Print this Article


අහිංසාවාදී සංකල්පය

අහිංසාවාදී සංකල්පය

මහාකාරුණික තථාගතයන් වහන්සේගේ ධර්මයෙහි සදාචාරයට ප්‍රධාන වශයෙන් පදනම් වී තිබෙන්නේ අහිංසාවාදයයි. මිනිසුන්ට පමණක් නොව තුන් ලොවෙහි කොතැනක හෝ ජීවත් වන ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ප්‍රාණීන් ඇතුළු සියලු සතුන්ට හිතානුකම්පාව දක්වන මිනිස් සමාජයක් ගොඩ නැගීම එහි අරමුණයි. දෛනික වශයෙන් ක්‍රියාවට නැංවිය යුතුයැයි බුදුදහම විසින් නිර්දේශ කරනු ලබන පඤ්චසීලයේ සිට ම ක්‍රියාත්මක වන්නේ ඒ මූලධර්මයයි. බුදුදහමේ නියමය පරිදි, කායික වශයෙන් ක්‍රියාත්මක කිරීම පමණක් නොව චෛතසික වශයෙන් හිංසාකාරි සිතක් පහළ කර ගැනීමත් හිංසාවකි. එහෙයින් බුද්ධශ්‍රාවකයන් විසින් පළමුව අහිංසාව යනු කුමක්දැයි වටහා ගැනීම නිවැරදි චර්යාව අතින් ඉතා වැදගත් වෙයි.

ලොවින් එතෙර නොගිය කවරාකාර ජීවියෙකු වුවත් මරණයට, පීඩාවට, දුකට, හිංසනයට අකැමැති හෙයින් සහ හැම සතා ම සැප කැමති හෙයින් කාටත් ඒ ආකාරයේ තර්ජනවලින් තොරව ජීවත්වීමට අයිතිය තිබිය යුතුය යනු අහිංසාවාදයේ මූලික තර්කයයි.

මේ ධර්මය උපරිම වශයෙන් පරිපූර්ණ වූ ආධ්‍යාත්මික පෞරුෂත්වය දක්වා කෙනෙකුගේ චර්යාව වර්ධනය කිරීමේ මාර්ගය ලෙස පිළිගත් භාරතීය ආගම් දෙක අතරින් බුදුදහම වඩාත් ඉදිරියෙන් සිටින බව අවිවාදයෙන් පිළිගත් කරුණකි. එහි ප්‍රායෝගික පක්ෂය හඳුන්වනු ලබන්නේ තුන්ලෝවාසි සියලු ජීවින්ගේ සර්වපාක්‍ෂික ශුභසිද්ධිය අපේක්ෂාවෙන් (සබ්බසත්තාපාණභුත-හිතානුකම්පී) මෙත් වැඩීම යනුවෙනි.

අහිංසාව දේශපාලන න්‍යායයක් වශයෙන් පළමු වරට භාවිතා වූයේ සමස්ත භාරතයම එක්සේසත් කළ ධර්මාශෝක මහාධිරාජයන්ගේ යුගයේදීය. මිනිසුන්ට පමණක් නොව ක්ෂුද්‍ර ප්‍රාණියෙකුට වත් හානි සිදුවීම වළක්වන අදහසින් අපද්‍රව්‍ය දහනය පවා තහනම් කළ බව එතුමන් විසින් පිහිටුවන ලද සෙල්ලිපියක් මගින් හෙළිවෙයි. අතීතයේ ශ්‍රී ලංකාව පාලනය කළ රජවරුන්ගෙන් බොහෝ දෙනෙකු මෙම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගූ බව අපේ ඉතිහාසය අපට කියයි. ආමෙණ්ඩ ගාමිණි නම් රජ කෙනෙකුගේ යුගයේදී මාඝාත (නොමැරීම) නමින් සුවිශේෂී අහිංසාවාදී නීතියක් ක්‍රියාත්මක වූ බව ඉතා ප්‍රසිද්ධය. විශේෂයෙන් තෘෂ්ණාභරිත සමාජයක මූලික වන්නේ ආත්මාර්ථකාමිත්වය වන හෙයින් එහි හැම කෙනෙකුගේ ම අයිතිවාසිකම එකසේ සුරක්ෂිත කිරීම අපහසු ය. එසේම තනි තනි පුද්ගලයා විසින් අහිංසාව ආරක්ෂා කිරීමද අතිදුෂ්කර කාර්යයක් වෙයි. මේ බව සනාථ කරන කතා රාශියක් බෞද්ධ සාහිත්‍යයෙන් සොයා ගත හැකිය.

