Print this Article


සග මොක් සැප සදන උපෝසථ අෂ්ඨාංග ශීලය

අටසිල් සමාදන්වන ගිහියන් බණ දහම් ඇසීම සහ භාවනා කටයුතු ආදිය මැනැවින් ඉටු කළහොත් එය සුගතිගාමී වීමට මනා ලෙස මඟ හෙළි පෙහෙළි කරයි. විශේෂයෙන් සති පට්ඨාන සූත්‍ර දේශනාව හා භාවනා ඉතා වැදගත් තන්හි ලා සැලකේ. මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව ආදි භාවනාවක යෙදීමෙන් වඩාත් කුසල් වර්ධනය වේ.

විඳිනා සේ මතු සග මොක් සිරි නොමඳ යැ’ යි පතමින් පොහොය දින අටසිල් සමාදන්වීම ගිහි බෞද්ධයන් චාරිත්‍රයක් ලෙස පවත්වා ගෙනැවිත් ඇත. බුදුන් වහන්සේ නොයෙකුත් සූත්‍ර දේශනාවල දී පැහැදිලි කළ පරිදි, ගිහියන්ට නිත්‍ය ශීලය පංච ශීලය වුවත්, ඊට වැඩිමනත් ලෙස අෂ්ඨාංගශීලය හා දසශීලයද සමාදන්වීම අගය කළ යුතුය. පංච ශීලයට අමතරව විකාල භෝජනයෙන් වැළැකීමද නැටුම්, ගැයුම්, වැයුම්, ආදියෙන් වැළැකීමද, උස් අසුන්, මහ අසුන් පරිහරණයෙන් වැළැකීමද අබ්‍රහ්මචරියාවෙන් වැළැකීමද ගිහි බෞද්ධයන් හට සිත, කය, වචනය සංවර කරගෙන ගුණගරුක ජීවිත ගත කිරීමට හේතුවෙයි.

උපාසක උපාසිකාවන් පංච ශීලයෙන් සිල්වත් වන බව මහානාම ශාක්‍යයන්ට දේශනා කළ බුදුහිමියන් අංගුත්තර නිකායේ එන සාරජ්ජ සූත්‍රයෙන් වදාළේ, කරුණු පහකින් වැළැකීමෙන් උපාසකයන් විශාරද වන බවයි. එනම්, ප්‍රාණඝාතයෙන්, සොරකමෙන්, කාමමිථ්‍යාචාරයෙන්, බොරුකීමෙන් සහ රහමෙර පානයෙන් වැළැකීමෙනි. අංගුත්තර නිකායේ, විසාරද ,නිරය,වේර සහ උපාසක චණ්ඩාල සූත්‍ර දේශනාවලින්ද ගිහියන්ට සිල්පද රැකීමෙන් ලැබෙන කායික මානසික සුව වැඩිදුරටත් පහදා දී ඇත. “වේර’ සූත්‍ර දේශනාවෙන්,යමකු ප්‍රාණඝාත කරයි නම්, නුදුන්දේ ගනී නම්, පරඅඹුන් කරා යා නම්, බොරු කියයි නම්, රහමෙර පානය කරයි නම් ඔහු පංච වෛරයන් පහ නොකළ දුශ්ශීලයකු බව වදාරන ලදී. උපාසක චණ්ඩාල සූත්‍රයෙන්,මෙම සික පද පහ පිළිනොපදින අය,උපාසක චණ්ඩාලද උපාසක කිලුටද පිළිකුලද වන බව දක්වා ඇත. එසේම ශ්‍රද්ධා නැත්තා ද දුශ්ශීලයකුද වේ යැයි දේශනා කරන ලදී.සෝවාන් ඵලයට පත් ආර්ය පුද්ගලයා රකින පංචශීලය අරියකාන්ත ශීලය නම් වේ.

