සුදන ඇසුර සදයි සැපත
ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ
මල්වතු පාර්ශ්වයේ විශේෂ කර්මාචාර්ය
නාමල්වත්තේ ශ්‍රී ආනන්ද නා හිමි
ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත්
ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව
සපයා ගත් ධනයෙහි ආරක්‍ෂකයෙක්, කළමනාකරුවෙක් ලෙසද කලණ මිතුරා හඳුනාගත
හැකිය. සත්පුරුෂයන් සොයා ගැනීම පහසු කාර්යයක් නොවේ. ආශ්‍රය තුළින්ම
මොවුහු හඳුනාගත යුතු ය.
ලොව ජීවත්වන අපි සියල්ලෝම දියුණුවීමට කැමැත්තෝ වෙමු. එසේම සැප
කැමැත්තෝද වෙමු. මේ දියුණුව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් බෙදා වෙන්කොට
ජීවන රටාව උසස් කර ගැනීමෙහිලා උත්සාහ ගත යුතුය. මේ සඳහා අධ්‍යාපනය හිත
මිතුරු ඇසුර යනාදී සාධක බෙහෙවින් උපකාර වෙයි. පුද්ගලයා හා සමාජය අතර
ඇත්තේ ඉතා සමීප සබඳතාවයකි. කුඩා කල අපගේ පූර්වාචාරීන් වූ මවුපියන් ද
සහෝදර සහෝදරියන්ද වෙනත් සහ ලේ ඥාතිවරාදීන්ගේද ආදරය සෙනෙහස රැකවරණය, මඟ
පෙන්වීම ආරක්‍ෂාව ලැබේ. පාසල් අධ්‍යාපනය සමඟ ගුරුවරුන් හා විශාල ශිෂ්‍ය
ප්‍රජා ඇසුරද සමාජගත ජීවිතයේදී තවත් හිත මිතුරන් ද ජීවිතය හා සම්බන්ධ
වේ. අපගේ ඥාතීන් නොවන අය හැඳින්වෙන්නේ හිත මිතුරන් ලෙසිනි. මොවුන්
සියල්ලෝම එක හා සමානව අප හා බැඳි නොසිටී. ලාභ ප්‍රයෝජන අපේක්‍ෂාවෙන්
ක්‍රියා කරන හිතමිතුරන් සේම දුක සැප දෙකෙහිදීම අප හා ජීවත් වන අය ඒ අතර
වෙති. මේ දෙයාකාර මිතුරන් බුදු දහමේ වර්‍ග කර ඇත්තේ මිත්‍ර ප්‍රතිරූපක
හා කල්‍යාණ මිත්‍රයන් යනුවෙනි.
මිතුරන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගල ඇසුර පිරිහීමට හේතු වෙයි. ඔවුන්
බැහැර කළ යුතු බව බුදු දහම උගන්වයි. අසත්පුරුෂයන්ගෙන් වෙන්ව කලණ
මිතුරන් ඇසුරු කරන ලෙස ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ සඳහන් වන්නේ දාර්ශනික
පදනමක පිහිටාය.
නභජේ පාපකේ මිත්තේ
න භජේ පුරිසාධමේ
භජේථ මිත්තේ කල්යානේ
භජේථ පුරිසුත්ත මේ
පාප මිත්‍රයන් ඇසුරු නොකළ යුතුය. අධම පුද්ගලයන් භජනය නොකළ යුතුය.
කල්‍යාණ මිත්‍ර උතුම් සත්පුරුෂයන් ඇසුරු කළ යුතුය යනු මෙහි සරලාර්ථයයි.
අපේ ජාතක පොතේ සඳහන් සුව පෝතක ජාතකයද මීට කදිම නිදසුන් සපයයි. තාපසයන්
ළඟට වැටුණු ගිරවා ඉතා මෘදු මොළොක් කාගේත් සිත් ගන්නා සුළු වචන කථා කළ
අතර සොරුන් ළඟ වැඩුනු ගිරවා නරක නපුරු අමිහිරි කථා හා ක්‍රියාවන් කළ බව
එහි සඳහන්ය. තමා හා එක්ව විසීමට සුදුසු කලණ මිතුරෙකු සොයා යන කෙනෙකුට
තමන්ට වඩා ගුණයෙන් උසස් හෝ සමාන කෙනෙකු හමු නොවන්නේ නම් හුදෙකලාව විසීම
යහපත් බව පහත සඳහන් ධම්ම පද ගාථාවෙන් මනාව පැහැදිලි වෙයි.