එක් කලෙක හිමාල වනයේ නිදහසේ ඉතා පී‍්‍රතියෙන් සුදු ඇත් පැටවෙක් වාසය කළේය. දිනක් ණයබර පියවා ගත නොහැකිව චිත්ත පීඩාවෙන් මිරිකෙමින් සිටි එක් වෙළෙන්දෙක් එහි පිවිසියේය. වනයේ තොරතුරු නොදත් හෙතෙමේ තමන්ගේ ගමනේ අරමුණ ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් බොහෝ වේලාවක් එහෙ මෙහෙ ඇවිදිමින් කල්ගත කළේය. දවස ගෙවී ගිය බව ඔහුට වැටහුණේ නැහැ. දැන් ඔහුට ආ පාර ගැන මතකයකුත් නැහැ. හෙව්වා,හෙව්වා, රෑ බෝ වුනා. බැරිම තැන ගහක් යට වැටිලා සීතලෙන් හා බයෙන් ගැහි ගැහි රාත්‍රිය ගත කළා.පසුවදා එළි වෙනකොට හිමාලයේ සිටි අර සුදු ඇත් පැටවා ඔහු දැකලා ඔහු ළඟට ආවා. මිනිහා හොඳටෝ ම අමාරුවේ වැටිලා බව තේරු ගත්තා. ඉතාම කරුණාවෙන් වහා ක්‍රියාත්මක වූ ඇත් පැටියා පලතුරු, මීපැණි, වතුර ගෙනැවිත් දීලා ඔහුට සංග්‍රහ කළා. එයින් පණ ගැහුණූ වෙළෙන්දා අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත යුතු යැයි හිතා ගෙන දින කීපයක් ඇත්පැටියා සමඟ මිත්‍රශීලි ව විමසිල්ලෙන් එහි ම කාලය ගත කළා. හොඳට යාළු වුනාට පස්සේ තමාට කැලයෙන් එළියට යන පාර පෙන්නන්න කියා ඇත්පැටියාගෙන් ඉල්ලීමක් කළා.ඇත් පැටියා වෙළෙන්දා කරේ තියාගෙන කැලයේ සීමාව දක්වා රැගෙන ගියා.වෙළෙන්දා නගරයට පැමිණ දින කීපයකට පසු ආයුධ පෙට්ටියකුත් සමඟ අර කැළේට ආපසු ගොස් කලින් සිටි තැන ම වැටී සිටියා.යාළුවා දුටු ඇත් පැටියා ඔහු සමඟ පිළිසඳරෙහි යෙදුණා. ඒ අතරෙදි වෙළෙන්දා ණය බරින් පෙළෙන තමාගේ දුක නිවා ගනු පිණිස එක් දළයක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටියා. කරුණා භරිත ඇත් පැටියා ඊට එකහිතින් එකඟ වුනා. තවත් වරක් ඒ විදියෙන් දෙවැනි දළයත් ලබා ගත්තා. ඉන් නොනැවතුණු වෙළෙන්දා තුන්වැනි වරටත් පැමිණ කට ඇතුළේ තිබෙන දළ කෑලි දෙක ඉල්ලා සිටියා. තමන්ට අත් වන්නට යන ඉරණම ගැන ඉවක් වත් නොතිබුණු අහිංසක ඇත්පැටවා ඒ ඉල්ලීමටත් එකඟ වුණා. වෙළෙන්දා ඇත් පැටවාගේ හිස දෙපළු කර මරා දමා කට ඇතුළේ තිබණු දළ කෑලි දෙක ගලවා ගෙන ආපසු ගියා.

අහිංසාව ක්‍රියාත්මක වන විට පැන නගින සියුම් ගැටලු දෙකක් මේ කතාවෙන් එළි දැක්වෙයි. ආගන්තුකයන් පිළිබඳ ව විචාරශීලි නොවීම ඉන් ප්‍රධාන එකකි. ඔවුන්ගේ පැමිණීමේ හෝ යාළුවීමේ පරමාර්ථ ගැන නොදැන ඔවුන් සමඟ කොන්දේසි විරහිතව ගනුදෙනුවලට ඇතුළත්වීම විපත්තිදායක බව මේ කතාවෙන් අපූරුවට පෙන්නුම් කෙරෙයි. හිමාල වනයට පැමිණි අවස්ථාවේ වෙළෙන්දාගේ තොරතුරු දැන සිටියා නම් අත්පැටියාට තව බොහෝ කලක් නිදුකින් ජීවත් වීමේ වාසනාව තිබුණා. අහිංසාව සමග අතිනත ගත් පරාර්ථකාමී ගුණාංග හා ආත්මාරථකාමිත්වය අතර ගැටුම තවත් ප්‍රධාන ප්‍රශ්නයකි. අහිංසාව ප්‍රගුණ කරන පුද්ගලයා අනුන්ගේ දුක හඳුනන්නෙකි. එහෙයින් අනුන්ගේ දුකේදී පිහිටවීම උදාර ගුණයක් ලෙස ඔහු සළකයි.මෛත්‍රිය, කරුණාව, දයාව අනුකම්පාව ආදි උතුම් ගුණධර්ම ඔහුට ඉතාමත් ම හුරු පුරුදු ය. ඉහත දැක්වූ කතාවේ අත්පැටියා ක්‍රියා කළේ අව්‍යාජ ගුණධර්ම යටතේය. ඔහු ඉතාමත් අවංක විය. වෙළෙන්දාගේ චෛතසික සියල්ලම ආත්මාර්ථකාමී විය. ඔහු තුළ ගුණයට ගරුත්වයක් නොතිබිණ. කාට කොතෙක් හානි සිදුවුවත් ඔහුට අවශ්‍ය වූයේ තමන්ගේ කාර්යය ඉටුකර ගැනීම පමණි. විචාරයෙන් තොර අහිංසාවාදය මෙවැනි ඉරණම්වලට ගොදුරු විය හැකි බවත් අනපේක්ෂිත කරදරවලට මුහුණ පෑමට සිදු විය හැකි බවත් බෞද්ධයා සැළකිල්ලට ගත යුතුය.

