පින අතේ ඇති ධනය යි
ශි‍්‍ර ජයවර්ධනපුර ව්ශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
මම ලිපියේ දෙවන කොටස “යහපත් සගයෙකු නොමැති නම් කඟවේනකුමෙන් ජීවත් වන්න
යනුවෙන් මාර්තු හතර වනදා පත්‍රයේ පළ විය. අද පළවෙන්නේ එහි අවසන්
කොටසයි.
” ඵුට්ඨස්ස ලොකධම්මෙහි
චිත්තං යස්සන කම්පති “
ලෝකධර්ම ස්පර්ශ කරමින් කෙස් ඉදීම, දත් හැලීම , හම රැලිවැටීම ආදිය ඔබගේ
ජීවිතයේ සිදුවන කල්හි හිත කම්පා නොවී තබාගැනීම ආදිය මංගල කරුණු වේ. ඒ
මහලු වියට ඇමතීමකි.
මරණය ධර්මතාවයක් විනා අවශ්‍යතාවයක් නොවේ. එ හෙයින් ඒ ඒ ධර්මතාවයට
මුහුණදීම පිණිස අප ශක්තිමත් විය යුතුය. ලෝකයේ පවතින යම් යම් දේ ධර්මතා
ලෙස දකින්නෝ කම්පා නොවෙති.
එවන් අකම්පිත ජීවිතයක් ඇතිකර ගැනීම වැදගත්ය. ප්‍රායෝගික බෞද්ධකමක්
නොමැති නම්, හුදෙක් පන්සලට යාමෙන්, මල් පූජා කිරීමෙන්,බෝධිපූජා
තැබීමෙන් විවිධ පූජාවන් සිදුකිරීමෙන් ,දන්දීමෙන්, බෞද්ධ චරිතය පූර්ණ
නොවන බව සිතෙහි ධාරණය කරගන්න. නියම බෞද්ධජීවිතය සකස් වන්නෙ බුදුදහමේ
අන්තර්ගත දාර්ශනික පදනම මතය.
බුදුරදුන් වෙත ගොස් මල් පුදා අප ප්‍රාර්ථනා කරන්නේ කුමක්ද? අපි වෙනත්
ආගමික සිද්ධස්ථාන බලවේග,දෙවිවරු වෙත ගොස් පුද පූජා පවත්වා විවිධ
අඩුපාඩු සපුරා දෙනමෙන් ඉල්ලමු. එම ඉල්ලීමේ පදනම ලෝභයයි. එසේ නම් ලෝභය
පදනම් කොට පිනක් සිදුවේද? නැත.
“යාදිසං වපතෙ බීජං
තාදිසං හරතෙ ඵලං”
වපුරන බීජවලට අනුව අස්වැන්න ලැබේ. අප වපුරා ඇත්තේ ලෝභ සිතිවිල්ලකි.ලෝභ
සිතිවිලි තුළ කුසලයක් අත්නොවෙනු ඇත.
අපි බුදුරදුන්ට මල් පුදා කිසිවක් නොඉල්ලන මුත් පහත සඳහන් ගාථාව
සජ්ඣායනා කරමින් වන්දනා කරමු.
“පුප්ඵං මිලායාති යථා ඉදම්බී
කායො තථායාති විනාසභාවං”
මේ මල් මැලවෙන්නා සේ අපේ කය ද වැසෙන්නේය. ඒ සිහිපත් කිරීමට අපි
කායානුපස්සනාව කියමු. එසේම “නමාමි බුද්ධං ගුණසාගරන්තං” එම ගාථා පාඨය
සජ්ඣායනා කිරීමෙන් බුද්ධානුස්සතිය හෙවත් බුදුගුණ සිහිකරමු.
“ සත්තා සදා හොන්තු සුඛී අවෙරා “ සියලු සත්ත්වයෝ අවෛරී වෙත්වා යනුවෙන්
සජ්ඣායනා කිරීමෙන් මෙත්තානුස්සතිය සිදුකෙරේ.
