Print this Article


සොහොනක් නොවී උයනක් වනු මැනව

සොහොනක් නොවී උයනක් වනු මැනව

සොහොනක් කෙරේ ඇති සංවේගාත්මක සිතිවිලිත්, උයනක් කෙරේ ඇතිවන ප්‍රසාදාත්මක සිතිවිලිත් පිළිබඳව පින්වත් වූ ඔබට මනාවූ අත්දැකීම් ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද එක් සූත්‍ර දේශනාවක් ඇසුරු කොටගෙන සොහොනක් නොවී උයනක් වීමේ ධර්ම පරියාය විමසා බලමු.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසමින් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළහ. “මහණෙනි, සීවථිකයෙහි හෙවත් සොහොනෙහි ආදීනව පහකි. ඒවා කවරේ ද? එනම් අපවිත්‍රය,දුගඳ ය. බිය සහිතය. දරුණු අමනුෂ්‍යයන්ට වාසස්ථානයක්ය සහ බොහෝ දෙනාගේ් වැළපීම් සහිතය,” මෙය සොහොනක් වාගේ සොහොනකට උපමා කොට ඇති පුද්ගලයාගේද (සීවථිකූ®පම) එවැනිම ආදීනව හෙවත් ගති ලක්‍ෂණ දක්නට ලැබේ. එම ගති ලක්‍ෂණ මොනවාදැයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර දේශනා කරති.

”මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් අපිරිසුදු කාය කර්මයෙන් යුක්ත වූයේ වෙයි. අපිරිසුදු වූ වාග් කර්මයෙන් යුක්ත වූයේ වෙයි.අපිරිසුදු වූ මනෝ කර්මයෙන් යුක්ත වූයේ වෙයි. මෙය ඔහුගේ අපිරිසුදු බවයි. මහණෙනි, යම් සේ ඒ සොහොන අපිරිසුදු වූයේ ද, මෙම පුද්ගලයාද එබඳු යැයි දේශනා කරමි. එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි දවස, සුසාන භූ®මිවල දමන ලද බොහෝ වූ මළ සිරුරු නිතර දක්නට ලැබිණ, සමහර මළ සිරුරු ඉදිමී නිල්වන්ව පැවති තවත් සමහර මළ සිරුරු මස් දියවෙමින්ද ,පණුවන්ගෙන් වැසීමෙන්ද පැවතිණි, තවත් සමහර මළ සිරුරු සුනඛයන්, සිවලුන්, කපුටන්, උකුස්සන්, විසින් කා දමමින් මුළු සොහොනම අපවිත්‍ර කර පැවතිණි. තවත් තැනක දිරාගිය ඇට සැකිළිද, එමෙන්ම විසිරී ගිය ඇට කැබලි සුන්බුන් නිසාද මුළු සුසාන භූ®මියම අපිරිසුදුව පැවතිණි.

ප්‍රාණඝාත, සොරකම,කාමයන්හි වරදවා හැසිරීම වැනි අපිරිසුදු කාය කර්ම ඇති පුද්ගලයා ඉතාමත් අපිරිසුදු පුද්ගලයෙකු බව ඉතාම පැහැදිලිය. ඔහුගේ හැසිරීම දරුණු වෙයි,(ලුද්දෝ එමෙන්ම ලේ ගෑවුණු අත්වලින් යුතු අයෙක් වෙයි (ලෝහිතපාණී මැරීමෙහි,කෙටීමෙහි කැමැති වූයේ වෙයි. (හතපහතෙ නිවිට්ඨෝ) ප්‍රාණීන් කෙරෙහි දයාවන්ත නොවූයේ වෙයි. (අදයාපනනො පාණභූතේසු) පරපණ නසන,අනුන් නසන පුද්ගලයෙක් මොනතරම් අපවිත්‍ර පුද්ගලයෙක් දැයි “ලේ ගෑවුණු අත් ඇති” අයෙක් යන අදහසින්ම පැහැදිලිය. ප්‍රාණඝාතකයෙක්, අනුන් නසන්නෙක්, ධනය, බලය, පෙනුම හා ලෞකික උගත්කම් ආදියෙන් සමන්විත වුව ද කිසිවිටෙකත් සිල්වන්ත හෝ ගුණවන්ත අයෙක් ලෙස දහමෙහි නොසැලෙකේ. ඔහු හෝ ඇය ආධ්‍යාත්මික ගුණයෙන් හීන සහ අපිරිසුදු කර්ම සංස්කාර ඇත්තෙකි. ස්වල්ප හෝ මහත් වූ ද සොරකම් කරන්නා,සොර සිත් ඇත්තෙකි. (ථෙය්‍යසංඛානං ආදාතා හෝති) කාමයන්හි වරදවා හැසිරෙන්නා ද ඉතාම අපිරිසුදු හා අධර්ම ද විෂම හැසිරීම් ද ඇත්තෙක් ලෙස සැලකේ. ඔහුගේ හෝ ඇයගේ චරිතයද පැවැත්මද සොහොනක් බඳු අපිරිසුදුය.

