Print this Article


දුකසේ විඳින කර්ම විපාක - 32

නන්දක පේ‍්‍රත වස්තුව

මම ඉස්සර ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක්. බලවත්ව මුලාවෙලා මෝහයෙන් වැහිලයි හිටියේ. දුස්සීල වෙලා, කෑදර වෙලා, අනුන්ට නින්දා අපහාස කර කර හිටියේ. තව හය මාසයක් යන්නට කලින් මගේ මරණය සිදු වෙනවා. ඒකාන්තයෙන්ම කටුක වූ භයානක දුක් ඇති නිරයටයි මම වැටෙන්නේ. ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක් තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වසර දෙසීයක් ගතවීමෙන් පසුව සුරට්ඨ දේශයේ පින්ගල නමින් රජ කෙනෙකු වාසය කළා. ඔහුගේ සේනාධිපතියා ‘නන්දක’ නම් වූවා. ඔහු මිත්‍යා දෘෂ්ඨිකයෙක්. විපරිත වූ අදහස් ඇතිව දුන් දේ විපාක නැත ආදී මිත්‍යා අදහස් ඇතිව ජීවත්වුණා. ඔහුගේ දියණිය උත්තරා යි.ඇය බොහෝ ශ්‍රද්ධාවන්තියක්. නන්දක සේනාධිපතියා කලුරිය කොට වින්ද්‍යා පර්වතයේ මහ විශාල නුග ගසෙක පේ‍්‍රතයකු වී උපන්නා.

සේනාධිපතියා මියගොස් නොබෝ කලකින් ඔහුගේ දුව උත්තරා සිහිල් සුවඳ ජලයෙන් පිර වූ වතුර කලයක් ද වර්ණයෙන් හා සුවඳින් කැවුම් භාජනයක් ද එක්තරා රහතන් වහන්සේ නමකට පූජා කළා. දානමය වශයෙන් ඇය රැස්කළ සියලුම පින් මියගිය පියාට අනුමෝදන් කළා. ඒ දානමය පිනෙන් පේ‍්‍රතයාට දිව්‍යමය වූ පැන් ද අපමණ වූ දිව බොජුන් ද පහළ වූවා. ඒවා දැක පේ‍්‍රතයා සිතනවා මා විසින් දුන් දෙයක විපාක නැතැයි සිතා අන් අයට ද ප්‍රකාශ කළා. එයින් මම විශාල පවක් කරගෙන තිබෙනවා. දැන් පින්ගල රජු ධර්මාශෝක රජුට උපස්ථාන කර නැවත මේ මෙගහි පැමිණෙනු දැක පේ‍්‍රතයා ඔහු විසූ තැනට ආසන්න පාරක් මැව්වා. රජු රෑ මැදියම් රැයේ ඒ මෙගහි ගමන් කළා. ඔහු ගමන් ගන්න මග ඉදිරියෙන් පෙනුණා. පිටුපසින් ඒ මඟ අතුරුදන් වූවා. රජු ඇතුළු පිරිසේ ගමන් ගත් අන්තිම පුරුෂයා පිටුපස තිබූ මාර්ගය අතුරුදහන් බව දැක බියට පත්ව මහත් සේ බිය වී රජුට ඒ බව දන්වා සිටියා. රජු ඒ අසා බියට පත්ව ඇතා පිටම සිට සතර දිසාව බැලුවා. එවිට පේ‍්‍රතයා වෙසෙන නුගරුක දැක සියලු පිරිස සමඟින් නුගරුක අසලට ගියා. සියලු ආභරණ වලින් සැරසුණු පේ‍්‍රතයා රජු වෙතට පැමිණ පිළිසඳර කථාකොට කැවුම් ද, වතුර ද ලබා දුන්නා. විඩාව නිවාගත් රජු අසනවා නුඹ දෙවියෙක්ද, ගන්ධර්වයෙක්ද, පේ‍්‍රතයෙක්ද කියා.

“මහරජ, මම දෙවියෙක් නොවෙයි. මම ගාන්ධර්වයෙකුත් නොවෙයි. පුරින්දද නම් වූ ශක්‍රයාත් නොවෙයි. මම පෙරේතයෙක්. සුරට්ඨ දේශයේ ඉඳලයි මෙහේ ආවේ.”

“ඔබ ඉස්සර සුරට්ඨ දේශයේ ඉන්නකොට මොන විදියේ සිල්වතෙක් ද? මොන විදියේ අයහපත් ගතිගුණ ඇතිව හිටියා ද? මොන වගේ උතුම් ජීවිතයකින්ද ඔබට මේ වගේ ආනුභාවයක් ලැබුණේ?”