චරං චේ නාධි ගච්ඡෙය්‍ය
සෙය්‍යං සදි සමත්තනෝ
ඒක චරියං දළ්හං කයිරා
නත්ථි බාලේ සහායතා
පහත් නීච පුද්ගලයන් ඇසුරු නොකිරීම මංගල කරුණක් ලෙස “ අසේවනාච බාලානං”
යන මංගල සූත්‍ර පාඨයෙන් පැහැදිලි වෙයි. අයහපත් පුද්ගල ඇසුරෙහි ආදීනව
එතරම් පුද්ගල පරිහානියට හේතුවන බව ඉන් පැහැදිලිය. අනුනට ඊර්ෂ්‍යා
කරන්නවුන් සුරාවට, සූදුවට, දුරාචාරයට ලොල් වුවත්, බොරු කේලම්
කියන්නවුන් මව්පිය ගුරුවරාදීන් නොසළකන ගරු බුහුමන් නොදක්වන අවමන්
කරන්නවුන් ආදී අව ගුණැති පුද්ගලයන් ඇසුරට නුසුදුසුය.
මෙලොව පරලොව සඳහා මනා මඟ පෙන්වීමක් කරන සිඟාලෝවාද සූත්‍රයෙහි මිත්‍ර
ප්‍රතිරූපයන් සිව් දෙනෙකු පිළිබඳ සඳහන් කරයි. පළමුවැන්නා “අඤ්ඤªත්ථුහර”
පුද්ගලයායි. මොහු පහසුවෙන් හඳුනාගත හැකිය. හිස් අතින් පැමිණ කුමක් හෝ
රැගෙන යාම, යහළුවාට ටිකක් දී වැඩිපුර රැගෙන යාම තමන්ගේ කාය¸ කෙරෙන තුරු
පමණක් ඇසුරු කිරීම මෙකී පුද්ගලයා හඳුනාගත හැකි ලක්‍ෂණයි. දෙවැන්නා
‘වචීපරම’ පුද්ගලයායි. ඔහු සිය මිතුරාට අතීතයෙන් සංග්‍රහ කරයි.
අනාගතයෙන්ද සංග්‍රහ කරයි. නිරර්ථක අරුත් සුන් දේ කථා කරයි. කටයුතු
පැමිණි කල යහළුවා මඟ හරී. තෙවැනි පුද්ගලයා ‘අනුප්පියභාණී’. මොහු ලක්‍ෂණ
සතරකින් හඳුනාගත හැකියි. පාප කම්මස්ස අනුජානාති පාප කර්‍ම අනුගමනය
කරයි. කල්‍යාණම්පිස්ස අනුජානාති. කුසල කර්‍මයන්ද අනුගමනය කරයි.
සම්මුඛාස්ස වණ්ණනං භාසති ඉදිරියෙහි ගුණ කියයි. පරම්මුඛාස්ස අවණ්ණං
භාසති. අසම්මුඛයෙහි අගුණ කියයි. සිව් වැනි පුද්ගලයා ‘අපාය සහාය’ නමින්
හැඳින්වේ. මත්පැන් පානය කිරීම නොකල්හි වීථි සංචාරය කිරීම ආදී අපායට
සහාය වන කරුණුවලින් ජීවිතය සරසාගත් පුද්ගලයායි. බොදුනුවන් වූ අප පින්
දහම් අවසන කරන ප්‍රාර්ථනාවෙහි සඳහන් වන්නේද මා මේ බාල සමාගමෝ යනුවෙනි.
නිවන් දක්නා ජාති දක්වා අද බාල ලාමක අය ඇසුර නොම වේවා සත් පුරුෂ ඇසුර
ලැබේවා යනුවෙනි. බුද්ධිමත් පුද්ගලයා භයංකර සතෙකු දුරින්ම දුරුකර ගමන්
කරන්නා සේ පාප මිත්‍රයන් දුරින්ම දුරැලිය යුතුය.
කල්‍යාණ මිත්‍රයන් පිළිබඳ බුදුපියාණෝ නොයෙක් අවස්ථාවල විවිධ අයුරින්
කරුණු පහදා ඇත. අත්තම්හි ජාතම්හි සුඛා සහායා. තුට්ඨි සුඛායා ඉතරීතරෙන”
දුක සැප දෙකෙහිදීම තමා සමඟ සිටින්නේ කල්‍යාණ මිත්‍රයාය. ඔහු හඳුනා
ගන්නා ආකාරය බුදු පියාණන් වහන්සේ ඉතා සුපැහැදිලිව පෙන්වා ඇත.
