Print this Article


භාවනාව නිවැරැදිව හඳුනා ගනිමු

භාවනාව නිවැරැදිව හඳුනා ගනිමු

බිරිඳක ලෙසින් ස්වාමිපුරුෂයාට භාවනා කිරීමට ආරාධනා කරනවා වන්නට පුළුවන්. එහෙත් ඔබ මඳකට හෝ කල්පනා කළාද? ඔහු රැකියාවට නැත්නම් වෙනත් ගමනක් ගොස් ආපසු එන්නේ භාවනාවකින්. එසේ භාවනාවකින් තොරව ඔහු පැමිණියානම් ඇතැම් විට ඔහු දකින්නට ලැබෙන්නේ රෝහලේදී.

බිරිඳක් වුවත්, ස්වාමි පුරුෂයා වුවත් දරුවකු වුවත් නිතර කල්පනා කළ යුතුයි ඔබට ලොකු භාවනාවක් තිබෙන බව. වම් අත උඩින් දකුණූ අත තබා ගෙන භාවනා කළ යුතු නැහැ. ඔබ සැබෑවටම භාවනානුකූලව කාලය ගෙවනවා. විශේෂයෙන්ම බෞද්ධ ජනතාව කුඩා කාලයේ සිටම භාවනාවේ යෙදෙනවා. මොකක්ද ඒ භාවනාව. කරන දේ හරියට කිරීම. ඔබේ ලෝකය වන්නේ ඔබ ඒ අවස්ථාවේ ඉන්නා ස්ථානයයි. බස් රථයේ ගමන් කරන විටදී ඔබේ ලෝකය විය යුත්තේ එයයි. නිවස හෝ දූ දරුවන් අඹුසැමියන් ඒ අවස්ථාවේ ඔබේ ලෝකයේ නැහැ. එතැන සිහිබුද්ධියෙන් ගත කළොත් ඔබ ආරක්ෂා වේවි.

ඔබගේ පොකට්ටුව ආරක්ෂා වෙයි.ඉදිරිය බලා ගමන් කරනවානම් හදිසි තිරිංග යෙදීමකදී ඔබට හානිවන්නේ නැහැ. අනතුරකදී වුවත් අවම හානි සිදුවේවි. ඔබේ ලෝකය ගැන ඔබ සිහිබුද්ධියෙන් ඉන්නෙ .

එහෙත් ඔබ මදකට සිතා බලන්න. ඇතැම් අය බස් රථයක ගමන් යද්දී පොත්පත් බලනවා. වැඩි කාලයක් ගමනට ගතවන නිසා කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබ සිතනවා විය හැකියි. එහෙත් එය එතරම් හොඳ සිතිවිල්ලක් නෙමෙයි. ඔබ බස් රථයකදී මඟියකු මිස පාඨකයකු විය යුතු නැහැ. බස්රථය ලිපි ලියන තැනක් හෝ පුස්තකාලයක් හෝ නොවේ. එය ගමනක් යාම සදහා පමණක්ම යොදාගත යුතු වනවා.

භාවනාවකින්, තැන්පත් නැති සිත තැන්පත් කරවනවා. තැන්පත් නැති සිත එක අරමුණකට යොදවනවා. එක අරමුණක ඔබට ඉන්නට පුළුවන් නම් ඔබට අමුතුවෙන් භාවනාවක් අවශ්‍යද? එහෙත් ඇතැම් අයට මේ ශික්ෂණය නැහැ. තමන් කරන කාර්යය යන එන ගමන බිමන ගැන අවබෝධයක් නැහැ. භාවනාව නිසි පරිදි අවබෝධ කර ගන්නවානම් අපට සමාධි ගතවීම අසීරු නැහැ.

පන්සලට ගිහින්, නැත්නම් ආරණ්‍යයකට ගිහින් නැත්නම් තමන්ගේ නිවස හෝ සුදුසු අයුරින් තිබේනම් භාවනාව මඟින් සිත සමාධි ගත කරගන්න පුළුවන්.

සම්මා වායාම,සම්මා සති, සම්මා සමාධි, ඔස්සේ සමාධියට පත් වෙන්න පුළුවන්.

දඟ වැඩ කරන දරුවාට භාවනාවක් ලබා දෙන්න පුළුවන්. සිත තැන්පත් තැනැත්තාට භාවනාව අපහසු නැහැ.