බුදුන් දවස වෛදිකයන්ද විවිධ පෙහෙවස්හි යෙදුණු බව සඳහන් වේ. තපෝ ජීවිත ගත කළ බොහෝ වෛදිකයෝ හිරු සඳුද පිදූහ. හිරු සඳුගේ භ්‍රමණය, විශේෂයෙන් චන්ද්‍රයාගේ භ්‍රමණය අනුව වෛදික උපවාස, ‘උපවසථ’ දිනයක් යොදාගත් බවත්, ‘චන්ද්‍රයාන’ නම් ව්‍රතයක් පිළිපැදි බවත්, ආහාර ගැනීම ඒ අනුව සංවිධානය කරගත් බවත් ඉතිහාසය හෙළි කරයි. චන්ද්‍රයාගේ වැඩෙන කලා අනුව සලකා කෙරුණු ආහාර ගැනීම හා උපවාසය සමහරවිට අගැයූ බෞද්ධයන් එහි ආභාෂය ලබා හෝ නොලබා අෂ්ඨාංගශීල දිනයන්,චන්ද්‍රයාගේ පුර පස හා අවපස කලා අනුව හෝ යොදා ගන්නට ඇත. එය කෙසේ වුවත් බෞද්ධයන්ට පොහොය අටසිල් සමාදන්වීමක් ඇති කරගැනීම උතුම් වන බව පැහැදිලිය. ඒ අනුව පොහොය දිනවල සිල් සමාදන්ව ධර්ම ශ්‍රවණය සහ දාන මානාදී පින්කම් සිදුකිරීම දක්නා ලැබේ.

මේ අනුව, චන්ද්‍ර මාස අනුව ඇති දින තිහ තුළ, පුර පසෙහි විසේනිය දිනද, අටවක, තුදුස්වක, පසළොස්වක දිනද අව පසෙහි විසේනිය,අටවක,තුදුස්වක,පසළොස්වක දිනද එකතුව පොහෝ දින අටක් අෂ්ඨාංගශීලය සමාදන්වීමට යොදා ගෙන ඇත. මේ දින පැරැණි කාලයේ පොහොය දොළහකට බෙදා තිබිණ. පුර පෑළවිය, සතවක,අටවක, නවවක,තෙළෙස්වක, පුර පසළොස්වක යනුවෙන් පුර පසෙහි පොහොය දින හයක්ද, අව පෑළවිය,සතවක,අටවක, නවවක,තෙළෙස්වක, අමාවක (මාසේ පෝය) යැයිද පොහොය දින දොළොසක් සඳහන් කර තිබිණ. මෙම දිනවලද අට සිල් සමාදන් වී දැයි දැන ගැනීමට නොහැකි වුවත් ඒ දිනයන් ‘පටිජාගරණ උපෝසථ’ දින සේ හැඳින්වී තිබිණ.

ශ්‍රී ලංකාවේ පෙර කල වස් තුන්මාසයේද, ඊට පෙර මාසයක් හා පසු මාසයක්ද වශයෙන් මාස පහක් ශීල සමාදානයන්හි යෙදුණූ බවද සඳහන් වේ. එකල එවැනි ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයන් සිටි බවට සැකයක්ද නැත. පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි,අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජ පමා දට්ඨානා වේරමණි සික්ඛාපදං සමාදියාමි,විකාල භෝජනා වේරමණි සික්ඛා පදං සමාදියාමි, නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරන මණ්ඩන විභූසනට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි සහ උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනු අෂ්ඨාංග ශීල සික්ඛා පදයි. බෞද්ධ ගිහියන් පන්සිල් හෝ අටසිල් හෝ සමාදන් වීමෙන් සහ ඒ සිල් පද සුරැකීමෙන් ඒකාන්ත වශයෙන්ම සුගතිගාමී වෙයි. නිරයට නොවැටෙන බව සූත්‍ර දේශනා රාශියකම දේශනා කර ඇත. ‘සීලවත්ථෙර ගාථා’ හි දැක්වෙන පරිද ි ‘සීලමෙවෙධ සික්ඛේථ අස්මිං ලොකෙ සුසික්ඛිතං - සීලංහි සබ්බ සම්පත්ති උපනාමෙති සෙවිතං ‘ යනුවෙන්, සිල් රකින්නවුන්ට ධර්මානුකූල සම්පත් හිමිවන බව සඳහන් ව ඇත.

