Print this Article


පහන් වැටක් බදු පියංගල වන සෙනසුන

ඉතිහාස වංශ කතාවේ මැකී ගිය පරිච්ඡේදයක් නැවත මතු කරගත හැකි හෝඩුවාවන් රැසක් තවමත් සුරැකිව තබාගෙන ඇති පියංගල නම් වූ වන සෙනසුන එසේ ඓතිහාසික වගතුග තහවුරු කරගැනීමට සමත් සුවිශේෂී ස්ථානයකි.

බොහෝ වගකිව යුතු ඇත්තන්ගේ අවධානයෙන් ගිලිහී වනයට වහන් වූ ලෙන් සමූහය ඉතිහාසයේ වසන් වූ බොහෝ දේ පැවැසීමට තවමත් සෑදී පැහැදී සිටියි.

නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කයේ උහන උප දිශාපති කොට්ඨාසයේ අම්පාර මහනුවර මාර්ගයේ අම්පාරේ සිට කි.මී. 30 ක් පමණ දුරකින් මහා මාර්ගය අද්දර මෙම පුදබිම පිහිටා තිබෙ යි.

වත්මනෙහි රජගල හෙවත් රාස්සහෙළ නමින් හැඳින්වෙන දිගටි කඳුවැටිය පෙර දා හඳුන්වා ඇත්තේ කිඹුල්ගල නොහොත් ගිරිකුම්භීල යන නමිනි. කට අයාගත් කිඹුලකු නිදා සිටින ස්වරූපයට දිස්වෙන බැවින් කඳු වැටියට ඒ නම තිබූ බව කියැවෙයි. මහාමාර්ගය අසල පාදමේ ඇති ආවාස ගෘහය දාන ශාලාදිය පසු කර කන්ද තරණය කර ඉහැත්තෑවට යාමේදී වන ගහණය තුළ තැනින් තැන ස්වභාවික ලෙන් සමූහයත් මුණ ගැසෙයි. ගිරිදුර්ග සහිත වනයේ ලෙන් සියයක් පමණ ඇති බව කියැවෙයි. දැනට හඳුනාගෙන ඇති ලෙන් 26 ක් පමණ ඇති අතර ඒ බහුතරයක කටාරම් කොටා ඇත. ඒ අතර ලෙන්ලිපි 19 ක් පමණ හමු වී තිබෙයි.

ලෙන් වෙතට පිවිසීමට තනා තිබූ ගලින් කළ පියගැට මෙන්ම මඟ සලකුණු, පැරැණි සක්මන්මළු, පාද ලාංඡනය සහිත ශිලා පලකයන්, ස්තූපයක් යැයි සිතිය හැකි කඩොලු ගොඩැල්ලක් පැරැණි ගල්කණු ආදීය ද මෙහි වන සෙනසුන පුරා ශේෂව විසිරී පවති යි.

පුරාතනයේ මෙම පිවිතුරු වූ වන සෙනසුන සසර ගමන නතර කිරීමේ දැඩි වූ ද සුපිරිසිදු වූ ද අධිෂ්ඨානයෙන් මෙහෙයවනු ලැබූූ යෝගාවර භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි ආරණ්‍ය සේනාසනයක්ව පැවැති බවට ප්‍රමාණවත් වූ සාධක සොයා ගැනීමට හැකි වී තිබෙයි.

සසල වූ සිත නිසසල කරන ස්වභාවික සුවදායක පරිසරයක සැනසිලිදායක හරිත වනපෙත් මධ්‍යයේ පිහිටි ස්වාභාවික ලෙන්කුටි ජීවිත ගමනේදී තෘෂ්ණාවෙන් කිසිත් බදා නොගන්නා සියල්ල අත්හැරීමට සූදානම් මෙහි විසූ යෝගාවදර භික්‍ෂූන් වහන්සේට තාවකාලික වාසස්ථාන ලෙස සකස් කර පිළිගැන්වෙන්නට ඇත. එදා ඒ භික්‍ෂූන් වහන්සේ දුර දුර්ග මඟක කෙළවර අජරාමර නිර්වාන සුවය අවබෝධකර ගන්නටද ඇත. එම ලෙන් සමූහය එවන් වු භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් සෙවන සැදීමට අදත් සැදී පැහැදී සිටි යි.