මහරජතුමනි, මම සුරට්ඨ දේශයෙන් ආපු පවිටු සිත් ඇති මිත්‍යා දෘෂ්ඨික කෙනෙක්, දුස්සීල කෙනෙක්, කෑදරයෙන් අනුන්ට නින්දා අපහාස කළ කෙනෙක්. දන්දෙන උදවිය ගේ පින්කම් කරන උදවියගේ පින්කම් මම වැළක්වූවා. අනුන් දෙන දානයටත් මම අනතුරු කළ කෙනෙක්. දන් දීමෙන් ලැබෙන විපාකයක් නැහැ. සිල් රැකීමෙන් ලැබෙන ඵලයකුත් නැහැ. ගුරුවරු කියා කොටසක් නැහැ. ඤාණයෙන් ලැබෙන ඵලයක් නැහැ. වෛර කරපු උදවියට පින්වලින් පිරිසුදු වෙන්න පුළුවන් ද? මේ සත්ත්වයා ලැබිය යුතු යම් සැපයක් දුකක් ලබනවානම් සොබාදහමේ පරිණාම නියතියෙනුයි හට ගත්තේ. මව් කියලා, පියා කියා සහෝදරයෝ කියා විශේෂ කෙනෙක් නැහැ. මෙයින් තොර වෙන ලෝකයක් නැහැ. දන් දීමෙන් ඇප උපස්ථාන කිරීමෙන් වැඩක් නැහැ. යම් කෙනෙක් තව පුරුෂයෙකුව මරණවානම් හිස ගසා දමනවානම් ඒ කවුරුවත් තව කෙනෙක්ව නසන්නේ නැහැ. ඒක සත් ආකාර වූ ධාතු ඇති මේ ශරීරයේ සිදුරු අතරින් ආයුධයක් ගියා විතරයි. ජීවත්වනවා කියන්නේ වටකුරු පන්දුවක් වගේ දෙයක්. මේක නූල් බෝලයක් වගේ එකක්. විසිකළ විට ලෙහි ලෙහී යනකල් විතරයි යන්නේ. මේ ජීවත්වීමත් එහෙමයි. මේක ලෙහි ලෙහී යනකල් විතරයි යන්නේ. ඒක මේ වගේ දෙයක්. කෙනෙක් ගමකින් පිටත් වෙලා වෙන ගමකට යනවා. අන්න ඒ වගේ තමා ඒ ජීවිතයත් වෙනත් කයකට මාරුවෙලා යනවා. යමෙක් අනුවණයෙන් වුණත් පණ්ඩිතයෙක් වුණත් ඒ අය කවුරුත් මහකල්ප අසූහතර ලක්ෂයක් සංසාරය ගෙවල ඉවරවුණාට පස්සෙයි මේ දුක් අවසන් වෙලා යන්නේ.

මේ සත්ත්වයන්ගේ සැප දුක් ද්‍රෝණයකින් හරි කුල්ලකින් හරි මැනපු දෙයක් වගෙයි කියන්නේ. මේවා ඔක්කෝම දැනගත්තේ අවබෝධ කරපු අය විතරයි. අනෙක් සියලු දෙනාම බලවත්ව මුලා වෙලයි ඉන්නේ.

මම ඉස්සර ඔය වගේ මිත්‍යා දෘෂ්ටියක් දරපු කෙනෙක්. බලවත්ව මුලාවෙලා මෝහයෙන් වැහිලයි හිටියේ. දුස්සීල වෙලා, කෑදර වෙලා, අනුන්ට නින්දා අපහාස කර කර හිටියේ. තව හය මාසයක් යන්නට කලින් මගේ මරණය සිදු වෙනවා. ඒකාන්තයෙන්ම කටුක වූ භයානක දුක් ඇති නිරයටයි මම වැටෙන්නේ. ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක් තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ. වටේටම තිබෙන්නේ යකඩ පවුරක්. වහල තිබෙන්නෙත් යකඩ පියනකින්. ඒ අවිචී මහ නරකයේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූ®මියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනිදැල් පැතිරිලා තිබෙනවා. මහරජතුමනි, ඒ නිරයේ අවුරුදු ලක්ෂයක් පැහිලා ගෙවුණාම එක පාරටම මහ ශබ්දයක් ඇහෙනවා. එහි විඳින්න තිබෙන ආයුෂ ප්‍රමාණය අවුරුදු කෝටි ලක්ෂයක් වෙනවා. යම් කෙනෙක් අවුරුදු කෝටි ලක්ෂයක් නිරයේ පැහිලා දුක් විඳිනවා නම් ඒ ඔක්කෝම අය මිත්‍යා දෘෂ්ඨික, දුස්සීල උදවිය. ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කළ උදවිය. මම ඒ මහ නිරයේ දීර්ඝ කාලයක් තිස්සේ දුක් විදින්නටයි නියම වෙලා තිබෙන්නේ. මම කරගත් පව්වල විපාක නිසා බලවත් ශෝකයෙන් ඉන්නේ.

