Print this Article


දන්ත ධාතූන් වහන්සේ වඩා හිඳවාලූ පුද බිම් ලංකා බෞද්ධ ඉතිහාසයේ සැලකෙන්නේ සුවිශේෂිත වූ පුණ්‍යභූමි ලෙස ය. එවන් එක් ස්ථානයකි බෙලිගල. පොළොන්නරු රාජධානිය බිඳ වැටෙන්නේ කාලිංග මාඝගේ බලවත් ආක්‍රමණයන් නිසා ය. ඒ නිසාම පොළොන්නරු රාජධානිය සංක්‍රමණය වන්නේ දඹදෙණියට ය. තුන්වන විජයබාහු රජතුමා (ක්‍රි.ව. 1232 – 1236 ) මෙසේ පැමිණ ආරක්‍ෂාව සඳහා දඹදෙණි රාජධානිය පිහිටුවා ගනී.

රාජ්‍යත්වය පරිපූර්ණ වීමට නම් රජතුමා භාරයේ දන්ත ධාතූන් වහන්සේ සුරැකිව පැවැතීම සම්ප්‍රදායික සිරිතක් වූ නිසා එවකට කොත්මලේ වැඩ සිටි දන්ත ධාතූන් වහන්සේ මහ පෙරහරින් දඹදෙණියට වැඩම වීය.

උතුම් දන්ත ධාතූන් වහන්සේගේ ආශීර්වාදාත්මක බලයක සවිය අපේක්‍ෂා කරමින් රජ මාලිගාව සමීපයේම දළදා මාලිගාව ද ඉදිකිරීමට බොහෝ රජවරු නිතැනින්ම පෙළඹුණහ. බාහිර ආක්‍රමණශීලී යුගයන්හි දී පළමුව දන්ත ධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව සැලසුවේ රජවරුන් තම ජීවිත ආශාවේ අගය දෙවැනි තැනට පහත හෙළමිනි. ඒ නිසාම දන්තධාතූන් වහන්සේගේ ආරක්‍ෂාව වෙනුවෙන් විජයබාහු රජතුමා තම මාලිගාවට එපිටකින් පිහිටි ඉතා ආරක්‍ෂිත ගිරි දුර්ගයක් වූ බෙලිගල තෝරා ගනියි.

එහි ආරක්‍ෂාව මෙන්ම ආකර්ෂණීය බව කොතරම්දැයි කියතොත් මහාවංසය මේ පිළිබඳව සටහන් තබන්නේ මෙසේ ය. අහසින් දෙවියන් මිස පොළොවෙන් සතුරු මිනිසුන්ට ළඟාවිය නොහැකි පරිදි බෙලිගල හාත්පස ප්‍රකාර ගොපුරාදියෙන් සුරක්‍ෂිත කොට එම පර්වතය මුදුනෙහි දිව්‍ය ලෝකයෙන් පැමිණි දිව්‍ය විමානයකට සමාන උතුම් වූ මනෝරම්‍ය දන්ත ධාතු ඝරයක් කරවා..... ආදී වශයෙනි.

අහසින් දෙවියන්ට මිස යන වදනින් හැඟෙන්නේ සතුරු ආක්‍රමණයන්ගෙන් එය ඉතා සුරක්‍ෂිතව පැවැති බවකි. බෙලිගල පව්වට ඒ නම පටබැඳී ඇත්තේ පර්වතය බෙලි ගෙඩියක හැඩය ගත් නිසා ය. ‘බිල්ලසේල පබ්බත’ සිංහලට පරිවර්තනය වීමේ දී බෙලිගල පර්වතය වූ බවට මතයක් පවතියි. අද අපට බෙලිගල කන්දේ මෙම අසහාය දළදා මැදුර කෙසේ වෙතත්, පෙර මනෝරම්‍ය මන්දිරයේ දසුන පිළිබඳ චෛතිසික චිත්‍රයක්වත් මවා ගැනීමට නොහැකිවීම අභාග්‍යයකි. අද එහි නටබුන් ද නටබුන් වී ගොසිනි. බෙලිගල ආශ්‍රයෙන් අද අපට කතා කිරීමට ඉතිරිව ඇත්තේ බෙලිගල රජ මහා විහාරය පිළිබඳවය.

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙලිගලට ළඟාවීමට කොළඹ නුවර මාර්ගයේ 68 වන කිලෝමීටර් කණුව පසු කිරීමේ දී හමුවන යට්ටෝගොඩ මංසන්ධියෙන් හැරී තවත් කි.මීටර් 3ක් පමණ ගමන් කළ යුතු වෙයි.

මෙම ඓතිහාසික බෙලිගල විහාරය ද දන්ත ධාතූන් වහන්සේගේ පුරාවෘත්තය හා බැඳි එයටත් එපිට ඉතිහාසයකට හිමිකම් ලද සාඩම්බරණීය බෞද්ධ උරුමයකි. එය එසේ වන්නේ දෙවනපෑතිස් රාජ්‍ය අනුග්‍රහය ලද මෙහි දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේ නමක් රෝපණය කර ඇති නිසා ය. එසේ නම් මේ විහාර වංශය ක්‍රි.පූර්ව යුගය දක්වා වූ ඈත අතීතයට විහිදෙයි.

