Print this Article


පූජාච පූජනීයානං

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධූරයට දොඩම්පහල චන්දසිරි මහ නා හිමි

අමරපුර ශ්‍රී කල්‍යාණිවංස පාර්ශ්වයේ මහානායක, කලපළුවාව ගෝතම තපෝවනය ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති, කල්‍යාණිවංස කීර්ති ශ්‍රී වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨනාචරිය මහෝපාධ්‍යාය අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුරයට නිතරගයෙන් පත් වී ඇත.

ශ්‍රී ලංකා අමරපුර මහානිකායට අයත් පාර්ශ්ව 22 මහානායක, අනුනායක, මහෝපාධ්‍යාය හා මහාලේඛක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ නාහිමිපාණන් වහන්සේලා 154 නමකගේ සහභාගිත්වයෙන් පසුගිය දා 23 වැනි දින,කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනයේදී පැවති සංඝ සභාවේදී මෙම පත් කිරීම සිදු කොට ඇත. සියලුම සභිකයන් වහන්සේලාගේ අභිමතාර්ථය පරිදි මෙම පත්වීම සිදු කර ඇති අතර, එකී පත්වීම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක මාහිමියන්ගේ ඉල්ලීම පරිදි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පිළිගෙන ඇත.

1939 දෙසැම්බර් මස 20 වැනි දින, දක්‍ෂිණ ලංකාවේ, දොඩම්පහළ නම් ග්‍රාමවරයේදී ජන්ම ලාභය ලද උන්වහන්සේගේ සදාදරණීය දෙමාපියන් වූයේ එදිරිවීර පටබැඳිගේ සරණේරිස් සිල්වා මහෝපාසකතුමා සහ එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා මහෝපාසිකාවයි. දොඩම්පහළ මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික ගිහි අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ වර්ෂ 1950 නොවැම්බර් මස 25 වැනි දින , කුඩාවැල්ල වාලුකාරාමයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූ අතර, පැවිදි අධ්‍යාපනය ප්‍රගුණ කරන ලද්දේ මාතර වීරබා පිරිවෙණින් සහ ගාල්ලේ විද්‍යාලෝක මහ පිරිවෙණිනි.

1962 ජුනි මස 17 වැනි දින අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ උන්වහන්සේ ශාසනික සේවාවන් ඇරඹූ අතර, අතිපූජ්‍ය කුඩාවැල්ලේ වංගීස නාහිමිපාණන් වහන්සේ ගුරුතැන්හි තබාගෙන වනවාසී භික්ෂූ සම්ප්‍රදායත්, විදර්ශනා භාවනා ආදි භාවනා පුහුණුවත් ලබා ගනිමින් අද දක්වාම සිය සඟ පරපුරේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් උදාර ශාසනික යුග මෙහෙවරක යෙදී සිටිති.

මුල්ලේරියාව, කලපළුවාවේ ගෝතම තපෝ වනය, මහනුවර උඩවත්තකැලේ ශ්‍රී‍්‍ර දළදා තපෝ වනය, කෑගල්ල අභයභූ®මි තපෝවනය, මිහින්තලේ කළුදියපොකුණ අරහන්ත තපෝ වනය,පදවිය දෙවියන්ගේ කන්ද තපෝවනය, කතරගම මාතිකා මාතා මධ්‍යස්ථානය, මස්කෙළිය සුමනාරාමය මස්කෙළිය රිකාල්ටන් ජනපදයේ ජනරංජනාරාමය, ගාල්ල මිලිද්දුව සුදර්ශනාරාමය සහ කුඩාවැල්ලේ වාලුකාරාමය යන භාවනා මධ්‍යස්ථානයන්හි සහ විහාරස්ථානයන්හි අනුශාසකත්වය මෙන්ම අධිපතිත්වය උසුලන උන්වහන්සේ කළුපලුවාව තපෝවනය හා සබැඳි මාතිකා මාතා සමිතිය සහ කුමාර කාශ්‍යප ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ යාවජීව අනුශාසක වන අතර, ශ්‍රී වංගීස මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරි පදවිය හොබවති.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ යාවජීව උත්තරීතර අනුශාසක පදවියෙහි ක්‍රියා කරන උන්වහන්සේ විවිධ අවස්ථාවල, දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සිදු වූ ස්වාභාවික විපත්වලදී විපතට පත් ජනතාව ජීවත් කරවීම සඳහා තම ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා සහ දායක පිරිස් සමඟ අවශ්‍ය වියළි ආහාර,බේත් හේත් රැගෙන වැඩම කරවා පිහිට වූ අවස්ථා එමටය. ත්‍රස්තවාදි විපත් නිසා අනාථ වූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පාසල් දූ පුතුන් සඳහා ජාති භේදාදියෙන් තොරව පාසල් උපකරණ මෙන්ම පුස්තකාල සඳහා පොත් පත් ලබා දීමටද ක්‍රියා කළ හ. සුනාමියෙන් විපතට පත් විහාරස්ථාන රාශියක් දෙස් විදෙස් දානපතියන්ගේ අධාර ඇතිව ඉදිකරවා දී ඇත. විවිධ ප්‍රදේශයන්හි පුස්තකාල හා සංඝාවාස ඉදිරිකිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමටත් රෝහල්වලට අවශ්‍ය උපකරණ හා බේත් හේත් ආදිය බෙදා දීමටත් පුස්තකාල සඳහා ත්‍රිපිටක ග්‍රන්ථ මෙන්ම අටුවා ටීකා පොත් පත් ආදිය ද බෙදාදෙමින්, බෞද්ධ ජනතාවගේ කායික මෙන්ම මානසික සුවය අපේක්ෂාවෙන් උදාර ශාසනික හා සමාජ මෙහෙවරක් ඉටු කර ඇත.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ 11 වැනි සභාපති පදවියට තේරී පත් වූ අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායු සම්පත් ලැබේවා!


