Print this Article


බුදුරදුන්ගේ සුවිශේෂත්වය

බුදුරදුන්ගේ සුවිශේෂත්වය

බුදුරජාණන් වහන්සේ වෙත අප විසින් වන්දනා කිරීමට අවශ්‍යම නිසා අපට අදාළ වූද දැවැන්ත පෞරුෂයක් තිබෙන්නාවූ ද චිත්‍රයත් කැටයමත් හා පිළිමයත් අප නිර්මාණය කරගත් බව සැබෑය.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාව නිර්මාණය කළේ බුදුපියාණන් වහන්සේගේ ළඟ තිබූ හැම සංකල්පයක්ම ඒක ඇතුළට කවල උපරිම වශයෙන් කලාත්මක භාවයත් යොදවා කලාකරුවෙක් වෙතින්, අප එය නිර්මාණය කරගත්තා. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සිවුර පාෂාණයේ කෙටුවේ නැත්තේ ශරීරයට ඇඳපු ඇදුම එතරම්ම වැදගත් නොවන නිසයි. අපට වැදගත් වුණේ මුහුණේ තිබූ මෙත්, කරුණා ධාරා, දයාව, ගැඹුර, විඥානභාවය, සවිඤ්ඤාන බව, මහා දැවැන්ත පෞරුෂය යන බුදුරජාණන් වහන්සේ ළඟ තිබූ ගුණාංගයන්ය.බුදුරජාණන් වහන්සේ ළග තිබුණ ගුණාංගයන් ඒ පර්වතයේ කොටල, ඔබ්බල, අප විසින් නිර්මාණය කරගත් පිළිමයකි. එම ශරීරය අපට කෙසේ හෝ ප්‍රකාශ කළ හැකි නමුත් බුදුරජාණන් වහන්සේගේ සිතත්, සිතිවිල්ලත්, දේශනාත්, දේශනාවක බරත්, සිතුවමකට හෝ සිතුවම් පටයකට නගන්නම බැහැ. එය කළ නොහැක්කක්. පෙරදිග බිමත්, අපරදිග බිමත් අතර ලොකු වෙනසක් තියෙනවා. එම වෙනසේ ස්වභාවය වන්නේ බටහිර ලෝකයේ අලුත් අදහසක් යමෙක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ තැනැත්තා දාර්ශනිකයෙක් හෝ චින්තකයෙක් හෝ විද්‍යාඥයෙක් වනවා. පෙරදිග ලෝකයේ යමෙක් අලුත් අදහසක් ඉදිරිපත් කරන්නේ නම් එම තැනැත්තා ශාස්තෘවරයෙක් වෙනවා. ව්‍යුහාත්මක ශාස්තෘවරයෙක් වීම බටහිර චින්තකයෙක් ලෙසට පිළිගන්නේ නැහැ. බටහිර ලෝකයේ විද්‍යාඥයෙක් හෝ චින්තකයෙක් වීම පෙර දිග ලෝකයේ පිළිගන්නේ නෑ, ශාස්තෘවරයෙක් ලෙසට. පෙරදිග ලෝකයේ චින්තකයා ව්‍යුහාත්මකව ශාස්තෘවරයෙක් හා පූජාවට පත්වන, වන්දනාවට පත්වන කෙනෙක් හා ආගමික නායකයෙක් වෙනවා. බටහිර ලෝකයේ චින්තකයා චින්තකයෙක් වෙනවා. එසේ නැතහොත් විද්‍යාඥයෙක් හෝ දාර්ශනිකයෙක් වෙනවා. ආගමික ශාස්තෘවරයෙක් හෝ එබඳු පූජනීය පුද්ගලයකු වන්නේ නෑ. ඒ නිසාම බටහිර ලෝකයේ චින්තකයින් ශාස්තෘවරුන් ලෙස පෙරදිගයා විසින් පිළිගනු ලබන්නේ නෑ.