සම්මා සම්බුද්ධත්වයේ සුපසන් පහස වින්දනය කරගත් ශ්‍රී මහා බෝධී සුජාත ඥාති පරපුරෙහි පහස සමීපයේ උත්තම ශ්‍රී දන්තධාතූන් වහන්සේ වඩා හිඳුවීමට ඇතැම්විට රජතුමා ආසන්නයේ වූ බෙලිගල පර්වතය තෝරා ගත්තා ද විය හැකි ය.

මෙහි ඇති තවත් විශේෂයක් වන්නේ බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතුව මෙතැන ඇති ස්තූප ගැබේ නිධන් කර ඇති බවට පැවසෙන මතයයි. ඒ පිළිබඳ සඳහනක් ධාතු වංශයේ ද බෙලිගල තඹ සන්නසෙහි මෙන්ම කඩඉම් පොතෙහි ද සඳහන්ව තිබෙයි. මේ පුරා වෘත්තයන්ගේ සත්‍ය එසේ වී නම් මෙතැන අසමසම වූ පින් බල මහිමයෙන් ආඩ්‍ය වූ පිවිතුරු බිමකි.

පුදබිම දේවානම්පියතිස්ස යුගයේ සිට පැවත ආවද මෙම විහාරස්ථානය තුන්වන විජයබාහු රජතුමා විසින් ඉතා අසිරිමත් ආකාරයෙන් කරවූ බව මහා වංශය ද සඳහන් කරයි. කෝට්ටේ යුගයේ රජ පැමිණි හයවන පැරකුම්බා රජතුමාගේ අනුග්‍රහයෙන් මෙම විහාරස්ථානය වැඩි දියුණු කළ බව බෙලිගල විහාර සන්නස (ක්‍රි.ව. 1415) අනුව සනාථ කර ගත හැකි වේ.

බෙලිගල විහාරයෙන් හමුවන අසිරිමත් ශෛලමය සඳකඩපහණ වටිනා පුරා වස්තුවකි. මෙය පොළොන්නරුවේ සිට දඹදෙනියට පලා ආ ශිල්පියකුගේ නිමැවුමක් විය හැකි බව මහාචාර්ය පරණවිතාන පවසයි. මෙහි ආකෘතිය, සාම්ප්‍රදායික කලාත්මක වෙනස් ලක්‍ෂණයන්, විශේෂයෙන් හැදෑරිය යුතු වෙයි. එහෙත් යුග ගණනාවක් පායුගයන්ට පෑගී එහි සියුම් කලාත්මක ලක්‍ෂණ අද මැකී ගොසිනි. දැනට එය ආරක්‍ෂිතව පැවතීම සතුටකි.

විහාරස්ථානයේ පැරැණි විහාර මන්දිරයේ පියස සෙවිලිකර තිබුණේ රන් උළුවලින් බව ජනප්‍රවාදයේ පවතී. අද එය ගරා වැටෙන්නට ආසන්නව මහලු වයසේ ආතුරව දිවි ගෙවයි. නුවරයුගයේ සිතුවමින් හා ප්‍රතිමාදියෙන් ඔදවත් වූ විහාර මැදුරේ සිතුවම් මැකෙමින් පවතියි. මෙවන් සුවිශේෂී ස්මාරකයන් පවත්වාගෙන ඒමත් නඩත්තු කටයුතුත් කාලයත් සමඟ සටන් වදිමින් සුරැකීම කියන තරම් පහසු ද නොවෙයි.

එහෙත් මහා ශිෂ්ටාචාර ගමන්මගක උදාරම් බව පෙන්වන විශිෂ්ට ආගමික උරුමයක සලකුණු සහිත ස්මාරක පවතින්නේ මේ දියතේ අතලොස්සක් වූ දේශයන්ගේ පමණි. අපි ඒ අභිමානයේ සාඩම්බර හිමිකරුවෝ වෙමු. එසේ නම් දුෂ්කරතා අභියෝගසේ භාරගෙන මෙවන් උරුමයන් සුරැකීම අප කාගෙ කාගෙත් වගකීමකි. යුතුකමකි.

මිනිස් සතුරන්ට කෙසේවත් ළගාවිය නොහැකි දෙවියන්ට පමණක් ළගාවිය හැකි සේ එදා දෙව් විමනක් පරිද්දෙන් ඉදිකළ පූජනීය දළදා මැදුරේ ගල්කණු ආදිය වී අටු අටවන්නට රැගෙන ගිය බව 1883 – ආර්.ඩබ්ලිව්. අයවර්ගේ වාර්තාවක සඳහන් වේ. දෙවියන්ට රුචි භූමියේ නිරි සතුන් යකා නටන විට ඒ බිම හැර යන්නට දෙවිවරුන් ද පෙළඹෙනු ඇතැයි සිතිය හැක. එහෙත් දෙවිවරුන් වන් මිනිසුන්ට මේ දම්දිව සුරැකීමට තවත් ඉඩ විවර වී තිබෙයි.

ආශි‍්‍රත ග්‍රන්ථ -

බෙලිගල පුරාවෘත්තය - පූජ්‍ය දම්මල ධම්මාලෝක හිමි.

සිරිලක දළදා මාලිගා - කුසුම්සිරි විජයවර්ධන.