කායො ජිගුජෙඡා සකලො දුගන්ධො” මේ ශරීරය දුගඳ හමන්නකි. සියලු අතින්ම
පිළිකුල් ය. එසේ එම ගාථා පාඨය සජ්ඣායනා කිරීමෙන් අසුභ භාවනාවන්
සිදුකෙරේ.
ගච්ඡන්ති සබෙබ මරණං අහංච “ මාද සෙස්සන් ද ආදි වශයෙන් සියල්ලෝම මරණයට
පත්වෙති. එහිදි අපි මරණානුස්සතිය වඩමු.
මෙනයින් බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති ආදී
වශයෙන් අනුස්සති භාවනා හතරක් ඉහත ගාථාව තුළින් වැඩීම සිදුවේ. නිවැරැදි
අවබෝධයෙන් මෙම ගාථා සජ්ඣායනා කොට බුදුරදුන් පුදන්නේ නම් බෞද්ධයා කෙතරම්
දාර්ශනික චින්තනයක් තුළ බුදුරදුන් පුදන්නේ ද?බුදුරදුන් පිදීමේ ගාථා
අතිශයින් වැදගත් අරුත් ජීවිතයට ගෙන දේ.
සර්ව ආගමික සංකල්පය අද අප රටේ පවතින වැරැදි ආකල්පයකි. සියුල ආගමිකයන්
සහයෝගයෙන් සිටිය යුතු බව අපි කවුරුත් පිළිගනිමු. එහෙත් වෙනත් ආගම්
පිළිවෙත් හා සසඳන කල්හි බුදුදහමේ පිළිවෙත් මුළුමනින්ම වෙනස්ය.
ප්‍රධාන වශයෙන් මැවුම්කාර දෙවියෙක් පිළිබඳව වෙනත් ආගම් විශ්වාස කරන
මුත් බුදු දහමේ එවන් අයෙකු නොමැත.
“ නයිදං අත්තකතං බිම්බං
නයිදං පරකතං අඝං
හෙතුං පටිච්ච සම්භූතං
හෙතුභඞ්ගා නිරුජඣති”
මෙම ජිවිතය අප හදාගත් දෙයක් හෝ අපට කවුරුත් හදාදුන් දෙයක් හෝ නොවේ.
හේතුඵල න්‍යාය මත ඇතිවූවකි. හේතු නැතිවීම නිසා නැතිවන්නකි. බුදුදහම
මැවුම්කාර පදනම පිළිකෙව් කරන්නේ ඒ හෙයිනි.
එසේම බුදුදහමේ පණිවිඩකාරයෙක්ද නොමැත.
ඉන්දියාවේ කිඹුල්වත් නුවර රාජ්‍ය කළ සුදොවුන් නම් රජුට දාව මහාමායා
බිසවුන් කුසින් මිනිස් දරුවෙකු ලෙස ඉපිද,මිනිසෙකු ලෙස ජීවත් වී,
මිනිසෙකු විසින් මුහුකුරා යායුතු උපරිමයට බුද්ධිය දියුණුකොට, බුද්ධත්වය
අවබෝධ කළ උතුම් මිනිසෙකි. ඉතිහාසයක් නැති දෙවියෙකුට වඩා ඉතිහාසයක් ඇති
මිනිසෙකු බෞද්ධ අපගේ ශාස්තෘවරයා වීම පිළිබඳව අපි බොහෝ සතුටු වෙමු.
එසේම සියලුම ආගම්හි අවසාන තීන්දුවක් ඇති අතර, බුදුදහම හැර වෙනත් ආගම්හි
අවසාන තීන්දුව ලබාදෙනුයේ මැවුම්කාරයා විසිනි. බුදුදහමේ ද නිවන් අවබෝධ
කිරීම පරම අරමුණ වුවද එය අප විසින්ම සලසා ගතයුත්තකි.
“අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තාන අකතං පාපං
අත්තනා ච විසුක්‍ධති
සුද්ධී අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤඤං විසොධයෙ”
තමන් කළ පව් තමන් කෙලසයි. තමන් කළ පින් තමන්ව පිරිසුදු කරයි.පිරිසුදු
බවේ හෝ අපිරිසුදු බවේ වගකීම තමා සතුය.කව්රුත් කාවවත් පිරිසුදු නොකරති.
බොහෝ ආගම්හි පව් සමාකිරීමක් දකින්නට ඇත. බුදුදහමේ පව් සමාකිරීමක්
නොමැති මුත් වැරැදි සකස්කර ගැනීමක් පිළිබඳව කතා කෙරේ. වෙනත් ආගම්වල
මෙන් පව් සමාකිරිමක් බුද්ධාගමේ නැත්ද? යන පැනය අද බොහෝ දෙනකු විමසන
කාරණයයි.
“කායෙන වාචා චිතෙන – පමාදෙනමයා කතං
අච්චයං ඛම මෙ භන්තේ– භූ®රිපඤ්ඤ තථාගතං “
මෙහි පව් සමාකිරිමක් නොමැති අතර ඉන් අප කරනු ලබන වැරැදි නිවැරැදි
කිරීමක් අදහස් කෙරේ.
“අචචයං අවච්චයොත දිස්වා යථාධම්මං පටිකරොති”
වැරැද්ද වැරැද්ද ලෙස දැන නැවත නොකිරීමට විනා පවට බුදුදහමේ සමාවක්
නොමැත. කළ අකුසලය එසේම පවතී. පව් සමා කිරිමත්, පව සෝදා දැමීමත්, පව්
භාරගැනීමත් බුදුදහමේ නොමැති හෙයින් බුදුදහම සෙසු ආගම් සමඟ සමාන නොවන
අතර, බෞද්ධයා පවට බිය විය යුතුම ය.
බුදුදහම හැර සෙසු ආගම්හි බ්‍රහ්ම සහව්‍යතාවය හෙවත් බ්‍රහ්මයා ළඟට යාම
දිව්‍යසහව්‍යතාවය හෙවත් දෙවියන් ළඟට යාම සිදුවෙතත් බුදුදහමේ කථාකෙරෙන
පරම ශාන්ත නිවන ස්ථානයක් හෝ පුරයක් නොවේ. බුදුරජාණන් වහන්සේ පහන හා
සම්බන්ධ කර මෙවන් දේශනාවක් රතන සූත්‍රයේදී කළ සේක.
“ තෙ ඛීණබීජා අවිරුළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යතායම්පදීපො”
බීජ ක්ෂය කර ඇති හෙයින් සසර ඉපදීමට බීජ නැත. නැවත නැගෙන ඡන්දයක් නොමැති
හෙයින් සසරට අදාළ හේතු නැත. පහන නිවි ගියාසේ නිවෙති.
දැල්වූ පහනක් නිවීගිය පසු දැල්ල ගිය දිසාව සොයාගත නොහැක.
එය බෞද්ධ සංස්කෘතියෙහි මෙසේ දැක්වේ.
“දීපො යථා නිර්වෘතිමභ්‍යුපෙතො
නෛවාවනනිං ගච්ඡාති නානත්රීක්‍ෂං
දිසන්නකාඤචිත් විදීසං න කාඤචිත්
සෙනහක්‍ෂයා කෙවලයාන්ති ශාන්තිම් “
පහන නිවුණූ පසු යටට යාමක් හෝ උඩට යාමක් හෝ නැත. කිසිම දිසාවකට ද නොයයි.
තෙල් අවසන් වී පහන නිවුණි.
මෙම කව දීපක අලංකාරයකි. ස්නේහ යනු පාලියෙන් හා සකුවෙන් තෙල්වලට කියන
නමකි. එමෙන්ම ඇල්මටද ස්නේහ කියයි. සසරට ඇති බැම්ම හෙවත් ඇල්ම අවසන් වූ
කල්හි අපි මුළුමනින්ම ශාන්තියට පත්වෙමු. දෙවියෙකු ළඟට යාමක් නොව පහන
නිවුණාසේ පරම ශාන්ත සුන්දර නිවනට පත්වෙමු.
