Print this Article


පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

සූරියගොඩ සිරිධම්ම නා හිමි

සූරියගොඩ සිරිධම්ම අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2013 මාර්තු 04 වැනි දින තම ජීවන ගමනේ සැට වැනි වියට පා තබති.

අගලවත්ත සූරියගොඩ ගම්පියසේ පුණ්‍යවන්ත පවුලක බාලම දරුවා ලෙස 1954 මාර්තු 04 වැනි දින ජන්මලාභය ලද උන්වහන්සේ කෙවිටියාගල දියපත්තුගම ශ්‍රී සුධර්මාරාමයේ දී නැගෙනහිර පස්යොදුන් කෝරලයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ කෙවිටියාගල ධම්මසිද්ධි හිමියන්ගේ ආචාර්යත්වයෙන් දාහතර වැනි වියේදී 1968 ඔක්තෝබර් 02 වැනිදා සූරියගොඩ සිරිධම්ම නමින් සසුන් කෙතට පා තබති.

පැවිදි වූ දා පටන් ගුරු සිත් සමාරාධනය කරමින් මූලික අධ්‍යාපනය සඳහා රත්මලාන පරමධම්මචේතිය මහා පිරිවෙනට ඇතුළත් වූ අතර උසස් අධ්‍යාපනය ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම මහා පිරිවෙනෙන් ඔපවත් කර ගත්හ. සිරිධම්ම හාමුදුරුවෝ 1977දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1981දී අධ්‍යාපනවේදී විශේෂ උපාධිය ලබා ගත්හ. 1990 දී පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, 1994 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන්ම අධ්‍යාපනපති උපාධිය හා අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ගත්හ. අධ්‍යාපනය ලබන අවධියේ කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ සභාපති ධුරයත්,අන්තර් විශ්වවිද්‍යාල බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයත් දරමින් කටයුතු කිරීම අනාගත නායකත්වයේ ශුභ පෙරනිමිති පහළ කිරීමක්ම විය.

1994 ජාතික අධ්‍යාපන සේවයට අවතීර්ණ වන සිරිධම්ම හිමියන් අනුරාධපුර නොච්චියාගම විද්‍යාදර්ශ මධ්‍ය මහා විද්‍යාලයේ අචාර්යවරයකු වශයෙන් දුෂ්කර සේවාවක නිරත වී 1989 සිට මේ දක්වා දිවයිනේ ජනපි‍්‍රය පාසලක් වන කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයේ ධර්මාචාර්යවරයකු ලෙස පත්වීම් ලැබ, තම සංවිධාන ශක්තියත්, නායකත්වයත් මොනවට ප්‍රදර්ශනය කරමින් එම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධුරය දක්වා ආ ගමන කීර්තිමත්ය. නොකැළැල්ය.

ගෞරවනීය සිය ආචාර්යෝත්තම කෙවිටියාගල ධම්මසිද්ධි නා හිමියන්ගේ අපවත්වීමෙන් පසු 1985 වර්ෂයේ සිට රත්මලානේ ශ්‍රී රතනාරාමයේ විහාරාධිපති ධුරයත්, ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ධුරයත් සිරිධම්ම නාහිමියන් වෙත ලැබීම එම ආයතන දෙකටම ස්වර්ණමය යුගයක් උදා කිරීමට භාග්‍යය සැලසුනි. උන්වහන්සේ භාරගන්නා විට ඉතා කුඩාවට තිබුණු රත්නාරාම විහාරය අද තෙමහල් ධර්ම මන්දිරවලින් යුත් සම්භාවනීය විහාරස්ථානයක් බවට පත් වී ඇත.ශ්‍රී රතනපාල දහම් පාසල සමස්ත ලංකා හොඳම දහම් පාසල බවට පත්කොට උන්වහන්සේ ගේ දීප ව්‍යාප්ත සමාජ සේවාවේ ප්‍රධාන සංකේතය බවට පත් කළේය.අද එම විහාරස්ථානයත්,දහම් පාසලත් ප්‍රදේශයට පමණක් නොව රටටම අභිමානයකි. උන්වහන්සේ ගේ දීප්තිමත් ගමන් මඟ හඳුනාගත් වැඩිමහල් පැවිදි සහෝදර බොරලැස්ගමුව සෝණුත්තර විහාරයේ නිර්මාතෘ විනයාචාර්ය සූරියගොඩ වජිරඥාණ ලොකුහාමුදුරුවන් වහන්සේ අප වෙත එන විට එම විහාරස්ථානයද සිරිධම්ම නා හිමියන් වෙත පවරා තිබුණි. ගරා වැටෙමින් තිබුණු බොරලැස්ගමුව සෝණුත්තර විහාරයද අද රමණීය පුණ්‍ය භූ®මියක් බවට පත් වූයේ උන්වහන්සේගේ ආධිපත්‍යයයට පින් සිදු වෙන්නටය. තමන් වෙත පවරන ඕනෑම වගකීමක් උසස් මට්ටමින් පරිපූර්ණ කිරීමේ සහජ හැකියාවක් හා මනා කළමනාකාරිත්වයක් සිරිධම්ම නා හිමියෝ උපතින්ම ලබා සිටිති. දවසේ වැඩිම කාලයක් ශාසනයත්, ධර්මයත්,අධ්‍යාපනයත් වෙනුවෙන් කැප කරන උන්වහන්සේගේ පැවිදි ජීවිතය හැමදෙනාටම ආදර්ශයකි.

