සසර ගමන
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි
තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් දේශනය තුළ ගැබ් වී තිබෙන
උතුම් කරුණු වෙනත් ලෝක දහමක දකින්නට නොලැබේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන
ත්‍රිලක්‍ෂණය පිළිබඳව සැබෑම විග්‍රහය තිබෙන එකම දහම අප තථාගත අර්හත් සම්මා සම්බුදු
රජාණන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයයි.
උන්වහන්සේගේ පරම ගම්භීර දේශනා අතර තිබෙන උතුම්ම විග්‍රහයක් වන්නේ පටිච්ච සමුප්පාද
ධර්‍මයයි. මෙය ඉතා සියුම් ලෙස තේරුම් ගත යුතු පටලවා නොගෙන අවබෝධ කරගත යුතු උතුම්ම
දහමකි. යමෙක් පටිච්ච සමුප්පාදය නිවැරැදිව අවබෝධ කරගත හොත් ඔහුට ධර්‍මය අවබෝධ කර
ගැනීමට හැකිවේ. ( යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති ). පටිච්ච සමුප්පාද
ධර්‍මය තේරුම් ගැනීම සඳහා අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර පිළිබඳ මනා
අවබෝධයක් ඇති කරගත යුතුය. මෙම ලිපිය මගින් සංයුත්ත නිකායේ ද්විතීය විභාගයේ විභංග
සූත්‍රය මුල් කරගෙන පටිච්ච සමුප්පාදය පිළිබඳ විවරණයක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා
කෙරේ.
පටිච්ච සමුප්පාදයට අනුව අලුතෙන්ම සත්ත්වයෙක් මේ විශ්වයේ නිර්‍මාණය වන බව සමහරු
කල්පනා කරති. සැබවින්ම සිදුවන්නේ දැනටමත් සංසාරයේ සිටින සත්වයා දිගින් දිගටම ගමන්
කිරීමයි. එබැවින් යම් දිනක අප විසින් මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය බිඳ දැමුවහොත්
එතැන් පටන් පුද්ගලයා නැවතත් සසර ගමන් කරන්නේ නැත. පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය
පිළිබඳ අප ටිකක් විමසා බලමු. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර හට ගනියි. සංස්කාර
ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය, විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාම රූප, නාම රූප ප්‍රත්‍යයෙන්
සළායතන, සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය, ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව, වේදනාව
ප්‍රත්‍යයෙන් තණ්හාව, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය හෙවත් බැඳීයාම, බැඳීයාම
ප්‍රත්‍යයෙන් කුසලා කුසල කර්‍ම රැස්වීම හෙවත් භවය, භවය නිසා ජාතිය හෙවත් ඉපදීම,
ඉපදීම නිසා වයසට යාම, මරණයට පත්වීම, සෝක, වැලපීම්, දුක්, දොම්නස්, කණස්සලුවීම නිසා
ඇතිවන තත්ත්වය යන සියල්ල ඉන්පසුව ඇති වේ.
දැන් අපි ඒ ඒ පටිච්ච සමුප්පාද අංගයන් පිළිබඳව විමසා බලමු. අවිද්‍යාව යනු චතුරාර්ය
සත්‍යය නොදැනීමයි. චතුරාර්ය සත්‍යය යනු දුක පිළිබඳ උතුම් සත්‍යය, දුකට හේතුව පිළිබඳ
උතුම් සත්‍යය, දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යය, දුක නැති කිරීමේ ප්‍රතිපදාව
පිළිබඳ උතුම් සත්‍යය යන චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යය නොදැනීම යනු කොහෙටවත්
නොදැනීම නොව පුද්ගලයාට නොදැනීමයි. එනම් මෙලොව ඉපදී සිටින සත්ත්වයාට පුද්ගලයාට
චතුරාර්ය නොදැනීම නම් වූ අවිද්‍යාව ප්‍රත්‍යය වීමෙන් සංස්කාර ඇතිවේ.
සංස්කාර යන වචනය බුද්ධ දේශනාව තුළ අර්ථ කීපයකින් විග්‍රහ කෙරේ. ඉන් එක් අර්ථයක් නම්
‘ චේතනා’ යන්නයි. ඒ විග්‍රහය කෙරෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහයේ දීය.
නමුත් පටිච්චසමුප්පාදය පිළිබඳ විග්‍රහයේදී විභංග සූත්‍රයට අනුව සංඛාර යනු කාය
සංඛාර, වචී සංඛාර හා චිත්ත සංඛාරයි. කාය සංස්කාර යනුවෙන් හැඳින්වෙන්නේ ආශ්වාස හා
ප්‍රශ්වාසයි. එය කය හා බැඳී පවතින හෙයින් කාය සංස්කාර නම් වේ. වචී සංසකාර යනු
විතක්ක හා විචාරයි. අප යමක් කථා කිරීමට පෙර ඒ පිළිබඳ සැලසුමක් මනසේ ගොඩ නඟමු.
