Print this Article


මනසට අනවශ්‍ය දෑ එපා

මනසට අනවශ්‍ය දෑ එපා

කාට හෝ මට උදව්වක් කරන්න ලැබෙනවා නම් මට ඒ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. පොත්පත් ලියනවා. අසරණ මනුෂ්‍යයන්ට නිවාස ඉදිකර දෙනවා. මේ වසරේ ඉදිකරවන්නෙ 19 වැනි නිවාසයයි. මා ලියපු පොත්වලින් ලැබෙන මුදලුත්, දායක ඇත්තෝ ගෙනවිත් දෙන මුදලුත් ඇතුළු ලැබෙන මුදල්වලින් තමයි ඒව කරන්නෙ. මගේ නමින් වෙනම භාරයක් තිබෙනවා. භාරකාර මණ්ඩල දෙකක් ආරම්භ කරල තිබෙනවා. ඒ දෙකෙන්ම නිවාස ඉදි කරනවා

මහානායක හාමුදුරුවනේ කුඩා කාලයේ සිදුවීම් මතකයේ තිබෙනවාද?

මහ නාහිමි

මගේ ජීවිතයේ කුඩා කාලයේ ඉඳලම ඒ කියන්නේ මගේ වයස අවුරුදු පහේ විතර ඉඳල ගෙවූ කාලය මට මතකයි. බෙල්ලන මහා විද්‍යාලය ඒකාලයේ සාමාන්‍ය පාසලකි. 1925 දී තමයි ඒ පාසලට මා ඇතුළත් වුණේ.

පවුලේ තොරතුරු

අපේ පවුලේ අට දෙනයි. පිරිමි තුන් දෙනයි. ගැහැනු පස් දෙනයි.

එයින් අන්තිමයා පැවිදි වීමට අදහස් කළේ....

පෙර ජාතිවල පළපුරුද්දක් අනුව පැවිදිවීමට උනන්දු වෙන්න ඇතැයි මා හිතනවා. මගේ වයස දෙකේ තුනේ ඉඳල පන්සලට ආව ගියා. මගේ මව්පිය දෙපළත් බෙල්ලන පන්සලේ දායකයෝ. පවුලේ අන්තිමයා නිසා ගෙදර අයගෙනුත් මට විශේෂ සැලකිල්ලක් තිබුණ. මා පැවිදි වීමට මව්පිය දෙපළත් කැමැති වුණා. ඒ කාලයේ පොහොයට අටසිල් සමාදන් වූ දායකවරු දෙපළක්. මට මතකයි අපේ මහ ගෙදර ඉදිරියේ තාත්තා අපට වෙනම නිවසක් හැදුවා. දවසක් පාසල නිවාඩු දිනයේ ඒ නිවස හදන තැන මමත් හිටිය. ඒ වෙලාවේ පන්සලට ගිහින් ඇවිත් අපේ තාත්තා කිව්ව පොඩි එක්කෙනා පැවිදි කරන්න කියල පන්සලේ හාමුදුරුවොත් කිව්ව කියල අපේ අම්මට කිව්වා. එතකොට මට වයස නවයක් ඇති.

පැවිදීම

1929 මැයි මාසයේ 21 වැනිදා තමයි මා පැවිදි වුණේ. බෙල්ලන පන්සලේ වැඩ සිටි හත්තොටුවිල සෝභිත ලොකු හාමුදුරුවෝ යටතේ පැවිදි වුණේ. පැවිදිවෙලා වසරකට පසුව බෙල්ලන පන්සලේ මගේ ගුරු හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරපු පිරිවනේ ඉගෙන ගත්තා.

පැවිදි ජීවිතයට අවශ්‍ය කරන දේ ඒ පිරිවෙනින් ඉගෙන ගත්තා.

