Print this Article


දුකසේ විඳින කර්ම විපාක - 28, 29

දුකසේ විඳින කර්ම විපාක - 28, 29

ධාතු විවණ්ණක පේ‍්‍රත වස්තුව

මිනිස් ලොවෙහි දී කරන බලවත් අකුසල කර්ම නිසා බොහෝ දෙනා මරණින් මතු පේ‍්‍රත ලෝකයේ උපදී. අදත් ඔබට කියා දෙන්නේ එසේ බොහෝ දුක් පීඩා විඳින පේ‍්‍රත වස්තුවෙහි සඳහන් පේ‍්‍රතයන් දෙදෙනකු පිළිබඳව යි.

තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසුව ධාතු බෙදීම සිදුකළා. අජාසත් රජු තමන් ලද ධාතු කොටස් ගෙන සත් අවුරුදු සත්මස සත් දිනක් මුළුල්ලෙහි බුදුගුණ සිහි කරමින් මහත් පූජාවන් පැවැත්වූවා. ඒ ධාතු පූජෝත්සවයේ දී අප්‍රමාණ වූ අසංඛ්‍ය ගණන් මිනිස්සු සිත් පහදවාගෙන සුගති ලෝකවල ඉපදුනා. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කලක් පුරුදු පුහුණු කළ අශ්‍රද්ධාවෙන් හා මිත්‍යා දර්ශනයෙන් ද වරදවා ගනු ලැබූ සිත් ඇතිව පැහැදිය යුතු තැන්හි තමන්තේ සිත් දූෂණය කරගෙන පේ‍්‍රතයන් වී උපන්නා.

ඒ කාලයේ රජගහ නුවර ධනසම්පත් ඇති එක්තරා පුද්ගලයකු ගේ බිරිදත්, දියණියත් ඇගේ යෙහෙළියත් පහන් සිතින් යුතුව ධාතු පූජාවක් කරමුයි කියා සුවඳ ද්‍රව්‍ය, මල් ආදිය ගෙන ධාතුන් තැන්පත් කළ ස්ථානයට යාමට පිටත් වුණා. එවිට ඒ මසුරු පුද්ගලයා “ධාතු කියා ඇටවලට මේවා පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් දැයි’’ කියා ඔවුන්ට නින්දා කොට ධාතු පූජාවේ නුගුණ කියා සිටියා. පවුලේ අය ඔහු කියූ දෙය නො අසාම ධාතු පූජාව සඳහා ගොස් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගෙදර ආවා.

කාලයකදී හදිසි අසනීපයක් සෑදී ධාතු වන්දනා කළ අය මිය ගොස් දෙව්ලොව උපන්නා. ගෘහපතියා වනාහි ක්‍රෝධයෙන් මඩනා ලදුව නොබෝ කාලයකින් මියගොස් ඒ පාප කර්මයෙන් පේ‍්‍රතයකු වී ඉපදුනා.

එක් දවසක් ආයුෂ්මත් මහ කාශපයන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ධාතු පූජාවේ නුගුණ කී පේ‍්‍රතයා දැක ඒ කරුණු අසා සිටියා.

ඔබ අහසේ ඉන්නේ. හරිම ගඳයි. කුණු ගඳ හමනවා. කුණු ගඳ ගහන ඔබේ මුඛයේ පණුවෝ පිරිලා කකා ඉන්නවා. ඔබ කලින් ජීවිතයක මොන වගේ් කර්මයක්ද කළේ?

ආයුධ ගත් පිරිසක් ඔබේ මුඛය කප කපා දානවා. ලුණු වතුර ඉසිමින් ආයෙ අයෙමත් කපනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක් ද කර ගත්තේ? මොනවගේ් කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත්වුණේ.

