Print this Article


සිල් සුවඳ

සිල් සුවඳ

කය , වචන දෙකේ සංවරභාවය ශීලයයි. සියලු කුශල ධර්මයන් සිදුකිරීමට සිල්වත් බව තිබීම මනාය. ශීලය චාරිත්‍ර ශීලය, වාරිත්‍ර ශීලය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. කළ යුතු යහපත් පිළිවෙත් ඉටුකිරීම චාරිත්‍ර ශීලයයි.නොකළ යුතු පාපයන්ගෙන් වැළැකීම වාරිත්‍ර ශීලයයි.

අපගේ ජීවිතය නමැති මන්දිරය මනාව, ශක්තිමත්ව ගොඩනඟා ගැනීමට නම් සිත සංවර කරගැනීමට පෙර, කයෙන් වචනයෙන් සිදුවන වැරැදිවලින් වැළැකී මනාව සිල්වත් විය යුතුය.අතීතයේ එක් කාන්තාවක් එක දවසක් ඉතා හොඳින් සිල් ආරක්ෂා කළ පිනෙන් දෙව්, මිනිස් සැප විඳ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ මිනිස්ලොව ඉපදී භික්ෂුණී ශාසනයේ පැවිදි වී රහත් වූවාය. එයින් පෙනෙන්නේද සිල්වත් වීමේ වැදගත්කම ය.

සමාජයෙන් ගරු බුහුමන් ලැබීමටද අප ළඟ තිබිය යුතු වැදගත්ම ගුණධර්මය නම්, සිල්වත් බවය. ශීලය නැති අය හිස නැති මිනිසුන් මෙනි. යමකුගේ හිස නැතිනම් ඔහුගේ ශරීරයද විනාශවෙයි. එමෙන්, යමෙකු ළඟ සිල්වත් බව නැතිනම් සෙසු ගුණයන්ද නැතිවෙයි.

කය , වචන දෙකේ සංවරභාවය ශීලයයි. සියලු කුශල ධර්මයන් සිදුකිරීමට සිල්වත් බව තිබීම මනාය. ශීලය චාරිත්‍ර ශීලය, වාරිත්‍ර ශීලය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. කළ යුතු යහපත් පිළිවෙත් ඉටුකිරීම චාරිත්‍ර ශීලයයි.නොකළ යුතු පාපයන්ගෙන් වැළැකීම වාරිත්‍ර ශීලයයි. මෙසේ සිරිත් විරිත් වශයෙන් කොටස් දෙකකට බෙදී ඇති මෙම උතුම් ශීලය ආරක්ෂා කළ යුත්තේ අන් අයගෙන් ප්‍රශංසාව ආදිය ලැබීම සඳහා නොවේ. තමාගේ් යුතුකමක් වශයෙන් සිතා ආත්ම ගෞරවය ඇතිකරගෙන දෙලොව යහපත උදා කර ගැනීමටය. අවසන සියලු දුක් නසා නිර්වාණාවබෝධය ලබා ගැනීමටයි.

කිරලා බිජු රකින්නේ යම්සේද, සෙමෙරා තම වලිගය රකින්නේ යම්සේද, එමෙන් අපද ශීලය ඉතා පිරිසුදුව රැකිය යුතුය. හැම සත්වයන් වෙත මෛත්‍රිය උපදවාගෙන, වෛර,ක්‍රෝධ, තරහ, පළිගැනීම ඉවත් කරගෙන උතුම් ලෙස සිල් රකින්නට අදිටන් කර ගනිමු.

පන්සිල් මනාව රැකීමෙන් කය, වචනය දෙක සංවරවෙයි. එය අපගේ නිත්‍ය ශීලයයි. එසේම ආජීව අට්ඨමක ශීලය රැකීමෙන් ජීවිතය වඩාත් උතුම් වෙයි. පොහොය දින අටසිල් ආදී උසස් සීලයන් මැනැවින් රැකීමෙන් පසිඳුරන් මනාව සංවර වෙයි.

