Print this Article


වඩාත් පරිපූර්ණ පරාර්ථකාමියෙකු විය හැක්කේ රහතන් වහන්සේ වැනි කෙනෙකුට පමණි

වඩාත් පරිපූර්ණ පරාර්ථකාමියෙකු විය හැක්කේ රහතන් වහන්සේ වැනි කෙනෙකුට පමණි

ස්වාර්ථය පළමුව සලසා දෙවනුව පරාර්ථය සලසාදීම වඩාත් අර්ථවත් බව පැහැදිලි වේ. අප බුදුරදුන් පළමුව බුද්ධත්වයට පත්ව සෙසු අයට සසරින් එතෙරවීමට උදව් කළහ. රහතන් වහන්සේද තමා අරහත්වය ලබා සෙසු සත්වයන්ට සසරින් එතෙරවීමට මඟ සලසාලූහ. මෙසේ ස්වාර්ථය ආර්මාර්තකාමී සංකල්පයක් නොවන අතර එය පරාර්ථය හා බැඳුනු ප්‍රබල සංකල්පයක් බව පැහැදිලිවේ

ආත්මාර්ථකාමය, පරාර්ථකාමය හා ස්වාර්ථය යන වචන වල අර්ථය නිවැරදිව වටහා ගත යුතුය. එමගින් එහි ධර්මානුකූල විග්‍රහය තේරුම් ගැනීමට පහසුවනු ඇත.ආත්මාර්ථකාමය.අසාධාරණ හා අධාර්මික ප්‍රතිපත්තියකි. ස්වාර්ථය සලසා ගැනීම අවශ්‍යම දෙයකි. එය ධර්මානුකුල විය යුතුය. පරාර්ථය උතුම් දෙයකි. අනුන්ගේ අභිවෘද්ධිය දියුණුව සැලසීම පරාර්ථ චර්යාවයි.

අප බුදුරජාණන් වහන්සේ මීට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සුමේධ තාපසව අනාගත බුදුවරයා වන බවට නියත විවරණ ලැබූහ. එදා උන්වහන්සේට රහත් ඵලය ලබාගැනීමේ වාසනාව තිබුණත් එය අතහැර බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ දුක්විඳින සත්වයා දුකින් මුදවාලීමේ පරාර්ථකාමී සිතිවිල්ල නිසාය. එසේ නම් ‘රහත්බව’ ආත්මාර්ථකාමී සිතිවිල්ලක් දැයි කෙනෙකුට ප්‍රශ්නයක් පැන නැඟීමට ඉඩක් ඇත.

මහායානය හා හීනයානය යනුවෙන් බෞද්ධ සම්ප්‍රදායන් දෙකක් ලෝකයේ බිහිවූයේ මේ ප්‍රශ්නය පෙරදැරිකරගෙනය. ‘මහායානය’ යනු විශාල වාහනයයි. විමුක්තිය ලැබිය යුත්තේ බුද්ධත්වය තුළින් පමණක් බව විශ්වාස කළ නිසා ඔවුහු ‘මහායානය’ නමින් හැඳින්වූහ. රහත්වීමෙන් හෝ පසේ බුදුවීමෙන් ද විමුක්තිය ලැබිය හැකි යැයි කුඩා යානයක් පිළිගත් බැවින් හීනයානය යනුවෙන් හැඳින්විණි. කෙසේ නමුත් රහත්බව ස්වාර්ථය හා පරාර්ථය යන දෙයකාරයේම අභිවෘද්ධිය සලසන සංකල්පයක් බව බුද්ධ දේශනාව අනුව අප වටහාගත යුතුය. මේ පිළිබඳ ධර්මානුකූල විග්‍රහය පරික්‍ෂාකර බලමු.