මජ්ඣිම නිකායේ, ආකංඛෙය්‍ය සහ විසාඛුපෝසථ සූත්‍රවලින් සිත සංවර කර ගැනීමෙන් චේතෝ විමුක්තිය ලැබිය හැකි අයුරු දේශිතය. එහිම ‘ චූල සිහනාද’ සූත්‍ර දේශනාවෙන් ශීලයෙහි සම්පූර්ණ බව ඇති ගිහියන්ද පැවිද්දන්ද උනුනට පි‍්‍රයවන බව දක්වා ඇත. ජාතක පොත්වහන්සේ තුළ හමුවන, මාතුපෝෂක හස්තිරාජ,චූළ බෝධි තාපස, මහිසරාජ, රූරුමිගරාජ, මාතංගපණ්ඩිත, වම්පෙය්‍ය නාගරාජ, ධර්ම දේවපුත්‍ර සහ සංඛපාල ආදි බෝසත් චරිත ශීල ගුණයෙන් උතුම් වූ අයුරු විස්තර වේ. බොහෝ බෞද්ධ චරිත කතාවල ශීල බලය නිසා ජීවිත රැකුණු හැටිද,දෙවියන්ගේ ආශිර්වාදය ලැබූ අයුරුද දැක්වේ. පස්කම් සැපෙහි ඇල්ම නිසා දුක්විඳින ගිහියනට, සිල් සමාදන්වීම නිසා කායික,මානසික සහනය ලැබුණ බවත්, ලැබෙන හැටිත්, දේශනාවල විස්තර වේ. අංගුත්තර නිකායේ ‘සප්පුරිසානිසංස ‘ සූත්‍රයෙන් ආර්ය ශීලය නිසා ගිහියනට විමුක්තිය ලැබෙන බව දේශිතය.මේ අනුව සිල් සමාදන් වන ගිහියෝ ධර්මයෙන් බැබළෙති. ගුණධර්මවලින් වැඩෙති. නිරයට නොයති.

සිල් සමාදන් වන ගිහියෝ භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ සිට ‘අහං භන්තෙ අජ්ජ ඉමංච දිවසං ඉමංව රත්තිං උපොසථං උපවසාමි,අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි’ වහන්ස අපි මේ දහවලත් රාත්‍රියෙත් අංග අටකින් යුත් ශීලය සමාදන්වෙමු’යි පොරොන්දු වෙති. සිල් පද අටම කියැවූ පසු, භික්‍ෂූන් වහන්සේ ‘සරණාගමනං සම්පුණ්ණං’ සරණාගමන සම්පූර්ණයැයි වදාරති. ආම භන්තේ’ යි ගිහියන් ප්‍රකාශ කළ පසු භික්‍ෂූන් වහන්සේ ‘තිසරණෙන සද්ධිං අට්ඨංගුපොසථ සීලං ධම්මං සාධුකං සුරක්ඛීතං කත්වා අප්පමාදෙන සම්පාදෙතබ්බං ‘ තිසරණ සහිත අෂ්ටාංග උපෝසථ ශීලය මැනැවින් රකිමින්, පමා නොවී කටයුතු කළ යුතුයැයි වදාරති.

මේ අනුව, ගිහියන් අටසිල් සමාදන්වීම ඉතා ශ්‍රද්ධාසම්පන්නව උතුම් කාර්යයක් ලෙස ඉටු කරමින්, සිත, කය, වචනය සංවර කරගෙන දුගතියෙන් මිදීමේ මහා කුසල කර්මයෙහි යෙදුණි. අටසිල් සමාදන්වන ගිහියන් බණ දහම් ඇසීම සහ භාවනා කටයුතු ආදිය මැනැවින් ඉටු කළහොත් එය සුගතිගාමී වීමට මනා ලෙස මඟ හෙළි පෙහෙළි කරයි. විශේෂයෙන් සති පට්ඨාන සූත්‍ර දේශනාව හා භාවනා ඉතා වැදගත් තන්හි ලා සැලකේ. මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව ආදි භාවනාවක යෙදීමෙන් වඩාත් කුසල්වර්ධනය වේ. අටසිල් සමාදන්ව මෛත්‍රි භාවනාව කිරීමෙන් ශීලය වඩාත් අනුසස් වන බවත්, එවිට එය නවාංග උපෝසථයක් වන බවත් සඳහන් වේ. ගිහියා ශ්‍රද්ධා සම්පන්න නම් තමාට හැකි කුමන දවසක වුවත්, සැමදාම වුවත් අටසිල් සමාදන්වීමේ වරදක් නැත. අද මෙරට බෞද්ධයන්ගේ ඇවැතුම් පැවැතුම් ගැන සිතනවිට පැරැණි කල තිබුණූ සංවරශීලි සාමකාමි සමාජය තවදුරටත් පවතින්නේදැයි සැක සහිතය. ඒ දැහැමි සමාජය යළි ගොඩනැඟීමට නම් ශීල සංවරය සඳහා බුද්ධිමත් පෙළැඹවීමක් අවශ්‍යව ඇත. පව් කිරීමට ලජ්ජාව සහ භය ඇතිකරගත යුතුව තිබේ.

