Print this Article


සම්බුදුසිරිපා පහස ලද මහියංගණ පුරාණය

සම්බුදුසිරිපා පහස ලද මහියංගණ පුරාණය

බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමෙන් අනතුරුව මහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ. දේවානම්පියතිස්ස සමය තුළදීම ඔහුගේ සොහොයුරු උද්ධ චූල්ලාභය කුමරු විසින් මහියංගණ ස්ථූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකථාව දක්වයි. මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්ථූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි

වසර සිය ගණනක් මුළුල්ලේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ මහියංගණ පුදබිමේ ඓතිහාසිකත්වය සාහිත්‍යයික මූලාශ්‍රයනට අනුව ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට සීමා වුව ද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බව කිව හැකිය. මහවැලි ගංගා නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිය. එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසින්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වා මහියංගණයට සුවිශේෂත්වයක් හිමිව තිබේ. වංසත්ථප්පකාසිනිය විජය ලක්දිවට පැමිණෙන අවධියේ දීද ජුතින්දර නම් යක්ෂයකු මෙම ප්‍රදේශය පාලනය කළ බව දක්වයි. ජුතින්දර යනු යක්ෂයකුට වඩා යක්ෂයන් විශ්වාස කළ ගෝත්‍රික නායකයකු ලෙසින් සැලකීම වඩාත් උචිතය.

ශ්‍රී ලාංකේය වංසකථාවනට අනුව,බුදුරදුන්ගේ සිරිපා පහස ලද ලක්දිව මුල්ම භූ®මිකලාපය ලෙසින් මහියංගණය දක්වා ඇත. එසේම උන්වහන්සේගේ කේශධාතු නිදන් කොට මෙරට ඉදිකළ ප්‍රථම ස්ථූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්ථූප කලාව ලංකාවට හඳුන්වා දුන් කලාපය ලෙසින් ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම මුලින් සත්රියන් උසැතිව ඉදිකරන ලද මහියංගණ ස්ථූපය සරභු මහරහතන් වහන්සේ විසින් බුදුරදුන්ගේ අදාහන සෑයෙන් ලබාගත් ගී‍්‍රවා ධාතුව නිදන් කොට දහඅට රියනක් කොට ගොඩනංවන ලද බවටද වංසකථාව දක්වන තොරතුරෙන් මෙම පින් බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට තිබේ.

බුද්ධත්වයෙන් නවවැනි මස එළැඹි දුරුතු පුරපසළොස්වක පොහෝ දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට, පසු කලෙක බුදුදහම පැතිරීම සඳහා සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණෙන් බුදුන් වහන්සේ ප්‍රථම ලංකාගමනයේදී මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපියේද මේ බව සනාථ කොට ඇත.

ගංගා නදී නිම්නයේ පිහිටි තුන් යොදුනක් දික් වූ එක් යොදුනක් පළල් වූ මහානාග නමින් හැඳින් වූ බිම් කඩ මහියංගණය නමින් එවකට හැඳින් වූ බව පැහැදිලි කරුණකි. එමෙන්ම දීපවංසය මහියපොක්ඛල නමින් මහියංගණය හඳුන්වා තිබේ. පසුව මණිපො, මණිභේ වැනි නාමවලින්ද මිණිපේ සහ ඒ ආශි‍්‍රත කලාපයම හඳුන්වා ඇති බව හත්ථවනගල්ල විහාර වංශයෙන් පෙනේ. එමෙන්ම මිණිබේ, වේරමිණිබේ යන නම්වලින්ද එම ප්‍රදේශය හඳුන්වා තිබේ. මහනුවර අවධියේ සිට ව්‍යවහාරයට පත් බිම් තැන්න යන්න ද මහි අංගණ යන පද දෙකින් නිරූපිත වදනක් ලෙසින් සැලකෙයි. සොරබොර ලේඛනයට අනුව සහ වංසකථාවට අනුව ද මියුගුණු යන නමින් අනුරාධපුර යුගයේ අවසන් භාගයේ සිට මහියංගණය ජනතාව අතර වඩාත් ප්‍රචලිතව පැවැති බව පැහැදිලිය.

ඓතිහාසික සිද්ධිවල අනුපිළිවෙළ හා එහි වටිනාකම් ද යම් ස්ථානයක් පිළිබඳ අගැයීමේ දී ඉතිහාසය හා පුරාවිද්‍යාවේ දී වැදගත් වේ. බුදුන් වහන්සේගේ ලංකාගමනය නිසා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුන්වහන්සේගෙන් තිසරණ සරණ ගිය පළමු ශ්‍රී ලාංකේය උපාසක පිරිස බිහිවනුයේ මහියංගණ භූ®මිය තුළදී වීම ද ශාසනික වශයෙන් වැදගත් කරුණකි. ලක්දිව දී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමන සමන් දෙවියන් ඉතිහාසගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භූ®මිය තුළ නිදන් කිරීම තුළින් ස්ථූප නිර්මාණයේ මුල් අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් ද මහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. සමන් දෙවියන් විසින් ඉඳුනිල් මැණිකෙන් එම ස්ථූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වන අතර ධාතුවංසයෙන් එම කරුණ තව දුරටත් තහවුරු කෙරෙයි. එහෙත් රාජාවලිය , රනින් කළ ථූපයක කේශධාතු නිදන් කළ බව දක්වයි.

