Print this Article


තථාගත ශාසනයේ පින්කෙත

තථාගත ශාසනයේ පින්කෙත

ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය සිහිකර ගෙන අප සිතින් උන්වහන්සේ අරමුණු කරගෙන බුදුගුණ සිහි කරමින් ප්‍රතිමාව අභියස හෝ පූජාව කරන්නේ නම්, අපේ සිතට අරමුණු වී තිබෙන්නේ ජීවමාන තථාගතයන් වහන්සේයි. උන්වහන්සේ අද වැඩ නො සිටියත් සම්බුදු පූජාවේ මහානිශංසම ලබාගන්න අපට බාධාවක් නැහැ. එහිදී පැහැදිලි වෙනවා දෙනෙත් ඉදිරියේ පවතින දේ නොවේ මහත්ඵල මහානිශංස වන්නේ පින අත්පත් කර ගැනීම සඳහා සාධක වන්නේ සිත මනස පිහිටුවා ගන්නා අරමුණු කර ගන්නේ කොතැනද කියන කාරණාව යි. ඒ සම්බුදු පූජාවේ ආනිශංස මහානිශංසයි කියා ඔබ දන්නවානම් සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා උදෙසාත් අද වුවත් දන් දෙන්න පුළුවන්

තථාගතයන් වහන්සේ අප සරණ යා යුත්තේ අවබෝධයෙන්ම යි. උන්වහන්සේ අවබෝධකරගත් ධර්මය අවබෝධ කර ගැනීමට පෙර අප ශ්‍රද්ධාවට පැමිණීම කළයුතු වෙනවා. මහානිශංස පින්කම් කරන්නට නම් අප ඒකාන්තයෙන් මේ ගැන අහල දැනගන්න ඕන.

ලෝකවාසීන්ට තථාගතයන් වහන්සේ මහා පින් කෙතක් ගැන දේශනා කළා. “පින් කෙත” කියා කියන විට බොහෝ දෙනා හිතන්නේ හිස මුඬුකර ගත්, කසාවතක් හැඳගත්, පන්සල් හරි අරන්‍යයේ හරි ඉන්නවා නම් ඒ තමා පින් කෙත කියා. නමුත් තථාගතයන් වහන්සේ පින් කෙත හැඳීන්වූයේ ඒ අයුරින් නොවේ. අප සඟ - ගුණ වන්දනා කරන ගාථාවෙන් එය විමසා බලන්න ඕන. ලෝකවාසීන්ට පින් කෙතක් වෙන්න බැහැ ආහුන්‍යෙය, පාහුන්‍යෙය, දක්ඛින්‍යෙය, අංජලිකරණීය ගුණ, සුදුසුකම් නො ලබා. මේ ගුණ, සුදුසුකම් ලැබෙන්නේ කාටද? “ඒසභගවතෝ සාවකසංඝෝ” භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට යි. උන්වහන්සේ ශ්‍රාවක සමූහයට යමෙක් කැමැතිනම් ‘ආහුන්‍යෙය’ (දුරසිට දානය ගෙන ගොස් පූජා කිරීමට සුදුසුයි) ‘පාහුන්‍යෙය’ (ආගන්තුක ලෙස නිවසට වැඩිය කල පුද පූජාවන්ට සුදුසුයි) ඒ ගුණ සුදුසුකම් යමෙක් තුළ ඇත්නම් ඔහු ලෝකයට පින් කෙතක් වෙනවා. තථාගතයන් වහන්සේගේ ස්‍රාවක සමූහයාට අයිති වන්නේ කවුද? ‘අෂ්ඨපුරිස පුග්ගලා ඒසභගවතෝ සාවක සංඝෝ” පුරුෂ පුද්ගලයන් වහන්සේලා ලෙස අට නමක් දක්වනවා. සෝවන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් සතර මඟ, සතර ඵලයට පත් වූ මේ අට පිරිස තථාගතයන් වහන්සේ ගේ ශ්‍රාවක සමූහය යි. ඊට මෙහා ශ්‍රාවක සමූහය ඉන්නවා. ආර්යභාවයට පත් නොවුනු පත්වීම සඳහා පිළිවෙත් පුරන පිරිස. අප දැන් කථා කරන්නේ් ඒ පිරිස ගැන නොවේ. පරමාර්ථ වශයෙන්ම ලෝකවාසීන්ට පින් කෙතක් වන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන සතරමඟ, සතරඵලයට පත් පිරිස. යමෙකු සුපටිපන්න ද, උජුපටිපන්න ද, ඤායපටිපන්න ද, සාමීචපටිපන්න ද, මෙන්න මේ ප්‍රතිපාදව විමසා බලා අපට යමෙක් අෂ්ඨාර්යභාවයට පත්වෙලාද නැද්ද කියා තීන්දු තීරණ කරන්න වෙන්නේ.

