Print this Article


ගුණ හැඳින නමදිමු තුනුරුවන

ගුණ හැඳින නමදිමු තුනුරුවන

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

ඉතිපිසො භගවා අරහං සම්මා සම්බුද්ධො
විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදු
අනුත්තරො පුරිසදම්මසාරථී
සත්ථා දේවමනුස්සා නං බුද්ධො භගවාති

ස්වාක්ඛාතො භගවතා ධම්මො
සන්දිට්ඨිකො අකාලිකො
එහිපස්සිකො ඕපනයිකො
පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහීති

සුපටිපන්නො භගවතො සාවක සංඝො
උජුපටිපන්නො භගවතො සාවක සංඝො
ඤායපටිපන්නො භගවතො සාවකසංඝො
සාමීචිපටිපන්නො භගවතො සාවක සංඝො
යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිස පුග්ගලා
එස භගවතො සාවක සංඝො
ආහුනෙය්‍යො , පාහුනෙය්‍යො
දක්ඛිණෙය්‍යො, අංජලිකරණීයො
අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති

සකල ජන මනානන්දකර අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනුලොව පහළවීමෙන් බුද්ධරත්නයද, තමන්වහන්සේ විසින්ම අවබෝධ කරනු ලැබුවා වූ නවලොව්තුරා ශ්‍රී සද්ධර්මය බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා කිරීමෙන් ධර්මරත්නයද තත්ධර්මය ප්‍රථමයෙන් දැනගත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ආර්ය ශ්‍රාවකයන් වහන්සේගෙන් පසුව සංඝරත්නයද යන ත්‍රිවිධරත්නය ඇතිවීමෙන් ලොව ඒකාලෝක විය. මෝහාන්ධකාරය දුරුකරමින් ප්‍රඥාලෝකයෙන් සිත් ප්‍රභාමත් කරන ලොව්තුරු දහම් අමාවෙන් ශාන්තිය ඇති වී මෙලොව උතුම් පුණ්‍ය භූමියක් බවට පත් විය.

ලෝකයෙහි කෙතරම් අනර්ඝ රන්,රිදී, මුතු, මැණික් ආදී වස්තු ඇති නමුත් චිත්තාකර්ෂණිය වශයෙන්ද අසමාන වන බැවින්ද, දුර්ලභ බැවින්ද විපුල ප්‍රයෝජන හෙයින්ද බුද්ධාදි රත්නත්‍රය තරම් වටිනා වස්තුවක් කිසි තැනෙක නොමැත්තේමැයි.

අප බුදුරජාණන් වහන්සේ රූපවිලාසයෙන්ද ඥානවිලාසයෙන්ද දේශනාවිලාසයෙන්ද අචින්තනීය වන සේක. උපමාවිෂයාතික්‍රාන්ත වනසේක. තවත් බුදුරජාණන් වහන්සේ කෙනකු තම ජීවිත කාලය තුළ අන් කිසිවක් දේශනා නොකර බුදුගුණ පමණක්ම වර්ණනා කළද බුදුගුණ වනා නිම කළ නොහැක්කේය. සියලු ධර්මයන් බුද්ධඤාණයට යටත්ව පවතී. මේ නිසා බුදුහු සම්මා සම්බුද්ධ නම් වන සේක.

නිකෙලෙස් භාවයෙන් පූජාර්හභාවයෙන් අර්හත් නම් වූ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක.අසහාය, පරම පවිත්‍ර වූ චරණ ධර්මයන්ගෙන් ශෝභමාන වූ සුගත තථාගතයන් වහන්සේ මේ සා අතිවිශිෂ්ට ගුණයෙන් සම්පූර්ණ වුවද රජගෙදර පටන් දුගී දුප්පත් පැල්පත දක්වා පිඬු සිඟාවැඩ වැළැඳීම බුදුසිරිත විය. වන පෙත් මං සැරිසරමින් ලෝකාර්ථ සිද්ධිය පිණිස දම් දෙසමින් සිත් සතන් සැනසීමද අටලෝදහමින් කම්පා නොවීමද අසිරිමත් කාරණයකි.

ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් බෝමැඩදී ‘අනේක ජාති සංසාරං’ ආදී ගාථාවේ පටන් පිරිනිවන් මංචකයේ දී ‘අප්පමාදෙන සම්පාදේථ’ යන පාඨය දක්වා පන්සාළිස් වසක් පුරා දේශනා කරන ලද නවලොව්තුරා ශ්‍රී සද්ධර්මය අක්‍ෂර, වචන, ගාථා සහ සූත්‍ර වශයෙන් අපමණය. මනුලොව උන්වහන්සේ හැර අන් තැනැත්තකු හට මෙතරම් ප්‍රමාණයක් දැනීම, දෙසීම තබා එවැන්නක් ගැන සිතන්නටවත් නොහැක්කේ ම ය.