සරභු හිමියන් විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ගී‍්‍රවා ධාතුව ද දහ අටරියනක් උස්වන ලෙසට නිමවන ලද ස්ථූපයෙහි නිදන් කළ බව වංසකථා දැක්වීමෙන් මහියංගණ ස්ථූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකාරදැයි සිතිය හැකිය. මෙහි ගී‍්‍රවා ධාතුව තැන්පත් කරන අවස්ථාවේ ‘මේදවණ්න පාෂාණ’නම් ගල් විශේෂයක් ගෙන එන ලද ඍද්ධිමත් කුඩා සාමණේර දෙනමක ගැන වංසත්ථප්පකාසිනීය දක්වයි. එමෙන්ම ස්ථූප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වය ද එහි දී මතු කෙරේ.බුරුම රට මහා විජිතාවී නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙසටීකාවේ, මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑයමෙන් ලෝකයේ ප්‍රකට මහියංගණ නම් චෛත්‍ය පිළිබඳ වර්ණනාවක් කර තිබේ. මෙම මුල් ස්ථූප පසුකාලීන ස්ථූපවල තාක්ෂණික පාර්ශවය හා සංසන්දනයට අපහසු වුව ද දේශීය ස්ථූප සම්ප්‍රදායක් මෙරට මහින්දාගමනයට පූර්වයේ සිටම පැවැතියේය යන අදහස මතු කිරීමට මෙම සාධක වැදගත් වේ.

බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමෙන් අනතුරුව මහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ. දේවානම්පියතිස්ස සමය තුළදීම ඔහුගේ සොහොයුරු උද්ධ චූල්ලාභය කුමරු මහියංගණ ස්ථූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකථාව දක්වයි.මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්ථූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරවනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් දෙතිස් ඵල මහබෝධින්ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තවදුරටත් මහියංගණය පින් බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම මහියංගණය හා ඒ ආශි‍්‍රත කලාපයේ ක්‍රිස්තු පූර්ව යුගයේ තෙවැනි සියවසේ සිටම බෞද්ධ පුනරුදයක් පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය.ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂූන් විෂයෙහි කරන ලද ලෙන් රැසක් මහියංගණ ස්ථූපයට දකුණින් සැතැපුම් දහයක් පමණ දුරින් පිහිටි ඔලගංගලින් හමුවේ. ප්‍රාදේශීයව විසූ ‘පරුමක, බත,ගමික,ආචරිය’වැනි විරුද දරන පුද්ගලයන් විසින් භික්ෂූන් විෂයෙහි පූජා කරන ලද ලෙන් රැසක් පිළිබඳ තොරතුරු මාවරගලින් හමුව ඇත. නවලාර්කුලමින් ද ලිපි කිහිපයක් හමුව තිබීම භික්ෂූන් මෙම ප්‍රදේශවල විසූ බවටත් බෞද්ධාගම ක්‍රිස්තු පූර්ව යුගයේම මෙම කලාපය තුළ පැතිර තිබූ බවටත් සාක්ෂි ලෙසින් පෙන්වාදිය හැකිවේ.

දුටුගැමුණු රජු දවස මහියංගණ හා ආශි‍්‍රත කලාපය වඩාත් සුවිශේෂ භූ®මියක් ලෙසින් ඉතිහාසගතය. දුටුගැමුණු රජ සිය සටන් ව්‍යපාරය එළාර රජුට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින්ද මහියංගණ ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබූ අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුටුගැමුණු රජුට නිතැතින්ම හිමිවේ. දමිළ පිරිස් මෙසේ මෙම ප්‍රදේශයට පැමිණියේ ස්ථූපයේ තැන්පත්ව තිබූ රන්කොල්ල කෑමට බව රාජාවලිය කියයි. එම පුවත කොතෙක් දුරට නිරවද්‍යද යන්න ස්ථීරව කිව නොහැකිය. දුටුගැමුණු රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු මහියංගණ ස්ථූපය රියන් අසූවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණ නිමවා මෙම බෞද්ධ පුණ්‍යභූ®මියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත.සොරබොර වැව ද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සු බ්‍රොහියර් මහතා ඒවා දුටුගැමුණු රජුගේ මාළිගයේ නටබුන් විය හැකි යැයි අනුමාන කරනමුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය.

දුටුගැමුණු සමයෙන් පසුද මහියංගණ පුණ්‍ය භූමිය වෙත ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබූ බවට සාධක සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් සනාථ වේ. දුටුගැමුණු යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය.වෝහාරතිස්ස රජු මහියංගණ ස්ථූපය ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් සවිකළ බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්‍ථවනගල්ල විහාරවංසය කියයි.අනුරාධපුර යුගයේ විසූ දෙවැනි සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිවුවැනි කාශ්‍යප රජ දවස ද එබඳුම වු පූජාවන් කළ බවට සාක්ෂි වංසකථා තුළින් හෙළිදැක්වේ. සිවුවැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳ පොළේ නීති කඩකොට අසුවන වෙළෙඳුන් විසින් ගෙවන ලද දඩ මුදල් මියුගුණූ මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණ ඇති බවත් සනාථ වේ .පොළොන්නරු සමයේ දී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබාදී තිබේ.

මේ ලිපියේ ඉතිරි කොටස
පෙබරවාරි 3 වැනිදා පත්‍රයේ පළවේ.