ඉහත කී කාරණ දෙස බලන කල්හි සර්වාගමික සංකල්පය අර්ථ රහිතය.
අප කරන පව් අපට දුක ලබාදෙන බවත්,අප කරන පින් හේතුවෙන් අප සැප ලබන බවත්,
ඒ අනුව අපගේ විමුක්තිය අප විසින්ම සලසා ගත යුතුබවත් පැහැදිලිය. ඒ
හෙයින් බුදුන්වහන්සේ
”අත්තදීපා විහරථ අත්තරසණා අනඤ්ඤසරණා “
යනුවෙන් තමා තමාගේ දීපය වන්න අනුන්ගේ සරණ අපේක්ෂා නොකරන්න යැයි
අනුශාසනා කළ සේක.
ඔබ හැම වක්කලී හිමිගේ කථාව දනිති. අමා ගඟුල ග්‍රන්ථ මාලාව තුළත්,වෙනත්
විවිධ අවස්ථාවන්හිදීත් ඔබ මෙම කථාව අසා කියවා ඇත. බුදුරුවට ඇල්මෙන්
පැවිදි වු වක්ඛලී හිමියන්ට තමන් වහන්සේගේ කුණුවන ශරීරය දෙස බලා
හිඳීමෙන් පලක් නොවන බවත්, ධර්මය දැන හෙවත් අවබෝධ කොට ධර්මය තුළින් තමා
දකින ලෙසත් බුදුන් වහන්සේ දේශනා කළ සේක.
ඔබට බුද්ධ පරිනිර්වාණය සිදුවූ අවස්ථාව මතක ඇත. දඹදිව කුසිනාරා නුවර
උපවර්තන සල් උයනේ පිහිටි පිරිනිවන් මංචකයෙහි ඒ අවස්ථාව බොහෝ සංවේගජනක
ලෙස කදිමට මූර්තිමත් කර ඇත.
ශාසන ඉතිහාසයේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේගේ පිරිනිර්වාණය සිදුවන
මොහොතේ භික්‍ෂූන් වහන්සේලා වැළපුණහ.රහතන් වහන්සේලා ධර්ම සංවේගය
ඇතිකරගත්හ. භාවනාවේ යෙදෙමින් එහි සිටි ධම්මාරාම හිමිගේ ස්වරූපය දුටු
භික්ෂූන් වහන්සේලා බුදුන් වහන්සේට ඒ පිළිබඳව පැමිණිලි කළ කල්හි “
මහණෙනි, ධම්මාරාම තමයි මට නිසි ගෞරවය දක්වන්නේ යැයි සතුටට පත්වු සේක.
බුදුන් වහන්සේට දක්වන නිසි ගෞරවය මල් පහන් පිදීම නොව ආධ්‍යාත්මික
සන්හිඳියාව ඇතිකර ගැනීමය ශ්‍රද්ධාව ඇති කර ගැන්ම වෙනුවෙන් මල් පහන්
පිදීම අවශ්‍ය කාරණාවකි. මල් පහන් පිදීම වරදක් ලෙස නොදැකිය යුතුය.මල්
පහන් පිදීම ලෝක යථාර්ථය හා සම්බන්ධ කොට අනුස්සතියෙන් කළයුතු පින්කමකි.
බුද්ධ පරිනිර්වාණය මොහොතේ ඔබ වහන්සේ පිරිනිවන් පෑ පසු අපි කුමක් කළ
යුතුවෙමුදැ’යි ආනන්ද හිමි විචාළ සේක
”අඛ්‍යාවටා තුමෙහ ආනන්ද හොථ තථාගතස්ස සරීරපූජාය”
ආනන්ද ඔබ තථාගත ශරීර පූජාවට සූදානම් නොවන්න, රටෙහි රජ දරුවන් එම කටයුතු
කරනු ඇත යනුවෙන් අනුදැන වදාළහ. උන්වහන්සේගේ එම ප්‍රකාශය තුළින්
උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා නොකළ යුතු යැයි අදහස් නොකෙරේ. තමන්
තමන්ගේ විමුක්තිය සලසා ගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව
නිරන්තරයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වා දී ඇත. බෞද්ධයන් ලෙස අප කරන කියන දෑ
සම්බන්ධයෙන් අප ඉතා හොඳ වැටහීමකින් කටයුතු කළ යුතුය.