දායක දායිකාදී පින්වතුන් එසේ වෙහෙස වී යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් ලෙන් ආවස ගෘහ, මෙන්ම සම්බුදු මැදුරු ලෙස සකස් කිරීමේ පින්කමට දායක වූ අතර ඒවා සෑදු පරිත්‍යාගශීලි මහා ධනවතා වූයේ ස්වභාවධර්මය වීම විශේෂත්වයකි.

මෙම ආරණ්‍ය සේනාසනයේ ඇති ඇතැම් ලෙන්හි ඇති සෙල්ලිපි ඉතා වැදගත් ඓතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කරයි.

එහි එක් සෙල් ලිපියක ඇති ‘දෙවනපිය මහ රක්ඛහ ගාමිණි අබහ ඣය රක්‍ධිතය මතය අබිතිශය ලෙණෙ’

කි‍්‍ර.පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන මෙහි අරුත නම් දුටුගැමුණු මහ රජතුමාගේ බිසව වූ රජිතාගේ මැණියන් වූ අභිතිස්සා දේවිය සඟරුවනට පිදු බව ය. ‘පරුමක මිතපුත පරුමක දූත ශුමන හලෙණෙ අගත අනගත චතු දිශ ශගශ දිනෙ’

මේ ආදි වශයෙන් ලියැවී ඇති ලෙන් ලිපි 19 විමැසීමෙන් පසු ඉතිහාස කතාවේ ඉතා සුවිශේෂ වූ සැඟවුණූ පරිච්ඡේදයන් කීපයක් නිරාවරණය කිරීමට හැකි වී තිබෙ යි.

මේ ලෙන් ලිපි කියවා එය තේරුම් කර දීමේ පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන්ට ය.

ඒ ලෙන් ලිපි සමස්තය ගෙන විමසන විට දුටුගැමුණු රජතුමා හා විවාහ වූ රජිතා නම් බිසවක් ගැන කියැවෙයි. ඇයගේ මෑණිය අබිතිස්සා දේවිය බව ද වටහා ගත හැකිය.

එසේම දුටුගැමුණු රජතුමාට බිසෝවරු කීප දෙනෙකු සිටි බවත් එතුමාගේ අගමෙහෙසිය රාජිතා විය හැකි බවට මේධානන්ද හිමියෝ තම මතය පළ කරති. එසේම දුටුගැමුණූ රජතුමාගේ දියණියක ගැන ද මෙහි සෙල් ලිපියකින් කරුණු අනාවරණය වෙයි.ඇය ද අබිතිශය නම් වූවා ය. ඇය සරණ පවාගෙන ඇත්තේ නන්දිමිත්‍ර නම් සෙනෙවියාගේ පුත්‍රයා බව වඩාත් ගැඹුරට කරුණු විමැසීමෙන් පසු විශ්වාස කළ හැකි බව මේධානන්ද හිමියන්ගේ මතය වෙයි.

මෙසේ දුටුගැමුණු රජතුමා සම්බන්ධ ඔහුගේ පරපුරෙහි ඇතැම් කරුණු මෙම සෙල්ලිපි මගින් අනාවරණය කර ගැනීමට හැකි වීම ඉතා විශේෂ සන්සිද්ධියකි.

එසේම අපගේ ඉතිහාස වංශ කතාවේ විශිෂ්ට වූ නරපතියෙකුගේ ඉතා සමීපතම ඥාතීන් විසින් කළ පරිත්‍යාගයක් පිළිබඳ විස්තර පියංගල වන සෙනසුනෙන් නිරාවරණය වීමෙන් හැඟී යන්නේ මෙම ආරණ්‍ය සේනාසනය රාජ්‍ය අනුග්‍රහය ලද ලක්බිමේ ප්‍රබල අවධාරණයක් දිනාගත් සුවිශේෂි පුදබිමක් වශයෙන් දුරාතීතයේ දී පැවැති බව ය. මෙහි ඇති මිහිඳු ලෙණ නමින් හැඳින්වෙන ලෙන් කුටිය අඩි සියයකට වඩා දිගුවෙන අතර එහි උස අඩි 60 කට වඩා වැඩි ය.

පියංගල එන සෙනසුන මධ්‍යයේ අද අපි දකින කුඩා ස්තූපය පෙර පැවැති නටබුන් වූ ස්තූපයක,ශේෂය මත ඉදිකරන ලද්දකි.

