Print this Article


කසාවතක් අතුරා අසුනක් පිදූ පිනෙන් ස්වර්ණමය පීඨිකාවක් ලත් දෙවඟන

විමාන වත්ථු කථා පුවත් - 03

තෘතිය පීඨ විමාන වත්ථුව

කසාවතක් අතුරා අසුනක් පිදූ පිනෙන් ස්වර්ණමය පීඨිකාවක් ලත් දෙවඟන

මේ සා විශාල ඓශ්වර්යයක් ලැබීමට මිනිස් ලොව දී මා කළ පින්කම ඉතා ලඝු එකකි. මහත් වූ පුණ්‍ය කර්මයක් කිරීමට තරම් වත්කමක් මා සතුව නොතිබුණත් රත්නත්‍රය කෙරෙහි අතිමත් ශ්‍රද්ධාවෙන් මම පොහොසත් වීමි, එබැවින් මා කළේ අතිමහත් ශ්‍රද්ධාවෙන් යුතුව ලඝු කුසලයක් පමණි. එනම්, පිඬු සිඟා වැඩීමෙන් ලත් ආහාර වැළඳීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටි සිල්වත්, ගුණවත් තෙර නමකට වැඩ හිඳීමට ආසනයක් පූජා කිරීම යි

සුපේශල, ශික්‍ෂාකාමී තෙරුන් වහන්සේ නමක් රජගහනුවර පිඬු පිණිස වැඩම කළහ. තමන්ට යැපීමට අවශ්‍ය ප්‍රමාණයට දන් ලැබුණු උන්වහන්සේ එය වැළඳීමට සුදුසු ස්ථානයක් සොයමින් පිය නැඟූහ. මහා මාර්ගයේ දන් වැළඳිය නොහැකි නිසා සෙවණ සහිත වෘක්ෂ මූලයක් ද අවට නොවූයෙන් උන්වහන්සේ තවත් ඉදිරියට පිය නැඟූහ. කාල වේලාවද ක්‍රමයෙන් ගෙවී ගිය බැවින් විවෘතව පැවැති දොරක් සහිත කුඩා නිවසක් දුටු තෙරුන් වහන්සේ ඒ වෙත වැඩම කළහ.

ගෙහිමි කාන්තාව දිළිඳු වුව ද ශ්‍රද්ධා සම්පන්න ය. තෙරුවන් කෙරෙහි භක්තිමත් ය. අනාරාධනයෙන් තම නිවස වෙත වැඩම කළ තෙරුන් වහන්සේ කෙරෙහි ඇය පැහැදුණාය. තම නිවසෙහි වූ හොඳම ආසනයට කහ පැහැති වස්ත්‍රයක් ඇතිරූ ඇය තෙරුන් වහන්සේට එහි වැඩහිඳීමට ආරාධනා කළා ය. රහතන් වහන්සේ ද මහත් කරුණාවෙන් එහි වැඩ හිඳ දන් වැළඳූ සේක. අනතුරුව භුක්තානුමෝදනාවට සවන් දුන් ඕතොමෝ මහත් සතුටට පත්ව, එම ආසනය මහා සංඝයා විෂයෙහි ම පූජා කර මේ පිනෙන් මතු ආත්ම භවයේ දී ස්වර්ණමය පීඨිකා ලැබීමට හේතු වාසනා වේවායි ද ප්‍රාර්ථනා කළා ය. රහතන් වහන්සේ ද ඈ කෙරෙහි මහත් අනුකම්පාවෙන් ආශිර්වාද කර ආසනය පිළිගෙන මහා සංඝයාගේ පරිහරණය සඳහා විහාරයට යැවූහ.