මම හිටියේ රජගහ නුවර. ඒ රම්‍ය වූ ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මම හිටියේ. නිදුකාණන් වහන්ස, මම බොහෝ ධන සම්පත්වලට අධිපති වෙලා හිටියේ. ඒ මගේ බිරිඳත්, දියණියත්, යෙහෙළියත් මහනෙල් මලුයි වටිනා සුවඳ වර්ගයි අරගෙන ස්ථූපයට වන්දනා කරන්නට පිටත් වෙනකොට මම එයට දොස් කිව්වා. මා තමා ඒ පාප කර්මය කර ගත්තේ. අසූහාර දහසක් වගේ් පිරිසක් වන අප ස්ථූප පූජාවට නින්දා අපහස කළා. දැන් වෙන වෙනම අප දුක් විඳිනවා. ඝෝරදුක් තියෙන නිරය වැනි පෙරේත ලෝකයේ ඉපදිලයි දුක් විඳින්නේ.

අරහත් වූ සම්බුදු රජාණන් වහන්සේ ගේ ස්ථූපයට පුදපූජා පවත්වන වෙලාවක කවුරු හරි කෙනෙක් එයට දොස් කියනවානම් එයා බැහැර වෙන්නෙ පිනෙන් බව තේරුම් ගන්න.

මේ බලන්න මල් දරා ලොව අලංකාර වෙලා අහසින් වඩින මේ දිව්‍යාංගනාවන් දෙස. මේ අසා අනුභව කරන්නේ ස්ථූපයට මල් පූජා කිරීමේ විපාකයි. ආශ්චර්ය වූ පුදුම සහගත වූ මේ පුණ්‍ය විපාකය දැක්කට පස්සේ නුවණ තියෙන උදවිය ඒ මහ මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. වන්දනා කරනවා. ඒ මමත් මේ පෙරේත යෝනියෙන් චුතවෙලා මනුස්ස ආත්මයක් ලබාගෙන අප්‍රමාදීව නැවත නැවතත් ස්ථූප පූජාවමයි කරන්නේ.


දෙවැනි මිගලුද්දක පේ‍්‍රත වස්තුව

භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කල්හි මෙම දෙවැනි මිගලුද්දක පේ‍්‍රත වස්තුව වදාරන ලදී.

රජගහනුවර වනාහි මුවන් මරා ජීවත්වන එක්තරා මානවකයෙක් ජීවත්වුණා. මහත් සම්පත් ඇති නමුත් ඔහු ඒ භෝග සම්පත් හැර දමා රෑ දවල් දෙකෙහිම මුවන් මරමින් ජීවත්වූවා. ඔහුගේ් එක් යහළු උපාසකයෙක් දයානුකම්පාවෙන් යුතුව ‘යහළුව ප්‍රාණඝාතයෙන් වෙන්වන්න. මේ අකුශලය නුඹට දීර්ඝ කලක් අහිත පිණිස දුක් පිණිස සිදුවේයැයි අවවාද දුන්නා. හෙතෙම එය පිළිගත්තේ නැහැ.

එක් දිනක් ඒ උපාසකතුමා තමාගේ් සිත් ඇද ගන්නා වූ එක් රහතන් වහන්සේ නමකගෙන් ස්වාමිනි, අසවල් පුරුෂයා දිවා රාත්‍රියෙහි ප්‍රාණඝාත සිදුකරනවා. ඔහු අකුසලයෙන් මුදවා ගන්නේ කෙසේද? ස්වාමිනි, ඒ සඳහා ඔහුට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන සේක්වායි ඉල්ලා සිටියා.

එක් දවසක් ඒ ස්ථවිරයන් වහන්සේ පිඬුසිඟා වඩින විට ඔහුගේ නිවස ඉදිරිපිට වැඩම කළා. එය දුටු ඒ මිනිසා ගරු බුහුමන් පෙරදැරිව ගෙට වඩමවා වඩාහිදුවා ඔහුද තෙරුන් අසලින් හිඳ ගත්තා. තෙරුන් වහන්සේ එවිට ප්‍රාණඝාතයේ ආදීනව පවසා එයින් වෙන්වීමේ ආනිශංස ද දේශනා කොට වදාළා. ඔහු එය ඇසුවද එයින් මිදෙන්නට කැමැති වූයේ නැහැ. එවිට ඒ හිමි කියා සිටියා ඔබට සම්පූර්ණයෙන්ම ප්‍රාණඝාතයෙන් වෙන්වීමට බැරිනම් අඩුම ගණනේ රාත්‍රී කාලයේදීවත් එයින් මිදෙන්න. “ස්වාමිනි, හොඳයි. මම රාත්‍රී කාලයෙහි එයින් මිදෙමියි” පොරොන්දු වුණා.

