Print this Article


සුවඳ හමන මල් වැනි යහපත් වචනය

සුවඳ හමන මල් වැනි යහපත් වචනය

රජ මැදුරේ බිසෝවරුන්ට බණ කීම රාජ අණින් බාර ගැනීම තමාගේ ජීවිතයට වුවද හොඳ තත්ත්වයකි. නොලැබෙන වරප්‍රසාදයකි. නමුත් චත්තපාණී එම අවස්ථාව තමන්ට සුදුසු නොවන එකක් නිසා සිතින්

අත්හැර දැමුවේ ය. ‘මහරජතුමනි රජ මැදුරුවල දහම් දෙසීම වැනි දෙයට අපි සුදුසු නැත්තෝ වෙමු. ස්වාමීන් වහන්සේලාව පමණක් එබඳු දෙයට සුදුස්සෝ ම වෙති. මා පිළිබඳව ඔබතුමාගේ මනසෙහි හටගත් ගෞරවය නිසාම මට මේ ආරාධනාව කළාසේම ආර්ය මාර්ගය පිළිබඳව මා කෙරෙහි පවතින ගෞරවය නිසාම මම මේ සඳහා නිවැරැදි උපදේශය ඔබතුමාට දෙමි යනුවෙනි.’ චත්තපාණී උපාසකතුමා  රජතුමාට කරුණු පැහැදිලි කොට දුන්නේ ය. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ නිවැරැදි දෙය නිවැරැදි ලෙස ද වැරැදි දෙය වැරැදි දෙය ලෙසත් මැනවින් දැන වටහාගෙන කතා කරන්නාගේ එබඳු වචන වර්ණවත් සුවඳ හමන මල් මෙනැයි පැහැදිලි කරනු ලැබූහ

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයෙහි දී උන්වහන්සේගෙන් බණ ඇසූ විශාල ගිහි පිරිසක් ද විසූහ. ආර්යය මාර්ගයෙහි විවිධ ඵලයන්ට පත්වූ එම පිරිස අතර ‘චත්තපාණී’ නම් උපාසක තෙමේ වඩාත් ප්‍රකට වී සිටියේ ය. ඔහු ත්‍රිපිටක ධර්මය ද මැනවින් දත්තේ ය. ආර්ය මාර්ගයෙහි අනාගාමී තත්ත්වය දක්වා පැමිණ සිටියේ ය.

එක දවසක් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි ‘චත්තපාණී’ උපාසක තෙමේ බණ දහම් අසමින් සිටින අවස්ථාවක කොසොල් මහ රජතුමා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණියේ ය. රජතුමා පැමිණෙනු දුටු ‘චත්තපාණී’ උපාසක තෙමේ රජතුමාට ගෞරව දැක්වීමට සිතා, නමුත් බුදුරජාණන් වහන්සේ සමීපයෙහි රජතුමාට ගෞරව දැක්වීමෙන් බුදුරදුන්ට සිදුවන්නේ අගෞරවයක් නොවේදැයි කල්පනා කළේ ය. චත්තපාණී උපාසකතුමා හට දෙවනුව පැමිණි සිතිවිල්ල නිසා රජතුමාට ගෞරව නොදක්වා බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම නිසොල්මන්ව හුන්නේ ය.

සාමාන්‍යයෙන් යම් ස්ථානයකට පැමිණෙන විට එම ස්ථානයේ ඉන්න පිරිස නිතැතින්ම තමාට ගෞරව ප්‍රරස්වරව ප්‍රතිචාර දැක්වීම රජකෙනෙකුට හුරුපුරුදු ය. ඒ පුරුද්ද නිසාම පිරිස ප්‍රතිචාර දැක්වීම රජුට සාමාන්‍ය දෙයකි. එසේ නොදැක්වීම කිසියම් විදිහට හිතට හීනමානයක් අරගෙන එන්නකි. මේ අවස්ථාවේ ‘චත්තපාණී’ උපාසකතුමා රජතුමාට ගෞරව නොදැක්වීම පිළිබඳ කොසොල් මහ රජතුමාගේ සිතට ද අමුත්තක් දැනිණ. ඒත් ඔහු එම අවස්ථාවේ ඒ පිළිබඳව කිසිවක් ඇඟවූයේ වත් නැත. එයට හේතුව වූයේ තමා රජතුමා වුවද බුදුරජාණන් වහන්සේ තමාටත් වඩා උතුම් කෙනකු වූ නිසා ය.

නමුත් මෙම සිද්ධිය නිහඬව බලා සිටි බුදුරජාණන් වහන්සේ කල්පනා කරනු ලැබුයේ මේ අවස්ථාවේ මහරජතුමා නිහඬව සිටියත් මේ සිද්ධිය හිතේ තබාගෙන වෙනත් අවස්ථාවක ‘චත්තපාණී’ උපාසක තුමාට කිසියම් විපතක් කළ හැකි බව. එම අදහස නිසා බුදුරජාණන් වහන්සේ කොසොල් මහ රජතුමා සමඟ ‘චත්තපාණී’ උපාසකතුමාගේ උතුම් ගුණ යහපත්කම් පැහැදිලි කරන්නට පටන් ගත්හ. එනම්, ‘මහරජතුමනි, මේ මා අසල ඉන්න උපාසකතුමා චත්තපාණී නම් කෙනෙකි. ඔහු ඉතා මැනවින් තෙවලා (ත්‍රිපිටක) බුදුවදන් හඳුනයි. ආර්ය මාර්ගයෙහි අනාගාමී තත්ත්වයට පත්ව සිටී. එනිසා ඔහු උතුම් පුද්ගලයෙකි යනුවෙනි.

