Print this Article


පුනරුප්පත්ති ලිපි මාලා අංක – 14 පායාසි රාජඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන පුනර්භව සංකල්පය

පුනරුප්පත්ති ලිපි මාලා අංක – 14

පායාසි රාජඤ්ඤ සූත්‍රයෙන් හෙළිවන පුනර්භව සංකල්පය

ගියවර අපගේ සාකච්ඡාවට භාජනය වූයේ මැදුම් සඟියේ කුක්කුරවතී සූත්‍රයේ ඇතුළත් කර්මයේ හා පුනර්භවයේ ඇති අන්තර් සම්බන්ධතාව පිළිබඳවය. මෙවර අපගේ අවධානය යොමුවන්නේ දීඝනිකායේ ඇතුළත් කුමාර කාශ්‍යප හිමියන් හා පායාසි රජු අතර ඇති වූ පුනර්භවය පිළිබඳ සංවාදය විමසා බැලීමටය.

ප්‍රශ්නය :- දීඝ නිකායේ පායාසි රාජඤ්ඤ සූත්‍රයෙන් පුනර්භවය පිළිබඳ දක්වා ඇති තොරතුරු මොනවාද?

පායාසි රාජඤ්ඤ සූත්‍රයේ ඇතුළත් වන්නේ විචිත්‍ර ධර්ම කථික භික්‍ෂූන් අතර අගතනතුර ලැබූ කුමාර කාශ්‍යප හිමියන් හා පායාසි රජු අතර ඇති වූ සංවාදයකි. පායාසි රජු පරලොවක් නැත. කර්මයන්ගේ විපාක නැත. ඕපපාතික සත්වයෝ පුනර්භවයක් නැත ආදි වශයෙන් අකිරියවාදි අදහස් දැරූ අයෙකි. දීඝ නිකායේ ඇතුළත් මෙම සංවාදය තරමක් දීර්ඝවූවකි. මෙහි දී අපගේ අවධානයට යොමු වන්නේ එම දීර්ඝ සංවාදයේ පුනර්භව පිළිබඳ කොටස පමණි. දිනක් කුමාර කාශ්‍යප හිමියන් හමුවට පැමිණි පායාසි රජු මෙසේ පැවසීය.

පායාසි රජු :- කාශ්‍යපයන් වහන්ස,මම පරලොවක් නැත. ඕපපාතික සත්වයෙක් නැත. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත. පුනර්භවයක් නැත යන අදහස් ඇත්තෙමි.

කුමාර කාශ්‍යප හිමි :- එසේ නම් රජතුමනි, මම ඔබගෙන් කාරණයක් විචාරමි. ඔබට මෙවන් අදහසක් ඇතිවීමට හේතුව කුමක්ද? එය පවසන්න.

පායාසි රජු :- ස්වාමිනි එසේ පැවසීමට හේතුවක් තිබේ. “මම දස අකුසල් කොට මරණාසන්න වූ මාගේ නෑදෑ මිතුරන් සමීපයට ගොස් මෙසේ පැවසුවෙමි. දස අකුසල් කරන අය මරණින් මතු අපායේ යන බව මම අසා ඇත්තෙමි. ඉදින් ඔබලා අපායෙහි උපන්නොත් මට පෙරළා අවුත් කියව ” යනුවෙන් පැවසුවෙමි. ඔවුහු ද එය පිළිගත්හ. නමුත් ස්වාමීනි, අද වනතෙක් කිසිවෙක් මා වෙත නොපැමිණියහ. දූතයෙකු හෝ නො එවූහ.ඒ නිසා මාගේ අදහස පරලොවක් නැත. ඕපපාතික සත්වයෙක් නැත. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත යන්නයි.

