Print this Article


බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 14

බුද්ධ ධර්මය සහ මනෝ වෛද්‍ය විද්‍යාව - 14

ප්‍රකට මනෝ වෛද්‍යවරයෙක්, මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක්, දේශකයෙක් හා ලේඛකයෙක් වූ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා ඉකුත් දා (01) පරලොව සැපත් විය. එසේම වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා බුදුදහම, ඉතිහාසය, හා බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සුවිශේෂී දැනුම් සම්භාරයකින් හෙබි වියතෙකි.

ඉකුත් වසරේ දී ‘බුදුසරණ’ ට ලිපි සපයන්නැයි අප කළ ඉල්ලීමට ඒ මහතා දැක් වූයේ නොමඳ සහායකි. බුදුදහම හා මනෝවිද්‍යාව පිළිබඳ බුදුසරණෙහි ලිපි පෙළක් පළ කරන ලද්දේ ඒ අනුවය. හරිස්චන්ද්‍ර මහතා ඉකුත් 21 වන දා අප වෙත ලියන ලද අවසන් ලිපිය අද පළ කළෙමු. සෑම ලිපියක්ම අප වෙත යොමුකිරීමෙන් පසු දුරකථනයෙන් ඒ පිළිබඳ විමසීමද ඒ මහතාගේ සිරිත විය.

ඉකුත් 26 වන දා ඒ මහතා දුරකථනයෙන් අප හමුවිය. එහෙත් එය ඒ මහතාගේ අවසන් දුරකථන ඇමතුම යැයි අපි කිසිවිටෙක නොසිතුවෙමු. ඉතා සහෘදත්වයෙන් ‘බුදුසරණ’ ට ලියූ ඒ මහතාගේ අවසන් ලිපිය මෙය යැයි සිහිනෙන්වත් අපේක්‍ෂා නොකෙළෙමු. බහුශුතයකුගේ සහෘදයකුගේ වියෝව දැරිය නොහැකි පාඩුවකි. වේදනාවකි.

පරලොව සැපත් හරිස්චන්ද්‍ර මැතිඳුනි එහෙත් ලොව අනියතබව ප්‍රකට කරමින් ඔබ අපෙන් සදහටම සමුගත්තේ ය. මේ සමග බුදුසරණ සාතිශය සංවේගය පළ කරන අතර වෛද්‍යතුමනි, සසර දුක් කෙළවර අමාමහ නිවන ම හිමිවේවායි. ‘බුදුසරණ’ පැතුමයි. - බුදුසරණ කර්තෘ


 

මනෝරංග චිකිත්සාව සඳහා පැමිණෙන විවිධ මානසික රෝගීන්ගේ ජීවන අර්බුදවලට අදාළ තේමා තෝරා ගැනීමට අපේ පන්සිය පනස් ජාතක පොතින් ලද හැකි උපකාරය, වර්ෂ විස්සක් තුළ ගාල්ලේ ශික්‍ෂණ රෝහලේ මනෝවෛද්‍ය ඒකකයේ දී සතිපතා පැවැත්වුණු ජාතක මනෝරංග සැසි අධ්‍යක්‍ෂණය කරද්දී මම වටහා ගතිමි. මනෝරංග චිකිත්සාවේ නිර්මාතෘ වොරේනෝ සායනයට පැමිණි රෝගීන්ගේ ඉතිහාසයෙන් හෝ එදිනෙදා පුවත්පත්වලින් හෝ උපුටා ගත් තේමාවලට වඩා, ජාතක පොතේ තේමා මෙම චිකිත්සාවට සුදුසු වන්නේ මන්දැයි විමසමු.

විශාල තේමා සංඛ්‍යාව

පන්සිය පනස් යන විශේෂණයෙන් හැඳින්වුණ ද, ජාතක පොතේ සෑම කථාවක් පාහේ උප කතා කිහිපයකින් සමන්විතය. කුණාල, උම්මග්ග වැනි ජාතක කතා තුළ එවැනි උපකතා රාශියක් අඩංගු ය. සමහර කතා එපමණ දිගු නැතත්, නාට්‍ය රසයෙන් අනූන ජවනිකා රාශියකින් සමන්විත ය. උම්මාදන්ති ජාතකය එවැනි කතාවකි. ඕනෑම රෝගියකුගේ ජීවිත කතාවේ හෝ පුවත්පත් වාර්තාවක හෝ තේමාවකට සමාන්තර තේමාවක්, ජාතක පොතෙහි තැන්පත් විශාල සංඛ්‍යාවක පුළුල් තේමා සම්භාරයෙන් තෝරා ගත හැක.