පින් නිසා සසර දිගුවන නිසාත් පව් නිසා සසර දුක ඇතිවන නිසාත් කියමින් අද
සමහරු පින් පව් දෙකම අත්හැරිමට සූදානම්ව සිටිති.
එහෙත් පින් අපට අපගේ අතේ ඇති ධනයක් වන අතර පව් අප ගත් ණයක් මෙනි. අතේ
ඇති ධනය අපට වැය කිරීමට හෝ තැන්පත් කිරීමට හැකිමුත් ණය නම් ගෙවිය යුතුම
ය. සසර දුක් නැතිකර ගැනීම පිණිසත්, නිවන්සුව ලබාගැනීම පිණිසත් මග පාදා
දෙන්නේ පින් විසිනි.
දානය සග්ග, ස්වර්ග මානුස සම්පත් දීමට හේතුවන අතර දානය මුහුකුරා ගිය
කල්හි එය මෝක්ෂයයද උපනිශ්‍රය වේ. අත්හැරිම බුදුරුවන නිසා දානය නිවනට
හේතුවේ. බුදුන් වහන්සේ පිනට බය නොවන ලෙස මෙසේ වදාරා ඇත.
”මා භික්ඛවෙ, පුඤ්ඤනං භායිත්ථ “
පවට බියවන්නා පින ද අත්හැරි කල සසර දුක් අවසන් කරන්නේ කොතැනදීදැ’යි
නොදනිති. ඒ හෙයින් සසර දුක් කෙළවර කරන තෙක් අපට පින තිබීම මාර්ගපෝකරණ
ඇති සේය.
පින් කිරීමටද පින් අවශ්‍යය.දීමට යමක් ඇත.ලැබීමට අයෙක් ද සිටියි. එහෙත්
දීමට සිත් නොදේනම් පින් කරගත නොහැකිය. දීමට යමක් තිබීම, දීමට සිත සකස්
වී තිබුණත් ලැබීමට අයෙක්නොමැතිවිටද අපට පින් කරගත නොහැකිය. දීමට සිත්
වුවත්, ලැබීමට අයෙක් සිටිය ද දීමට යමක් නැත්නම් එහිදීද පින් කර ගත
නොහැකි ය. දීමට යමක් නැතිවිට දුකක් හටගනියි. ඒ අනුව පින් කර ගැනීමට
පින් අවශ්‍ය බැව් පැහැදිලිය. යමෙක් වෙත මුදල් ඇතත් ලැබීමට යමෙක් සිටිය ද
දීමට සිතක් නොමැත්තේ නම් එහි මානසික බියකරු බවක් ඇත. දන්දීම කඩු ගිලීමේ
ක්‍රියාවකට වඩා අපහසු කටයුත්තකි.
පින් කිරීමට වඩා පව්කිරීම පහසු අතර ඉන් සතුට ද ලැබිය හැකිය. එහෙත් ඒ
සතුට තාවකාලික සතුටකි. සතුන් දඩයම් කිරීම වැනි පව්කාර ක්‍රියා තුළින්
බොහෝ දෙනා තාවකාලික සතුටක් ලබන අතර, පසුව දුකට පත්වෙති.
ඉහත අප සාකච්ඡා කළ ධර්ම කාරණා ඉතා හොඳින් විමංසනය කොට ඔබගේ විමුක්තිය
සලසා ගැනීම පිණිස ඔබ සතු වගකීම හොඳින් වටහා ගනිමින් සිත සකස්කොට පින
පවා හඳුනාගෙන ඉදිරියට යන මෙන් සිහිපත් කරමි. |