උන්වහන්සේ ගුණ සම්පන්නය. දිවයිනේ දුෂ්කර ගම්මානවලට වැඩම කොට දිළිඳු දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ පිරිනැමීම ඒ ගුණවත් බවේ සමාජ සත්කාරයකි. ආර්ථික දුෂ්කරතාවලින් පීඩාවට පත්වූ දූ දරුවන් සඳහා දානපතියන්ගේ සහයෝගය ඇතිව සිසුන් සියයකට පමණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන එම ගුණය තවත් ඔපවත් කිරීමකි. කඨින චීවර පූජාව අළලා රචනා කළ “අසිරිමත් චීවර පූජාව“ නමැති ධර්ම ග්‍රන්ථය රචනාකොට තම ලේඛන කලාව ප්‍රදර්ශනය කරමින් ධර්මග්‍රන්ථ කිහිපයක්ම රචනා කොට බෞද්ධ ජනතාව අතර නොමිලේ බෙදා හැරීමට කටයුතු කළේ ධර්මය දානය සඳහාය යන්න උන්වහන්සේ අනුගමනය කළ සිද්ධාන්තය නිසාය.

උන්වහන්සේගේ සමාජ මෙහෙවර අගය කරමින් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතුපාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාව විසින් 2007 අගෝස්තු 22 වන දින ‘සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධී” යන ගෞරව නාමය සහිත බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පරිනැමීම සුදුසුම පදවි ප්‍රදානයක්ම වීය.උතුම් පැවිදි ජීවිතයක් හා අද්විතීය ජාතික – ආගමික මෙහෙවරක නිරත වන සූරියගොඩ සිරිධම්ම නාහිමියන් සැට වියට පා තබන ශුභ උපන් දිනය අදයි. ඒ නිමිත්තෙන් රත්මලාන ශ්‍රී රතනාරාමයේ දී තෙමහල් ධර්ම මන්දිරය විවෘත කිරීම ඇතුළු පින්කම් රාශියක් සිදු කිරීමට කටයුතු සංවිධානය කොට ඇත.


කණුමුල්දෙණියේ ධර්මාශෝක නා හිමි

දෙහිවල ගල්විහාර පාරේ නව පොළොන්නරු ගල් විහාරාධිපති ලෙස දශක තුනකට අධික කාලයක් කටයුතු කරමින් එදා දුමින්දාරාමය ලෙස පැවති එම කුඩා විහාරස්ථානය ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තබන්නට වූ ධර්මාශෝක හිමියන් කාර්යශූ®ර්ය විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ගිරුවාපත්තුවේ දකුණූ කණුමුල්දෙණියේ දී 1952 අපේ‍්‍රල් මස 16 වෙනි දා ජන්ම ලාබය ලැබූ නාහිමියන්ගේ මව්පියන් වූයේ එවකට ගම්පති ධුරය දැරූ ඩී.ජේ. ලියනාරච්චි රාළහාමි හා දෝන ගිමාරා රුවන්පතිරණ මහෝපාසිකාවයි. දකුණු කණුමුල්දෙණිය රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා සැදුස් වන වියෙහි දී වර්ෂ 1965 අගෝස්තු මස 15 වන දින මාතර මහා මන්තින්ද පරිවේනාධ්‍යක්‍ෂකව වැඩ විසූ ධර්ම කීර්ති ශ්‍රී බෝධිගුප්ත නාහිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් පැවිදිව එම පිරිවෙනෙන්ම මූලික හා උපරිම භික්‍ෂු අධ්‍යාපනය ලබා ගත්හ.