අනතුරුව

බෙල්ලන පිරිවෙනින් පසුව 1945 දී මහා බෝධි සමාගම මගින් පිටරට ධර්ම ප්‍රචාරයට යැවීම සඳහා මා තෝරා ගනු ලැබුවා. විශේෂ කටයුත්තක් ලෙස අවුරුදු තුනක් ඒ පුහුණුව ලැබුණා. ඒ කාලයේ ‘සිල්වන් විලා’ නමින් හඳුන්වන ලද වර්තමාන පධානඝර විහාරයේ දී තමයි ඒ පුහුණුව ලැබුවෙ. එය පසුව ධර්මදූත විද්‍යාලයක් ලෙස දියුණු වුණා. පරවාහැර වජිරඤාණ නායක හාමුදුරුවෝ තමයි ඒ වැඩ පිළිවෙල පටන් ගත්තෙ.

පුහුණුවෙන් පසුව...

ඒ පුහුණුවෙන් පසු අප ඉන්දියාවට යැවූ අතර අවුරුදු තුනක් බුද්ධගයාවේ නේවාසික වුණා. ඒ කාලයේ බුද්ධගයාව දුර්වල වෙළයි තිබුණෙ. කල්කටාවේ මූලස්ථානයෙන් බුද්ධගයාව වැඩිදියුණු කරන්නැයි මා වෙත බාර කළා.

දඹදිව සිට...

ඒ අවුරුදු තුනෙන් පසු ලංකාවට ඇවිත් යන්න හිතාගෙනයි ආවේ. ඉතින් අපේ පසුපස ක්‍රියාත්මක කර්ම ශක්තියක් තිබෙනවා. මා 1950 දී ලංකාවට ඒමේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. නමුත් කර්ම ශක්තිය නිසා මා ඊට යෙදුවා.

බෙල්ලන පිරිවෙනට....

ඉතින් මා ඉගෙන ගත් බෙල්ලන පිරිවෙනට ආවාම එහි හාමුදුරුවරුන් දායකයොත් නැවත ඉන්දියාවට නොගිහින් පිරිවෙන වැඩිදියුණු කරන්නැයි ඉල්ලීම් කළා. ඒ වන විට පරිවේණාධිපති හාමුදුරුවොත් අසනීපයෙන් හිටියෙ. මට පරිවෙණාධිපතිකම බාර ගන්නැයි කීවා.

1951 දී පරිවෙණාධිපතිධුරය බාරගත් බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන අද ඉතා දියුණු තත්ත්වයට පත් වී තිබෙනවා.

මාලිගාකන්දේ විදුදය පිරිවෙනට.....

1951 සිට 1977 දක්වා එහි පරිවෙනාධිපති ලෙස කටයුතු කළා. 1978 දී කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනේ ගුරුවරයකුගේ තිබූ අවශ්‍යතාවය නිසා එහි ගුරුවරයකු ලෙස අවුරුදු තිහක් කටයුතු කළා.

එංගලන්තයට.....

මේ අතර 1981 දී එන්ගලන්තයේ සමිතියකින් මා වෙත ආරාධනාවක් ලැබුණ එහි අභිනවයෙන් විහාරස්ථානයක් ආරම්භ කිරීමට. ඒ ආරාධනාවට අනුව 1982 දී එංගලන්තයට ගියා. පිරිවෙනින් වසරක නිවාඩු අරගෙන ගිහින් අවුරුද්දකුත් මාසයක් තේමිස් විහාරයේ කටයුතු කළා. නැවත අවුරුදු දෙකකට පසු තවත් පිරිසකට විහාරස්ථානයක් පටන් ගැනීමට අවශ්‍ය වුණා. ඒ සඳහාත් ආරාධනා කළාම හය මාසයකට එංගලන්තයට ගියා.

මහානායක පදවිය

ඊට පසුව අපේ සංඝ සභාවෙන් 2001 අවුරුද්දේ මහානායක පදවියට පත් කරනු ලැබුවා. නිල සංඝාවාසය ලෙස මේ ගොඩනැගිල්ල ඉදිකර දී තිබෙනවා. ඉතුරු ටික දැන් මෙහි ගත කරනවා.

වඩාත් සතුට ලබන්නේ.....

කාට හෝ මට උදව්වක් කරන්න ලැබෙනවා නම් මට ඒ ගැන ලොකු සතුටක් ඇති වෙනවා. පොත්පත් ලියනවා. අසරණ මනුෂ්‍යයන්ට නිවාස ඉදිකර දෙනවා.