අද ජන සමාජයේ රහතන් වහන්සේ ලෙස, ආර්ය වහන්සේලා ලෙස සලකන්නේ ඒ ගුණ දෙස බලා නොවේ. රූක්ෂ ප්‍රතිපදාවන් දරනවානම්, වනගතව ඉන්නවානම්, එකවේලක් වළදනවා නම් සල්ලි පරිහරණයක් නැත්නම්, පාවහන් පළදින්නේ් නැත්නම් ඒ වගේ ප්‍රතිපදාවන් දෙස බලා මේ නම් රහතන් වහන්සේ කියා තීරණය කරනවා. ඒ අඥාන බවට මේ ශාසනයේ ඉඩක් නැහැ. ඒ ආර්යභාවය මැන ගන්න අවශ්‍යනම් කෙනෙකු මේ සුපටිපන්න ආදී එක වදනක්වත් පැහැදිලිකර ගන්න වෙනවා. ඒ ටික තේරුම් අරගෙන හරියටම සරු කෙත හඳුනා ගන්න වෙන්නේ.

මක්‍ධිජ්ම නිකායේ සමණමණ්ඩිකා සූත්‍රයේ සඳහන් වෙනවා ඒ සමණමණ්ඩිකා පුත්‍ර උග්ගමාන කියන තවුස්වරයෙක් ගැන එතුමා තථාගතයන් වහන්සේගේ් ශ්‍රාවකයන් වහන්සේලා තමන් හමුවට පැමිණි වෙලාවේදී ප්‍රකාශ කරනවා ඔවුන්ගේ ඇගයීම, ඔවුන්ගේ ඉගැන්වීම, ඔවුන්ගේ විමුක්තිය කොතැන ද?, පවතින්නේ කියා. එහිදී ඔහු කියනවා යමෙකු කයින් අකුසල් නො කරයිනම්, වචනයෙන් සිතින් අකුසල් නො කරයිනම් ආජීවයද පිරිසුදුනම් අප කියනවා උතුම් පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත්වුණු ශ්‍රේෂ්ඨ උත්තම පුරුෂයා කියා. ඔවුන් විශ්වාස කරනවා, කයින් වචනයෙන් සිතින් අකුසල් කරන්නේ නැත්නම් ආජීවය ද පිරිසුදු නම් එය උත්තම ප්‍රාප්තියට පත් වූ පරම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කියලා. භික්ෂූන් වහන්සේලා මේ කරුණු අසා එදා සවස තථාගතයන් වහන්සේට මෙය පවසා සිටියා. එවිට උන්වහන්සේ භික්ෂූන්ට වදාළා උග්ගමානගේ කතාව ඇත්තක් නම් මේ උඩුබැලි අතට ඉන්න පුංචි ළදරුවා උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති, උත්තම ප්‍රාප්තියට පත්වූ මහපුරුෂයෙක් විය යුතුයි. උන්වහන්සේ විමසනවා අතපය සොලවනවා හැර ඔහුට කෝ කාය කර්මයක්. හැඬීම සිනාසීම හැර ඔහුට කෝ වාග් කර්මයක්. මම ය, මව ය, පියා කියා හඳුනා ගැනීමවත් නැති ඔහුට මොන මනෝ කර්මයක් ද? මව්ගේ කිරිටික උරා බොනවා හැර කුමණ නම් මිථ්‍යා ආජීවයක්ද? මේ පුංචි ළදරුවා කාය කර්මයෙන් අකුසල් නො කරයි. වාග් කර්මයෙන් ද මෝහ කර්මයෙන් ද අකුසල් නො කරයි. ආජීවයද අපරිසුදු නැහැ. ඒ අනුව ගත්තොත් උග්ගමානකගේ ඉගැන්වීම අනුව ළදරුවාද උතුම් කුසල් ඇති උත්තම ප්‍රාප්තියට පත් පරම ශ්‍රේෂ්ඨ උත්තමයා විය යුතුයි. නමුත් තථාගත ශ්‍රාවකයාගේ නුවණින් විමසීම මීට වෙනස්.