ඔහු ටික කාලයකින් කලුරිය කොට රජගහනුවර සමීපයෙන් විමාන පේ‍්‍රතයකුව ඉපදී දහවල් කාලයෙහි මහත් දුක් විඳ රාත්‍රී කාලයෙහි දිව්‍යමය පංචකාම සම්පත් වින්දා. ඔහු දුටු නාරද හිමියන් මෙසේ අසා සිටියා.

කූටාගාරවල ප්‍රාසදවල දිගු ලොම් ඇති පලස් අතරපු යහන්වල පංචාංගික තූර්යය නාදය සුන්දරව වාදනය වෙද්දී ඔබ ඒ ගැන සතුටු වෙනවා.

ඒ රැය ගෙවී ගියාට පස්සේ හිරු උදා වෙනකොට ඔබ සොහොනෙහි අත්හැර දමනවා. බොහෝ දුකට පත්වෙනවා. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොන වගේ් කර්මයක විපාකයක් නිසාද මේ වගේ් දුකකට පත්වුණේ.

රජගහනුවර ගිරිබ්බජ කියන රමණීය රාජධානියේ මම හිටියේ මුව වැද්දෙක් වෙලා. මම දරුණුයි. සංවරකමක් තිබුණේම නැහැ. නමුත් මගේ යහලුවෙක් හිටියා. හරි සුහදයි. ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්. ඔහුගේ් කුලුපග භික්ෂුවක් හිටියා. උන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්.

ඒ භික්ෂුව මම ගැන අනුකම්පාවෙන් හිටියේ. මා නැවත නැවත පව් වලින් වැළැක්වූවා. ඔබ පව් විතරක් කරන්න එපා. අපායේ යන්න එපා කියලා කිව්වා. මරණින් මත්තේ සැප ලබන්නනම් ඔය දුස්සීල වූ ප්‍රාණ වධයෙන් වෙන් වෙන්න. ඒ භික්ෂුවගේ වදන් ඇසුවත් සියලු අවවාද ඉටු කළේ නැහැ. බොහෝ කාලයක් පව්වලට ඇලිලා බුද්ධියක් නැතුව නෙව මම හිටියේ. ඒ මහ ප්‍රඥාවන්ත උපාසකතුමා ආයෙමත් මට අනුකම්පා කළා. සීල සංවරෙහි මා පිහිටෙව්වා.

ඉතින් ඔබ දවල් කාලයේ සතුන් මරනවා නම් අඩු ගණනේ රාත්‍රියටවත් නුඹගේ සංවරයක් වේවා කියලා කිව්වා. ඉතින් මම දවල් කාලයේ සතුන් මරල රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා.

ඒ නිසා මම රෑට දිව්‍ය සැප ලබනවා. දවල්ට දුක් අනුභව කරනවා. ඒ කුසල කර්මයේ විපාක වශයෙන් මම රාත්‍රියට දිව්‍ය සැප අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ධ වෛරයෙන් වගේ් මාව පන්නාගෙන ඇවිත් වටකරගෙන කනවා.

යම් කෙනෙක් සුගතයන් වහන්සේගේ ශාසනයෙහි ස්ථිරව පිහිටලා නිරතුරුවම බණ භාවනාවෙහි යෙදෙනවානම් මම හිතන්නේ ඔවුන් අසංඛත වූ අමා නිවන මුළුමනින්ම අවබෝධ කර ගන්නවා කියලයි.

සටහන: නයනා නිල්මිණි


දුකසේ විඳින කර්ම විපාක - 27  කුමාර පේ‍්‍රත වස්තුව