ගැටමාන්නේ ධම්මින්ද හිමිපාණෝ

වලස්මුල්ල, දලුවක්ගොඩ ශ්‍රී ධර්මායතනාධිපති වලස්මුල්ල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ගරු සභාපති, විශ්‍රාමලත් විදුහල්පති, ශාස්ත්‍රපති පණ්ඩිත ගැටමාන්නේ ධම්මින්ද හිමිපාණෝ 76 වියට පා තැබූහ. විහාරස්ථ ශ්‍රී ධර්මායතන දායක සභාව හා ශ්‍රී බෝධි ආරක්‍ෂක සභාව ඇතුළු සංවිධාන රාශියක් ධම්මින්ද හිමියන්ට දිගාසිරි පැතීමේ බෝධිපූජා මහා පින්කමක් සහ පිරිත් දේශනයක් මාර්තු 9 සහ 10 දා පැවැත්විණි.

සී. දොන්. සමරනායක හා සිරිමලි කොඩිතුවක්කු දම්පතීන්ගේ පුත්‍රයෙකු ලෙස ගැටමාන්නේ දී උපත ලැබූ මෙතුමන් ගැටමාන්න මහ විදුහලින් හා ඉත්තදෙමලිය මහ විදුහලින් මූලික අධ්‍යාපනය ලැබීය. තම ඥාතිවරයෙකු වූ වෛද්‍ය විශාරද ගලහිටියේ වෙදරාළහාමිගේ ඇසුරෙන් වෛද්‍ය විද්‍යාව ප්‍රායෝගිකව පුහුණුව ලබද්දී තම දෛවය පෙරටවිත් 1952 දී පනන්වෙල ගණෝගොඩ පුරාණ මහා විහාරාධිපති නෙරලම්පිටියේ චන්දානන්ද ස්වාමිපාදයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ‘ගැටමාන්නේ ධම්මින්ද’ නමින් පැවිදි බිමට පත්විය.

සිය ගුරු හිමියන්ගේ ඇසුර ලබමින් ප්‍රගුණ කළ යුතු මූලික පැවිදි සාරධර්ම ගුණ දහම්, බණ, පිරිත් මනාව හදාරා වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා මාතර මහා මන්තින්ද උපාධි පීඨයට ඇතුල් වූ ධම්මින්ද පොඩි හාමුදුරුවෝ පන්ති පිළිවෙලින් ප්‍රථම ස්ථාන හා ත්‍යාග සහිත උසස් සහතික හිමි කර ගනිමින් පැවිදි ආකල්ප කුසලතා වර්ධනය කරමින් පාලි, සංස්කෘත, සිංහල, චන්දස්, අලංකාර, ඉතිහාසය වැනි විෂයන් ඉතා දක්‍ෂ ලෙස ප්‍රගුණ කළහ.