1973 මහනුවර මල්වතු මහා විහාරයෙන් උපසම්පදාව ලබා ගත් මුන්වහන්සේ එම වර්ෂයේම අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨ භික්‍ෂූ විශ්ව විද්‍යාලයට ඇතුලත් ව පන්ති සාමාර්ථයක් ද සහිතව ත්‍රිපිටකවේදි උපාධිය ලබා ගත් හ. උන්වහන්සේ විහාරස්ථානයට ලැබුණු උපසම්පදාවේ දී අප විහාරස්ථානයේ අධිපතිව සිටි ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත සංයුක්ත භාණුක ආචාර්ය මාරාගොඩ සද්ධානන්ද මාහිමිපාණන්ගේ ද ශිෂ්‍යවරයෙකු ලෙස සම්බන්ධ කර තිබූ නිසයි.රත්මලානේ පරමධම්ම ජාත්‍යන්තර ධර්මදූත භික්‍ෂු පුහුණූ ආයතයේ ද අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ හේන්පිටගෙදර ඥානසීහ නාහිමියන්ගේ අවදියේ දී පාතකඩ ස්ර්වෝදය භික්‍ෂු පුහුණු ආයතනයේ ද ශ්‍රමදාන හා සමාජ සේවා කටයුතු පිළිබඳ 06 මාසික නේවාසික පාඨමාලාවක් හැදෑරුවේය. කොළඹ ඇක්වයිනාස් විද්‍යායතනයෙන් ඉංගී‍්‍රසි ඩිප්ලෝමා සහතිකයක්ද ලබා ගත්හ. කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පවත්වන ත්‍රිපිඨක පරීක්‍ෂණවලට පෙනී සිට විනයාචාර්ය සද්ධර්මාචාර්ය ආදී උපාධි ලබා ගත්තේ ඒවාට හිමි ත්‍යාගත් දිනා ගනිමිනි. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග වලින් ද උසස් අයුරින් සමත් වූ නා හිමියෝ 1977 දී එවකට කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

1982 දී කොළඹ දෙමටගොඩ ධර්මදූත විද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් රජයේ ගුරු වෘත්තියට පිවිසුනු අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හදාරා ර්.ඒ උපාධිය ලබා ගත්හ. එසේම දර්ශනපති උපාධිය සඳහා මුද්‍රිත පාලි පුස්කොළ පොතක් වූ ‘පටිපත්ති සංග්‍රහ’ නම් ග්‍රන්ථය සංස්කරණය කළහ. 1988 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කතිකාචාර්යවරයකු වශයෙන් තේරී පත්ව එහි අවුරුදු පහක් පමණ එම ධුරය දරා අවුරුදු කිහිපයක් එංගලන්තය, යුරෝපයේ හා අපි‍්‍රකාවේ ගත කොට යළි පැමිණ 1994 දී අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨ භික්‍ෂූ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය හා විනය පාලක ධුරයට තේරී පත් වූහ.

1984 සිටම වරින්වර විදේශ ධර්මදූත චාරිකා වල යෙදුන නාහිමියෝ රටවල් සියයකට ආසන්න ගණනක සංචාරය කර අන්තර්ජාතික බෞද්ධ කටයුතු හා ජාත්‍යන්තර සංස්කෘති පිළිබඳ මනා අවබෝධයක් ලබා ගෙන තිබුණි. ටැන්සානියාවේ දරේයිස්ලාම් බෞද්ධ විහාරයේ විහාරාධිපති පදවිය අවුරුද්දකට වඩා වැඩි කාලයක් හොබවන ලදී. එමෙන්ම ස්වීඩනයේ ස්ටොක්හෝම බෞද්ධ විහාරයේ අවුරුද්දක පමණ කාලයක් ද මහා බ්‍රිතාන්‍යයේ තේම්ස් බෞද්ධ විහාරයේ අවුරුද්දක පමණ කාලයක් ද නේවාසික භික්‍ෂුවක් ලෙස කටයුතු කළේය. තවද ලන්ඩන් බෞද්ධ විහාරයේ හා ඇමරිකාවේ නිව්යෝක් බෞද්ධ විහාරයෙත් තායිලන්තයෙත් විහාරස්ථාන කිහිපයක දිගු කලක් නේවාසිකව වැඩ සිටිමින් ආගමික කටයුතු වලට සහය විය.