විතක්ක, විචාර යනු එයයි. චිත්ත සංස්කාර යනු විඳීම හා එය හඳුනා ගැනීමයි. එනම් වේදනා
හා සංඥාය. මෙම සංස්කාර ප්‍රත්‍යය වීමෙන් විඤ්ඤාණය ඇතිවේ.
‘ විජානාති ඛෝ විඤ්ඤාණං’ දැන ගන්නවා යන අදහසින් විඤ්ඤාණය නම් වේ. විඤ්ඤාණය හෙවත්
සිත සයාකාර වේ. එනම් චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය,
කාය විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය වශයෙනි.
විඤ්ඤාණය ප්‍රත්‍යය වීමෙන් නාම රූප හටගනී. නල කලාප සූත්‍රයට අනුව විඤ්ඤාණය හා නාම
රූප අන්‍යෝන්‍ය වශයෙන් පරායත්ත වේ. එනම් නාම රූප නිසා විඤ්ඤාණයත් විඤ්ඤාණය නිසා නාම
රූපත් පවතී. නාම රූප යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද ? මෙය බොහෝ විට විස්තර කෙරෙන්නේ
සම්ප්‍රදායානුකූල ලෙස වෙනස් අයුරකිනි. අප එය නියමාකාරයෙන් තේරුම් ගත යුතුය.
සම්ප්‍රදායානුකූල ලෙස ‘ නාම’ යනුවෙන් විග්‍රහ කරන්නේ පංච උපාදානස්කන්ධය දෙකට බෙදා
වේදනා, සංඥා, සංස්කාර හා විඤ්ඤාණයයි. නමුත් විභංග සූත්‍රයට අනුවත් මජ්ඣිම නිකායේ
ප්‍රථම කොටසේ සම්මා දිට්ඨි සූත්‍රයට අනුවත් නාම යනු වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ හා
මනසිකාරයි. රූප යනු පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතු හා සතර මහා ධාතූන්ගෙන්
හටගත් දෙයයි.
නාම රූප ප්‍රත්‍යය වීමෙන් ආයතන හය හට ගනී. එබැවින් ආයතන හය හට අරගෙන තිබෙන්නේ ඉබේ
නොවේ. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හය නාම රූප නිසා හට ගනී.
මෙම ආයතන හය ප්‍රත්‍යය වීමෙන්, හේතු කරගෙන ස්පර්ශය හට ගනී. ඇසත්, රූපත්, විඤ්ඤාණයත්
හේතු කරගෙන ඇසේ ස්පර්ශය හට ගනී.කනත්, ශබ්දයත් විඤ්ඤාණයත් හේතු කරගෙන කනේ ස්පර්ශය හට
ගනී. නාසයත්, ගඳ සුවඳත්, විඤ්ඤාණයත් හේතු කරගෙන නාසයේ ස්පර්ශය හටගනී. දිවත් රසයත්
විඤ්ඤාණයත් හේතු කරගෙන දිවේ ස්පර්ශය හට ගනී. කයත්, පහසත්, විඤ්ඤාණයත් හේතු කරගෙන
කයේ ස්පර්ශය හටගනී. මනසත්, අරමුණුත් විඤ්ඤාණයත් හේතු කරගෙන මනසේ ස්පර්ශය හට ගනී.
එමෙන්ම ස්පර්ශයෙන් අපට ගැලවීමක් නැත. මක්නිසාද යත් ස්පර්ශය හේතුකොට ගෙන විඳීම
ඇතිවෙයි. විඳීම තුන් ආකාර වේ. සැප විඳීම, දුක් විඳීම හා උපේක්‍ෂා විඳීම වශයෙනි.
මේ විඳීම නිසා ඇලීම ඇතිවේ. එනම් තණ්හාව ඇති වේ. ඇසින් රූපයක් දැක ඒ රූපය විඳින විට
රූප තණ්හාව ඇතිවේ. කනින් ශබ්දයක් අසා එය විඳින විට ශබ්ද තණ්හාව ඇතිවේ. නාසයෙන් ගඳ
සුවඳ දැන එය විඳින විට ඝාණ තණ්හාව ඇති වේ. දිවෙන් රස විඳින විට ජිව්හා තණ්හාව
ඇතිවේ. කයින් පහසක් ලබන විට පොට්ඨබ්බ තණ්හා ඇතිවේ. මනසින් අරමුණු විඳින විට මනෝ
තණ්හා ඇතිවේ. එසේ නම් විඳීම තිබෙන විට ඇලීම හෙවත් තණ්හාව ඇතිවේ.