2500 සම්බුද්ධ ජයන්තිය සිහිවටනයක් කරමින් මහනුවර මල්වතු මහා විහාර ඓතිහාසික රාජ පූජිත මංගල උපෝෂථාගාරයේ දී උපසම්පදා සීලයෙහි පිහිටියහ. 1962 දී සරසවි වරම් ලැබ ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පාඨමාලාවක් හදාරා ගෞරවපන්තියේ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. මාතර ශ්‍රී පුෂ්පාරාම මහ පිරිවෙනේ දස වසරක් උසස් සේවයක් කළහ. භික්‍ෂු ආකල්ප – කුසලතා වර්ධනය කරමින්, බණ, පිරිතට මුල්තැන දෙමින් ධර්ම දූත සේවයට භික්‍ෂූන් වහන්සේලා පුහුණු කොට ධර්ම දූත සේවය ඉටු කළේ ජනතා ප්‍රසාදය මෙන්ම සහභාගීත්වය ලබා ගනිමිනි. මාතර මහා මන්තින්ද විද්‍යා පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට ද වාසනාව උදාවිය. බොහෝ කාලයක් මාතර රාහුල විද්‍යාලය, සුජාතා මහා විද්‍යාලය ඇතුළු පළාතේ සෑම විදුහලකම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ බෞද්ධ හැඟීම් ජනිත කරවමින් ධර්ම දේශන, ධර්ම සාකච්ඡා පවත්වමින් අමරණීය ධර්ම දූත සේවයක් ඉටු කළහ. මාතර බන්ධනාගාරයේ ධර්ම දේශනා පවත්වමින් නොමග ගිය අසරණ හදවත් සනසවමින් දැහැමි මඟ කියා දුන් අතර මාතර තරුණ බෞද්ධ සමිතියේ බොහෝ කාලයක් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පවත්වා වැඩිහිටි බොහෝ බුද්ධිමතුන්ගේ ධර්ම ඤාණය දියුණු කළහ. 1960 සිට ශ්‍රී ලංකා ගුවන් විදුලි ආගමික වැඩසටහන් වලට සම්බන්ධ වෙමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධර්ම චින්තා, බෞද්ධ කතා ඉදිරිපත් කරමින් ජනතා ප්‍රසාදය දිනාගත්හ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය මඟින් ඉදිරිපත් කළ “ධර්ම මණ්ඩපය” හා “අසපුව“ දහම් වැඩසටහන් මෙහෙයවා කාලීන දහම් ගැටලු සාකච්ඡා කළහ. ප්‍රවෘත්ති පත්‍ර සඟරා ආදියට ශාස්ත්‍රීය ලිපි සැපයීමත් ‘මන්තින්දය’ ‘මැදුම් පිළිවෙත’ සිංහල පරිනිබ්බාන සූත්‍රය වැනි ග්‍රන්ථ සම්පාදනය කොට ශාස්ත්‍රීය සේවයක් ඉටු කළහ. ජපානය, ඉන්දියාව, නේපාලය, දඹදිව ආදී රටවල ධර්ම ප්‍රචාරය සඳහා වැඩමවා උදාර සේවයක් සිදු කොට ඇත. පිරිත් දේශනාවලට මෙන්ම, ධර්ම දේශනාවලට එක ලෙස ව්‍යක්ත භාවයක් දක්වන අතර නිහතමානී ගුණය නිසා පළාතේ මහ සංඝයා වහන්සේ අතර මෙන්ම පොදුජනතාව අතර ගෞරවනීය නමක් තබා ඇත.

1976 දී පිරිවෙන් ගුරු සේවයෙන් වෙන්ව රජයේ ගුරු සේවයට සම්බන්ධ වූ ධම්මින්ද හිමිපාණෝ හ/දම්මුල්ල මුත්තෙට්ටුවගම ක.විදුහලේ හා ඉහළ බෙලිගල්ල මහ විදුහල යන විදුහල්වල උපාධිධාරි ආචාර්යවරයෙකු ලෙස මහඟු සේවයක් කොට සිසුදරුවන්ට උසස් ප්‍රතිඵල ලබා දුන්නේ ළමා මනස පිළිබඳ අත්දැකීම් බර අවබෝධයකිනි. ඉහළ බෙලිගල්ල ගමත්, පන්සලත්, විදුහලත් සම්බන්ධකොට උසස් ප්‍රබෝධයක් ලබාදුන් අතර විද්‍යාලය සම්බුදු මැදුර එයට උසස් සංකේතයකි. හ/දකුණු කණුමුල්දෙණිය විදුහල්පති ලෙස ක්‍රියා කරමින් අපේ පන්සල, අපේ විදුහල, අපේගම යන උදාර සංකල්පනාවන් ජනිත කරමින් කටයුතු කිරීමේ උසස් ප්‍රතිඵලයකි පරිත්‍යාග වශයෙන් ලැබුනු දළුවග්ගොඩ ශ්‍රී ධර්මායතනය නොබෝ කලකින් පළාතේ දර්ශනීය පන්සලක් බවට පත්කොට විහාරාංග රාශියක් නිමවා ඇත. සම්බුදු මැදුර, දේවාල, ධර්මශාලාව ශ්‍රී රත්නපාල පුස්තකාලය, ශ්‍රී ධම්මින්ද දහම් පාසල, සුමග පෙර පාසල, සුමග කලායතනය, සුමග සුබ සාධක සමිතිය, සර්වෝදය ශ්‍රමදාන සමිතිය, සුවසේවා පදනම, ප්‍රජා ඉගැනුම් මධ්‍යස්ථානය වැනි ජනතා උදාර සේවයක් ඉටු කරති. මෙම ආයතනයෙන් ආගමික, අධ්‍යාපනික, සාමාජික හා වෘත්තිය පුහුණුවක් ලබා ජීවිත සරුකරගත් විශාල පිරිසකි.

