Print this Article


අ. පො. ස. උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ මතය

 අ. පො. ස. උසස් පෙළට බෞද්ධ ශිෂ්ටාචාරය

සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ මතය

සමාජ ප්‍රභවය පිළිබඳ බෞද්ධ මතය පැහැදිලි කරන්න

බුදු දහම නිර්මාණවාදී ඉගැන්වීම් මුළුමනින්ම බැහැර කරයි. හේතුඵලවාදී දහමක් හඳුන්වා දෙයි. ඒ අනුව පුද්ගලයා හෝ ලෝකය කිසිවෙකුගේ මැවීමක් නොවනු ඇත. මවන්නෙක් ද නැත. විශ්ව මාපකයෙක් හෝ විශ්ව කතෘවරයෙක් නොපිළිගනියි. සමාජ ප්‍රභවය හේතුඵලවාදීව කාලානුරූපීව, යුගයේ අවශ්‍යතාවයන්ට අනුව ඇති වූ බව බුදු දහමින් උගන්වයි.

දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝක විනාශයෙන් පසු ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතවූ සත්වයන් ඇසුරින් සමාජ සංස්ථා හටගත් බව පැහැදිලි කෙරේ. සියලුම ජීවීන් මෙන්ම ගස් වැල් ආදී සියල්ලම මුළුමනින් විනාශ වී එකම ජල ගෝලයක් බවට පත්ව කලක් ගතවූ පසු ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව පැමිණි සත්වයෝ

ආකාශ චාරී ( අහසෙහි හැසිරෙමින් )

දීඝ ජීවී ( දිගුකල් ජීවත් වෙමින් )

සයං පභා ( ශරීරයෙන් විහිදෙන ආලෝකයෙන් යුක්තව )

පීති භක්ඛා ( ප්‍රීතිය ආහාර වශයෙන් ගෙන ) ජීවත් වූහ. කලක් ගතවූ පසු ආහාර වර්ග අනුභවයට පෙළඹුනහ. අනුපිළිවෙළින් රස පොළව, බිම් මල්, භදා ලතා නම් වැල් වර්ගයක් මෙන්ම ස්වයං ජාත සහල් ආහාර බවට පත්ව ඇත. එම සහල් කුස පුරා අනුභවකොට තවත් ටිකක් රැගෙන යාමට අලසයෝ පෙළඹුනහ. තවත් කලක් ගත වූ පසු වැටවල් නියරවල් යොදා එක් එක් අය තම තමන්ට ඕනෑ තරමට ඉඩම් වෙන් කර පුද්ගලික පරිහරණයට පෙළඹුනහ. පෞද්ගලික දේපල ක්‍රමය නිසා සමාජයේ ඒකාකාරී බව නැති විය. ඇතැමෙක් විශාල ඉඩම් ප්‍රමාණයකින් යුක්ත වූහ. ඇතැමෙකුට ඉඩම් අහිමි වූහ. මෙසේ දුප්පත් පොහොසත් භේදය ප්‍රකට විය.

දිළිඳු ජනතාවට ආදායම් මාර්ග නොවීම නිසා දුප්පත්කම තව තවත් වැඩි විය. දුප්පත්කම නිසා හොරකමට පෙළඹුනහ. හොරුන් ඇතිවීම නිසා ඔවුන් ඝාතනය කිරීමට ආයුධ නිපදවූහ. ආයුධ බහුල වීම නිසා මිනිස් ඝාතන ඇති විය. මරණ බියෙන් යුක්ත වූවන් බොරු කීමට පෙළඹුනහ. මෙසේ ක්‍රමයෙන් ඊෂ¸ාව, ක්‍රෝධය, වෛරය ආදී විවිධ වූ දුසිරිත් බහුල විය. ඒ අනුව සමාජය භීෂණයෙන්, දූෂණයෙන් ගහන විය. අපරාධ කල කෝලාහල නිසා සාමය සමගිය නැති විය. සමාජය දිනෙන් දිනම පරිහාණියට පත්විය. ඉතා අවාසනාවන්ත අයුරින් සාමය පිරිහීමට පත් වූ පසු බුද්ධිමත්හු එක්ව යළිත් සමාජය සදාචාරාත්මක, දියුණු, උසස් තත්ත්වයට පත් කර ගැනීම පිණිස කතිකා කළහ. ඔවුන් අනුගමනය කළ පිළිවෙත වූයේ බුද්ධිමත්, දක්‍ෂ, කාය¸ ශූර, මනා පෞරුෂයකින් යුක්ත අයෙකු තෝරා ඔහුට වගකීම පැවරිය යුතු බවයි. ඒ අනුව වැඩි දෙනෙකුගේ කැමැත්ත පරිදි එබඳු සුදුසු අයෙකු තෝරා ගත්හ. මහජන සම්මතයෙන් තෝරා ගත් නිසා “ මහා සම්මත” යයි ඔහුට පැවසූහ.