පෙරදිග ලෝකයේ පහළ වුන චින්තකයෝ ව්‍යුහාත්මකව ශාස්තෘවරුන් මිසක් බටහිර විසින් පෙරදිග චින්තකයින් ලෙස පිළිගන්නේ නෑ. එසේ බැලූවිට ප්ලේටෝ, ඇරිස්ටෝටල්, ඇරිස්ටපානීස්, පයිතගරස්, අයිසැක් නිවුටන්, කාල්මාක්ස් බටහිර ලෝකයේ සිට අලුත් අදහස් ඉදිරිපත් කළත්, ඒ අය ශාස්තෘවරු නොවෙයි. ඒ අයට කවුරුත් වැන්දේ නැහැ. මෙම ඉන්දියානු බිමේ පහළවුන ශාස්තෘවරු කියන නමින් අප අද අදහමින් වන්දනා කරන චින්තකයින් අතර විශිෂ්ටතම චින්තකයා වෙන්නේ ගෞතම ගෝත්‍රයේ සිද්ධාර්ථ නමින් උපන් චින්තකයා. උන්වහන්සේට හිතන්න වේලාවක් හොයා ගැනීම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. රටවැසියාට හා පියාට වුවමනා කර තිබුණේ හිතන්න පුළුවන් පුතෙක් නොවෙයි. සැප සම්පත් විඳිමින් පාලනය කරන පුතෙක් වුවත්, පුතාට වුවමනා කර තිබුණේ හිතන්න. නැටුම්, ගැයුම්, වැයුම්, නාටිකාංගනාවන්ගේ විප්‍රකාර සහිත රම්‍යවාදී සුභවාදී , සුරම්‍යවාදී, සමාජයක හිතන්න බෑ. හිත හිතා ඉන්න වෙලාවකුත් නෑ. දැවැන්ත දුක් කන්දරාවක් විඳිමින් නිෂ්පාදනය කරනු ලබන සම්පත්තිය භුක්ති විඳිමින් රම්‍ය, සුරම්‍ය, සුභ, යන්නෙන් මාලිගාගත සුමුදු පහස මත සමනල දිවියත් උරුමවුණු චින්තකයකුට ඒක පේන්නේ මළ කරදරයක් ලෙස. එම චින්තකයා මෙතනින් ඉවත් විය යුතුයි. එම නිසයි අභිනිෂ්ක්‍රමණය කරමින් හිතන්න පටන්ගත්තෙ. එසේ හිතන විට බටහිර චින්තකයා හිතන විදිහට වඩා ගොඩාක් ගැඹුරු හා වෙනස් විදිහකට හිතන්න පුළුවන්. හිතන එක බොහෝ දුෂ්කර ක්‍රියාවක් හෙයින් එය අප දුෂ්කර ක්‍රියාව නමින් හඳුන්වනු ලබනවා. හිතන කොට කොණ්ඩය වැවෙනවා, රැවුල වැවෙනවා, හිත හිතා ඉන්න වේලාවක් මිසක් , එය ශරීරය ගැන හිතන වෙලාවක් නොවෙයි. ආහාරපාන, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම් බේත් හේත් යන සිවුපසය නොහොත් චීවර පිණ්ඩපාත, සේනාසන ගිලාන පච්චයත් එක්ක බැඳීච්ච පාරිභෝගික ගිහි ජීවිතයක් මිනිසුන්ට තිබෙන නිසා එම මිනිසුන්ට හිතන්න වෙලාවක් නැහැ. මෙම සිව්පසය අතහැර කැලයකට ගොස් ගසක් යට වාඩිවී හිතන්න පටන් ගත් විට කොණ්ඩය රැවුල වැවෙන්න, අත පය දිරාපත් වෙන්න පුළුවන්. හිත ටික ටික වැඩෙන විට එසේ සිදු විය හැකි.

