නවම් පුර අටවක 2013 පෙබරවාරි 17 වන දා
සමාජ මෙහෙවරේ අඩිතාලම
මහ මඟ යන එන විට ඒ මඟ යන එන අයට කරදර, පීඩා සිදුවිය හැකි යමක්
මාර්ගයෙහි පතිත වී තිබුණහොත් එය දුටු අයෙකු විසින් එය
මාර්ගයෙන් ඉවත් කිරීම බොහෝ දෙනාගේ සිරිත විය. අද ද ඒ සිරිත
බොහෝ දෙනා අතුරෙන් ඉටු වේ.
බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් මාර්ගවල යන එන විට දක්නට
ලැබෙන දසුනක් නම් කටු අත්තක්, නැතහොත් අතු කැබැල්ලක් එසේත්
නැතහොත් ගලක්, මුලක් මාර්ගය තුළට වැටී තිබුණහොත් එය දුටු
තැනැත්තා විසින් ඒවා මාර්ගයෙන් ඉවතට දැමීම සිරිතය. එපමණක් නොව
ඇතැම් සුනඛ, බිළාල පැටවුන් පවා මාර්ගයෙහි සිටිනු දුටුවහොත් එම
සතුන් පවා මාර්ගයට ඈතින් තබා ගමන් කිරීමද සිරිතය.
එපමණක් නොව පාරේ යන එන විට වීදුරු කැබැල්ලක්, අඹ ලෙලි
කැබැල්ලක්, කෙසෙල් ලෙලි කැබැල්ලක් මාර්ගයට වැටී තිබෙනු
දුටුවහොත් එය පවා ඉවත් කරනුයේ තමන් යන එන ගමන තරමක් පමාවීම පවා
නොසලකා හරිමිනි.
ඇතැම් විට එවන් සුළු දෙයක් පවා මහ මඟ වැටී තිබෙනු දුටු විට එය
ඉවත් කිරීම බොහෝ දෙනාට යහපත සැලසෙන කරුණක් විය හැකිය.
සිදුවන්නට යන විපතක් නැති කර ගත හැකිය. යහගුණ, යහපත් සිරිත්
පටන් ගත යුත්තේ ආරම්භ කළ යුත්තේ මිනිසා ඉතා කුඩා කාලයේ සිට ය.
මගියාට බාධාවක් වන යමක් මාර්ගයෙහි වැටී ඇති විටෙක තවත්
මගියෙකුට එයින් සිදුවන විපතෙන් ඒ මගියා බේරා ගැනීම ද වගකීම වේ.
ඇතැම් විට බොහෝ දෙනෙකු එවන් කරුණු පිළිබඳව, ඉතා බුද්ධිමත්ව හා
විමසිලිමත්ව නොසිතීම නිසා ජීවිතයකට ඒකරාශී කර ගත හැකි, ඒකරාශී
කර ගත යුතු යහපත් ගුණ දහම්වලට යොමුවීම තරමක් දුරට හෝ අඩු වී
ඇති බවක් දක්නට ලැබේ.
ඉතා සුළු වශයෙන් පටන් ගන්නා එවන් යහපත් සිරිත් ඉටු කිරීමේ ගුණය
වර්ධනය වීමෙන් එයම අවංක සමාජ සේවකයකුගේ මූලාරම්භයක් පවා විය
හැකි වේ.
පොදු කටයුතු, යහපත් වැඩ ඉටු කිරීමට ඇතැම් අයෙකුගේ කල්පනාවට
නොනැඟේ. එහෙත් කලාතුරෙකින් හෝ අයෙක් එවන් සුළු දෙයක් කෙරෙහි
පවා අවධානය යොමු කර එය ඉටු කිරීමෙන් ඔහු තමාගේ ජීවිතය සාර්ථක
කර ගැනීමට යහපත් අඩිතාලමක් දැමීමක් වැනි ය.
බෝධිසත්වයන් වහන්සේ සසරපුරා විවිධ වූ දුක් ගැහැට විඳින ලද්දේ
අනුන් වෙත උපකාර කිරීම, උදව් කිරීම සඳහා ය. සමාජයට සුළු වශයෙන්
හෝ කරන සේවාවක් වේ නම් එය බෝසත් දහමක් සේ සැලකිය හැකි ය.
තමන්ගේ ශක්ති පමණින් සමාජයට උපකාර කිරීම යුතුකම වේ. සත්පුරුෂ
මනුෂ්‍යයා හැම විට ශක්ති පමණින් රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන්
උපකාර කිරීමට පෙළඹේ. ගෞතම බුදුපියාණන් වහන්සේ සමාජ මෙහෙවරෙහි
අගය බෙහෙවින්ම අගය කළ ශාස්තෘන් වහන්සේ ය.
මිල මුදල් වැය නොකරමින්, කළ හැකි යහපත් ක්‍රියා මිනිසා කුඩා කල
පටන් ඉටු කිරීමට අවංකව ඉදිරිපත් විය යුතු ය. පෙළඹිය යුතු ය.
අත පය වාරු නැති අයෙකු දුටු විට ඒ තැනැත්තා පෙරළාගෙන දුවගොස්
දුම්රියේ, බස්රියේ ආසන අත් කර ගැනීමට වඩා, තමා අසුන් ගෙන සිටින
ආසනය වැඩිහිටියකු වෙත පිරිනැමීමට සමාජය හුරු පුරුදු විය යුතු
ය. යොමු විය යුතු ය.
කුඩා විය, යොවුන් විය හැමදාම එකලෙස නොපවතී. ශරීර ශක්තිය ඇති කල
අනුන් වෙත තම ශක්තියෙන් මෙහෙවර කළ යුතුමය. එසේ නොවුවහොත් අපේ
අතීතයේ මුතුන් මිත්තන් රැකගෙන ආ උදාර සමාජ සේවාවන් අප අතින්
ගිලිහී යනු ඇත. මතු පරපුරට ආදර්ශයෙන් යමක් පෙන්වාදීමට
නොහැකිවනු ඇත. එබැවින් අනුන්ගේ යහපත පතා ශක්ති පමණින් සමාජයට
සුළු මෙහෙවරක් හෝ කළ හැකි වෙතොත් එය උදාර සමාජ මෙහෙවරක් සේ අගය
කළ හැකි වේ. |