Print this Article


පූජාච පූජනීයානං


කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහ නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ නිර්මාතෘ ප්‍රථම මහානායක පුරා විද්‍යා චක්‍රවර්ති, රාජකීය පණ්ඩිත මහාචාර්ය කඹුරුපිටියේ ශ්‍රී වනරතනාභිධාන මහා නා හිමියෝ ලාංකීය සසුන තුළ කලාතුරකින් පහළවන ශ්‍රේෂ්ඨ පඬිරුවනකි.

මාතර කඹුරුපිටිය මගමුරේ ග්‍රාමයේදී මගමුරේ ගම්පති ඩී.එච්. කරුණානායක රාළහාමි හා දෝන සිසිලියානා සෙනෙවිරත්න මැතිණියගේ පුත්‍රයෙකු ලෙස 1911 නොවැම්බර් මස 27 වන දින උපන් කුමරු පේද්‍රික් කරුණානායක නම් විය. මූලික අධ්‍යාපනය මාර/නාරන්දෙණිය මහා විද්‍යාලයෙන් ලබන අතර 1924 සැප්තැම්බර් මස 12 වන දින කඹුරුපිටිය විලේගොඩ පුරාණ විහාරස්ථානයේදී ඌරාපොළ පුරාණ විහාරාධිපති අකුරුගොඩ ශ්‍රී රතනජෝති මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කඹුරුපිටියේ වනරතන හිමි නමින් පැවිදි විය.මාතර කිතුලේවෙල ජය මහා විහාර විද්‍යායතන පිරිවෙණට ඇතුළත්ව සිංහල, පාලි, සංස්කෘත, තර්ක ශාස්ත්‍රය, පුරා විද්‍යාව ඡන්‍ද්‍රාලංකාර විෂය ධාරා තුළින් සමත්ව ප්‍රාචීන පණ්ඩිත උපාධිය ලැබූ වනරතන හිමියෝ උගත මනා බණ දහමින් හා සපිරුණු විසි වයසින් යුක්ත වූ හෙයින් 1931 වසරේදී මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබූහ. 1936 තම ගුරු කුලය වූ කිතුලේවෙල ජයමහා විහාර පිරිවෙණේ උපාචාර්ය ධුරයකට පත් වූ අතර 1945 සපුගොඩ විද්‍යා නිකේත පිරිවෙණේ පරිවේණාධිපති ධුරයටද 1950 දී තම විහාරස්ථානයේදි සිය ගුරුහිමියන්ගේ නාමානුස්මරණය කොට ශ්‍රී රතනජෝති නමින් පිරිවෙණ ආරම්භ කළහ. 1956 දී ආණ්ඩුකාරතුමා අතින් ශ්‍රී ලංකා අත් ලිපි කොමිසමේ සාමාජිකත්වයටද 1959 විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ධුරයටද 1963 දී සහකාර කථිකාචාර්ය ධුරයට ද ස්ථීර පත්වීම් ලද වනරතන හිමියෝ 1966 දී පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා එම වර්ෂයේම දෙවැනි ශ්‍රේණියේ කථිකාචාර්යවරයෙකු බවට පත්ව 1974 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයට මෙන්ම පුරා විද්‍යා අධ්‍යයන අංශාධිපති ධුරයට ද පත් වූහ.

1970 සැප්තැම්බර් මස 27 වන දින ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ පවත්වා ආචාර්ය උපාධිය ලැබූහ. මේ අතර ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ උප සභාපති, සභාපති තනතුරුවලට ද ගඟබඩපත්තුව ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ධුරයටද 1966 මල්වතු පාර්ශ්වයෙන් දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ධුරයටද 1972 පුරා විද්‍යා විශේෂඥ උපදේශන මණ්ඩලයටද 1974 දී ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ උපදේශක ධුරයද 1974 දී මාතර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති ධුරයද 1977 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දර්ශන විශාරද (පී.එච්.ඩී) උපාධියත් 1982 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන මණ්ඩලය සාමාජිකත්ව ලැබ පුරා විද්‍යා අධ්‍යනාංශ අධිකාරි ධූරයද 1986 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් (ඩී.එල්) ශාස්ත්‍රශූ®රී උපාධිය පිරිනමා කටයුතු කළ වනරතන නාහිමියෝ 1986 දී ජනාධිපති අතින් පුරා විද්‍යා චක්‍රවර්ති උපාධිය ලැබූහ.

මේ කාල සීමා තුළ විදෙස් රටවල සංචාරය කරමින්ද ලාංකීය පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂණ කරමින් කටයුතු කළ වනරතන නා හිමියෝ පුරාවිද්‍යාත්මක පොත් පත් රාශියක් ලියා පළ කළහ.පනාකඩුව තඹ සන්නස සොයා ගැනීම ආදි පුරාවිද්‍යාවේ ප්‍රගමන උදෙසා අපමණ වෙහෙස වී ක්‍රියා කළ වනරතන නාහිමියෝ දක්‍ෂිණ ලංකා ශ්‍යාමෝපාලි මහා නිකායේ ප්‍රාදේශිය සංඝ සභාව ” ශ්‍රී රෝහණ මහා සංඝ සභාව බවට ප්‍රතිසංවිධානය කොට ධර්ම විනයානුකූල ශ්‍රී රෝහණ පාර්ශ්වය බිහිකළ සානුනායක විංශද් වර්ගික කාරක මහා සංඝ සභාවේ ඒකමතික තීරණයෙන් වනරතන නාහිමියෝ මහානායක ධුරයට පත්වූහ.

සම්බුද්ධ ශාසනයටත් ජාතියටත් නොනිම් මෙහෙවරක නියැලී මහානාහිමියෝ 1998 නොවැම්බර් මස 23 වන දින අපවත් වී වදාළහ.