ක්‍රියාවක් වේ නම් ප්‍රතික්‍රියාවක් ඇති බවට අයිසැක් නිවුටන් ප්‍රකාශ කළත්, ඔහු එය නොකිව්වා නම් ක්‍රියාවකට ප්‍රතික්‍රියාවක් තියෙනවා. නිව්ටන් තිබුණ දෙයක් කිව්වා. නව සොයා ගැනීම යනු තිබ්බ එකක් පැහැදිලිව ලිවීමයි. නිව්ටෝනියානු තර්කය තර්කයක් නම්, එකී තර්කය ඉදිරිපත් කළ නිව්ටන් දාර්ශනිකයෙක් නම්, එකී දාර්ශනිකයා බටහිර ලෝකයේ දැවැන්තයෙක් නම්, එවැනි කරුණු ප්‍රකාශ කොට ඇත්තේ හතරක් හෝ පහක් නම්, නිව්ටෝනියානු තර්කය ඇතුළෙ නිව්ටන් හරි දැවැන්තයෙක්. බුදුහාමුදුරුවො මලක් දෙස බලාගෙන සිටියා. මල ටික ටික ලොකු වෙනවා, මල පිපෙනවා, මල පරවෙනවා, නටුවෙන් ගිලිහෙනවා, වැටෙනවා, ගහක් දිහා බලාගෙන උන්නා ගහ ටික ටික ලොකු වෙනවා, දිරාපත් වෙනවා, වැටෙනවා, අනිවාර්යයෙන්ම මෙම මල නැතිවෙනවා. අනිවාර්යෙන්ම මෙම ගස නැති වෙනවා. මෙය නියැදි පරීක්‍ෂණයකි. සතෙකු දෙස බලාගෙන උන්නා. සතා වැඩෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අනිවාර්යයෙන්ම සතා නැති වෙනවා. මිනිසා දෙස බලාගෙන උන්නා. මිනිසාත් වැඩෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා අනිවාර්යෙන්ම මිනිසා නැතිවෙනවා” සබ්බේ සංඛාරා අනිච්චා” හෝ “අනිච්චා වත සංඛාරා” යනු අනිවාර්යයෙන්ම සියල්ල නැතිවෙන බව දේශනා කරනු ලැබුවා. මෙම ප්‍රකාශය අපට දැනේනේ මළ ගෙදරක් වූ විට සුදු පාට රෙද්දක කළු අකුරෙන් ගැසිය යුතු ප්‍රකාශයක් ලෙසට. එය මහා දැවැන්ත භාවය විග්‍රහ කරන එක වාක්‍යයක්. “ අචිරං වතයං කායෝ” මේ කය පවතින්නේ අනිවාර්යයෙන්ම ටික කලකි. යමෙක් වසර 80 ක් ජීවත් වුවොත් වසර 40 ක් විතරයි ඇහැරිලා ඉන්නේ. දවසෙන් පැය 12 ක් නින්දට ගතකරන මිනිස්සු ගත් විට 80 වසරක් ජීවිතය ගෙවන විට වසර 40 ක් නිදියනවා. වසර 40 ක් අවදියෙන් ඉන්නවා. එම හතලිහෙන් අවුරුදු 5 ක් කුඩා කාලය. ඉතිරි 35 න් අවුරුදු 10 ක් අධ්‍යාපනය සඳහා කැප කළොත් ඉතිරි වසර 25 යි. රැකියාව සඳහා සමස්ත ජීවිතයෙන් වසර 10 ක් කැප කළොත් 15 ක් ඉතිරි වෙනවා. විවාහ ජීවිතය හා දරුවන් වෙනුවෙන් වසර 5 ක් කැප කළොත් සමස්ත ජීවිතයෙන් වසර 10 ක ප්‍රමාණයක් විඳීම සඳහා ඉතිරි වෙනවා. සමස්ත ජීවිතයෙන් ලෙඩවලට තවත් කොටසක් ඉවත් වූ විට ජීවිතයේ ඉතිරි වෙන්නේ බොහෝම ටික කාලයක් එය “ අචිරං වතයං කායෝ” ලෙස දැක්වීම නිවැරදියි.