අපවිත්‍ර වූ වාග් කර්ම ඇත්තා මුවින් අපිරිසුදු අයෙකි. බොරුකීම,කේලාම් කීම , ඵරුසවචන කීම සහ හිස් වචන කතා කිරීම මෙම පුද්ගලයාගේ ලක්‍ෂණයෝ ය. කොපමණ ප්‍රසන්න අයෙක් වුව ද, මනහර ඇඳුමෙන් හා පැළඳුමෙන් සැරැදී සිටියද මුවින් අපිරිසුදු නම් ඔහුගේ හෝ ඇයගේ බාහිර පිරිසුදු කමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? චරිතයෙන් සහ පැවැත්මෙන් දූෂිත වූ අයෙක් බවට පත්වේ. මෙම අපිරිසුදු පුද්ගලයා කාලයට හෝ තැනට නොගැළපෙන දෙයක්ම කියයි.(අකාලවාදී) නොවූ දෙයක් හෝ බොරුවක්ම කියයි. (අභුතවාදී) අර්ථයක් නැති නිෂ්ඵල දෙයක්ම කියයි. (අනත්‍ථවාදී) අධර්ම දෙයක් කථා කරයි (අධම්මවාදී) සංවරයට හෙ ශික්ෂණයට නොගැළපෙන්නක්ම කියයි. (අවිනයවාදී) මේ ආදි ලෙසින් මුව අපිරිසුදු කරගත් අයෙකි. එමෙන්ම මනසින් ද යම් අයෙක්,සොහොනක් මෙන් අපිරිසුදු විය හැකිය. ඒ විෂම ලෝභ සිතිවිලි නිසාය. තමා සතු වස්තූන්හි පමණක් නොව අන්සතු වස්තූන් කෙරේද දැඩි ආශාවකින් යුතුවූයේ වෙයි. එමෙන්ම ද්වේෂය හෙවත් තරහෙන් යුක්ත වූයේ “ මැරේවා, සි‍ෙඳ්වා, නැසේවා, අයහපතක්ම වේවායි” ප්‍රාර්ථනා කරමින් අපවිත්‍ර වූ සිත් ඇති අයෙක් බවට පත්වෙයි. මීළඟට මිච්ඡා දිට්ඨී හෙවත් වැරැදි වූ දැක්මකට නතුවීමෙන් පිරිසුදු වෙයි.එනම් දුන් දෙයෙහි විපාක නැත (නත්ථී දින්නං) ආදි වශයෙන් දස ආකාරයක මිථ්‍යා දැක්මකින් සමන්වාගත වීමෙන්, සිත, කය, වචනයනම් වනු තුන්දොරින්ම මෙවැනි පුද්ගලයෝ අපිරිසුදු සොහොන් බඳුය.

භාග්‍යවතුන් වහන්සේ,දෙවනුව දේශනා කරන්නේ සීවථිකූ®පම පුද්ගලයාගේ දුගඳ පිළිබඳවය. “මහණෙනි අපවිත්‍ර කාය කර්මයෙන් යුතු වු අපවිත්‍ර වූ වාග් කර්මයෙන් යුතු වූ අපවිත්‍ර වූ මනෝ කර්මයෙන් යුතු වූ පුද්ගලයා හෝ ලාමක වූ පාපි නුගුණ ශබ්දයම නැඟෙයි. එනම් පැතිරෙයි (පාපකො කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති)

