Print this Article


පූජාච පූජනීයානං

බම්බලපිටියේ ආනන්ද තිස්ස මා හිමි

අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරාධිපති, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, බම්බලපිටියේ ආනන්ද තිස්ස මාහිමිපාණන්ගේ 57 වන ජන්ම දිනය මෙම පෙබරවාරි 17 දිනට යෙදේ.

දළදා වහන්සේ උදෙසා ගිලන් පස මුරුතැන් පූජා පවත්වමින් මල්වතු අස්ගිරි උභය විහාරිය අතිපූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි දක්‍ෂිණාමය මහා පින්කම් සිදු කරමින් ජන්ම දිනය සමරන ආනන්ද තිස්ස මාහිමියෝ මෙවර එය ඉටු කරන්නේ 24 වන වරට බැව් ද සඳහන් කළ යුතු ය.

මෙම මහා පින්කම් අවස්ථාවට අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියෝ ද සහභාගි වෙති.

1956 පෙබරවාරි 17 දා කේ.ඒ. හෙන්ද්‍රික් හා ඩබ්ලිව්. ලුසිනෝනා යන දම්පතීන්ගේ කනිටු පුත් ලෙසින් උපත ලැබ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබමින් කුඩා අවදියේ සිටම පැවිදි බව සිත් දැරූ කුමරු 1967 අපි‍්‍රයෙල් 28 දින රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් හා රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝක තිස්ස නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට පිළිපන්හ. අම්බලන්ගොඩ රන්දොඹේ මහා චේතිය පරිවෙණස්ථානයෙන් අධ්‍යාපනය ලබමින් අනතුරුව අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙනේ දීප්තිමත් ශිෂ්‍යයකු ලෙසින් සිංහල, පාලි, සංස්කෘත, ඉංගශ්‍රීසි භාෂා පිළිබඳ උසස් අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන අවසාන විභාගය දක්වාම උගත් ආනන්ද තිස්ස සාමණේරයෝ 1975 ජූලි 06 දා අමරපුර මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයත්වයෙන් උපසම්පදාව ලදහ.

සිය ගුරු හිමියන්ට අපරිමිත ස්නේහයක් ගෞරවයක් දක්වමින් සියලු කටයුතු නොඅඩුව ඉටු කළ ආනන්ද තිස්ස හිමිපාණෝ සිසුවකු ගුරුවරයා හා පැවතිය යුතු සබඳතා යුතුකම සහ වගකීම පිළිබඳව කාහටත් ආදර්ශයක් ගෙන දෙමින් ක්‍රියා කළහ. විහාරාධිපති ගුරු හිමියන්ගේ අපවත්වීමෙන් 1978 සැප්තැම්බර් 06 දින විහාරාධිපති ධුරයට පත් හිමියනට පැවරුණේ වගකීම් කාර්යභාරයකි. සිය අධ්‍යාපන කටයුතු ද අතරමග නිම කරමින් විහාරාධිපති ධුරයේ වගකීම් භාරයට කරට ගත්හ. ඉපැරණි විහාරස්ථානයේ නවතම ප්‍රතිසංස්කරණ වූයේ උන්වහන්සේ ගෙනි.

චේතියගිරි මහා සෑය උන්වහන්සේගේ දැඩි උත්සාහයේ සුවිශේෂී ප්‍රතිඵලයකි. කලාත්මක මලසුන් ගෙය, පිය ගැට පෙළ, සමාධි ප්‍රතිමාව ආදී නොයෙක් කටයුතු කළ උන්වහන්සේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය මහතා ඉහළින් සැමරූහ. ඊට සමගාමීව විහාරස්ථානයේ ඉදි කෙරුණු ‘මාදම්පේ ශ්‍රී සෝමාරාම තිස්ස නාහිමි අනුස්මරණ ධම්ම පුස්තකාලය’ දර්ශනීය රන් වැට, බෝධි ප්‍රාකාරය, අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරය, විශේෂ සියවස් සමරු මුද්දරය නිකුත් කිරීම ආදී බොහෝ කටයුතු ඒ අතර වෙති. සියවස් පැරණි විහාර මන්දිර ප්‍රතිසංස්කරණය කළ උන්වහන්සේ විහාරස්ථානයට අවශ්‍ය සියලු අංගයන්ගෙන් සම්පූර්ණ කළහ.