‘ආදි කල්‍යාණං මජෙඣ කල්‍යාණං, පරියොසාන කල්‍යාණං සාත්‍ථං සබ්බ්‍යංජනං කේවල පරිපුණ්ණං ධම්මං දෙසෙති’ ආදි නයින් මුල, මැද, අග යහපත්ව දේශනා කළ බැවින් ස්වාක්ඛාත නම් වූද,සෝවාන් ආදි මාර්ග සතර ඵල සතර යන අට හා විමුක්තියද යන නව ලොව් තුරා ශ්‍රී‍්‍ර සද්ධර්මය ජනතාවගේ චිත්තාකර්ෂණය වන බැවින්ද කැමැති කැමැති වස්තු ලබාදෙන බැවින්ද ජාති ජරාමරණාදී දුක්වේදනා නැති කරමින් උතුම් නිවන් සම්පත් සාදාදෙන බැවින්ද උත්තම වන්නේය. සන්දිට්ඨිකවූ අකාලිකවූ, එහිපස්සිකවූ, ඕපනයිකවූ මෙම ධර්මය ‘පච්චත්තං වේදි තබ්බො විඤ්ඤුහී’ නුවණැත්තන් විසින් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දැනගනු ලැබිය යුතු වන්නේය.

අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍යධර්මයම ධර්මරත්නය නම් වන්නේය. මෙම සත්‍යධර්මය පටිච්චසමුප්පාදය, හේතුඵලවාදය ඇතුළත් කර දේශනා කොට ඇත්තේ සංසාර චක්‍රයේ ගමන් කරන සත්වයාට එයින් මිදීම සඳහාය.බුද්ධධර්මයේ විද්‍යාමාන වන සත්‍යතාව දම්සක් පැවැතුම් සූත්‍රය, සච්චවිභංග සූත්‍රය, බ්‍රහ්මජාල සූත්‍රය සහ රතන සූත්‍රය වැනි සූත්‍රවලින් මොනවට ප්‍රකට වේ. එම දේශනා මාර්ගයේ පියවර තබන්නාට කෙදිනක හෝ ධ්‍යාන, අභිඥා, විදර්ශනා ඥාන, මාර්ග ඵල විමුක්තිඤාණා දී උත්තම සම්පත් ලබා ගැනීමට හැකිවන්නේ ය.

ධර්ම සේනාපති සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහ රහතන් වහන්සේ යන අග්‍රශ්‍රාවක මහ රහතන් වහන්සේ ප්‍රධාන ආර්ය මහා සංඝරත්නය ඇතුළු අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයට අයත් අසහාය උතුමන් වහන්සේ මහා සංඝ රත්නයයි.සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපන්න, සාමීචිපටිපන්න, ආහුනෙය්‍ය,පාහුණෙය්‍ය ,දක්ඛිණෙය්‍ය, අංජලිකරණීය යනාදි ගුණයෙන් සමන්විත පුණ්‍යක්‍ෂේත්‍ර වූ මහා සංඝරත්නය ලොව නැති දවසට බුද්ධශාසනයද නොපවත්නේ ය. බුදුරදුන්ගේ ඒ උතුම් ධර්මය පසක් කරගෙන නිවන් සුවයෙන් සැනසෙන ආර්ය මහා සංඝරත්නය මෙන්ම එම නිවන් මඟට පිළිපන් මහාසංඝරත්නයත් සදේව ලෝකයාගේ පූජා ලැබීමට මෙන්ම ශ්‍රද්ධාදී කුසල චේතනා වර්ධනය කරගැනීමටද පින්කෙතක් වන්නේය. මෙවන් උතුම් තෙරුවන් සිහිපත් කිරීමම මහානිශංසදායක වන්නේය.

එවං අචින්තියා බුද්ධා
බුද්ධ ධම්මා අචින්තියා
අචින්තියෙසු පසන්නානං
විපාකො හොති අචින්තියො

යනුවෙන් දැක්වෙන පරිදි මෙලොව සිතා, කියා, වනා, ලියා නිමකළ නොහැකි ස්වභාව ඇති, ආනිශංස ඇති, පහළ වූ දා සිට අසංඛ්‍ය සංඛ්‍යාත සත්වයන් විසින් සරණ යනු ලැබු, දෙව් මිනිස් නිවන් සම්පත් ලබාගත්, මත්තටද එසේ අසංඛ්‍ය ගණන් සත්වයන් විසින් සරණ යනු ලබන, සුගතිගාමී වන, නිවන් සම්පත් ලබන බුද්ධාදී රත්නත්‍රය සිහි කිරීමෙන්, වන්දන මානන කිරීමෙන්,භජනය පයුරුපාසානය කිරීමෙන් අනුත්තරීය ධර්ම හයක් ලැබෙන්නේය.