පියෝ ච ගරු භාවනීයෝ
චත්තාච වචනක්කමෝ
ගම්භීරං ච කතං කත්වා
නෝවට්ඨානේ නියෝජයේ
යමෙක් තමාගේ ශීල සම්පත්තියෙන් ඇසුරු කරන්නට ප්‍රිය වෙයිද
පාෂාණච්ඡත්‍රයක් මෙන් ගරු වෙයිද ගුණ වශයෙන් සම්භාවනා කළයුතු වෙයිද
ඇසුරු කරන්නන්ට යහපත පිළිබඳ අවවාද කරයිද චතුරාය¸ සත්‍ය ආදී ධර්‍ම කරුණු
පහදා දෙයිද ඇසුරු කරන්නා සුදුසු ස්ථානයෙහිම තබත්ද එබඳු ගුණැති පුද්ගලයා
කලණ මිතුරෙකි. සිඟාලෝවාද සූත්‍රයට අනුව කල්‍යාණ මිතුරන් සිව් දෙනෙකි.
සමාන සුඛ දුක්ඛ, සුහද මිතුරා, උපකාරක සුහද මිතුරා, අත්ථක්ඛායී සුහද
මිතුරා හා අනුකම්පක සුහද මිතුරා යනුවෙනි.
ශ්‍රද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන උසස් ගුණැති පුද්ගලයන් ඇසුර මහත්
ප්‍රතිලාභයකි. එසේම මෙලොව හිත සුව පිණිස පවතින ධර්මතාවලින් එකක් ලෙසද
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙහි සඳහන් වේ. ධාර්මිකව
සපයා ගත් ධනයෙහි ආරක්‍ෂකයෙක් කළමනාකරුවෙක් ලෙසද කළණ මිතුරා හඳුනාගත
හැකිය. සත්පුරුෂයන් සොයා ගැනීම පහසු කාර්යයක් නොවේ. ආශ්‍රය තුළින්ම
මොවුහු හඳුනාගත යුතු ය. මෙහි දුෂ්කර බව පැරැණි පඬිවරුන් පවසා ඇත්තේ,
ශෛලේ ශෛලේ න මාණික්‍යං
මෞක්තිකං න ගජේ ගජේ
සාධවෝ නහි සරිවත්‍ර
චන්දනං න වනේ වනේ යනුවෙනි. ගලක් ගලක් පාසා මැණික් නැත. සෑම ඇතෙකුගේම දළ
වල මුතු නැත්තේ ය. හැම වනයේම සඳුන් නැත. එමෙන් සෑම තන්හිම සත්පුරුෂයන්
නැත්තේය යනුයි. දානය පි‍්‍රය වචනය අර්ථ චර්යාව සමානාත්මතාවය යන උසස්
ගුණාංග අප ඇසුරු කරන පුද්ගලයන් තුළ තිබිය යුතු ය. එසේ නැතහොත් යහපත්
ඇසුර දිගු කාලීනව පවත්වාගෙන යා නොහැකිය. පුද්ගලයෙකු ගේ ආර්ථික සාමාජික
හා ආධ්‍යාත්මික දියුණුව සඳහා යහපත් ඇසුර අත්‍යවශ්‍යම වේ. එමෙන්ම පෞරුෂ
වර්ධනය සඳහා ද දෙලොව අභිවෘද්ධිය සඳහා ද මෙය බෙහෙවින් බලපායි. මෙහිදී
විශ්වාසය ඉතා වැදගත් වේ. “විස්වාස පරමා ඥාතී” යන්නෙන් ඒ බව වඩාත්
තහවුරු වන්නේ ය.
සුහදව කතා බහ කිරීම හා සාමාන්‍ය ලෙස හිතවත්ව සිටීම එකකි. විශ්වාසයෙන්
සහයෝගයෙන් ජීවත්වීම තවත් එකකි. සමීප ඇසුර ඉතාමත්ම ප්‍රවේශමෙන් කළ යුතු
ය. යම් උපකාරක මිත්‍රයෙක් වේද සැප, දුක දෙකෙහිදීම යහළුවේ ද ලොව වැඩ
පිණිස මඟ කියන්නේද අනුකම්පා කරන්නේද ඤාණවන්ත පුද්ගලයා ඖරස පුත්‍රයෙකු
රකින මව සේ සත්කාර කොට ඇසුරු කළ යුතුය යනු සම්බුදු වදනයි. ඇසුරේදි
වඩාත් වැදගත් වන්නේ ලාමක, ග්‍රාම සංකල්පවලින් යුත් පුද්ගලයන් දැනහැඳින
ඔවුන්ගෙන් ඈත්වීමයි. ගුණ යහපත් ඇසුරට සුදුසු පුද්ගලයන් පිළිබඳ
“සුභාෂිතයේ දී” අලගියවන්න මුකවෙටිතුමා” අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ”
යන කවෙන් කරුණු පැහැදිලි කරයි.
අප කළ පින් බෙලෙන් –
දුදනන් හමු නොවේවා!
සසර වසනා තුරු -
සුදන ඇසුරම වේවා!
|