ප්‍රමාණයෙන් කුඩා වුව ද පිහිටි පරිසරය වර්ණවත් කරමින් කැලයේ පිපි සොඳුරු පුෂ්පයක් මෙන් මෙම වනගත පරිසරය තුළ එය අතිශයින් සොඳුරු දර්ශනයක් මව යි. එතැන මළු පෙතේ සිට පහත් බිමෙහි පෙනෙනා නිල්ලෙන් පිරි අපුරු දසුන සිත් පිත් ඇද බැඳ තබා ගැනීමට සමත්, ස්වභාවය සෞන්දර්යයෙන් පිරිපුන් විචිත්‍ර චිත්‍රයක් බඳු ය.

කුරිරු ත්‍රස්තවාදී උවදුරින් එදා නිබඳව පීඩා විඳි පියංගල වන සෙනසුනෙහි කඳු ශිඛරය මත වූ ලෙන් කුටි සමීපයට මෝටාර් ප්‍රහාර පවා එල්ල වී තිබේ. එ දවස ඉතා අනාරක්‍ෂිත තත්ත්වයක පැවැති මෙහි වැඩ සිටි භික්‍ෂූන් වහන්සේට සිවුපසයට අපමණ අපහසුතා පැමිණි නිසාත්,ජීවිත අනාරක්‍ෂිත වූ නිසාත්, බොහෝ භික්‍ෂූන් වහන්සේට සෙනසුන හැර යාමට සිදු වූහ.

එහෙත් ආරණ්‍ය සේනාසනාධිපති තල්ගමුවේ ශ්‍රී සුභූති නා හිමියන් ඒ ත්‍රස්තවාදි ප්‍රහාර හමුවේ අභීතව නොසැලී වැඩ සිටියේ චන්ඩ මාරුතයට නොසැළෙන ඉන්ද්‍රඛීලයක් පරිද්දෙනි.

ත්‍රස්තවාදීන් වඩාත් උරණ වූයේ උන්වහන්සේ අවට ප්‍රදේශයේ සිංහල ගම්මානයන් ඇති කිරීමට පුමුඛත්වයක් ගත් නිසා ය.

ඉතිහාසයේ රහතන් වහන්සේගේ පහසින් පූජනීයත්වයට පත් වූ මේ පින්බිමෙහි අගය නොබිඳී අඛණ්ඩව පවත්වාගෙන යාමට උන්වහන්සේ දැක්වු දායකත්වය අගය කළ යුතු වෙයි.

එදා බෝම්බ ප්‍රහාරයන් හමුවේ දෛවයේ හාස්කමකින් මෙන් දිවි ගලවා ගත් උන්වහන්සේ අද අකාලයේ රෝගාතුර වීම පිළිබඳව සිතට දැනෙන්නේ මහත් කණගාටුවකි.

දුරාතීතයේ උත්තරගුත්ත තෙරුන්ණාන්සේ වැඩසිටි ඓතිහාසික ලෙනෙහි මෑතදී වැඩ සිටියේ මෙහි ආරණ්‍යසේනාධිපතින් වහන්සේ ය. කුට්ය වෙතට යන මාර්ගය අධික වර්ෂාවට සේදී ගොසිනි. එම ලෙන්කුටිය අද හුදෙකලාවී ඇත.

එදා මහා භීෂණයෙන් අනාරක්‍ෂිතව හුදකලා වූ මෙම අරණසේනාසනයේ අද ද සැලකිය යුතු ප්‍රගතියක් දකින්නට නොහැකිවීම කණගාටුදායක ය. එදා රාජ්‍ය අනුග්‍රහයෙන් ආලෝකයෙන් ආලෝකය වෙත පියමං කළ පියංගන වන සෙනසුන අද අවරගිරට හසුවී අඳුරු වීමට ඉඩ හැරිය යුතු නොවෙයි.

යෝගාවචර භික්‍ෂූන් වෙත නිවන් මඟට පහන් එළි දැල්වු මෙම පිවිතුරු සෙනසුන ඉතිහාස කතාවේ ආවරණය වූ මඟ හසර නිරාවරණය කර ගැනීම උදෙසා මහත් වූ ආලෝකයක් සැපැයූ නොනිමි පහන් වැටක් හා සමාන ය.