1. දස්සනානුත්තරීය
2. සවණානුත්තරීය
3. පාරිචරියානුත්තරීය
4.අනුස්සතානුත්තරීය
5 .ලාභානුත්තරීය
6. සික්ඛානුත්තරීය

දැක්මෙන් උතුම් දැක්ම නම් බුද්ධාදී තෙරුවන් ම ය. ද්‍රව්‍ය වශයෙන් හෝ ජීව වශයෙන් හෝ ලොව දකින සෑම දේම තණ්හා මූලිකව අල්වා ගැනීමෙන් අපමණ කෙලෙස් ජනිතවේ. ‘ශුභ’ අරමුණ දකිනවාත් සමඟ ඇතිවන රාගාදි පරිදාහයන්ගෙන් සිත කය ගිනි ගන්නේය. ‘අශුභ’අරමුණකදී ක්‍රෝධයෙන් දැවී යන්නේය. එයින් මුළාවී මඟ නොමඟ නොපෙනී යන්නේය.එහෙත් බුද්ධාදී තෙරුවන් දැකීමම නෙතට රසඳුනක් වන අතර රාගාදී කෙලෙස් සමනය වන්නේය. සිතට සහනයක් වන අතර ආපදාවේදී එකම පිහිට වන්නේය. තෙරුවන් ගුණ සිතීම,මෙනෙහි කිරීම නිවන් මඟට මූලාධාර වන්නේය.

අසන ශබ්ද කෙතරම් පැවැතියද බුද්ධාදී තෙරුවන් ගුණ ඇසීම පමණක් උභය ලෝකාර්ථසිද්ධිය පිණිස පවත්නේය. සංසාර විමුක්තියට හේතුවන්නේ ය. අක්‍ෂරයක්, වචනයක්, ගාථාවක් සූත්‍රදේශනාවක් පාසා චිත්ත සන්තානයෙන් තණ්හාදී කෙලෙස් දුරුවන්නේ ය. සිහිබුද්ධිය තහවුරුවන්නේ ය.

බුද්ධාදී උතුමන්ට උපස්ථාන කිරීම, ධර්මයට ගරුබුහුමන් කිරීම, මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්ථාන කිරීම නිරෝගී සම්පතට, ශ්‍රද්ධාදී කුසල වර්ධනයට, බුදු පසේ බුදු මහරහත් බෝධියකින් උතුම් නිවනින් සැනසීමට අතිශය උපකාරවත් වන්නේය. මේ පාරිචරියානුත්තරිය ධර්මය නිවන් මඟට අවශ්‍යම වන බව බෝධිසත්ව චරිතයෙන් මෙන්ම ශ්‍රාවක චරිතාපදාන වලින්ද ප්‍රකට වේ.

බුද්ධාදී රත්නත්‍රය සිහිපත් කිරීම මහා කුසලයක් වන්නේය. අකුසල් වැඩෙන අරමුණු සිහිපත් කිරීමෙන් තණ්හාදි ක්ලේෂයන් සන්තානයෙන් ඉස්මතුවන අතර තෙරුවන් අරමුණු කරගත් සිතුවිලි සිතෙහි ජනිත වන විට බුද්ධානුස්සති, ධම්මානුස්සති සහ සංඝානුස්සති භාවනාමය කුසල චිත්තයද ජනිතවේ. එතුළින් දෛනික ජීවිතයේදී සියලු දුක්වේදනාවලින් මිදී සහනය ඇතිවේ.

සෑම ඉරියව්වකදීම ‘නමෝ බුද්ධාය’යන වදන සිහිපත් කරමින් සිහියපවත්වා ගන්නේනම් තමාගේ මනෝරථය සඵල කරගැනීමට එය ආරක්‍ෂක පිරිතක් වශයෙන්ද පිහිටාධාර වේ. සිහිනුවණ වර්ධනය වීමෙන් කුසලාකුසල ධර්මයන් හඳුනාගෙන උතුම් නිවන් මඟෙහි පියවර තැබීමට හැකි වන්නේය.

මේ ආකාරයෙන් බුදුන් දහම් සඟුන් යන තෙරුවන් සරණ යෑමෙන් ලෞකික වශයෙන් භවභෝග සම්පත් ලැබෙන අතර කෙදිනක හෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමෙන් අජරාමර අමා මහ නිවනින් සැනසීමට හැකියාව ලැබේ.

ඔබ සැමට තෙරුවන් සරණයි!