කුමාර කාශ්‍යප හිමි :- රජතුමනි, ඔබේ පුරුෂයන් අපරාධකාරි සොරෙකු අල්ලාගෙන මරන්නට වධකස්තානයට ගෙන ගියා යැයි සින්න. එවිට එම පුද්ගලයා වධකයන්ට කථාකොට”අනේ මාගේ මිත්‍රවරුනි!, මට ටිකවේලාවක් ලබා දෙන්න මාගේ යාළු මිත්‍රයන් නෑදෑයින් හමු වී කථාබස් කොට එන්නෙමි” යනුවෙන් පැවසුහොත් වධකයින් ඔහුට එම අවස්ථාව ලබා දෙන්නේද?

පායාසි රජු :- නැත ස්වාමීනි,කොහෙත්ම ඔහුට එබඳු අවසරයක් ලබා දෙන්නේ නැත.

කුමාර කාශ්‍යප හිමි :– එසේනම් රජතුමනි, නිරයේ උපන් ඔබගේ ඒ යහළු මිත්‍රයන්ට නෑදෑ හිතවතුන්ට පෙරළා ඔබ කරා එන්නට ඉඩදෙතැයි සිතන්නේ ද? ඔබගේ පරලොවක් නැත. ඕපපාතික සත්වයෙක් නැත. කුසලා කුසල කර්මයන්ගේ විපාක නැත යන මේ අදහස නිශ්ඵල වන්නේය.

පායාසි රජු :- ස්වාමිනි,,මම එය පිළිගන්නේ නැත.කෙසේ වෙතත් මම නම් සිතන්නේ පරලොවක් නැත. ඕපපාතික සත්වයෙක් නැත. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත යන අදහසමය.

කුමාර කාශ්‍යප හිමි :– රජතුමනි, ඔබ එසේ කියන්නේ කුමන හේතුවක් නිසා ද? එය පවසන්න.

පායාසි රජු :- ස්වාමීනි, එසේ පැවසීමට හේතුවක් තිබේ.”මම දසකුසල් කොට මරණාසන්න වූ මාගේ නෑදෑ මිතුරන් සමීපයට ගොස් මෙසේ පැවසුවෙමි.දසකුසල් කරන අය මරණින් මතු සුගතියේ උපදින බව මම අසා ඇත්තෙමි. ඉදින් ඔබලා සුගතියෙහි උපන්නොත් මට පෙරළා අවුත් කියව “ යනුවෙන් පැවසුවෙමි. ඔවුහු ද එය පිළිගත්හ.නමුත් ස්වාමීනි, අද වනතෙක් කිසිවෙක් මා වෙත නොපැමිණියහ. දූතයෙකු හෝ නො එවූහ. ඒ නිසා මාගේ අදහස පරලොවක් නැත. ඕපපාතික සත්වයෙක් නැත. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත යන්නයි.

කුමාර කාශ්‍යප හිමි :– එසේ නම් මම උපමාවක් අසමි. අසුචි වළක වැටී අසූචියෙන් නැහැවී හිස තෙක් අසුචියෙන් ගැලී සිටියෙකු ඔබ දැක, ඔහුව ඔබගේ පුරුෂයන් ලවා ගොඩගන්වා, ඒ අසුචි උණපතුරු වලින් සූරා නහවා සුවඳීන් ඇඟ උලා සුවඳ සබන් ගා සෝදා, විලවුන් ගල්වා වස්ත්‍රාභරණ පළඳවා මහා ප්‍රාසාදයකට නංවා පස්කම් සුව විඳීමට ඔහුට සලසා දී නැවතත් අර අසුචි වළටම දමන්නට ඔහුට ඔබ අඬගැසුවහොත් හෙතෙම සතුටින් යළිත් ඒ අසුචි වළටම වැටෙන්නට එන්නේ ද?

පායාසි රජු :- නැත ස්වාමීනි, කිසිසේත්ම නොඑන්නේය.