නිසි කල්පනාව ඇති නම්, සතිසම්පජඤ්ඤයෙන් කටයුතු කරනවා නම්, අහිංසාව සාර්ථක ලෙස, ජයග්‍රාහී ලෙස බුද්ධිමත්ව ක්‍රියාවට නැගිය හැකි බව තවත් ජාතක කථාවකින් ප්‍රකාශවෙයි. පියරජුගේ ඇවෑමෙන් කිරුළු පැලඳීමට නියමිතව සිටි එක් රජ කුමාරයෙක් ඊට පෙර රටේ තොරතුරු සියැසින් දැක ගතහොත් යෙහෙකැයි සිතා වෙස් වෙලා ගෙන ඒ ඒ දිශාවල සැරිසරමින් සිටියේය. එක් දිනක් කුමරා නිරන්තරව බිලිපූජා පවත්වන දේවාලයක බොහෝ සතුන් ඝාතනය කොට ගින්නට දමා යාග කරනු දුටුවේය. ඒ කෘර ක්‍රියාව කෙරෙහි අතිශය කළකිරීමට පත් කුමරා මේ එක් අධිෂ්ඨානයක් සිත තබා ගෙන එතැනින් නික්ම ගියේය.ටික කලකට පසු සිහසුන් පත් කුමරා එතැන් සිට රටේ කවර තැනක හෝ අර විදියට බිලි පූජා පවත්වන පුද්ගලයන් මරණීය දඬුවමට පමුණුවන බව දන්වා අණබෙර යවා චරපුරුෂයන් යොදවා මනා පරික්‍ෂාවෙන් සිටියේය. මාසයක්,දෙකක්, අවුරුද්දක් ගත විය. ඒ නියෝගයෙන් පසු රජුට එවැනි කෲරකම් ගැන වාර්තා නොවීය.අහිංසාව නිරර්ථක ප්‍රයත්නයක් බවට පත්වීමෙන් වළක්වා ගැනීම අතින් මෙය ද සාර්ථක උපක්‍රමයක් සේ සැළකිය හැකිය. සිත ඇතුළේ අහිංසාව තබා ගනිමින් අවස්ථාවෝචිත ව කටයුතු කිරීමයි, ඒ,

නිරන්තර වශයෙන් බණ කියන බණ අසන ලංකාවේ විශාල වශයෙන් ක්‍රියාත්මක වන්නේ එහි මූලධර්ම දැයි ඇසිය යුතු තැනට වර්තමාන බෞද්ධ සමාජය පත් වී තිබෙන බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. උපත් පාලනය ඒ අතින් ප්‍රශ්න කළ යුතු ප්‍රතිපත්තියකි. මෙලොව එළිය දකින්නට අපේක්ෂා කරන මිනිසෙකුට ඒ අනර්ඝ අවස්ථාව නොදී අවහිර කිරීම බෞද්ධයන් දකින්නේ පුණ්‍යකර්මයක් ලෙස ද? එසේ නම් පන්සිල්වල මුල්ම ශික්ෂා පදය සමාදන් වීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මිනිස් ජීවිතයක ආරම්භය වූ කලලයක් පවා ඝාතනය කිරීම භික්ෂු ශාසනයේ සමාව නොදිය හැකි පාපකර්මයක් ලෙස සැළකෙන්නේ එහි ප්‍රතිපත්ති විරෝධි බවත් බරපතළ බවත් නිසා නොවේද? මෙලෙස විමසන විට අහිංසාව යනු කුමක්දැයි නිසි ලෙස තේරුම් නොගැනීම නිසා වැලඳ ගත් ධර්මවිරෝධි ව්‍යාපෘතියක් ලෙස උපත් පාලන ප්‍රතිපත්තිය හැඳින්වීමට සිදු වෙයි. පිටස්තරින් එන ආකල්ප, අදහස් දර්ශන ප්‍රතිපත්ති ආදිය ඉහත දැක්වූ සීලවනාග කථාවේදී දක්නට ලැබුණු ආකාරයේ අවිචාරශීලිභාවයෙන් භාරගැනීමෙන් යෝග්‍යතාවය ගැන සිතා බැලීමට දැන් කාලය පැමිණ තිබේ.