ආත්මාරථකාමියා ස්වකීය අරමුණු ඉටුකරගන්නේ සාධාරණව නොවේ. ඔහු පස්පවෙහි නිරතවන කෙනෙකි. මිච්ඡා ජීවයෙන් දිවිගෙවන කෙනෙකි. තම අර්ථය සඳහා අනුන් සතු දෑ සොරාගනී. සතුන්ට හිංසා කරයි.අනුන්ගේ පවුල් ජීවිත අවුල් කරමින් තම කාමාශාවන් සතපාගනී. අනුන් අසත්‍යයෙන් මුලාවට ලක් කරමින් තම අර්ථයම සොයයි. සැබවින්ම ඔහුගේ තාවකාලික දියුණුව දියුණුවක් නොව පරිහානියකි. ඒ බව ඔහු නො දනී.ආත්මාර්ථකාමියා යනු අනුන්ගේ අභිවෘද්ධිය නසා තමාගේ දියුණුවට පමණක් සොයන තැනැත්තෙකි.

පාරාර්ථකාමියා කිසිකලෙකත් අධර්මයෙන් අසාධාරණයෙන් හෝ අයුක්තියෙන් තම දියුණුව ප්‍රාර්ථනා නො කරයි. ඔහු පංචශීලය ආරක්‍ෂා කරයි. හිංසාව බැහැර කරයි. අනුන් බියට පත් නො කරයි. සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරයි.නොදුන් දෙයක් සොර සිතින් නො ගනී. සිය අභිමතාර්ථයන් ධර්මානුකූ®ලව ඉටුකරගන්නා බැවින් එහි ප්‍රතිඵලය වන්නේද ස්වාර්ථයත් පරාර්ථයත් දෙකම ආරක්‍ෂාවීමයි. ඔහු අනුන්ගේ ජීවිත ආරක්‍ෂා කරයි. දේපළ ආරක්‍ෂා කරයි. පෞද්ගලික පවුල් ජීවිතයන්හි සාමය සමගිය ආරක්‍ෂා කරයි. ඔහු සියල්ලන්ගේම විශ්වාසය තහවුරු කරන නෑදෑයකු බවට පත්වෙයි.

අත්තානං රක්ඛනෙතා පරං රක්ඛති – පරං රක්ඛනෙතා

අත්තානං රක්ඛති” මෙම ධර්ම පාඨයෙන් උගන්වන්නේ එයයි. තමන් රැකීමෙන් අනුන් රැකේ අනුන් රැකීමෙන් තමන් ද රැකේ. මේ අනුව ස්වාර්ථය හා පරාර්ථය එකිනෙකට බැඳී පවතී. ස්වාර්ථය හා පරාර්ථය පිළිබඳව බෞද්ධ මතය වටහා ගැනීමේදී සතර ආකාර පුද්ගලයන් පිළිබඳ විග්‍රහය උපයෝගී කර ගනිමු.

1. තමාත් නොරකින අනුන්ද නොරකින තැනැත්තා
2. අනුන් රකින, තමා නොරකින තැනැත්තා
3. තමා රකින අනුන් නොරකින තැනැත්තා
4. තමුන්ද අනුන්ද රකින තැනැත්තා

මෙම සතර දෙනා පිළිබඳ උදාහරණ සතරක් දක්වා ඇත. මෙම පුද්ගලයන් සතරදෙනා පිළිබඳව වටහාගැනීමට ඉන් පහසුවක් සැලසේ.

1. තම කෙතෙහි ද අන්‍යයන්ගේ කෙතෙහිද වල්පැළ නො උදුරන පුද්ගලයා.
2. අනිකාගේ කෙතෙහි වල්පැළ උදුරා තම කෙත පාළුවට අරින පුද්ගලයා
3. තම කෙතෙහි වල් පැල උදුරන අනුන් කෙත ගැන නොසොයන පුද්ගලයා
4. තමාගේ කෙතෙහිත් අනුන්ගේ කෙතෙහිත් වල්පැළ උදුරණ පුද්ගලයා