කුමාර කාශ්‍යප හිමි :- එසේනම් රජතුමනි, මනුෂ්‍යයෝ දෙවියන්ට අසූචිමෙන් පිළිකුල්ය. දුර්ගන්ධය මනුෂ්‍ය ශරීරයේ දුර්ගන්ධය යොදුන් සියයක් දුර සිටි දෙවියන්ටද, කුණප මෙන් පිළිකුල්ව වැටෙයි. එබඳු දෙවියන් අතර ස්වර්ගයෙහි උපන් ඔබගේ නෑදැයෝ, මිත්‍රයෝ යළිත් ඔබ කරා පරලොවක් ඇති බව කියන්නට එත් ද?

පායාසි රජු :- ස්වාමීනි ඔබ වහන්සේ කෙසේ කීවත් මම විශ්වාස කරන්නනේ පරලොවක් හා පුනර්භවයක් නැති බවයි.

කුමාර කාශ්‍යප හිමි :- රජතුමනි මේ ලෝකයේ ඇස් නැතිව උපන්, උපතින් අන්ධවූවන්ට, නිල්, සුදු, රතු, කහ ආදි වර්ණයන් හඳුනාගැනීමට නොහැක.ඉර හඳ,තරු නොපෙනෙයි. එසේ තිබේ නම් කෝ අපට පේනවා ආදි වශයෙන් ඔවුන් කී කල්හි ඔබ එය පිළිගන්නවාද?

පායාසි රජු :- නැත ස්වාමීනි, අප එය එසේ නොපිළි ගනිමු.උපතින් අන්ධවූවන්ට එය නොපෙනෙතත් අපට පෙනෙන හෙයිනි.

කුමාර කාශ්‍යප හිමි :– එසේ නම් රජතුමනි ඔබ පුනර්භවය ගැන පරලොව ගැන කුසලාකුසල කර්ම විපාක ගැන ජාත්‍යන්ධයෙකු මෙන් මට වැටහෙන්නේය.රජතුමනි,මේ ප්‍රකෘති ඇසින් පරලොව දැක්ක නොහැකිය. ධ්‍යාන වඩා දිවැස් උපදවා ගතහොත් චුතූපපාත ඤාණය ද ලබාගතහොත්, මැරෙන්නා වූ ද යළි උපදින්නා වූ ද ඕපපාතික වූද සත්වයෝ පෙනෙති. රජතුමනි, පරලොව දැකිය හැක්කේ එසේය. ඔබේ ඔය මනැසින් එය දැක්ක නොහැකිය.ඉතින් ඔබට නොපෙනෙන නිසා ඇත්තාවුම පරලොව දිවැස් ලැබූවන්ට ද දැකිය හැකි පරලොව, ඔබට නොපෙනෙන නිසා ඔබ නැතැයි කියතොත් ඔබ ජාත්‍යන්ධයෙකුට සමානය.

පායාසි රජු :- ස්වාමීනි, ඔබ වහන්සේ කෙසේ වදාළත් මට නම් සිතෙන්නේම පරලොවක් නැත. පුනරුප්පත්තියක් නැත. ඕපපාතික සත්වයෝ නැත.කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත කියාමය. ස්වාමීනි,මේ ලෝකයේ සිටින ගුණදම් පුරන, දුක් පිළිකුල් කරන,නොමැරෙනු කැමති මහණ බමුණෝ මට පෙනෙති. ගුණදම් පුරන අය මැරී සැපවත්ව උපදිතොත්,ඒ ගුණදම් පුරන අය මැරෙන්නට බිය ඇයි? නොමැරෙන්නේ ඇයි? මැරී සැප නොලබන්නේ ඇයි? මැරෙන්නට බිය පරලොවක් නැති නිසාම යැයි මට සිතේ.