අප නාහිමියන්ගේ ලෝක ශාසන සේවය අගය කරමින් 1986 දී තායි සංඝ සභාව විසින් ප්‍රප්ලාඩ් නැමැති (ර්‍ථඩපච ර්‍ථචතචඤ) ගෞරව උපාධියත් වර්ෂ 1991 දී ප්‍රා කෲ සංඝ රක් (ර්‍ථඩපච ම්පභ ඉඒව්ට්ඩ්ඒ අඒම්) යන නායක පදවියත් පිරිනමා ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ දකුණූ කැලිෆෝනියාවේ බෞද්ධ සංඝ සම්මේලනය මඟින් නාහිමියන්ගේ අධ්‍යාපනික හා ධර්මදූත සේවය අමතා සම්මාන ආචාර්ය උපාධියකින් පිදුම් ලබා ඇත.

නොවැම්බර් මස 24 වන දින නව පොළොන්නරු ගල් විහාරාධිපති ආචාර්ය පණ්ඩිත කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ. ගුණ සමරු පින්කම පසුගියදා පැවැත් විණි.


මාකෙහෙල්වල ශ්‍රී ධම්මානන්ද නා හිමි

මඩපාත ශ්‍රී ශෛලතලාරාමාධිපතිව වැඩ සිටි කොළඹ සල්පිටිකෝරළේ ප්‍රධාන සංඝනායක මහ කෙහෙල්වල ශ්‍රී ධම්මානන්ද නායක මාහිමිපාණන් වහන්සේ අපවත් වී වසර 15 ක් සපිරෙන මොහොත අප කාටත් අනුස්මරණීය අවස්ථාවකි.

1915 ඔක්තෝම්බර් මස 14 වන දින සතර කෝරළයේ මහ කෙහෙල්වල ග්‍රාමවරයේ ටී.ආර්. අප්පුහාමි නිලමේතුමාට හා එම මහත්මියට දාව උපන් උන්වහන්සේ වාද්දුව සමුද්‍රාරාමාධිපති මොල්ලිගොඩ ධම්මරක්ඛිත හා මඩපාත ශ්‍රී ශෛලතලාරාමාධිපතිව වැඩ විසූ මඩපාත ශ්‍රී ශීලානන්ද යන මාහිමිවරුන්ගේ ශිෂ්‍යයෙකු ලෙස 1929 පෙබරවාරි 18 වන දින පැවිදි බව ලැබූ අතර 1939 වර්ෂයේදි මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලැබීය.

කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1946 සැප්තැම්බර් 14 වන දින සිට ගුරුදේවයන් වූ මඩපාත ශ්‍රී ශීලානන්ද නාහිමියන්ගේ අපවත්වීමෙන් පසුව එහි විහාරාධිපති පදවියට පත්විය. මඩපාත ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ නූතන දියුණුවේ නිර්මාතෘවරයාණන් වහන්සේ ධම්මානන්ද හිමිපාණන්ය.

එම විහාරය සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කල උන්වහන්සේ විහාරස්ථානයට පමණක් නොව තම ප්‍රදේශයටත් අද්විතීය සමාජ මෙහෙවරක් සිදු කලහ. වර්තමානයේ මඩපාත සිට පින්නවල හරහා මාකන්දනට වැටී ඇති මාර්ගය සර්වෝදය ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සකස් කරදීම සිහි කටයුත්තකි.

චතුර ධර්මදේශකයෙකු වශයෙන්ද, කීර්තියට පත් වූ මා හිමිපාණන් වහන්සේ ග්‍රන්ථ කීපයක කතුවරයෙක් වශයෙන්ද, බුද්ධ ශාසන කොමිෂමේ සාමාජිකයෙකු වශයෙන්ද සල්පිටි කෝරළයේ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති වශයෙන් ද සේවය කල අතර ඒ සේවයට ගරුකිරීමක් වශයෙන් සද්ධර්ම වාගීෂ්වර ශ්‍රී ශීලානන්ද යන ගෞරව උපාධිය සහිතව කොළඹ සල්පිටි කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය 1975 වර්ෂයේදි මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් පිරිනමන ලදී.

විශේෂයෙන්ම උන්වහන්සේගේ ගුණානුස්මරණ පින්කම දුෂ්කර විහාරස්ථාන මුල්කර ගෙනය.පෙබරවාරි 16 හා 17 දෙදින පානම්පත්තුවේ කුඩිම්බිගල ආරණ්‍යය සේනාසනය මුල් කරගෙන සිදුවූ අතර, පෙබරවාරි 22,23 දෙදින ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේද පින්කම පවත්වා මෙම සංඝ පීතෘවරයාණන්ට පින් පැමිණවීමට කටයුතු සූදානම් කර තිබිණි.