තණ්හාව හේතු කරගෙන උපාදානය හෙවත් බැඳීයාම ඇතිවේ. ඇලීම තුළින් ඇතිවන තත්ත්වය
තවදුරටත් ග්‍රහණය කරවන්නේ බන්ධනය කරවන්නේ උපාදානය තුළිනි. උපාදාන වර්‍ග හතරක්
පිළිබඳව අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සේක. කාම උපාදානය, දිට්ඨි උපාදානය,
අන්තවාද උපාදානය හා සීලබ්බත උපාදානයයි. පංච කාමයට බැඳී යාම කාම උපාදානයයි. විවිධ
මිථ්‍යාදෘෂ්ඨිවලට බැඳීයාම දිට්ඨි උපාදානයයි. ‘ මමය ‘ ‘ මාගේය’ යන මිථ්‍යා මතයට
බැඳීයාම අන්තවාදී උපාදානයයි. අනවශ්‍ය සීල වෘත වලට බැඳීයාම සීලබ්බත උපාදානයයි.
උපාදානය නිසා භවය සකස් වේ. භවය යන වචනයත් ජාතිය යන වචනයත් බෞද්ධ ජන සමාජය පටලවා
ගනී. එබැවින් භවය යන්න අප නිවැරදි ලෙස අවබෝධ කර ගත යුතුය. භවය යනු ඒ ඒ ස්ථානවල
ඉපදීම සඳහා කුසලාකුසල කර්‍ම රැස් කිරීමයි. භවය තුන් ආකාරවේ. කාම ලෝකයේ ඉපදීම සඳහා
කුශලා කුශල කර්‍ම රැස් කිරීම කාම භවයයි. රූප ලෝකයේ ඉපදීම සඳහා අවශ්‍ය කුශලා කුශල
කර්‍ම රැස් කිරීම රූප භවයයි. අරූප ලෝකයේ ඉපදීම සඳහා අවශ්‍ය කුශලා කුශල කර්‍ම රැස්
කිරීම අරූප භවයයි. එබැවින් පුද්ගලයාගේ භවය සකස් වෙන ආකාරයට උත්පත්තිය සිදුවේ.
ඒ ඒ ස්ථානවලට ඉපදීමට අවශ්‍ය කුශලාකුශල කර්‍ම රැස්වීම කරණකොට ගෙන පුද්ගලයාගේ
උප්පත්තිය හෙවත් ජාතිය සිදුවේ. කාම දුගතිය වන නිරය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය,
අසුර කාය යන ස්ථානවල ඉපදීමට කර්‍ම සකස් වී තිබෙන විට පුද්ගලයා ඒ ස්ථානවල උපදී. කාම
සුගතිය වන මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකවල ඉපදීමට කර්‍ම සකස් වී තිබෙන විට ඒ ලෝකවල
උපදී. රූපාවචර බ්‍රහ්ම ලෝකවල මෙන්ම අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදීම සඳහා ධ්‍යාන ආදිය
වඩා තිබෙන විට ඒ ලෝකවල උපදී.
ඉපදීම හෙවත් ජාතිය නිසා ශෝකය, වැලපීම්, දුක්ඛ, දෝමනස්ස ආදී සියලුම දුක හට ගනී. මේ
අනුව පටිච්ච සමුප්පාදය හෙවත් හේතුඵල දහමට අනුව සත්ත්වයාගේ පැවැත්ම දිගින් දිගටම
සිදු වේ. යම් දවසක මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය නතර වුවහොත් එදිනට පුද්ගලයාගේ භව
ගමන නතර වෙයි.
මෙම විග්‍රහය ඉදිරිපත් කිරීමේදී විභංග සූත්‍රයට අනුව කරුණු ඉදිරිපත් කළත් එහි තිබෙන
ආකාරයටම මෙහිදී ඉදිරිපත් නොවන බව සැලකිය යුතුය. එයට හේතුව විභංග සූත්‍රයේදි දුක හට
ගැනීමෙන් පටන් ගෙන අවිද්‍යාව දක්වන විග්‍රහය ප්‍රතිලෝම වශයෙන් විස්තර කෙරේ.
මෙහිදී සාමාන්‍ය කෙනෙකුට අවබෝධ කරගත හැකි පරිදි අවිද්‍යාවෙන් ආරම්භ කොට දුක් රැසේම
සම්භවය සිදුවන ආකාරය සරල වශයෙන් විස්තර කර තිබේ. |