදනම් බිඳ ඉන්ද්‍රඛීලය උදුරා නගරයට වැද රජු මෙල්ල කළේය.

මේ පුවත වදාළ බුදුහිමියෝ පූර්වාපර සන්ධි ගැළපූසේක. එදා ඇතා මෙදා නන්ද තෙරණුවන් බවත් හස්ත්‍යාචාර්යන් වහන්සේ බුදු වු මම , ම වෙමි’යි වදාළහ . මෙසේ සසර මඟ පණ්ඩිතයන්ගේ ඇසුර ලැබූ නන්ද තෙරුන් වහන්සේ මනාව වසන ලද ඉඳුරන් ඇති රහතන් වහන්සේ අතුරෙන් අග්‍රස්ථානය ලැබූහ. සෑම රහතන් වහන්සේ නමක්ම මනාව වසන ලද ඉඳුරන්ගෙන් පිරිපුන් වුවත් නන්දරහතන් වහන්සේ ඒ අතුරින්ද අග්‍ර වූයේ සසර මඟ පැතූ පැතුමක් ඉෂ්ඨවීමක් ලෙසිනි.

නන්ද තෙරුන් වහන්සේ මෙයට ආත්ම කල්ප ලක්‍ෂයකට පෙර කුලපුත්‍රයෙකු වී හංසවතී නුවර පිහිටි නිවසක උපත ලබා පදුමුත්තර බුදුරදුන්ගෙන් බණ ඇසුවේය. ඒ අභියස මනාව වසන ලද ඉඳුරන් ඇතිව අග්‍රස්ථානය ලැබූ භික්‍ෂුවක් ද වැඩ සිටි සේක.මෙම සුවිශේෂී හමුවෙන් අපමණ පැහැදුනු කුලපුත්‍රයා පදුමුත්තර බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට මහත් ශ්‍රද්ධාවෙන් සතියක් මුළුල්ලේම දන් පිරිනමා තම අභිප්‍රාය දැන්වීය.මේ මහා පුණ්‍ය කර්මය දිවැසින් දැක සතුටු වු පදුමුත්තර බුදු හිමියෝ ඔබේ පැතුම මතු බුදුවන ගෞතම බුදු හිමියන්ගේ සසුනෙහි නියත ලෙස ඉටුවන බව වදාළහ. එදා සිටම සසර පුරා අපමණ ආත්ම ගණනක් පාරමී දම් පිරූ මේ කුල පුත්‍රයා සසරේ අවසන් භවයේදී ප්‍රජාපතී ගෝතමියගේ පුතණුවන් වී ශාක්‍ය ජනපදයෙහි උපත ලබා සසර දුක කෙළවර කළ සේක.

ජීවිතයේ ලද හැකි සුවිශිෂ්ට වූ මෙම තත්ත්වයට එළඹීමට නන්ද තෙරුන් වහන්සේට මඟ හසර විවර වූයේ බුදුරජාණන් වහන්සේ තම උපන් බිම වූ කිඹුල්වත්පුරට මැදින් පුර පසළොස්වක පොහොය දිනක වැඩම කළ අසිරිමත් ධර්මපාද චාරිකාව නිසාය.