Print this Article


සියවස සපුරන නවසිගහවත්තේ ශ්‍රී ධර්මවිජයාරාමය

සියවස සපුරන නවසිගහවත්තේ ශ්‍රී ධර්මවිජයාරාමය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිංගිරිය උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවසිගහවත්තේ ශ්‍රී ධර්මවිජයාරාමය පිහිටුවා වසර සියයක් සම්පූර්ණ වේ. මෙම ලිපිය එම අවස්ථාව අනුස්මරණය කරන පින්කම් මාලාව නිමිත්තෙනි.

දුටුවන්ගේ නෙත් සිත් අලවන, නොදැමුණු පුද්ගලයන්ගේ පවා සිත් සතන් පහන් කරන පරිසරයක් ඇති ස්ථානය ‘ආරාම’ නම් වේ. එහෙත් වර්තමානයේ ‘ආරාම’ යන පදයෙන් ගම්‍ය වන්නේ භික්‍ෂූන් වහන්සේ වැඩ වාසය කරන ත්‍රිවිධ චෛත්‍ය පිහිටි පූජනීය ස්ථානය යි.

මේ අර්ථයට අනුගතව විහාරස්ථානය යනු හුදී ජනයාගේ පහන් සංවේගය උපදවන දුටුවන්ගේ මන බඳින සිත් පහන් කරවන රමණීය ස්ථානයක් විය යුතු ය. එබඳු පුණ්‍යභූමියකි, නවසිගහවත්තේ ශ්‍රී ධර්මවිජයාරාමය. නවසිගහවත්ත ග්‍රාමය සත් කෝරළයේ ප්‍රසිද්ධියට පත්වූයේ ස්වකීය විහාරස්ථානය නිසා බව නොරහසකි.

1912 වර්ෂයේ මෙම ආරාමය ආරම්භ කරන ලද්දේ ගමේ ප්‍රභූ පවුල්වල කිහිපදෙනකුගේ මැදිහත්වීම මත ය. සිට්ටප්පු විදානගම මහතා ඉන් ප්‍රමුඛ වේ. පන්සලට, විදුහලට ඉඩම් පරිත්‍යාග කරන ලද්දේ ඒ මහතා විසින් බව ගමේ පැරැන්නෝ කියති. 1899 වර්ෂයේ ගමේම ප්‍රභූ පවුලක ජන්ම ලාභය ලද ආර්.ඇම්. සයිමන් අප්පුහාමි කුමරු 1912 වර්ෂයේ දී එවකට සත්කෝරළයේ කීර්තිමත් විහාරස්ථානයක් වූ හොරතැපොල ශ්‍රී පුෂ්පාරාමයේ දී විහාරාධිපති හොරතෑපොල ශ්‍රී සුමනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සසුන්ගතව ස්වකීය ගුරු දේවයන් වෙතින් භික්‍ෂු නමකට අවශ්‍ය සාමණේර බණ දහම් ආදී මූලික අධ්‍යාපනය හදාළේ ය. සීලානන්ද සාමණේර හිමියන් මූලික අධ්‍යාපනය සඳහා පළමුවෙන්ම බාර කරන ලද්දේ කිරිමැටියාන විද්‍යාබන්දු පරිවේණාස්ථානයටයි. එහි ප්‍රධානත්වය දැරූ ‘පිණ්ඩපාතික හාමුදුරුවෝ’ නමින් ජනාදරයට පත් කුඩාවිල ශ්‍රී සුදම්මාලංකාර තිස්ස නා හිමියන් යටතේ ප්‍රමාණවත් පරිදි දහම් අධ්‍යාපනය හදාළ සීලානන්ද හිමි 1920දී උපසම්පදා සීලයට මල්වතු මහා විහාරයේ දී පත්විණි. ආචාර්යන් වහන්සේ වූයේ හොරතෑපොල ශ්‍රී සුමනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා මෙරට කීර්තිමත්, ප්‍රාචීන භාෂා ක්‍ෂේත්‍රය තුළ ප්‍රකට විද්‍යාස්ථානයක් වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය මහා පිරිවෙනට ඇතුළත්ව බද්දේගම ශ්‍රී පියරතන නා හිමි, කහවේ ශ්‍රී රතනසාර නා හිමි, මහගොඩ ශ්‍රී ඥානේස්වර නා හිමි ආදී සංඝ පීතෘන් වහන්සේ වෙතින් ධර්ම, විනය, ශබ්ද ශාස්ත්‍රාදිය හදාරා ත්‍යාග සහිතව පිරිවෙන් අධ්‍යාපනය නිම කළහ. උන්වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමක් ද වූහ. එමෙන්ම පිරිවෙන් රැසක සේවය කළ ධර්මාචාර්ය හිමිනමක් ද වූහ. ධර්මවිශාරදත්වයකින් පරිපූර්ණ නවසිගහවත්තේ සීලානන්ද හිමිපාණන් වහන්සේට මෙම පුංචි ආරාමය මුලින්ම පරිත්‍යාග කරන ලදී. නිතර එහි පැමිණීම හැර නිත්‍ය නේවාසිකත්වය සඳහා වැඩම කළ බවක් සඳහන් නොවේ.

උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කහටවිල ශ්‍රී පේමරතන නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් 1952 වර්ෂයේ දී ගමේ ප්‍රභූ දායක මහතකු වන පී.ඇම්. තේගිස් අප්පුහාමි හා මැණික්හාමි උපාසිකාව විසින් කරන ලද ඉල්ලීමකට අනුව සංඝාවාසය ගොඩනැඟීම ඇරැඹිණ.

1954 වර්ෂයේ දී එය නිමවා උසස් ලෙස පින්කමක් සංවිධානය කර විවෘත කළහ. ඉන් නොනැවතුණ පේමරතන නා හිමි ධර්ම ශාලාව ද වසරකින් සාදා නිම කිරීම කටයුතු සාධනයෙහිලා දක්‍ෂතාව විදහා පෙන්වන්නකි. ඝණ්ඨාස්ථම්භය, පෝය සීමා මාලකය සහ විහාර ප්‍රාකාරය ආදී විහාරාංග ගොඩනැඟීම පේමරතන නාහිමියන්ගේ ශ්‍රම දායකත්වය මත සිදු වූ බව සිහිපත් කළ යුතු ය.

පේමරතන නා හිමියන්ගේ ඇවෑමෙන් මෙහි වර්තමාන විහාරාධිපතිත්වය හිමි වූයේ කහටවිල ශ්‍රී පියරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ය. සිය ගුරුහිමියන්ගේ ආභාෂය මත සැකසුණු බුද්ධිප්‍රභාව මුසු සුසංවර බව තුළින් විහාරස්ථානය ආශි‍්‍රත නවීකරණ රාශියක් කිරීමට හැකි වූ බව සඳහන් කළ යුතු ය. වෙහෙර වහන්සේ ගොඩනැඟීමද පිවිසුම් දොරටුව සහිත ප්‍රාකාරය, බෝධිප්‍රාකාරය සහ අටවිසි බුදුකුටි පද්ධතිය ඉදිකිරීමද වත්මන් නාහිමියන්ගේ අනුශාසකත්වය හා මඟ පෙන්වීම තුළින් සිදු විය. නාහිමියන් ස්වකීය ගුරු හිමිගේ ආභාෂයෙන් සිය කුසලතා ඔප්නැංවූ කාර්යශූර හිමිනමකි. සියලු කාර්ය කිරීමට කුසලතා පූර්ණ ශිෂ්‍ය පිරිසක් ලැබීමද එක් භාග්‍යයකි. මේ හැම භාග්‍යයකින්ම ඔප් නැංවෙන ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානයට සියක් වසක් සපිරීම මුල් කරගෙන පැවැත්වෙන පින්කම් මාලාව ඔස්සේ සැදැහැ දන නැණ පහන් දැල්වේවා යි පතමු.