තුන්වෙනුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරති. මහණෙනි, අපවිත්‍ර කාය කර්මයෙන්, අපවිත්‍ර වාග් කර්මයෙන්, අපවිත්‍ර මනෝ කර්මයෙන් යුතුවූ ඒ පුද්ගලයා පි‍්‍රයශීලි සබ්‍රහ්ම චාරීහු (එක්ව වාසයයකරන්නෝ) දුරින්ම දුරු කරති. මේ ඔහුගේ පවත්නා බියයි” අමු සොහොන පිළිබඳ සාමාන්‍ය මිනිස් සිතේ යම් වුද බියක් හෝ තැති ගැනීමක් පවතින්නේ ද, එබඳුම අයත් මෙම පුද්ගලයා ගැන ද පවතී. පවුල් පරිසරයේ ද ඔහු හෝ අය ගැන පවතින්නේ බියකි. රැකියාවක් කරන ස්්ථානයේ ද, ගමේ ද, පළාතේ ද, පූජ්‍යස්ථානයකට පැමිෙණියේද ඔහු හෝ අවට සිදුවන්නේ අනුන් විසින් දුරැලීමෙන් ඇතිවන හුදකලා බවට පත්වීම ය. ආශ්‍රයට තබා සමීපයටවත් නොගත යුතු අයෙක් ලෙස සිතන්නට අන් අය පුරුදු වෙති. නිවසකට පැමිණෙන විට නිවැසියෝ බියෙන් දොර වසා ගනිති. මහමඟදී මුණ ගැසුනද නොදුටුවාසේ මඟ හැර ගමන් කරති. ඔහු හෝ ඇය අපවිත්‍ර දුගඳ හමන සහ බියගෙන දෙන පුද්ගලයෙක් යැයි වදාළේ එබැවිනි.

භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරති. මහණෙනි, අපවිත්‍ර වූ කාය කර්මයෙන්, වාග් කර්මයෙන්, මනෝ කර්මයෙන් යුතු වූයේ, එම පුද්ගලයා තමාට සමාන පුද්ගලයන් සමඟ වෙසෙයි. මෙය ඔහුගේ නපුරු වාසය යයි කියමි. ඒ සොහොන අමනුෂ්‍යයන්ට වාසස්ථාන නම් මේ අපවිත්‍ර පුද්ගලයාද එබදු යයි උපමාකොට දේශනා කරමි. “සොහොන ඇසුරු කොට අමනුෂ්‍යයන් වාසය කරන්නාක් මෙන්,මෙම තිදොරින් අපිරිසුදු පුද්ගලයා ඇසුරුකොට ගෙන නොයෙක් දුස්සීල අසත්පුරුෂ පාපී දරුණු පුද්ගලයෝ වෙසෙති.කුණුවලට කුණු එකතුවෙන්නාක් මෙන් නරක හා පාපී පුද්ගලයා හෝ පුද්ගලයන් වෙතට එවැනිම පුද්ගලයෝ එකතුවෙති. සිල්වත් සත්පුරුෂ යහපත් අය බැහැර වෙති.

පස්වෙනි ආදීනවය මෙසේයි. පි‍්‍රයශීලි පැවතුම් ඇති එක්ව වාසය කරන අය විසින්, අපවිත්‍ර වූ කාය, වචී මනෝකර්ම ඇති පුද්ගලයා දැන අප මෙවැනි පුද්ගලයෙක් සමඟ වාසය කරනවා නම් එය ඒකාන්තයෙන්ම දුකකියි පවසා හෝ සිතමින් දුක්වනු ලැබේ. ශෝකයට පත්වනු ලැබේ. පවුලක් තුළ යම් ස්වාමි දියණියකට යම් පාපි ස්වාමිපුත්‍රයෙක් නිසා දුකෙන්, ශෝකයෙන් යුතුව “මොන කරුමයකට මෙවැනි පුද්ගලයෙක් මගේ ජීවියතයට එකතු වුණේදැයි ශෝක කරන්නට හා හඬන්නට සිදුවුවොත්, එම ස්වාමියා අන් අයට හැඬීම්, ශෝක ගෙනදෙන අමු සොහොනකි. මෙය ස්වාමි පුත්‍රයෙක් පමණක් නොව ස්වාමි දියණියක් නිසා ද විය හැකි ය.

සිත, කය, වචන යන තුන්දොරින් දුසිරිත් පුරුදු කොට සොහොනක් (සීවථිකාය) නොවී තමාට මෙන්ම අන් අයටද සැනසිය හැකි මල් උයනකට උපමා කළ හැකි ජීවිතයක් පවත්වා ගත හැකි නම් ලැබූ උතුම් වූ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ලැබුවා වන්නේ ම ය. සියල්ල අනිත්‍ය වූ ලෝකයෙහි මැනවින් සුපසන් කරගත් සිත,කය, වචනය, අපට ඒ සඳහා උපකාර වේවි, සැමට උතුම් වූ ධර්මාවබෝධයම වේවා!