යුග දිවියට පිවිසෙනවා කියල අප අදහස් කරන්නෙත් එක්තරා ආකාරයක භාවනාවකට පිවිසීමක්. ‘කසාදය’ නම් භාවනාව අරඹනවා. කය සංවර කර ගන්නවා. සිත සංවර කර ගන්නව වචනය සංවර කර ගන්නවා. සමාජයෙන්ම මේ සදහා උදාහරණ දෙන්න පුළුවන්. විවාහ වයසේ පසුවන අයෙක් වෙලාවට නිවසට නොපැමිණෙනවානම්, නුසුදුසු අය ඇසුරු කරනවානම්, මත් වතුර පානය කරනවා නම් අපේ වැඩිහිටියන් කියන්නේ කුමක්ද? “ඔය කොල්ලට කසාදයක්වත් කරල දුන්නොත් හොඳයි එහෙම වුනොත් ටිකක් තැන්පත් වෙයි.”

මනස සංවර නොවූ තැන සිදු කරන්නේ කුමක්ද? භාවනාවකට යොමු කරනවා. එසේ නම් විවාහ පත්වූ ඔබ හොඳ භාවනාවක ඉන්නෙ. පවුල් ජීවිතයම භාවනාවක්. ඔබේ භාවනාව කඩවුවහොත් සිදුවන්නේ කුමක්ද? පවුලක දියුණුවක් නැත්තේ ඇයි? මඳක් සිතා බලන්න.

ගෙදර ස්වාමි පුරුෂයා මත්වතුර බොනවනම්, සූදුවට යනවනම් වෙනත් සදාචාර විරෝධී වැඩවල යෙදෙනවානම් සිදුවන්නේ කුමක්ද? එසේත් නැත්නම් තමන්ගේ පවුලේ වැඩ පැත්තක තබා තමන්ගේ සහෝදර සහෝදරියන්ට නතුවෙලා නිවසට පැමිණි විගස ඇතැම් විට තේ කෝප්පයක් පවා පානය නොකර එළියට යන ස්වාමිපුරුෂයන් සිටිනවා. යන්නේ තමන්ගේ මව්පියන්ගේ නිවසට වන්නට පුළුවන්. සහෝදර සහෝදරියන්ගේ නිවසට වන්නට පුළුවන්.ඇතැම් විට නිවසට පැමිණෙන්නේ රාත්‍රි ආහාරයත් පිටතින් ලබාගෙන. එතකොට තමන්ගේ බිරිය දූ දරුවන් ආහාර ගන්නේ කා සමඟින්ද? මෙතන ඇති ගැටලුව ශික්ෂණයක් නොමැති කමයි.

ලේඛකයෙක් ගැන සිතා බලන්න. ඔහුට කොයිතරම් ශික්ෂණයක් තිබිය යුතුද? ලියන විට සමස්ත සමාජ රටාවක් ඔළුවෙ තියාගන්න ඕන. අත්‍යවශ්‍ය දේ පමණක් ලේඛන ගත කරනවා. එයයි නිවැරැදි භාවනාව.

අනවශ්‍ය දේ ඉවත් කරලා අවශ්‍ය දේ තමන්ගේ අරමුණූ කරා ඉටු කරනවා.

කථිකයෙක් වුවත් මේ අයුරින් භාවනානුයෝගීව සිටිය යුතුයි. සජීවි ලෙසින් කථනය යෙදී සිටින විට එක වචනයක් වැරැදුනහොත් කුමක් සිදුවෙයිද?

අද ඇතැම් විද්‍යුත් මාධ්‍යයන්හි සිටින නිවේදක නිවේදිකාවන්ට මේ භාවනාව තිබෙනවාදැයි ලොකුම ගැටලුවක් තිබෙනවා.

භාවනාව එදිනෙදා ජීවිතයත් සමඟ සකස් කර ගැනීමටයි අප උත්සාහ ගත යුත්තේ.

විහාරස්ථානයකට හෝ ආරණ්‍යයකට ගොස් භාවනා වැඩීමේදී අප අනිවාර්යෙන්ම සිත පිරිසුදු කරගත යුතුමයි. ඒ සඳහා කය පිරිසුදු විය යුතුයි. එමෙන්ම සුදුසු ස්ථානය සොයා ගෙන බුදුරදුන් වන්දනා කර බුද්ධ පූජා පවත්වා ශීලයෙහි පිහිටිය යුතුය.එසේම තුනුරුවන් වැද කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනා කර වැඳ ගුරු උපදේශ ලබාදෙන කම්මට්ඨාන ආචාර්යවරයාණන්ට ජීවිතය පූජා කළ යුතුයි. එහිදී තනිව කළ හැකි පහසුම භාවනාව ආනාපානා සති භාවනාවයි.