මේ පුද්ගලයන් සතර අතරින් පළමුවැන්න අසාර්ථකම තැනැත්තා බව අමුතුවෙන් කිවයුතු නැත. ගැටලුව පවතින්නේ දෙවන්නා හා තුන්වැන්නා පිළිබඳවයි. දෙවෙනි තැනැත්තා මතුපිටින් බලන කෙනෙකුට වැටහෙන්නේ පරාර්ථකාමියකු ලෙසයි. මන්ද ඔහු තම අර්ථය නොබලා අනුන්ට උදව් කරයි. එහෙත් බුදුදහම අගය කරන්නේ දෙවැන්නට වඩා තුන්වැන්නා උසස් කෙනෙකු බවයි. එයට හේතුව කුමක්ද? පළමුව ස්වාර්ථය සලසා ගත් කෙනෙකුට පමණයි සැබෑ පරාර්ථයක් සිදුකළ හැක්කේ. එයයි බෞද්ධ අදහස. මෙය මජ්ක්‍ධිම නිකායේ සල්ලේඛ සූත්‍රයෙන් මනාව පැහැදිලි කෙරෙයි. බුදුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා පවසන දෙය පිළිබඳව අවධානය යොමුකරන්න. “ආනන්ද මඩෙහි එරෙන කෙනෙකු විසින් මඩෙහි එරෙන එබඳුම කෙනෙකුන් මඩෙන් ගොඩට ගැනීමක් කළ නොහැක. පළමුව තමන් මඩෙන් ගොඩ පැමිණ මඩෙහි එරෙන තැනැත්තා ගොඩට ගැනීමට උත්සාහ කළ යුතුය”

මේ අනුව සවාර්ථය පළමුව සලසා දෙවනුව පරාර්ථය සලසාදීම වඩාත් අර්ථවත් බව පැහැදිලි වේ. අප බුදුරදුන් පළමුව බුද්ධත්වයට පත්ව සෙසු අයට සසරින් එතෙරවීමට උදව් කළහ. රහතන් වහන්සේද තමා අරහත්වය ලබා සෙසු සත්වයන්ට සසරින් එතෙරවීමට මඟ සලසාලූහ. මෙසේ ස්වාර්ථය ආර්මාර්තකාමී සංකල්පයක් නොවන අතර එය පරාර්ථය හා බැඳුනු ප්‍රබල සංකල්පයක් බව පැහැදිලිවේ.

මඩින් බොරවූ ජලයක රන්වන් මසුන් හා බෙල්ලන් දැකිය නොහැක. එසේම රාගය, ද්වේෂය, මෝහය වැනි කෙලෙස් මඩ ඉවත් වූ පිරිසුදු සිතට ස්වාර්ථයත් පරාර්ථයත් විනිවිද දැකිය හැක්කේය.

යථොදනෙ ආවිලෙ අප්පසනෙන
න පස්සති සිපරි සම්බුක මච්ඡදම්හං
එවං ආවිලෙහි චිත්තං
න පස්සති අත්ත දත්තං පරත්‍ථං

මෙසේ සැබෑ පරාර්ථකාමියකු වන්නේ රාගාදී කෙළෙස් ප්‍රහීන කළ කෙනෙකු මිස පුහුදුන් පුද්ගලයෙක් නොවේ. පුහුදුන් තැනැත්තා පරාර්ථකාමියකු ලෙස මතුපිටින් පෙනී ගියත් ඔහුගේ එම පරාර්ථ සාධනය තුළ ඇත්තේ තෘෂ්ණාව පෙරදැරිකරගත් අරමුණකි. එහෙත් පස්පවෙන් වැලකුණූ කරුණාව,මෛත්‍රිය පෙරදැරිකරගත් ආර්ය මගෙහි ගමන් ගන්නා කෙනෙකුගේ පාරාර්ථ සාධනය පිරිසුදු එකක් වන අතර වඩාත් පරිපූර්ණ පරාර්ථකාමියකු විය හැක්කේ ආත්ම විමුක්තිය පළමුව ලබාගත් රහතන් වහන්සේ වැනි කෙනෙකුට පමණි. ඒ අනුව ස්වාර්ථ සාධනය හෙවත් තමන්ගේ විමුක්තිය සලසා ගැනීම ආත්මාර්ථකාමී අදහසක් නොවේ.