“ඛෙත්තානං අධිපතීති ඛත්තියෝ” විශාල කෙත් යායක හිමිකරුවෙකු වූ බැවින් ඔහු “ක්‍ෂත්‍රිය” යන නාමයෙන් ද හැඳින්වූහ.

“ධම්මේන පරේ රංජතීති රාජා” ධර්මානුකූලව රට පාලනය කොට ජන හදවත් දිනා ගත් බැවින් රජතුමා යයි ද පැවසූහ. මෙසේ ප්‍රථම වරට ක්‍ෂත්‍රිය සමාජය ඇතිවිය. පාලක පක්‍ෂයක් බිහිවූ අයුරු මින් ප්‍රකට වෙයි. “බාහිත පාප ධම්මෝ බ්‍රාහ්මණෝ” පවු දුරලීමේ අදහසින් වනගත වූ පිරිස බ්‍රාහ්මණ වශයෙන් හැඳින්වූහ. සමාජයේ සිදුවූ අපරාධ, මිනී මැරීම් ආදිය කෙරෙන් බලවත් කලකිරීමට පත්වූ පිරිසක් වනගත වූහ. වනගත වීමට පෙළඹුන පිරිස ඇසුරින් “ බ්‍රාහ්මණ සමාජය” යනුවෙන් නවතම සමාජ ක්‍රමයක් ඇතිවිය. ඔවුන් අතර ඇතමෙක් ධ්‍යාන භාවනා වඩමින් ආගමික අංශය කෙරෙහි විශේෂ ලැදියාවකින් ක්‍රියා කළහ. ඒ පිරිස “ඣායක” වශයෙන් ද ඇතමෙක් අධ්‍යාපනික කටයුතු කෙරෙහි විශේෂ ලැදියාවකින් ක්‍රියා කළ බැවින් ඔවුන් “ අජ්ඣායක” යනුවෙන් ද හැඳින්වූහ. මෙසේ බ්‍රාහ්මණ සමාජය ඇතිවිය.

“ විසුං කම්මන්තේ පයෝජෙන්තීති වෙස්සා..” විවිධ කර්මාන්ත වල නියැලෙමින් ධනෝපායනයෙහි නිරත වුවන් ඒනිසාම වෛශ්‍ය යන නාමයෙන් හැඳින්වීමට පෙළඹුනහ. ගොවිතැන, වෙළඳාම, සත්ව පාලනය, ගෘහස්ථ කර්මාන්ත වැනි ධනෝපායන අංශ කෙරෙහි දක්‍ෂව උද්‍යෝගයෙන් ක්‍රියා කළ පිරිස වෛශ්‍යයන් ලෙසින් සලකනු ලැබිණ. මෙසේ තවත් සමාජ ක්‍රමයක් ප්‍රකට විය.

“ ඛුද්ද ලුද්ද සමාචාරා සුද්දා...” සදාචාර විරෝධී, සමාජ විරෝධී, පාපකාරී, අදූෂිත වූ, දුරාචාරී වූ, විෂම වූ ලාමක ක්‍රියාවන් හි නිරත වෙමින් සමාජය පීඩාවට පත් කළ පිරිසක් ද වූහ. ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුරූපීව “ ශුද්‍ර” යන නාමය පටබැඳින. මේ අයුරින් සමාජ සංස්ථා හතරක් ඇතිවූ බව අග්ගඤ්ඤ සූත්‍රයේ විස්තර කෙරේ. එමගින් බුදු සමයට අනුව භාරතයේ ඉතා දීිර්ඝ කාලයක සිට සම්භාවනීයත්වයට පත්ව තිබුන සාම්ප්‍රදායික, ගතානුගතික, අවිචාරශීලි, අදූරදර්ශී, දේවවාදී, නිර්මාණවාදී ඉගැන්වීම් ක්‍රමය බැහැර විය. යතාර්ථවාදී වූ තාත්වික වූ හේතුඵලවාදී වූ නවතම ඉගැන්වීම් ක්‍රමයක් වශයෙන් බෞද්ධ මතය හැඳීන්විය හැකිය.

සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතයෙහි ඇති අහිතකර ලක්‍ෂණ කවරේදැයි දක්වන්න.

සමාජ සම්භවය පිළිබඳ බ්‍රාහ්මණ මතය නම් නිර්මාණවාදී බවයි. එනම් මවන ලද බවයි. සමාජය මවන ලද මැවුම් කරුවෙක් ගැනද උගන්වයි. එනම් මහා බ්‍රහ්මයාය. මහා බ්‍රහ්මයා යනු සුවිශේෂී අයෙකි. අසහාය වූ, අසමසම වූ, සර්ව බලාධාරී වූ, අයෙකි. එනිසාම විශ්වය මෙන්ම සමාජය ද මෙම මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් වශයෙන් බ්‍රාහ්මණ දහමින් පෙන්වා දෙයි.

පුද්ගලයා හා සමාජය විශ්වමාපක (ලෝකය මවන ලද ) මහා බ්‍රහ්මයාගේ මැවීමක් ලෙසින් උගන්වයි. මේ අනුව පුද්ගලයෙකු කුලීන තත්ත්වයට හෝ කුලහීනත්වයට පත්වන්නේ මහා බ්‍රහ්මයාගේ කැමැත්කට අනුවය. වැදගත් හෝ නොවැදගත් අයෙකු වන්නේද උසස් හෝ පහත් අයෙකු වන්නේද සුරූපී හෝ විරූපී අයෙකු බවට පත් වන්නේ ද ඒ අනුවම ය.

සමාජ ප්‍රභවය පිළිබඳ බ්‍රාහ්මණ මතයට අනුව පුද්ගලයාගේ සෑම අංශයක්ම තීරණය වන්නේ දේව කැමැත්තට අනුවය. උගත්, නූගත්, සුරූපී, විරූපී, රෝගී, නිරෝගී කවර අයුරකින් වුවද පුද්ගලයා ක්‍රියා කිරීම පිණිස දෙවියන්ගේ අභිමතයම මූලික වෙයි. මේ අනුව මිනිසා උපතින්ම පරාධීනයෙකු බවට පත් කොට ඇත. හේතුව පුද්ගල අභිමතය අනුව කිසිඳු තීරණයකට එළඹීමට හෝ ක්‍රියා කිරීමට නොහැකි බැවිනි. මහා බ්‍රහ්මයාගේ ශරීරයේ විවිධ ස්ථානවලින් සමාජගත සත්වයන් නිර්මාණය කර ඇති බැවින් උපතත් සමගම පුද්ගලයාගේ තත්ත්වය තීරණය වෙයි.

පුද්ගල දක්‍ෂතා වලට ඉඩක් නොලැබී යාමට බ්‍රාහ්මණ ඉගැන්වීම් හේතු වී ඇත. වීය¸, බල පරාක්‍රම පුරුෂතාම අනුව කිසිඳු බලපෑමක් කළ නොහැක. කිසිඳු උසස් පහත් බවක් ඇති නොවේ. ඒ අනුව පුද්ගල නිදහස පැහැර ගැනීමක් සිදුවී ඇති බව පෙනේ. පුද්ගලයා නිදහස්ව, නිවහල්ව, ස්වාධීනව, ස්වච්ඡන්දතාවයෙන් තීරණ ගැනීමට හෝ ක්‍රියා කිරීමට ශක්තියක් නැති අයෙකු බව මින් පැහැදිලි වෙයි. පරාධීනව, පරතන්ත්‍රව, පරප්‍රධානව, ක්‍රියා කරන තත්ත්වයට හෙළීමක් බ්‍රාහ්මණ දහම තුළින් සිදුවී ඇති බව ප්‍රකට වෙයි.

ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය, තුළින් පුද්ගලයාට දේවත්වයට බ්‍රහ්මත්වයට පමණක් නොව බුද්ධත්වයට වුවද, පත් විය හැකි බව බුදු සමයෙන් පෙන්වා දෙන නමුත් බ්‍රාහ්මණ දහමට අනුව පුද්ගල ක්‍රියා දාමයන්හි නොව උපත අනුව සමාජ තත්ත්වය තීරණය කෙරේ. මිථ්‍යා විශ්වාස පදනම් කොට ගත් චින්තනයක් යටතේ පුද්ගලයා නිශ්ක්‍රීය, අකර්‍මන්‍ය, අභව්‍ය තත්ත්වයට පත් කරලීමත් මින් සිදුවී ඇති බව පෙනේ.