නම්‍යශීලීභාවය බොහෝ ජාතක කතා සැසියට ගැළැපෙන අන්දමට වෙනස් කර රංගනයට ඉදිරිපත් කළ හැක. චර්යා විෂමතාවකින් (Conduct Disorder) පෙළෙන දරුවකු උදෙසා නිතර අප තෝරා ගත් විරෝචන ජාතක කතාවේ චරිතයක් වන ‘දුෂ්ට’ නමැති කිරුළ හිමි කුමරු, චර්යා විෂමතාවයෙන් පෙළෙන දැරියක උදෙසා, කිරුළ හිමි කුමරිය බවට වෙනස් කර ගත හැක. ඇයට ‘දුෂ්ටි’ නම යෙදිය හැක. මෙවැනි සුළු වෙනස් කිරීම් නිසා, විවිධ දිනවල විවිධ චරිත යොදා වේදිකාගත වූ එකම ජාතක කතාව විවිධ ස්වරූප ගත් හෙයින්, කිසි දිනක චිකිත්සක සැසි, නවතාවයෙන් සහ රසවත් බවෙන් අඩු වූයේ නැත. එසේම ප්‍රේක්‍ෂක පිරිසට ඒකාකාරී බවක් හෝ නීරස බවක් දැනුණේ ද නැත.

ප්‍රසාරණය

භීස පුෂ්ප ජාතකය පිටුවකට සීමා වූ කෙටි කතාවක් වුවද, එහි විස්තර වන පොකුණේ දර්ශනයෙහි පෙනී සිටින තාපසයකු සහ දේවතා දුවක අතර සංවාදය, ඇතැම් සැසිවලදී පැය දෙකකට දීර්ඝ හෙවත් ප්‍රසාරණය කර ගැනීමට හැකි වූ අවස්ථා මට මතකය. එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ ‘මනමේ’ නාට්‍යයට මුල් වූ චුල්ලධනුග්ගහ ජාතකය ජාතක පොතේ පිටු භාගයක කතාවකි.

සදාතනික තේමා සහිත වීම

ශේක්ස්පියර් කවියා පිළිබඳ ව ලෝංෆෙලෝ කවියා කර ඇති ගුණ වැණුමක, ශේක්ස්පියර්ගේ නිර්මාණ එක් කාලයකදී පමණක් නොව සදාකාලිකව පවතින කෘතීන් බවද අනාගතයේ දී කිව යුතු යමක් වෙයි නම් ශේක්ස්පියර් ඒ සියල්ලම දැනටම තම කෘතින් මගින් කියා ඇති බවක් පවසා තිබේ. ශේක්ස්පියර්ගේ කෘතීන් පිළිබඳ ව පැවසුණු එම සත්‍යය, ජාතක කතා පිළිබඳව ද කිව හැක. අනාගත මනෝරංග චිකිත්සකවරයකුට, ඕනෑම කාලයකට ඔබින තේමා ජාතක පොතින් සොයා ගත හැකි වනු ඇත. අතීත හෝ වර්තමාන හෝ අනාගත හෝ ඕනෑම යුගයකට ගැළැපෙන ලෙස සහ ඕනෑම මානසික තත්ත්වයක් ප්‍රකාශනය වන ලෙස ජාතක කතා පසුබිම සකස් කර ගත හැකි බව මනෝරංග වැඩසටහන් අධ්‍යක්‍ෂණය කරද්දී මම අවබෝධ කරගතිමි.

භීසපුෂ්ප ජාතකයේ අසත්පුරුෂයාගේ චරිතය රඟ පෑ වෛද්‍ය ශිෂ්‍යයා පොකුණට බැස්සේ විසිඑක් වන ශතවර්ෂයේ දුම්වැටියක් උරමිනි. අසත්පුරුෂභාවය ප්‍රකාශනය කරන්නට ඔහු දුම්වැටිය සංකේතයක් ලෙස යොදන්නට ඇත.

බිළාරමත ජාතකයේ මීයකුගේ චරිතය රඟ පෑ රෝගී තරුණයා, මී ගුහාවේ තම සගයින් අන්තර්ධාන වීම පිළිබඳ ව රාජ්‍ය කොමිසමකට සාක්‍ෂි ඉදිරිපත් කළ යුතු බවට තර්කයක් ඉදිරිපත් කෙළේ ය.

ලටුකික ජාතකයේ චණ්ඩ හස්ති චරිතය රඟ පෑ රෝගියා, කැටකිරිල්ලිය ඇගේ පැටවුන් නොපාගා වෙනත් මගකින් යන ලෙස ඇය ආයාචනා කළ විට, තමාට වනයේ තමා කැමති මගකින් යෑමට බාධාවක් කළහොත් මානව අයිතිවාසිකම් සංවිධානයට දන්වන බවට තර්ජන කළේ ය. මේ කියුම් සැම ඒ ඒ අවස්ථාවලදී රංගනයේ යෙදුණ අයගේ සිත් තුළට ක්ෂණික ව ආ හැඟීම්වල ප්‍රකාශන වශයෙන්, චිකිත්සාවට අදාළ ය.