මහරජතුමනි, මෙය අසනු මැන, මට උත්තරා කියලා දුවක් හිටියා. ඈ පින්කම් කරනවා නිති පන්සිල් ද පොහොයට උපෝසථ සිල් රකිනවා. සීල සංවරයෙන් යුක්ත යි. දැන් පැන් බෙදනවා. මිහිරි වදන් කියනවා. මසුරු නැහැ. ඇය සිල්පද කඩා ගන්නේ නැතුව හික්මෙනවා. අනිත් පවුල්වලටත් මොලොක් කෙනෙක්. ඒ වගේම ඇය ශාක්‍ය මුනීන්ද්‍ර වූ සම්බුදු රජාණන් වහන්සේගේ උපාසිකාවක්.

සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් ගමට පිණ්ඩපාතේ වැඩියා දා ඇය පුරවපු පැන් බඳුනක් හා මිහිරි කැවුම් පූජා කළා. ‘ස්වාමිනි මගේ පියා කලුරිය කළා. ඔහුට මේ පින පැමිණේවා’ කියා කිවුවා.

ඒ පින දීපු මොහොත්ම මට ඒ පුණ්‍ය විපාකය ලැබුණා. වෙසමුණි රජ්ජුරුයෝ වගේ මම කැමැති විදිහට සැප අනුභව කරනවා. මහරජතුමනි, දෙවියන් සහිත ලෝකයාට අග්‍ර වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියලයි කියන්නේ. අඹුදරුවෝ සමගම ඔබ ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්ම ඒ අමා නිවන ස්පර්ෂ කරන්න. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ශ්‍රී සද්ධර්මය සරණ යන්න. ආර්ය මාර්ගයෙහි ගමන් කරන හතර දෙනෙක් ඉන්නවා. ඵලයෙහි පිහිටා ඉන්න හතර දෙනෙක් ඉන්නවා. මේ තමයි සෘජු සිත් ඇති ප්‍රඥානවන්ත සීලවන්ත සමාහිත සිත් ඇති ආර්ය සංඝරත්නය. රජතුමනි, අඹුදරුවන් සමගම ඔබ ඒ ආර්ය සංඝරත්නය සරණ යන්න. ඔබ සතුන් මැරිමෙන් , සොරකමින් වෙන් වෙන්න. මත්පැන් බොන්න එපා. බොරු කියන්නත් එපා තම බිරිඳගෙන් පමණක් සතුටු වන්න.

පේ‍්‍රතය, නුඹ මගේ යහපත කැමැති කෙනෙක්. ඔබ මට හිත කැමැති කෙනෙක්. මම ඔබේ වචනය කරනවා. ඔබ මගේ ආචාර්යවරයා වෙන්න. මම ඒ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. අනුත්තර වූ සද්ධර්මයත්, නරෝත්තමයන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයත් සරණ යනවා.

ඉක්මණින්ම සතුන් මැරීමෙන්, සොරකමින්, මත්පැන් පානයෙන්, බොරු කීමෙන් වළකිනවා. තම බිරිඳ සමග පමණක් සතුටු වෙනවා.

මම බුදුරජාණන් වහන්සේ ශාසනයෙහි සිත් අලවා ගෙන ඉන්නේ. මහ සුළඟක් හමාගෙන ඇවිදින් බොල් වී ගහගෙන යනවා වගේ වේගවත් සැඬ පහරක් තිබෙන ගංගාවේ තණ රොඩු ගහගෙන යනවා වගේ මම ඔබ මිත්‍යා දෘෂ්ඨියෙන් අයින් වෙනවා.

මෙහෙම කියපු සුරට්ඨ රජතුමා ඒ පාපී ආකල්ප වලින් වැලකුණා. භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කර රථයට නැගී පෙරදිග දිසාවට ගියා.