කර්මානුරූප ව මිය පරලොව ගිය ඈ ඉහත කී පින්කමේ ආනිශංසයෙන් තව්තිසා දෙව්ලොව උපත ලැබුවා ය. යස ඉසුරින් ද, රූප ශෝභාවෙන් ද, සිතූ පැතූ සම්පත්තියෙන් ද ආඪ්‍යව උපන් ඇයට ස්වර්ණමය පීඨිකාවක් ද පහළ විය. අවශ්‍ය වූ විට හිඳ ගැනීම සඳහා ආසනයක් වශයෙන් ද ගමන් බිමන් යාම සඳහා අවශ්‍ය වූ විට ජව වේග සහිත රථ වාහනයක් වශයෙන් ද භාවිතා කළ හැකි එය, හාත්පස ආලෝකවත් කරමින් බබළන්නා වූ අපූරු නිර්මාණයක් විය. එම දිව්‍යාංගනාව මෙසේ තමන්ට පහළ වූ යස ඉසුරු භුක්ති විඳිමින් මහත් පී‍්‍රතියෙන් කල් ගෙවද්දී මුගලන් මහ රහතන් වහන්සේ සිරිත් පරිදි තව්තිසා දෙව්ලොව වැඩ එහි චාරිකාවෙහි යෙදෙන්නට වූහ. එහිදී ස්වර්ණමය පීඨිකාව මත හිඳ සංචාරය කරන දිව්‍යාංගනාව තෙරුන් වහන්සේට හමු විය.

සම්පත් ලැබූවන්ගේ මුවින් ම සම්පත් ලැබීමට හේතු වූ පුණ්‍ය කර්ම ප්‍රකාශ කරවීම උන්වහන්සේගේ අභිමතාර්ථය වූයෙන්, තමන් වහන්සේ වෙත එළඹ පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව හුන් දෙවඟන ගෙන් මෙසේ විචාළහ. “පින්වත් දේවතාවිය, ඔබ අතිශය ශෝභාසම්පන්න ය. මහත් වූ දිව්‍ය ඓශ්වර්යයෙන් ද යුක්ත ය. මහත් ජව වේග ඇති අලංකාර ස්වර්ණමය පීඨිකාවක් ද පරිහරණය කරන්නීය. අනෙකුත් දෙවඟනන් අතුරින් කැපී පෙනෙන ලෙස මේ සා විශාල දිව්‍ය ඓශ්වර්යයක් ලැබීමට මිනිස් ලොව දී කවර නම් පින්කමක් කළෙහි ද?”

දොහොත් මුදුන් තබා ගත් ඇය උන්වහන්සේගේ පැනයට මෙසේ පිළිතුරු දුන්නා ය.

“ස්වාමීනි, මේ සා විශාල ඓශ්වර්යයක් ලැබීමට මිනිස් ලොව දී මා කළ පින්කම ඉතා ලඝු එකකි. මහත් වූ පුණ්‍ය කර්මයක් කිරීමට තරම් වත්කමක් මා සතුව නොතිබුණත් රත්නත්‍රය කෙරෙහි අතිමත් ශ්‍රද්ධාවෙන් මම පොහොසත් වීමි, එබැවින් මා කළේ අතිමහත් ශ්‍රද්ධාවෙන් යුතුව ලඝු කුසලයක් පමණි.එනම්, පිඬු සිඟා වැඩීමෙන් ලත් ආහාර වැළඳීමට සුදුසු ස්ථානයක් සොයමින් සිටි සිල්වත්, ගුණවත් තෙර නමකට වැඩ හිඳීමට ආසනයක් පූජා කිරීම යි. එකල මා සතුව තිබූ හොඳම ආසනයට කසාවන් වස්ත්‍රයක් අතුරා පූජා කර ඒ පින් බෙලෙන් ස්වර්ණමය පීඨිකාවක් ලැබේවායි මම ප්‍රාර්ථනා කළෙමි. මේ සියලු ඓශ්වර්යයන් ලැබුණේ ඒ ලඝු වූ පින්කමෙහි ආනිශංස වශයෙනි. “දෙවඟනගේ ප්‍රකාශය නිමිති කරගෙන දෙව්ලොව දෙවි දේවතාවනට පින්කම් කිරීමේ අගය වටහා දුන් මුගලන් තෙරණුවෝ මිනිස් ලොවට වැඩම කිරීමෙන් පසු මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට සැළ කළහ. බුදුරජාණන් වහන්සේ ද එයම මාතෘකා කර ගනිමින් පැවැත් වූ ධර්ම දේශනය රැස්ව සිටි සිවුවනක් පිරිසගේ හිත සුව පිණිසම හේතු විය.