දේශසීමා ඉක්මවීම

ශේක්ස්පියර් ඊට ඔබ කැමති සේ  (As you like It) නමැති දෘශ්‍ය කාව්‍යයේ චරිතයක් වන ඒවියන්ස් ගැයූ ගීතයක් වන ‘සීත සෘතුවේ මාරුතයාණෙනි, හමන්න! හමන්න!’ යන අමරණීය ගීතය (Blow, Blow, Thou Winter wind) ප්‍රබන්ධ කෙළේ, එංගලන්තයේ ආඩන් වනාන්තරය පසුබිම් කරගෙන ය. ඔහු සීතල මාරුතයට උපමා කෙළේ මිනිසාගේ ආකෘතඥතාවය යි. මිනිසාගේ අකෘතඥභාවය එංගලන්තයට සීමා නොවේ. එය මුළු ලෝකයටම පැතිර යන ලක්‍ෂණයකි.ඊට දේශ සීමා නැත.

එමෙන් ම මඛාදේවජාතකයේ වේදේහ රාජධානියේ මඛාදේව රජතුමාට නරකෙසක් දැකීමෙන් පහළ වූ කළකිරීම ජම්බුද්වීපයට සීමා වූවක් නොවේ. එය ද දේශ සීමා ඉක්මවා පැතිරී තිබෙන්නකි. ජාතක කතාවල පිහිටි මෙම දේශසීමා ඉක්මවන ලක්‍ෂණය නිසා එම කතා ඕනෑම දේශයක මනෝරංග චිකිත්සාවට සුදුසු තේමා සපයයි.

නාට්‍යමය ලක්‍ෂණ

ජාතක කතා, නාට්‍යමය ලක්‍ෂණ අතින් මනෝරංග චිකිත්සාවට කොපමණ සුදුසුදැයි පෙන්වා දීමට, එක් උදාහරණයක් ලෙස පන්සිය පනස් ජාතක පොතෙහි දෙ වන කතාව, එනම් වණ්ණුපථ ජාතකය ලබන පෝ දා ‘බුදුසරණ’ පතින් විස්තර කරන්නෙමි. තුණුරුවන් සරණයි


මෙම ලිපිය විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා හදිසියේ මිය යෑමට ප්‍රථමයෙන් අප වෙත ලියා එවන ලදී. බුදුසරණෙහි සතිපතා පළවන සම්බුදු දහම හා අනුගතවූ මනෝවිද්‍යාව පිළිබඳ පුළුල් විග්‍රහයක් එතුමාගේ ලිපි මඟින් අනාවරණය වෙයි. ලබන පෝදා පළකෙරෙන ලිපිය පිළිබඳව ද හරිශ්චන්ද්‍රයන් ලිපිය අවසානයේ මතක් කර දී තිබෙයි. කවදා, කොතැන, කෙලෙස, කොයි මොහොතක, කුමන වෙසකින් මරණය අප වෙත ළඟා වෙන්නේ දැයි අපි නොදනිමු. ඒ ධර්මතාවයට හරිශ්චන්ද්‍ර මනෝ වෛද්‍යතුමාද ගොදුරු විය. පහන් සිතින් බුදුසරණෙහි ඔබ වෙනුවෙන් නැවත නැවතත් ලියන්නට ලියන මේසය අසල හිඳගන්නට සිතා සිටි ඔහු කිසිදා නො නැඟිටින ලෙස සැතපී හමාර ය.

වෛද්‍යාචාර්යතුමනි, ඔබ මාධ්‍යයකට ලියූ අවසාන ලිපිය ද මෙය විය හැක. මෙලොව හැර ගියද ඔබ නොමළ මිනිසෙකි සුහද සිත්තර යහපත අපේක්‍ෂා කළ මිනිසුන් අතර, සැදැහැති බෞද්ධ සහෘදයන් අතර, පහනක ආලෝකය ද මලක සුවඳසේ ද ඔබගේ ගුණ සුවඳ හෙටත් අපට දැනෙනු ඇත. යහපත් ගති හෙබි මානව ගුණ පිරි හරිශ්චන්ද්‍ර මැතිඳුණි, ඔබගේ සසර මඟ කෙටි වනු ඇති බව අපගේ විශ්වාසයයි. නිවනට මෙපිට ඒ කෙටිමංපෙතේ තවත් නවාතැන් පොළකදී නැවත අපි හමුවෙමු!


බුද්ධ ධර්මය සහ මනෝවෛද්‍ය විද්‍යාව - 13 මනෝරංග චිකිත්සාව