තථාගතයන් වහන්සේ වදාළ ලෞකික ලෝකෝත්තර ප්‍රතිඵල නෙලා ගන්න නම්, සුපටිපන්න, කියන වචනය ගැන විමසා බැලීම හොඳයි. සත්තට්ඨාන සූත‍්‍රය, උපාදාන පරිවර්තන ආදී සූත්‍රවල සඳහන් වෙනවා ‘මහණෙනි පංච උපාධනස්කන්ධයක් කියා යමක් තිබෙනවා. මම යම්තාක් ඒ පංච උපාධානස්කන්ධය සතර ආකාරයකින් මනා නුවණින් අවබෝධ නො කළේද ඒ ආකාරයෙන්ම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියා ප්‍රකාශ කළේ නැහැ. යම් කලක මම මේ පංච උපාධනස්කන්ධය සතර ආකාරයකින් මනා නුවණින් අවබෝධ කළේ ද එදා මම කිව්වා දෙවියන්, මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයට සම්මා සම්බුද්ධත්වයට පත්වුණා කියා. එසේම උන්වහන්සේ වදාළා යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ රූපයයි, මේ සමුදය යි, මේ නිරෝධයයි මේ මාර්ගයයි කියා ස්කන්ධයන් පිළිබඳව වෙන වෙනම සතර ආකාරයෙන් දැන කලකිරීම පිණිස නිරෝධය පිණිස පිළිිපදිනවානම් ඔහු සුපටිපන්නයි. යමෙක් සුපටින්නද, මේ ධර්ම විනය තුළ උරුමය ලද අයිතිය ලද කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක සමූහයා එබඳු ප්‍රතිපදාවකට පැමිණි පින් කෙතක් වෙනවා.

අප දානමය පින්කමක් කරන විට මේ ගුණ තිබෙනවාද නැද්ද කියා සොය සොයා යා යුතු නැහැ. ඉන්න තැනක මහානිශංස පින් රැස්වෙන ආකාරයට දන් දෙන්න පුළුවන්. අප සම්බුදු පූජාව පවත්වන විට මෙ ලොව ආනිශංස අත් විඳිනවා. නමුත් අප පූජාව තබන ස්ථානයේ ප්‍රතිමාව වහන්සේ නමක් වැඩ ඉන්නේ. ප්‍රතිමාවට දානය පූජා කළාම ජීවමාන බුදුරජාණන් වහන්සේ පූජාකළ ආනිශංස ලැබෙනවා නොවේ. ප්‍රතිමාව අපට සංකේතයක්. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණය සිහිකර ගෙන අප සිතින් උන්වහන්සේ අරමුණු කරගෙන බුදුගුණ සිහි කරමින් ප්‍රතිමාව අභියස හෝ පූජාව කරන්නේ නම්, අපේ සිතට අරමුණු වී තිබෙන්නේ ජීවමාන තථාගතයන් වහන්සේයි. උන්වහන්සේ අද වැඩ නො සිටියත් සම්බුදු පූජාවේ මහානිශංසම ලබාගන්න එවිට අපට බාධාවක් නැහැ.

එහිදී පැහැදිලි වෙනවා දෙනෙත් ඉදිරියේ පවතින දේ නොවේ මහත්ඵල මහානිශංස වන්නේ පින අත්පත් කර ගැනීම සඳහා සාධක වන්නේ සිත මනස පිහිටුවා ගන්නා අරමුණු කර ගන්නේ කොතැනද කියන කාරණාව යි. ඒ සම්බුදු පූජාවේ ආනිශංස මහානිශංසයි කියා ඔබ දන්නවානම් සැරියුත් මුගලන් ආදී මහරහතන් වහන්සේලා උදෙසාත් අද වුවත් දන් දෙන්න පුළුවන්. අප මනසින් ඒ මහරහත් ගුණය සිහි කරමින් පින රැස් කර ගන්න පුළුවන්නම් කෙත හඳුනා ගන්නවා කියන්නේ එතැනයි.