නෑදෑකම ලේවලින් එනවා කියලා අප හිතනවා. තාත්තා මට තාත්තා වෙන්නේ ලේ නිසා කියලා හිතනවා. මගේ අම්මාගේ කුස ඇතුළෙ තව දරුවෙක් බිහිවීම ජීව විද්‍යාත්මක සිදුවීමක්. එය ඉතාම සරල සිදුවීමක් මිසක් එය අහම්බයක් නොවෙයි. ඒ හින්දම ඔහු මගේ සහෝදර වුණා. බුදුහාමුදුරුවෝ අධ්‍යයනය කරල ප්‍රකාශ කරනු ලැබුවේ නෑදෑකම ලේවලින් එන දෙයක් නොවන ලෙසයි. “ විස්වාසා පරමා ඥාතී “ යනුවෙන් විශ්වාසය ඥාතිවරයෙක් ලෙසට දේශනා කරනු ලැබුවා. “ සන්තුෂ්ඨි පරමං ධනං” කිව්වෙත් එවැනි ආකාරයට යි. මේ ආකාරයට බුදුහාමුදුරුවන් දේශනා කරපු දේශනා ඉතාම කුඩයි. නමුත් ගැඹුරුයි. එහෙම ඒව පිටු 5700 ක තියෙනවා.

බටහිර ලෝකයේ ඉන්නාවූ දාර්ශනිකයා හෝ චින්තකයා හෝ, විද්‍යාඥයා කියන තුන් දෙනාම මෙම සිද්ධාර්ථ ගෞතමයන්ගේ ශරීරය තුළ ඉන්නවා විතරක් නොවෙයි බටහිරයාට තේරෙන්නේ නැති ශාස්තෘවරයෙක් ද ඒ ඇතුළෙ ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ විශේෂත්වය එයයි.

ලෝකයේ දැවැන්තම පියවර තිබ්බේ නීල් ආම්ස්ට්‍රෝන් කියල හිතාගෙන ඉන්නවා. හඳට ගියාට පසුව නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රකාශ කරනු ලැබුවා “ මෙය මිනිසෙකුට එක පියවරක් විය හැකි මුත්, මිනිස් සංහතියේම දැවැන්තම පියවර වේ”

දැවැන්තකම යනු

හැබැයි මේ ලෝකයෙන් ඒ ලෝකයට යාමයි. හඳ ගමනෙන් බොහෝ ප්‍රතිලාභ ලැබුණ බව සත්‍යයක් බව ඇත්ත. බෝසතාණන් වහන්සේ ගඟකින් පැන්න පිම්මෙහි වැදගත්කම කෙතරම් ද? මනුෂ්‍යයා විමුක්තිය හෝ සංවර්ධනය හොයන්නේ ඉන්න ස්ථානය පිළිබඳව සෑහීමකට පත් නොවන විටයි. ඉන්නා තැන සංවර්ධනය නොමැති නිසයි තවත් ස්ථානයක සංවර්ධනයක් කරා යන්නේ.

බෝසතාණන් වහන්සේ විමුක්තිය හොයාගෙන ගියේ කාටවත් අයිති නැති ජලාශයකින්. අශ්වයකු පිටින් පනින ලද චිත්‍රයෙන් එය දකින්නේ රම්‍ය, සුරම්‍ය සුභ සහිත සමස්ත මාලිගාව අතහැරලා කැලයට පනින්නේ. විමුක්තිය හොයාගෙන යන්නේ මන්දිරයෙන් කැලයට. අපි අද සංවර්ධනය ලෙස දකින්නේ කැලය තුළ සිට මන්දිරයට පනින එකට. එවැනි දැවැන්ත කමක් මෙම චරිතය තුළ තියෙනවා. එසේ නම් එවැනි චරිතයක් කෙසේ හෝ සිතුවමකට නැගිය නෙැහැකියි.