උන්වහන්සේගේ උත්සාහයෙන් ඉදි වුණු සප්ත මහා දේව මන්දිර සහ ‘මහානුභාව සම්පන්න පුරාණ කොස්වඩුවේ දේවාලය’ වෙත ඈත පළාත්වල සිට පවා ජනතාව ඇදී එන්නේ උන්වහන්සේ සලසන නිශ්ශරණාධ්‍යාශ ජනතා ශුභ සිද්ධිය නිසාම ය. ආනන්ද තිස්ස නාහිමිපාණෝ ප්‍රදේශයේ විවිධ සමිති සමාගම රැසක අනුශාසකත්වය දරමින් මහත් සේවාවක් සිදු කරති.

චේතියගිරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙසින් දරු දැරියනට කරනු ලබන මෙහෙය ද වැදගත් ය. සෑම වසරකම දෙවරක් දඹදිව බුද්ධ භූමි වන්දනාවේ යෙදෙන්නේ බොහෝ පිරිසකට පින් අත් කර දීමේ චේතනාවෙනි. අල්පේච්ඡ නිරහංකාර නිහතමානී සංඝ ශෝභන ගුණයෙන් අනූන ආනන්ද තිස්ස නාහිමියෝ කීර්ති ප්‍රශංසා නම්බු නාම පසුපස නොයනුදු ඒ සියල්ල නිතැතින්ම උන්වහන්සේ වෙත ගලා එයි.

උන්වහන්සේගේ 57 වන ජන්ම දිනය සමරමින් සෙත් ප්‍රාර්ථනා කිරීමේ මහා පින්කම මේ මස 17 සහ 18 දෙදින මහනුවර ශ්‍රී දළදා මන්දිරයේ දී උන්වහන්සේගේ ශිෂ්‍ය, තලවතුගොඩ මුදිත තිස්ස හිමි ඇතුළු දායක කාරකාදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබයි.


සුමනසිරි නා හිමි

භාෂා 11 ක් කතා කරන යතිවරයකු ගැන අසා නැතිවාට සැකයක් නැත. භාෂා 17 ක් කියවිය හැකි සිංහල භික්ෂුවක් ගැන හිතන්න පුළුවන්ද ? සිංහල වුනත් ශ්‍රී ලාංකිකයකු නොවන උන්වහන්සේ, සිංගප්පූරුව හා මැලේසියාව ගම රට වශයෙන් උරුම කරගත් සිංගප්පූරුවේ ආචාර්ය දොස්තර සුමනසිරි හාමුදුරුවෝය.

වයස 11 දී සිංගප්පූරු ඉතිහාසයේ ( ශ්‍රී ලංකාරාමයේදී ) පැවිදි වූ පළමු කුමරුවා වන මුන්වහන්සේ එදිනම ඉංගිරිසියෙන් පුරා පැයක් ධර්‍මය දේශනා කළේය. මේ වනවිට වාර්තා 48 ක් තබා ඇති මේ හිමියන් වසර 2000 දී ලෝක වාර්තාවක් තැබීය. ඒ, පා ගමනින් කිලෝමීටර 6, 000 ක් මාස 9 කින් මුළු මහත් චීන මහා ප්‍රාකාරය තරණය කිරීමෙනි.

සිංගප්පූරු පාසලින් ජාතික භාෂාව වන මැලේ බස හා පොදු ඉංගිරිසි බසත් චීන බසත් සහජයෙන් කතා කරන මුන්වහන්සේ, ඉතාලි, ජර්මන්, ප්‍රංශ ඇතුළු භාෂා 11 ක් කතා කරති.

කැලණිය සරසවියෙන් මහාචාර්ය ඩබ්. එස්. කරුණාරත්න සූරීන් යටතේ බෞද්ධ දර්ශනයත් ( බටහිර දර්ශනයත් සමඟ ) ඊට පෙර ත්‍රිපිටක ධර්‍මය සපුරා කියවා තිබිණ. ලන්ඩන් සරසවියෙන් බ්‍රිතාන්‍ය නීතිය හදාරා ලන්ඩනයේ වෛද්‍ය විද්‍යාල දෙකකින් උපාධි 3 ක් ද ( අධිසම්මාන සාමාජිකත්වය සහිත ) ඇමෙරිකානු වෛද්‍ය සංගමයෙන් පශ්චාත් උපාධියක් ද ලැබූ පළමුවැනි භික්‍ෂූන් වහන්සේය. අධ්‍යාපනය ප්‍රාග් ධනයක් නො කර ගත් මුන්වහන්සේ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියත් ලබා ගත්හ.