මම හුස්ම ගනිමි
මම හුස්ම පිටකරමි

ඔබ හුස්ම ගන්නා විට සිදුවන්නේ කුමක්ද? බඩ හැකිලෙනවා. හුස්ම පිට කරන විට බඩ පිම්බෙනවා. තවත් අවස්ථාවක් තිබෙනවා. ඒ අප සයනයක් මත හෝ වෙනත් ස්ථානයක උඩුබැලි අතට හාන්සි වී සිටිනා විටදී හුස්ම ගන්නා විට බඩ පිම්බෙනවා. හුස්ම පිට කරන විට බඩ හැකිලෙනවා. එහෙත් බොහෝ අයට මේ ගැන නිසි මතකයක් අවබෝධයක් නැහැ. හුස්ම ඉහළ පහළ හෙළීම භාවනාවක් වන්නේ නිසි අවබෝධයකින් එය සිදු කරන්නේ නම් පමණයි. මම පෙර කළ කුසල් නිසා, පුණ්‍ය බලයෙන් හුස්ම ගැනීමට ලද භාග්‍යය ප්‍රයෝජනයට ගෙන කුසල කර්මයක නියැළෙනවා. මම ලියන අකුරකින් කිසිවකුටවත් හානියක් වන්නට ඉඩ තබන්නේ නෑ.මම කරන කිසිදු කතාවකින් කාටවත් හානිදායක දේ කියන්නේ නෑ.මම හුස්ම අරගෙන පිට කරන කාබන්ඩයොක්සයිඩ් වායුව කිසිවකුටවත් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. එහෙමනම් මිනිස් ජීවිතයට අදාළ පුණ්‍ය ශක්තිය තිබෙන තුරු මම ආශ්වාසය කරන තුරු කිසිදු අවස්ථාවක වරදක් කරන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව සිත්හි තබා ගන්න. ඒ ගැන අපගේ අවධානය අවබෝධය තිබෙනවාද? අපට අක්කර 50 ක වත්තක් තිබෙනවා යැයි සිතන්න.එහි කොතරම් තණකොළ තිබෙනවාද? නමුත් අප එක තණකොළයක්වත් ආහාරයට ගන්නවාද? අප භුක්ති විඳින්නේ මනුෂ්‍යයන්ට ගැලපෙන දේ පමණයි. අවාසනාවකට හෝ වැරැදිලාවත් ඊළඟ භවයේ ගවයකු වුවහොත් නිවසේ තිබෙනදේ අතහැර වත්තේ ඇති තණකොල භුක්ති විඳියි.අප මේ ගැනයි අවබෝධය ඇති කරගත යුත්තේ.අප ඒ ගැනයි සමාධියට පත්ව කටයුතු කළ යුතුවන්නේ.

අප කමටහන් වඩා සමාධිගත වී වෘත්තිය නිවැරැදිව කිරීමට මෙනෙහි කරනවානම් එයයි භාවනාව. මම මගේ වෛද්‍ය වෘත්තිය නිවැරැදිව කරනවා, මගේ ගුරු වෘත්තියද නිවැරැදිව කරනවා.මෙයයි නිවැරැදි භාවනාව. මගේ රියැදුරු වෘත්තිය නිසි පරිදි මම කරනවා. මගේ දෑත මත විශාල ජීවිත ගණනක් තියෙනවා. එම නිසා මම බුදුපිළිමයක් දකින දකින තැන අසුනින් නැගී සිට භාවනාව කඩා ගන්නේ නැහැ. මගේ අවධානය නිසි පරිදි රඳවාගෙන බුදුපිළිමයක් දුටුවිට අසුනින් නැඟී නොසිට ‘ඉතිපිසෝ භගවා....’ කියා බුදු ගුණ මෙනෙහි කරනවා. විහාරස්ථානයට ගොස් භාවනා කරන තැනැත්තත් විහාරස්ථානයෙන් නිවසට පැමිණීමෙන් පසු නිවසේ වැඩ කටයුතු නිසි ලෙසින් ඉටු කරන්නෙ නම් පමණයි අපට සමාධි ගත විය හැක්කේ. ඇතැම් උපාසිකාවන් තම හිතවතියන් හමුවී තමන් භාවනාවෙන් උසස් දියුණුවක් ලබා ඇතැයි පවසනවා.

“මම දැන් භාවනා කරල හොඳ තැනකට ඇවිත් ඉන්නෙ නිතරම භාවනා කරනවා. ගෙදර මනුස්සය අරක මේක අහනව මට මිනිහව පේන්න බෑ” මේ වචන ටිකෙන්ම පේනව නේද? භාවනාව කරපු ආකාරය.

ගෘහ ජීවිතයේ සාමාන්‍ය කටයුතු නිසි පරිදි කිරීම තරම් තවත් භාවනාවක් නැහැ. ඒක තේරුම් ගන්න බැරිව කෙතරම් භාවනා කරත් වැඩක් නෑ.