Print this Article


සෑම පින්කමක්ම දස පාරමිතාවට අයත් කුසලයකට යොමු කර ගනිමු

දැන් අපි මෙතැන් සිට කරන කියන කුසල ක්‍රියාවන් පාරමී ගණයට යොමු වන්නේ කෙසේදැයි සලකා බැලීම වටී. පළමු වන පාරමී ධර්මය දානයයි. දානය යනු තමන් සතු වස්තුව අන් අයට, අමතර බලාපොරොත්තුවලින් තොරව පරිත්‍යාග කිරීමය. දානය කියන විට තම ශ්‍රමය දන්දීම, තම වස්තුව දන්දීම, තම බුද්ධිය පරිත්‍යාග කිරීම, තමන්ගේ වටිනා කාලය අන් අය වෙනුවෙන් කැප කිරීම, තම වාග් ශක්තිය අන් අයගේ යහපත සඳහා යොමු කරවීම සහ තම ජීවිතය ද අන් අය වෙනුවෙන් යෙදවීම දාන පාරමිතා ගණයට අයත් වේ. ගෙදරක පස් නමකට සඟ සතු දානයක් පූජා කරන අවස්ථාවක දී වුවද එකී කුඩා පින්කමට ද පාරමිතා දහය අනුබද්ධ වන්නේය

දස පාරමිතා ධර්ම පිළිබඳව අපේ බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. අපේ සිත් සතන් තුළ කාවැදී ඇත්තේ දානය, සීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥා, වීර්යය, ක්‍ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්‍ෂාව යන පාරමිතා දහය සම්මා සම්බුදු බව පතන බෝධි සත්වයන් වහන්සේට පමණක් සීමා වූ ගුණධර්ම දහයක් වශයෙනි. එහෙත් එය එසේ නොවේ. අප විසින් කරනු ලබන සෑම කුසල ක්‍රියාවකදීම මෙය මගේ බෝසත් ගුණයක් බවට පත් වේවා! යි සිතාගෙන එසේත් නැත්නම් සසර කතරින් එතෙර වීම සඳහා මේ පුණ්‍ය ක්‍රියාව ද උපකාරී වේවා! යි සිතාගෙන කරන කියන සෑම පින්කමක් ම දස පාරමිතාවට අයත් කුසලයක් වශයෙන් යොමුකර ගත හැකිය.

දැන් අපි මෙතැන් සිට කරන කියන කුසල ක්‍රියාවන් පාරමී ගණයට යොමු වන්නේ කෙසේදැයි සලකා බැලීම වටී. පළමු වන පාරමී ධර්මය දානයයි. දානය යනු තමන් සතු වස්තුව අන් අයට, අමතර බලාපොරොත්තුවලින් තොරව පරිත්‍යාග කිරීමය. දානය කියන විට තම ශ්‍රමය දන්දීම, තම වස්තුව දන්දීම, තම බුද්ධිය පරිත්‍යාග කිරීම, තමන්ගේ වටිනා කාලය අන් අය වෙනුවෙන් කැප කිරීම, තම වාග් ශක්තිය අන් අයගේ යහපත සඳහා යොමු කරවීම සහ තම ජීවිතය ද අන් අය වෙනුවෙන් යෙදවීම දාන පාරමිතා ගණයට අයත් වේ. ගෙදරක පස් නමකට සඟ සතු දානයක් පූජා කරන අවස්ථාවක දී වුවද එකී කුඩා පින්කමට ද පාරමිතා දහය අනුබද්ධ වන්නේය.

ඒ කෙසේදැයි සිතා බැලිය යුතුය. තමන් උපයා ගත් ධනය ද්‍රව්‍ය බවට පත්කර ගෙන පූජා කිරීමේ දී දාන පාරමිතාවට අයත් වේ.

පළමු කොට පන්සිල් සමාදන් වීමෙන් පසු, ඒ පංච සීලයෙහි ම පිහිටා සිටගෙන, බුද්ධ පූජාව පවත්වා දානය පරිස්කාර සහිතව පූජා කොට ඤාතීන්ට, දෙවියන්ට පින් දී නිම කරත්ම සීල පාරමිතාව ඒ දානමය පින්කමට නිරායාශයෙන් ම ඇතුළත් වේ. තමන් දැහැමිව උපයා සපයා ගත් දෙය මූල්‍යමය වශයෙනුත්, ද්‍රව්‍යමය වශයෙනුත් අතහැර ඒ පිළිබඳ ආශාව දුරු කොට දීම නිසා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ද එයට ඇතුළත් වන්නේ ය. මේ දානමය පින්කමින් ලැබෙන ආනිශංස පිළිබඳව සිතා මතා බලා සැදැහැ සිතින් මහා සංඝයාට පූජා කරන විට කර්මය කර්ම ඵලය පිළිබඳව ඇති විශ්වාසය අනුව ප්‍රඥා පාරමිතාව ද ඇතුළත් වේ. දානය දීමට සූදානම් වූ මොහොතේ පටන් දානය නිමවන තුරු වෙහෙස මහන්සියෙන් යුතුව දානය පිළියෙළ කිරීම නිසා වීර්ය පාරමිතාව ද මේ පින්කමට ඇතුළත් වන්නේ ය. ඒ දානමය පින්කම කිරීමේ දී සිත් සතන් අසතුටු වන දෙයක් ඇසුන ද කෙනෙක් කීව ද ඒ ගැන කිසිඳු අසන්තෝෂයක් නොවී ඉවසිලිවන්තව මෙබඳු හොඳ වැඩක් කරන විට සිත නරක් වන දේ ඇසුනත් කම්පා නොවී ඒ පින්කම කිරීමෙන් ශාන්ති පාරමිතාව ද ඇතුළත් වන්නේ ය.