රටවල් 60 ක දේශන, සමුළු හා වැඩමුළු නිතර පවත්වා ආචාර විද්‍යාව, අපරාධ නීති, සමාජ විද්‍යාව හා ආසියා ඉතිහාසය මෙන්ම වෛද්‍ය විද්‍යාවෙන් ද සමකාලීන ගැටලු ගැන පර්යේෂණ ලිපි 128 ක් ඉදිරිපත් කර ඇති මේ හිමියන් මෑත දී උ ව් ර්‍ණ - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉචතබ ඹ්චඬඥ ඛ්ඪබර’ උබචඩ ශාඛාවේ ආගන්තුක දේශනය ( යහපාලනය ගැන ) මැනැවින් සිදු කළේ නිර්භීතව ලෝක බලවතුන් ගේ ආචාර ධර්ම අභියෝගයට ලක් කරමිනි.

භාරතයේ වියතුන් හා ජන නායකයන් සමඟ උරෙනුර ගැටී වසර 37 ක් කටයුතු කර ඇති නාහිමියන් එකම ස්ථානයෙක දෙලක්ෂ පනස් දාහකට ( 2, 50, 000 ) ධර්මෝපදේශ දුන්නේ භාෂා ත්‍රයෙකින් ය. 2007 දී “ට්තධපර ධට ධ්දඤඪච” (භාරතයේ අභිමානය) සම්මානයෙන් පිදීය.

නා හිමියන් මැලේසියාවේත්, ඉතාලියෙත්, එංගලන්තයෙත්, පැරීසියේත් ස්වකීය විහාර හා සංවිධාන ශාඛා පිහිටුවා ඇත. මෑතදී චිලී රාජ්‍යයේත් ආර්ජන්ටිනාවේත් වැඩ මුළු රැසක් කළ උන්වහන්සේ වසර 21 ක් කැනඩා හා ඇමරිකාවේ ( කැරිබියානු කොදෙව් ඇතුළු ) බණ, දේශන, භාවනා හා සංවාද පවත්වා ඇති මුන්වහන්සේ ආදර්ශයකි.

දෙසැම්බර 22 වන සෙනසුරාදා ගල්කිස්සේ ධර්මපාලාරාමයේ දී අමරපුර නිකාය භික්‍ෂු සංඝයා අතින් “දර්ශන චක්‍රවර්ති” නමැති විශේෂ සම්මානය සහිත සිංගප්පූරුවේ හා මැලේසියාවේ ප්‍රධාන සංඝ නායක පදවිය ලද සුමනසිරි නා හිමියන් වහන්සේට දිගාසිරි පතමු.


මැදගම ධම්මානන්ද හිමි

මහනුවර අස්ගිරිය මහා විහාරයීය විංශත්වර්ගික කාරක මහා සංඝසභාවේ කාරක සභික මහනුවර ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති මැදගම ධම්මානන්ද හිමියන් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උපසභාපති පදවියට පත්වීම නිමිත්තෙන් උන්වහන්සේට උපහාර පිදීමේ උත්සවයක් මහනුවර අස්ගිරිය මහා විහාරයීය මහ පිරිවෙනේ දී සම්භාවනීය ගිහි පැවිදි උතුමන්ලාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම උත්සවයේ දී එම සන්නස්පත්‍රය, මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝසභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියන් විසින් මැදගම ධම්මානන්ද හිමියන් වෙත පිරිනමන ලදී. අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී ධුරය හොබවමින් අස්ගිරි මහා විහාරය නියෝජනය කරමින් සම්බුද්ධශාසනයේ දියුණුව වෙනුවෙන් විවිධ ආගමික බෞද්ධ අධ්‍යාපනික, සංස්කෘතික හා සාමාජීය සේවාවන් මෙහෙයවූ පණ්ඩිත යටවත්තේ ධම්මකන්ද නාහිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් 1968 දී පැවිදි බිමට ඇතුළත් වූ මැදගම ධම්මානන්ද හිමියෝ ඌව පළාතේ බිබිල, මැදගම ග්‍රාමයේ දී ජන්ම ලාභය ලබා හඟුරන්කෙත, මාදන්වල ධර්මෝදය, හුණුපිටිය ගංගාරාමය මහ පිරිවෙන් වලින් ධම්ම ශාස්ත්‍ර හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා කොළඹ රාජකීය, මහනුවර ධර්මරාජ යන විදුහල් වල ධර්මාචාර්යවරයකු වශයෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිරතව ඇත.