මේ වසරේ ඉදිකරවන්නෙ 19 වැනි නිවාසයයි.

මා ලියපු පොත්වලින් ලැබෙන මුදලුත්, දායක ඇත්තෝ ගෙනවිත් දෙන මුදලුත් ඇතුළු ලැබෙන මුදල්වලින් තමයි ඒව කරන්නෙ. මගේ නමින් වෙනම භාරයක් තිබෙනවා. භාරකාර මණ්ඩල දෙකක් ආරම්භ කරල තිබෙනවා. ඒ දෙකෙන්ම නිවාස ඉදි කරනවා.

නියමිත වශයෙන් බලාපොරොත්තු වන දෙයක් මේ ජීවිතයේ නෑ.

ජීවිතය මෙහෙම ගමන් කරල සීමාවක් නැති පෙරළීම් ගොඩකට යන්නෙ.

අපට කරන්න පුළුවන් එක දෙයයි. ඒ තමයි ‘නරක’ කියන දේ කරන්නෙ නැතිව එයින් නිදහස් වී ජීවත්වීමයි.

හම්බ කරන දේත් කාට හරි දීල යනවා. වරදක් නැතිව සිටීමයි කළ යුතු දේ.

සරල දේ පිළිබඳව

යම්කිසි බැම්මකට හිර නොවී යම් තරම් කාලයක් ගත කළ හැකි නම් මේ ජීවිතය හොඳට ගත කළොත් මේ පෙරළීම්වල ඉවරයක් සොයා ගත හැකියි.

මනසේ සැහැල්ලුව

මනසට අනවශ්‍ය, කුණු ගොඩවල් පුරවා ගැනීමෙන් මනස කඩා වැටී ආධ්‍යාත්මික වශයෙන් එයින් පරිහානියට පත්වීමට ඉඩ තිබෙනවා. හිත නිදහස් කරගෙන ඉන්නවා නම් එසේ වන්නේ නෑ.

හැදෙන පරපුර කියවීමට උනන්දුයි

මේ මාසයේ ග්‍රන්ථ දෙකක් නිකුත්වීමට කටයුතු යොදා තිබෙන බව දැන ගත්තා. සමහර ග්‍රන්ථ මුද්‍රණ වශයෙන් කීප වාරයක් නිකුත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් කියවන සංඛ්‍යාව අඩු වුණත් හැදෙන තරුණ පරම්පරාව කියවීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බව පේනවා.

සමහර අය උදේ නැගිටලා සුදානම් වෙලා දවසේ වැඩ කටයුතු කරගෙන යන විට ඇතැම් විට පොතපත කියවන්න වෙලාවක් නෑ. සමාජය නිර්මාණය වන ආකාරය අනුවයි එසේ සිදුවන්නේ. නමුත් මෙලොව භෞතික වූ සියල්ල අතහැර දමා යන්න සිදුවෙනවා.

අපේ මනසේ ගණන් කිරීමට බැරි තරම් දේවල් තැන්පත් වී තිබෙනවා. ඒ ගැන හිතුවාම හෝ නොහිතුවත් ඉන් එකක් ඉදිරිපත් වෙනවා.

අනෙක් අය සමඟ තිබෙන තරඟයක් යැයි නොසිතා තමාගේ යුතුකම් කොටස යැයි තීරණය කරගෙන ඒ මග ගමන් කිරීමයි කළ යුතු වන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.

උන්වහන්සේ සමඟ මාධ්‍යවේදී චාමික මුණසිංහ මහතා කළ බුදුසරණ “සක්වළ සක්මන” සාකච්ඡා ලිපිපෙළ ඇසුරෙන් සම්පාදිත “සජීවීලෝකය” ග්‍රන්ථය මෙම 28 වන දා කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී දොරට වැඩීමේ උත්සවය පැවැත්වේ.

(අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 94 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේ ‘බුදුසරණ’ට දැක්වූ අදහස් ඇසුරෙනි.)

සටහන: සීසර් සුදුසිංහ