මහා නා හිමි සමරා වත්මන් විහාරාධිපති, ශ්‍රී රෝහණ පාර්ශ්වයේ සහකාර ලේඛකාධිකාරි’ පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති ගෝණදෙනියේ තපස්සි හිමි ඇතුළු සිසු පිරිස හා ශ්‍රී රෝහණ මහා සංඝ සභාව විවිධ පින්කම් සිදු කරති.


රද්දොළුවේ විමලවංශ හිමි

ගම්පහ දිස්ත්‍රික්කයේ රද්දොළුව ගම් පියසෙහි සම්භාවනීය පවුලක් වූ වෛද්‍යාචාර්ය පී. සලමොන් පෙරේරා හා ටී.ජෙනී චාලට් පීරිස් දම්පතීන්ට දාව 1945 ජනවාරි 18 වන දින උපන් කුමරුවා පෙර පින් මහිමය නිසා කුඩා කල සිටම එම දරුවාගේ සිතේ බුදුදහම පිළිබඳව පැවැති පැහැදීම නිසාම දෙමාපිය ආශිර්වාදයෙන් 1964 මාර්තු 12 වන දින රද්දොළුවේ අරියවංශ මා හිමි හා රද්දොළුවේ අමරවංශ හිමිපාණන් වහන්සේලාගේ ශිෂ්‍යයෙකු ලෙස රද්දොළුවේ විමලවංශ නමින් පැවිදි දිවියට පත්වූහ. පානදුර රංකොත් මහා විහාර පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරමින් සිංහල, ඉංගී‍්‍රසි, පාලි සංස්කෘත භාෂාවන්ගෙන් දහම් දැනුම ප්‍රගුණ කර ගන්නා අතරතුර 1967 ජූනි 21 වෙනි දින අම්බලංගොඩ සුනන්දාරාම මහා විහාර උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබූහ.

උන්වහන්සේ බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය හා අභිවෘද්ධිය උදෙසා ඇප කැප වෙමින්, ශාසනික සේවාවේ නියැළෙමින්, සරල දිවි පෙවතකට හුරු වූහ. රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරීත්වය දරමින් විහාරස්ථානයේ දියුණුව සලසනුයේ ද ග්‍රාමයේ දායක දායිකාවනගේ හිස මත අනවශ්‍ය බර නොපටවමින් විහාර සංවර්ධනය තම හිතෛෂි දානපති සැමගේ දායකත්වය ලබමිනි. අනුන්ගේ දුකේදී පිහිට වෙමින් විහාරස්ථානයට පැමිණෙන ලොකු කුඩා සියලු දෙනාගේ ශ්‍රද්ධාව සතුට, විශ්වාසය තහවුරු වන ලෙසට නිරන්තර අවදියෙන් කටයුතු කිරීමෙන් විහාරස්ථානයේ දියුණුවට, පැවැත්මට අත්‍යවශ්‍ය ගිහි පැවිදි සම්බන්ධතාවය කොතරම් දුරට තහවුරු කොට ගෙන ඇද්ද යන්න ප්‍රදේශවාසී දායක පිරිස් දක්වන ගෞරවය, පිළිගැනීම, විශ්වාසය තුළින් මනාව පැහැදිලි වේ.

තමන් ඉගෙනුම ලද රන් කොත් විහාර පිරිවෙනෙහිම ආචාර්යවරයෙකු ලෙසින් ශාසනික සේවාව ඇරඹූ උන්වහන්සේ දොරනාගොඩ සදානන්ද පිරිවෙනෙහි ආචාර්යවරයෙකු ලෙස ද, බලගල්ල පාලි විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි භාෂා උපදේශක ලෙස ද, කටයුතු කොට තම විහාරස්ථානයේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස ද, සුබෝධාරාම ධම්මානන්ද පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ලෙසින් ද රද්දොළුගම ඉංගී‍්‍රසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙසද ශාසනික මෙහෙවරෙහි නිරත වෙත්ම අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී තනතුරින් පිදුම් ලැබූහ.

ජර්මනිය බොන් විහාරය හා ඉතාලිය සිසිලිය කතානිසා යන විහාරස්ථානයන්හි අධිපතීත්වය දරමින් දෙස් විදෙස් හිද 49 වසරක් පුරා ශාසනික මෙහෙවරෙහි යෙදෙමින් සම්බුද්ධ ශාසනයටත්, සමාජයටත්, ස්වකීය සුසිල්වත් දිවියෙන් අනූපමේය ආදර්ශයක් ප්‍රදානය කරමින් ක්‍රියා කරන 69 වන ජන්ම දිනය සමරන බුද්ධ පුත්‍රයාණන්ට නිදුක් නීරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.


ධම්ම ජෝති හිමි

කොටගල පබ්බතාරාම විහාරාධිපති ධම්ම ජෝති හිමියෝ මුළු දිවයිනටම සාමදාන විනිශ්චකාරවරයෙකු වශයෙන් නුවරඑළිය දිසා අධිකරණයේ දී දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් ශීනාත් ගුණසේකර මහතා ඉදිරියේ දී පසුගිය (26) දා දිවුරුම් දුන්හ.

ප්‍රදේශයේ සිංහල දෙමළ, මුස්ලිම් ජාතීන් අතර සුහදත්වය ඇති කිරීමෙහිලා අනූපමේය දායකත්වය වෙනුවෙන්, අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා විසින් මෙම පත් කිරීම සිදු කොට තිබේ. බෞද්ධ කටයුතු හා ආගමික කටයුතු දෙපාර්තමේන්තු සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය දහම් පාසල් ගුරු සේවා ආදී ආගමික කටයුතු රැසකට දායක වී ඇත.