Print this Article


උපේක්‍ෂා සහගත බව ජීවිතය ලස්සන කරයි

උපේක්‍ෂා සහගත බව ජීවිතය ලස්සන කරයි

මහණෙනි, “විශාඛාව හටගත්, හටගැණුනු සිත් කිපීමක්ද අධික සන්තෝෂයකටද පත් නොවූ කාන්තාවකි. ඇයගේ සියලු ජයග්‍රහණයන් සඳහා හේතු කාරණා වූ සාධකය එසේය” අධික ලෙස තරහ ගැනීමත්, අධික සන්තෝෂයත් කෙනෙකුගේ ජීවිතය අපිළිවෙල කිරීමට හේතුවන අයුරුත් එසේ නොමැතිවීම හෙවත් උපේක්‍ෂා සහගත බව ජීවිතය ලස්සන කිරීමට හේතුවන බවත් විවිධ වර්ණයෙන් යුතු මල් රැසකින් අලංකාර මල් මාලාවක් ගොතා ගෙල පලඳින්නා සේ යන උපමාව බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ විශාඛාව තුළ පැවති පෙරකී ගති ලක්‍ෂණවලට උපමාවක් වශයෙනි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි විසූ සැදැහැති කාන්තා චරිත පිළිබඳව සිහිපත් කරන විට විශාඛා මහෝපාසිකාව පිළිබඳව සඳහන් කළ යුතු චරිතයකි. ආගමික මූල ග්‍රන්ථවල ඇය පිළිබඳව දක්වා ඇත්තේ පෙර මහ පින් ඇති සහ ‘පංචකල්‍යාණි’ නමැති ලක්‍ෂණවලින් පිරිපුන් උතුම් කාන්තාවක් ලෙසින්ය.

දඹදිව අගුරට භද්දිය නම් නුවර මහ සිටාණ කෙනෙක් විසූහ. එතුමන් “මැඩ” නම් විය. මහා ධනයෙන් සමන්විත ඔහුට කොපමණ ධනස්කන්ධයක් අයිති යැයි ඔහුවත් නොදන්නා තරම් විය. එතරම් ධනයක් හිමිව තිබූ මේ සිටාණන්ටද සිටියේ එකම පුත්‍රයෙක් පමණි. ඔහු නමින් “ධනංජය” නම් විය. තරුණ වියට පැමිණීමත් සමග ලෝක චාරිත්‍ර ධර්මවලට අනුගතව “සුමණ” නම් වූ කුමරිය සමග විවාහ ප්‍රාප්ත විය. අප පෙර සඳහන් කළ “විශාඛා” සිටු දේවිය මේ දෙපළගේ දියණිය වේ. බුදුරජාණන් වහන්සේ භද්දිය නුවරට වැඩම කොට දේශනා කළ බණ පද අසා විශාඛා සිටු කුමරියත් ඇයගේ සීයාත් සෝවාන් බවට පත් වූහ. සැවැත් නුවර මහ ධනැති “ මිගාර” නම් සිටුවරයාගේ පුත්‍ර පූර්ණ වර්ධන කුමරු විශාඛාව සමග විවාහ විය. බණ පොත්වල විශාඛාවගේ චරිතය දක්වන්නේ අති උතුම් පරමාදර්ශී කාන්තා චරිතයක් ලෙසින්ය. බණ පොතෙහි කාන්තාවකට උපදෙස් දෙන බොහෝ තැන්වල විශාඛාවගේ චරිතයද කිසියම් ලෙසකින් ඈදී ඇත. ගිහි ජීවිතයේත්, ආධ්‍යාත්මික ජීවිතයේත් මනා සංකලනය විශාඛාවගේ ගති සිරිත්වලින් හෙළිවේ.

“මහාලතා ප්‍රසාදනය” හෙවත් “මහලිය පලඳනාව” කාන්තාවකට ලැබෙන්නේ ඇයගේ ඉසුරුමත් බව සහ පුණ්‍යවන්ත බව හේතුකොට ගෙනය. මහාලතා ප්‍රසාදනය ඔහු කාන්තාවන්ට පමණක් සකස් වූ ආභරණයකි. එය පැළදගත් පසු ශරීරයේ අදාල හැම තැනක්ම වැසෙන ආකාරයෙන් අදාළ ආභරණ පැළැන්දා සේද පෙනේ. “මහාලතා ප්‍රසාදනය” හෙවත් ‘මහලිය පලඳනාව” නමැති ආභරණය සකස් වී ඇත්තේ එපරිදිය. එය බරින් ඉතාමත් වැඩිය. බණ පොතෙහි දක්වන්නේ ඇතුන් හත් දෙනෙකුගේ ශක්තිය ඒ සඳහ අවශ්‍ය බවය. එම අදහසින් ‘මහලිය පලඳනාවෙහි’ බර පිළිබඳව හැඟීමක් ඇතිකර ගත හැකිය. එබදු ආභරණයක් පලඳින කෙනෙකුට කෙතරම් ශාරිරික ශක්තියක් තිබිය යුතුද යන්නත් මෙයින් ගම්‍ය වේ. බෞද්ධ සාහිත්‍යය තුළ මහාලතා පසාදනය පැලඳි කාන්තාවක ලෙස විශාඛා සිටු දේවිය නම් කළ හැකිය. මහාලතා පසාදනය සහිත කාන්තාවක් බොහෝ විට බර වෙන්නේ භෞතික ජීවිතයේ ඉසුරුමත් බව කෙරෙහි විය හැකිය. එය එසේ වීම කාන්තාවකගේ් වරදක් හැටියට දැකිය නොහැකි දෙයකි. නමුත් විශාඛා සිටු දේවියගේ චරිතය බෞද්ධ සාහිත්‍යයෙහි දක්වන්නේ එයටත් වඩා වෙනස් ආකාරයකි. මහා ධනයක් හිමි ඇය පූර්වාරාමය ඉදිකළේ එම ධනයෙන් නොවේ. ඇය පැළඳගෙන සිටි අධික මිළ (එදා භාවිත මුදලින් නව කෝටියක්) සහිත මහාලතා පසාදනය අලෙවි කිරීමෙන් ලැබුණ මුදලිනි. මේ සිද්ධියෙන් ඇය තුළ පැවැති උතුම් ගති ලක්‍ෂණවල ස්වභාවයද හඳුනාගත හැකිය.