බුදුරජාණන් වහන්සේ ‘චත්තපාණී’ උපාසකතුමා පිළිබඳව පළ කළ අදහසුත් එනම් හොඳින් ගුණ යහපත් වූ කෙනෙක් තමන්ට ගරු සර නොදැක්වූයේ මන්ද යන කරුණත් හිතේ තබාගත් රජතුමා බුදුරජාණන් වහන්සේට වැඳ ආපසු යන්නට ගියේ ය. තව දවසක් රජතුමා රජමැදුරෙහි සිටින විට චත්තපාණී උපාසකතුමා ඒ අසලින් කිසියම් ගමනක් එනු දුටුවේ ය. චත්තපාණී උපාසකතුමා පිළිබඳව මතකයේ තිබුණ නිසාම ඔහු මැනවින් හඳුනාගත් රජතුමා සේවකයකු ලවා රජමැදුරට ගෙන්වා ගත්තේ ය. මැදුරට පැමිණි උපාසක තුමා රජතුමාට දැක්විය යුතු සියලු ගරුසරු දක්වා ‘දේවයන් වහන්සේ මා රජ මැදුරට පැමිණවීමට හේතුව කුමක්දැයි විචාළේ ය. එදා බුදුරජාණන් වහන්සේ සමීපයේ සිටින අවස්ථාවේ දී මට කිසි ගරුසරුවක් නොදැක්වීමටත්, දැන් රජමැදුරේ දී රජකෙනෙකු හට දැක්විය යුතු සියලු ගරුසරු දැක්වීමටත් හේතුව කුමක්දැයි විචාළේ ය. එම අවස්ථාවේ දී චත්තපාණී උපාසක තෙමේ තමා පත්ව සිටි අනාගාමී තත්ත්වය ගැන කිසිවක් හෙළිකරන්නට ගියේ නැත. ඔහු කීවේ ඔබතුමාට ගරුසරු නොදැක්වූවා නොව මා ඔබතුමා පිළිබඳ හැඟීම ඇතිකර ගත් බවයි. නමුත් බුදුරජාණන් වහන්සේ වැනි උතුමකු ළඟ මා සිටින විට මා සිටගෙන ඔබතුමාට ගරුසරු දැක්වීමෙන් ඔබතුමාට ද සිදුවන්නේ අගෞරවයක් බවත් පුහුදුන් ලෝකයා වෙනත් අයුරකින් සිතුවත් සත්‍ය වශයෙන්ම එතැන ඔබට ගරු සරු දැක්වීමට සුදුසු තැනක් නොවන බවය.

චත්තපාණී උපාසකතුමා රජතුමාට ප්‍රකාශ කළ කරුණ නිසා කොසොල් රජතුමා චත්තපාණී ගැන ඉතා හොඳින් පැහැදුණේ ය. ධර්මය පිළිබඳව පමණක් නොව ආචාර සමාචාර පිළිබඳව වුවද ඔහු කෙරෙහි පැවතුන අවබෝධය නිසා රජතුමාට ද යමක් අවබෝධ කර ගැනීමට හැකිවිය. එම පැහැදීම නිසා රජතුමා චත්තපාණී උපාසකතුමාට එම අවස්ථාවේ ආරාධනාවක් ද කරනු ලැබීය. එනම් තම අන්තංපුරයේ සිටින ‘මල්ලිකා’ ‘වාසභඛත්තියා’ යන බිසෝවරුන් ඇතුළු පුර අඟනුන්ට ධර්මය දේශනා කරන ලෙසය. බණ කියා ඔවුන්ගේ සිත්වල පවතින දහම් ගැටලු විසඳා දෙන ලෙසය.

තරමක් කල්පනා කළ අනාගාමී චත්තපාණී උපාසකතුමා ගිහියන්ට බණ කීම සඳහා ගිහියන් සුදුසු නොවෙතියි කල්පනා කරනු ලැබීය. ගිහියන්ට බණ කියා දිය යුත්තේ භික්‍ෂුන් වහන්සේලා විසින්ම පමණක් ම බව අනාගාමී චත්තපාණී උපාසකතුමා කල්පනා කළේ ය. රජ මැදුරේ බිසෝවරුන්ට බණ කීම රාජ අණින් බාර ගැනීම තමාගේ ජීවිතයට වුවද හොඳ තත්ත්වයකි. නොලැබෙන වරප්‍රසාදයකි. නමුත් චත්තපාණී එම අවස්ථාව තමන්ට සුදුසු නොවන එකක් නිසා සිතින් අත්හැර දැමුවේ ය. ‘මහරජතුමනි රජ මැදුරුවල දහම් දෙසීම වැනි දෙයට අපි සුදුසු නැත්තෝ වෙමු. ස්වාමීන් වහන්සේලාට පමණක් එබඳු දෙයට සුදුස්සෝ ම වෙති. මා පිළිබඳව ඔබතුමාගේ මනසෙහි හටගත් ගෞරවය නිසාම මට මේ ආරාධනාව කළාසේම ආර්ය මාර්ගය පිළිබඳව මා කෙරෙහි පවතින ගෞරවය නිසාම මම මේ සඳහා නිවැරැදි උපදේශය ඔබතුමාට දෙමි යනුවෙනි.’ චත්තපාණී උපාසකතුමා රජතුමාට කරුණු පැහැදිලි කොට දුන්නේ ය. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ නිවැරැදි දෙය නිවැරැදි ලෙස ද වැරැදි දෙය වැරැදි දෙය ලෙසත් මැනවින් දැන වටහාගෙන කතා කරන්නාගේ එබඳු වචන වර්ණවත් සුවඳ හමන මල් මෙනැයි පැහැදිලි කරනු ලැබූහ.