කුමාර කාශ්‍යප හිමි :– රජතුමනි, සිල්වත් ගුණදම් පුරන අයට ජීවිතයෙහි ප්‍රයෝජනයක් ඇත්තේය. ඒ අය වැඩිකල් ජීවත් වූ තරමට වැඩි වැඩියෙන් පින් රැස්කර ගනිති. ඒ නිසා ආයු ගෙවනතාක් කල් සිටිති. ඔබගේ ඒ මතය පුනර්භවයක් නැත යන්න ඔප්පු කිරීමට තරම් ශක්ති සම්පන්න නොවේ.

පායාසි රජු :– ස්වාමීනි ඔබ වහන්සේ එසේ වදාළත් මට පුනර්භවයක් ඇතැයි පිළිගැනීමට කොහෙත්ම නොහැකිය.ස්වාමීනි,මම අපරාධ කළ සොරෙකු අල්ලා ඔහුට මෙබඳු වධයක් දීමට අණ කරමි. ඔහු පණ පිටින් ලොකු සැලියක බහා සැළියේ කට වසා, ගොන්සමින් වෙළා ඝන ලෙස මැටි බදාම ගසා සුළං නොයන ලෙස ආවරණය කොට, සැළිය ලිප තබා ගිනි දල්වයි. මම අණ කරමි. මාගේ සේවකයෝද එසේ කරති. ඔහු දැන්නම් මැරී ඇතැයි සිතන තරමට සැළියේ වතුර පැසෙන කල්හි සැළිය ලිපෙන් බාවා මැටි ගල්වා බදාම ඉවත් කොට කඩ වැස්ම සෙමින් සෙමින් ඉවත් කරමින් ඔහුගෙන් නික්මෙන ජීවය ප්‍රාණය ආත්මය දකිනු පිණිස පරියේෂණයක් පැවැත්වුවෙමි. එහෙත් ස්වාමීනි, මට එයින් නික්මෙන ජීවයක් පෙනුනේ නැත. එම නිසා මම මරණින් මතු උප්පත්තියක් ඇතැයි විශ්වාස නොකරමි.

කුමාර කාශ්‍යප හිමි :– රජතුමනි,ඔබ දවාලක නිදා සිටින විට ආරාම පොකුණු වතුපිටි ආදි යමක් සිහිනෙන් දැක තිබේද?

පායාසි රජ :– එසේය ස්වාමීනි,දැක තිබේ.

කුමාර කාශ්‍යප හිමි – එහි සිහින දකින විට – ඔබ නිදා ඇහැරෙන විට,ඔබ වටා ඔබේ රැකවලට සිටි ආරක්‍ෂක ස්ත්‍රීහු එසේම සිටියා මතකද?

පායාසි රජ :- මතකයි ස්වාමීනි,

කුමාර කාශ්‍යප හිමි :– එසේ නම් රජතුමනි,ඒඅය ඔබගෙන් පිට වන්නාවූත් ඇතුළුවන්නාවූත් ජීවයක් ආත්මයක් දැක තිබේද?

පායාසි රජු :- නැත ස්වාමීනි

කුමාර කාශ්‍ය හිමි :– එසේ නම් රජතුමනි,ජීවත්වන ඔබෙන් ඇතුළුවන, පිටවන ජීවයක් ඒ ජීවත් වන අයම කවරදාකවත් දැක නැත්නම් මළ තැනැත්තෙකු ගේ ප්‍රාණය ආත්මය ඔබ කෙසේ දකින්නද? ඒවා හිස් අදහස්ය. පුනර්භවයක් ඇත. ඕපපාතික සත්වයෝ ඇත. කුසලාකුසල කර්මවිපාක ඇත.

මෙම සංවාදය අවසානයේදී පායාසි රජු, පුනර්භවයක් ඇත. ඕපපාතික සත්වයෝ ඇත. කුසලාකුසලකර්ම විපාක ඇත. යන්න පිළිගෙන ඇති අතර කුමාර කාශ්‍යප හිමියන්ගේ ධර්ම කථිකත්වයට බොහෝ සෙයින් ස්තුති ප්‍රශංසාද කොට ඇත.