පොහොය අටසිල් සමාදන්වන ගිහියන් කරන ශීලාදී කුසල් විමසීම සඳහා දෙවියන් පවා මෙලොවට එන බව අංගුත්තර නිකායේ,ලෝකානුවිවරණ සූත්‍ර දේශනාවේ දැක්වේ. සතරවරම් දෙවියන්ගේ උපදෙවිවරුන් පැමිණ ඒ ගැන සොයා බලා සුධර්මා දිව්‍ය සභාවට තොරතුරු සපයන බව කියා ඇත. දෙවියන් ආවත් නාවත් ශීල සමාදානයේ ඵල ප්‍රයෝජන ඇත්තේ ධර්මානුකූලව වසන ගිහියන්ට ය.මරණෙන් මතු නිරයට හෝ සුගතියට යන්නේ ගිහියන් කරන කුසලාකුසල කර්ම අනුව නිසයි. මෙම දේශනාවට අනුව, මව්පිය උවැටන, භික්ෂූන් වහන්සේට උපස්ථාන කිරීම, දෙටු අයට ගරු සත්කාර කිරීම, පෙහෙවස් එනම් උපෝසථ අටසිල් රැකීම ඇතුළු සියලු යහපත් කටයුතු කිරීම තමන්ටත් ලෝකයාටත් හිත වැඩ පිණිසවේ. ශීල සමාදානය මින් ප්‍රධාන වන්නේ එය රකින ගිහියන් වෙතින් සියලු කුසල් සිදුකෙරෙන නිසයි.

අටසිල් සමාදන් වන ගිහියා වෙතින් සියලු කුසල ක්‍රියා සිදුකෙරෙන බැවින්ද පොහෝ දිනයේදි රාග, දෝස, මෝහයන්ගෙන්,ඇලීම්, බැඳීම් වලින් ඉවත්වීමට අවංක උත්සාහයක් දරන බැවින්ද අගාරික කටයුතු අතහැර අනගාරික වන හෙයින්ද පැරැණි බෞද්ධ සංස්කෘතියට අනුව, සිල් සමාදන් වෙමින් බෞද්ධ ජීවිතය අර්ථවත් කරන ගිහියා සමාජයට අලංකාරයකි. පොහෝ දිනයේ සුදුවතින් සැරැසී කාමභෝගි ජීවිතයෙන් මඳකට හෝ ඉවත්වී තෙල් මල් පහන් රැගෙන වෙහෙර විහාර වෙත ඇදෙන බැතිමතුන් සුන්දර දර්ශනයකි.

මෙරට ඉතිහාසයේ ස්වර්ණමය යුගවලදී බුදුදහම ජනතාව අතර ව්‍යාප්තව පැවැති අයුරු හා ගිහියන් සන්සුන්ව ජීවත්වූ හැටිද ඓතිහාසික සාධක ඇසුරින් හෙළිවේ. පැරැණි යුගවලදී අටසිල් සමාදන්වීම ගිහියන් සැලකුවේ කෙටි කාලීන අභිනිෂ්ක්‍රමණයක් ලෙසයි.ගෙවලින් පිටත්ව පොහෝ දිනයේදී සිල් සමාදන්වීමට ගිය ගිහියන් දහවල් රාත්‍රි‍්‍ර දෙකම බණමඩුවේ විහාර ඇසුරේ ගත කළේ බණ දහම් අසමින් භාවනාවන්හි යෙදෙමිනි. මේ නිසාම අෂ්ඨාංග ශීලය ආර්යෝපෝසථ ශීලය නමින් හැඳින්විය.

ඉධෙව කිත්තිං ලභති
පෙච්ච සග්ගෙච සුම්මනො
සබ්බත්ථ සුමනො ධීරො
සීලෙසු සුසමාහිතො

සිල්රක්නා වූ තැනැත්තෝ මෙලොවද කීර්තිය ලබන්නෝය. මරණෙන් මතු දෙව්ලොව උපදිති. සෑම තන්හිම සතුටු වන්නෝය.