ඇමෙරිකාව ප්‍රංශය, තායිලන්තය, ජර්මනිය රටවල ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි නිරතව ජාත්‍යන්තර මට්ටමෙන් අත්දැකීම් රැසක් ලබාගත් ධම්මානන්ද හිමියෝ කෘතහස්ත ලේඛකයෙකු විචාරකයෙකු විශේෂාංග සංස්කාරකවරයෙකු වශයෙන් පුවත්පත්වලට විවිධ සමාජ විෂයන් මුල්කරගෙන ලියන ලද ලිපිවලින් සමාජය අවිධිමත් කර ඇත. ග්‍රන්ථ කර්තෘවරයකු වශයෙන් ග්‍රන්ථ කිහිපයක්ද සංස්කරණය කර ඇත. අස්ගිරිය මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභිකනමක් වශයෙන් මහා විහාරයේ ශාසනික කටයුතුවල මුල්තැනක් ගෙන ක්‍රියා කරනු ලබන්නේ ය.


දන්ගල්ලේ විමලජෝති හිමි

පයාගල ඇලබඩ ශ්‍රී ඉන්ද්‍රජොත්‍යාරාමාධිපතිව වැඩ විසූ දන්ගල්ලේ විමලජෝති ස්වාමීන් වහන්සේ උදාර ශාසනික ජාතික මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමක් වූහ. දොම්පේ ප්‍රදේශයේ දන්ගල්ල ග්‍රාමයේ දී 1915 මැයි 25 වැනි දා උන්වහන්සේ ජන්ම ලාභය ලැබූහ. සිලවති පොඩි මැණිකේ මහත්මිය හා සි.සි. විජයවර්ධන මහතා උන්වහන්සේගේ දෙමාපියන් වූහ.

පයාගල ශ්‍රී සොමාලංකාර, කළුතර ශ්‍රී සෝමාරාම යන ස්වාමීන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් මෙම ඩී.සී. විමලදාස කුමරුවා දන්ගල්ලේ විමලජෝති යන නාමයෙන් 1927 මැයි 27 වැනි දා පැවිදි ජීවිතයට ඇතුළත් විය. දන්ගල්ලේ විමලජෝති සාමණේරයන් වහන්සේ බෙමිතර වනවාස මහා විහාස්ථ පණ්ඩිතරත්න පිරිවෙනින් උගත මනා බණ දහම් හැදෑරූහ. අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනින් වැඩිදුර අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි සුමංගල උපෝසථාගාරයේ දී උපසම්පදා භූමියට 1938 ජූලි 23 දා පත්වූහ.

පයාගල ශ්‍රී ඉන්ද්‍රජෝත්‍යාරාම විහාරස්ථනයේ විහාරාධිපති පදවිය උසුලන්නට උන්වහන්සේට සිදු විය. 1943 දී විහාරාධිපති පදවියට පත් වන විට උන්වහන්සේගේ වයස අවු. 28 කි. දන්ගල්ලේ විමලජෝති ස්වාමීන් වහන්සේ ක්‍රියාශීලිය. සියල්ලන්ගේම සිත දිනා ගැනීමට සමත්විය. උන්වහන්සේ විහාරස්ථානයේ අඩුපාඩු සම්පූර්ණ කළහ. දන් ගල්ලේ විමලජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බේරුවල ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ ලෙස 1971 සිට අපවත් වන මොහොත දක්වාම කටයුතු කළහ. 1965 දී බේරුවල තෛ‍්‍රනිකායික භික්‍ෂු බල මණ්ඩලයේත් ලේඛකාධිකාරීන් වහන්සේ විය. විවිධ සංවිධානවල ලේකම් ධුරය ඉසිලීම, හේතුවෙන් උන්වහන්සේ ලේකම් හාමුදුරුවෝ යන නාමයෙන් ද හැඳින්විණි.

දන්ගල්ලේ විමලජෝති ස්වාමීන් වහන්සේ ගිහි පැවිදි විශාල ගෝල පිරිසක් බිහි කළහ. 1990 පෙබරවාරි 14 වැනි දා සද්ධර්ම වාගිස්වර දන්ගල්ලේ විමලජෝති ස්වාමීන් වහන්සේ වසර 75ක් ආයු වළදා අපවත් වූ සේක. දන්ගල්ලේ විමලජෝති ස්වාමීන් වහන්සේ හා ඉන්පසු විහාරාධිපති වෛද්‍යාචාර්ය (කැඩුම්, බිඳුම්) පයාගල විජිත ස්වාමීන් වහන්සේට පින් පිණිස මේ මස 16 වන සෙනසුරාදා සවස පයාගල ඇලබඩ ශ්‍රී ඉන්ද්‍ර ඡ්‍යොත්‍යාරාමයේ දී අටවිසි බුද්ධ පූජාමය පින්කමක් සහ පසුදින 17 දින දවල් සංඝගත දක්‍ෂිණාවකි.