ප්‍රදේශවාසී භික්‍ෂූන් වහන්සේලාගේ පහසුව සඳහා වලස්මුල්ල දිසා රෝහලේ භික්‍ෂු වාට්ටුව සෑදවූයේ පළාත්වාසීන්ගේ සහයෝගය ලබා ගනිමිනි. 1985 සිට 26 වසරක් පමණ කාලයක සිට වලස්මුල්ල රෝහල් කාර්යමණ්ඩලයේ සහයෝගයෙන් බෝධිපූජා ධර්මදේශනා, පිරිත් දේශනා පවත්වමින් අසරණ රෝගීන්ට මාස්පතා පෝදා ආශිර්වාද කරති. සෙත් පතති. පළාතේ විදුහල් වල දහම් පාසල් හා පිරිවෙන්වල ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන්ගේ අනුග්‍රහය මත ගිලන් සංග්‍රහය මසකට වරක් පවත්වනුයේ අසරණ රෝගීනට ආශිර්වාද කරමිනි. රෝහල් කමිටු අනුශාසක වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් රෝහලට ලබා දී ඇත. 2550 බුද්ධ ජයන්ති උත්සවය සඳහා අනුරාධපුර ශ්‍රී මහා බෝධියෙන් ලැබුණු බෝධීන් වහන්සේ වටා සත්සති නිර්මාණය කොට පූජා උත්සවය සංවිධානය කොට ඇත. හිමිපාණන්ට දීර්ඝායුෂ ලැබේවා.


කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමි

මොනරාගල මඩුල්ල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ඉදිරි වර්ෂ සඳහා නව ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් වැඩි ඡන්ද දෙකකින් කැරෑල ශ්‍රී විජයවර්ධන පිරිවෙන් විහාරවාසී පූජ්‍ය කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමියෝ තේරී පත්වූහ.

මෙතෙක් ලේඛකාධි ධුරය දැරූ පිංගොඩ ශ්‍රී විජයවර්ධනාරාමාධිපති ගලබැද්දේ රතනජෝති හිමියෝ මේ වර එම ධුරය සඳහා ඉදිරිපත් නොවූහ. ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ හිටපු සභාපති මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක බොල්ගල්ල බෝධිඝර විහාරාධිපති බටුගම්මන පඤ්ඤාරතන හිමියන් වයෝ වෘද්ධ හෙයින් මෙවර එම තනතුර සඳහා ඉදිරිපත් නොවුණ හෙයින් නව සභාපති වශයෙන් නිලවබැද්ද පුරාණ විහාරාධිපති වෙහෙරගල ජිනරතන හිමියෝ නිතරගයෙන් පත්වූහ.

මඩුල්ල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ආර්.එස්. තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී මේ ඡන්ද විමසීම පැවැත්විණි. මඩුල්ල කොට්ඨාසයේ විහාරස්ථාන විස්සකින් විහාරාධිපති හිමිවරුන් හා නියෝජිත හිමිවරුන් මේ අවස්ථාවට සහභාගි වූහ.

සෙසු නිලයන් සඳහා පත්වූ හිමිවරුන් මෙසේය. නියෝජ්‍ය ලේඛකාධිකාරී රිටිගහඅරාවේ පියතිස්ස හිමි, නියෝජ්‍ය සභාපති කැරෑලේ ආනන්ද හිමි, නියෝජ්‍ය සභාපති බුත්තල රතනසාර හිමි, උප ලේඛකාධිකාරී කුඩාහරස්ගල ධම්මකුසල හිමි, උප ලේඛකාධිකාරී බෙලිගස්වත්තේ ජිනානන්ද හිමි, උප ලේඛකාධිකාරී කිරිවැල්ගොඩ විමලරතන හිමි.


ලේඛකාධිකාරි ධුරයට පත්වෙති

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළයේ ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරයට උඩබුලත්ගම පළාතේ උප ප්‍රධාන සංඝනායක හිටිගේගම බෝකරබැවිල ශ්‍රී අභිනවාරාමාධිපති කෙහෙල්වරාවේ පියතිස්ස නාහිමියෝ තෙවෙනි වරටද පත්වූහ.