සත්‍ය පාරමිතාවට වැටෙන්නේ – “ දානාදී පින්කම් කරගත යුතුය “ යන්න අප නිරන්තරයෙන් ම භාවිත කරන වචනයෙකි. අන් අයට ද දන් දෙන්න, පරිත්‍යාග කරන්නට යයි කියන්නෙමු. අසත්‍යවාදී දේ නොකියන කියන දේ කරන, කරන දේ කියන පුද්ගලයන් බවට පත්වීම නිසා සත්‍යවාදී පුද්ගලයෝ වෙති. ඒ දානමය පින්කමට සත්‍ය පාරමිතාවන් අයත් වන්නේ මෙයාකාරයෙනි. “ අප පාරමිතා ධර්මයන් සපුරාගෙන කවදා හෝ සසර දුකින් එතෙර විය යුතු” ය යන අධිෂ්ඨානය ඇතිව ඒ දානමය පින්කම කිරීම නිසා මෙම පස් නමේ දානයට වුව ද අධිෂ්ඨාන පාරමිතාවන් අයත් වේ.

ප්‍රතිග්‍රාහක ස්වාමීන් වහන්සේලා කෙරෙහි මෙත් සිතින් යුතුව, ආදර ගෞරව සහිතව දානය පූජා කිරීම නිසා පහළ වන්නේ මෛත්‍රී සහගත සිතිවිලි ය. එය මෛත්‍රී පාරමිතාවට අයත් වන්නේ ය. සම සිතින් යුතුව දානය පූජා කිරීමේදී හෝ පිළියෙල කිරීමේ දී හෝ අපහසුවක් ඇතිවුව ද වෙනසකින් තොරව සම සිතින් ම පින්කම කිරීම නිසා උපේක්‍ෂා ගුණයන් මේ දාන පින්කමට ඇතුළත් වන්නේ ය. මෙසේ අප කරන කියන සෑම පින්කමකටම දස පාරමී ගුණ සුළුවෙන් වුවද කැවෙන නිසා අප විසින් කරනු ලබන සෑම පින්කමක්ම පාරමිතාවන්ගේ අංග බවට පත්වන්නේ ය. පස් නමේ දානය ගැන දැක්වූ උපමාවෙන් අනෙකුත් කුසල් පිළිබඳව ද සිතාගත යුතුය.

ජාතක පොතෙහි දක්වා ඇත්තේ ඒ පාරමිතා දහය ඉහළින්ම කැපී පෙනෙන අවස්ථාවෝය. වෙස්සන්තර ජාතකයෙන් දානයත්, මහාසීලව ජාතකයෙන් සීලයත්, මඛාදේව ජාතකයෙන් නෛෂ්ක්‍රම්‍යයත්, උම්මග්ග ජාතකයෙන් ප්‍රඥාවත්, පංචායුධ ජාතකයෙන් වීර්යයත්, සුතසෝම ජාතකයෙන් සත්‍යවාදී බවත්, තේමිය ජාතකයෙන් අධිෂ්ඨානයත්, ලෝමහංස ජාතකයෙන් උපේක්‍ෂාවත් ඉස්මතු වන අතර සෑම ජාතක කතාවක් තුළින්ම අනෙකුත් පාරමිතාවන් ගැන ද කැපී පෙනෙන කරුණු ඇතුළත්ව ඇත.

මෙයින් සිතාගත හැක්කේ අප විසින් සිදු කරනු ලබන සෑම යහපත් ක්‍රියාවක් තුළම අඩු වැඩි වශයෙන් පාරමී ධර්ම දහය ඇතුළත් වන බව ය. ඒ අනුව අපේ උපාසක උපාසිකාවන්ගේ පටන් බාල, තරුණ, මහලු කවුරුත් සිදුකරන සෑම යහපත් ක්‍රියාවක්ම පාරමිතා ගණයට ද වැටෙන බව සැලකිය යුතුය. එහෙත් අප විසින් මේ යහපත් ක්‍රියාව “ මාගේ පාරමිතාවක් බවට” පත්වේවා ! සිතීම නම් අත් නොහැරිය යුතුය. සාමාන්‍ය ජනතාව විසින් විවිධ පින්කම් කරනු ලැබූව ද “ දෙව් මිනිස් සැප නිවන් සැප පිණිසම හේතු ‍වේවා “! යි පුරුද්දක් වශයෙන්ම අපේ සිතට නැඟේ. එය ඉතා වටනේ ය. එයට ම “ මෙය මට නිවන පිණිස පාරමිතාවක් බවට පත්වේවා” ! යි සිතීමද නිරායාශයෙන් ම සිතට නංවා ගැනීම පුණ්‍ය ශක්තිය වැඩිවීමට හේතුවෙකි.

එබැවින් මේ දුරුතු පොහෝ දින සිට ඊළඟ පොහොය දක්වා ද එතැන් සිට ඊළඟ පොහොය දක්වා ද මෙයාකාරයෙන් දින වකවානු සිතේ රඳවාගෙන අමතක නො කොට “ මාගේ මේ පින්කමේ මේ මේ අංශ මෙකී පාරමිතාවන්ට වැටෙන බව සිතා ඒ අනුව සම්‍යක් කල්පනාවෙන් යුතුව ක්‍රියා කිරීම බෝසත් ගුණයක් බව සැළකිය යුතුය.