සෝවාන් බවද ලබා තිබුණු විශාඛා සිටුදේවිය අතිශයින් සාර්ථක විවාහ ජීවිතයක්ද ගතකරනු ලැබූ කාන්තාවකි. පෙරදිග සංස්කෘතියේ විවාහ නම් දරුවෝය. දරුවන් නැති නම් සාමාන්‍ය සමාජය විවාහය සාර්ථක වූවක් ලෙස සලකන්නේ නැත. විශාඛා සිටුදේවියට පුතුන් දහයක් විය. දූවරුන් දහයක් විය. දරුවන් විසිදෙනෙකු මෙලොවට බිහිකළ මවක වුවද, ඇයගේ රූප ස්වභාවය ප්‍රභාමත් විය. එයට හේතුව ඇය පංච කල්‍යාණියක වූ නිසාය. පෙර පුණ්‍ය ශක්තිය සහ වර්තමාන දිවි පැවත්මේ ස්වභාවය අනුව පංචකල්‍යාණය දීප්තිමත් වේ. පංචකල්‍යාණය වශයෙන් දක්වන්නේ කාන්තාවකගේ සිරුරෙහි කෙස් (කේශ කල්‍යාණය) දත් (දන්ත කල්‍යාණය) මස් පිඩු (මාංශ කල්‍යාණය) සම (ඡවි කල්‍යාණය) සහ පෙනුමේ (වයෝ කල්‍යාණය) ස්වභාවයයි. වර්තමාන සමාජ තාක්‍ෂණ දියුණුවක් සමඟ මේ සියල්ල කෘතිමව සකස් කළ නැති වුවත් විශාඛාවගේ පෙනුමෙහි එම ලක්‍ෂණ ඇතිවුයේ පරාර්ථචර්යාවෙහි යෙදුණූ පෙර පුණ්‍ය මහිමයෙන් සහ පැවැත්මේ ස්වභාවය අනුවයි.

තමන්ගේ දරුවන් විසිදෙනා පිරිවරා වෙහෙරෙහි ආගමික කටයුතු කරන විට හරිම අසිරිමත් විය. තම දරුවන් ආවාහ විවාහ කර දීමෙන් පසු දරු මුණුපුරන් ලැබුවද සෝවාන් බවද ලබා සිටි විශාඛාවන්ගේ පෙනුම වෙනස් නොවුවාය.ඇය සම්බුදු දහම කෙරෙහි ගැඹුරු වූයේද දරුමුණුපුරන් සමඟය. තමන් මෙන්ම දරු මුණුපුරන්ද ආගමික කටයුතු කෙරෙහි නැඹුරු කරවූයේ ඒවා පිළිබඳව මනා වැටහීමකින් යුක්තව කටයුතු කළ නිසාය. විශාඛාව පිළිබඳව බොහෝදෙනා කතාබහ කළේ උදාර ගතිසිරිත් පිරුණු කාන්තාවක ලෙසිනි. විටෙක ඇය ගෘහණියකි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනු ලැබූ තැනැත්තියකි. තම දරුවන් නිසා අතිශයින්ම තෘප්තිමත්ව දරවැන් සමග ඔවුන්ගේ ස්වභාවය හඳුනාගෙන කටයුතු කළ තැනැත්තියකි. එමෙන්ම බුද්ධ ශාසනයේ ප්‍රධාන දායිකාවකද වූවාය. ඇයගේ මේ උදාර සිරිත් බුදුරජාණන් වහන්සේ මෙන්ම භික්‍ෂූන් වහන්සේගේද අගැයීමට ලක් විය. බුදුරජාණන් වහන්සේ එබඳු අවස්ථාවල භික්‍ෂූන් වහන්සේට විශාඛාව පිළිබඳව කරුණූ කාරණා පැහැදිලි කරනු ලැබ ඇත. උන්වහන්සේගේ දේශනා අනුව හෙළිවන්නේ විශාඛාවගේ මානසික ස්වභාවයයි. සමාජ ප්‍රශ්න පිළිබඳව ඇය දකින දර්ශනයයි.

මහණෙනි, “විශාඛාව හටගත් , හටගැණුනු සිත් කිපීමක්ද අධික සන්තෝෂයකටද පත් නොවූ කාන්තාවකි. ඇයගේ සියලු ජයග්‍රහණයන් සඳහා හේතු කාරණා වූ සාධකය එසේය”අධික ලෙස තරහ ගැනීමත්, අධික සන්තෝෂයත් කෙනෙකුගේ ජීවිතය අපිළිවෙල කිරීමට හේතුවන අයුරුත් එසේ නොමැතිවීම හෙවත් උපේක්‍ෂා සහගත බව ජීවිතය ලස්සන කිරීමට හේතුවන බවත් විවිධ වර්ණයෙන් යුතු මල් රැසකින් අලංකාර මල් මාලාවක් ගොතා ගෙල පලඳින්නා සේ යන උපමාව බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ විශාඛාව තුළ පැවති පෙරකී ගති ලක්‍ෂණවලට උපමාවක් වශයෙනි.

සටහන: හේමමාලා රන්දුනු