පොහොය දින අටසිල් සමාදන්වීම බුද්ධකාලයේ සිට පැවැත එන සිරිතකි. එයින් පාපයන්ගෙන් වැළැකී, උතුම් ගුණධර්ම පුරුදු කරගෙන නිවන් මඟෙහි ගමන් කිරීමට ඉඩ ලැබේ. එම නිසා මසකට වරක්වත් ඒ උතුම් අටසිල් සමාදන් වී නිවන් දකින්නට පාරමිතා පුරමු.

ඉතිවුත්තක පාලිය නම් ධර්ම ග්‍රන්ථයේ සිල්වත්වීමේ වැදගත්කම ගැන මෙසේ සඳහන් වේ.

සීලං රක්ඛෙය්‍ය මේධාවී
පත්ථයා නො තයො සුඛා
පසංසං චිත්ත ලාභංච
පෙච්ච සග්ගෙ පමෝදනං

යමකු මනාව සිල් ආරක්ෂා කරයි නම් ඔහුට හෝ ඇයට ආනිශංස තුනක් ලැබේ. එනම්, ගුණවතකු, සද්පුරුෂයකු, කල්‍යාණ මිත්‍රයකු යයි අන් අය ප්‍රශංසා කරති. හොඳින් සිල් රකින නිසා තමා ගැන තමන්ට සිතට සතුට ඇතිවෙයි. මරණයෙන් පසුව මිනිස්ලොව හෝ දෙව්ලොව උත්පත්ති සැපය ලැබෙයි.

පහනේ එළිය දීප්තිමත් වන්නේ එහි ඇති තෙල් සහ වැටිය පිරිසුදු නම් ය. එමෙන් පිරිසුදු සිතින් සිල් රකින්නේ නම්, ශීලයද පිරිසුදුය. සිල්වතා උතුම් අයකු වන්නේය.අන් අයගේ ගෞරවයට පත් වන්නේය. සිල් සමාදන් වී භාවනා කරන විට, මල් පහන් පුදා බුදුන් වඳිනවිට, ධර්මය ශ්‍රවණය කරන විට අකුසල් සිත් පහළ නොවෙයි. එහෙත් පොහෝ දින සිල් සමාදන් වුණූ සමහර අය ශීලයට නොගැළැපෙන විවිධ කතාවල යෙදී සිටිනුද දැක ගත හැකියි. එවිට, සිල් පැහැර ගන්නා සොරුන් නමින් හැඳින්වෙන ක්‍රෝධය, අහංකාරය, අයහපතට නැමීම, මායාව, කපටිකම, මසුරුකම, උතුම් අය හා සමාන කර ගැනීම, අධිමානය, පළිගැනීම, සිහියෙන් කටයුතු නොකිරීම, අවවාද පිළිනොගැනීම, උඩඟුකම, පාපයෙහි ඇලීම, පින් කිරීමට අකැමැති බව,මිථ්‍යා දිට්ඨිය, පව් කිරීමට ලජ්ජා නැතිකම, නුවණින් තොරවීම, පාප මිත්‍රසේවනය, ඉන්ද්‍රිය සංවරය නැතිවීම, ශ්‍රද්ධාවෙන් තොර වීම, ලද දෙයින් සතුටු නොවීම, ආශා බහුල බව, නිදා ගැනීමට තද ආශාව සහ ආහාරයට ලොල්වීම ආදි කෙලෙස් සිත තුළට රිංගා සිල් ගුණ පැහැර ගනී. එම නිසා සිල් සමාදන් වූ දින බුදුන් වැඳීම, භාවනා කිරීම සහ තෙරුවන් ගුණ මෙනෙහි කිරීම ආදියෙන් කුසල් සිත් උපදවාගෙන සිල් හොරුන්ගෙන් සිල්පද රැක ගනිමු. නිති පන්සිල් සුරකිමු. එවිට අපගේ දෙලොව යහපත් වෙයි. නිවන් අවබෝධකරගෙන සසර දුකෙන් මිදීමේ වාසනාව උදාවෙනු ඒකාන්තය.